තිඹිරියාගම බණ්ඩාර:
සැරිසරන සිතක මතක-
සිසිර කුමාර වන්නිආරච්චි
මා කොළඹ දූවිල්ල මුලින් ම පෑගුවේ 1982 දීය.එවිට මගේ වයස අවුරුදු 21කි.අගනුවර පැමිණියේ යොවුන් ලේඛක වැඩමුළුවක් නියෝජනය කිරීම සඳහා ලංකාවෙන්ම තෝරාගත් 500 දෙනාට මාද අයත් වූ හෙයිනි.ඇරියුම යොවුන් ජනතා කර්තෘ ධර්මසිරි ගමගේගෙනි.

එදා පදනම් ආයතනයෙහිදී මුල්වරට හමු වී 2024 දක්වා ම මිතුරු සබඳකම් පවත්වන කිහිප දෙනා අතර ප්‍රමුඛයකු ලෙස ද,ජීවිතයේ බොහෝ හැලහැප්පිලිවලදී ළෙන්ගතු වූ අයෙකු හැටියට ද සිංහල බස නිර්මාණශීලීව හසුරුවන ලේඛකයකු හැටියට ද ,නිදහස් ජීවිතය ප්‍රිය කරන්නකු ලෙස ද හැඳින්විය හැකි ඔහු වෙරළුගම්පළ සිසිර කුමාර වන්නිආරච්චි නමින් හඳුන්වමි.ඔහු උපන්නේ 1958 වසරේ රදාවානේ දී ය.

මව හෙදියක වීම නිසා ස්ථාන මාරුවීම් අනුව කෑගල්ල සහ ගම්පහ ප්‍රදේශවල පාසල් ගණනාවක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඔහුට ලැබිණ.කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය විෂය හැදෑරූ ඔහු මුලින් ම සතොස ප්‍රධාන කාර්යාලයේ සභාපතිවරයා යටතේ කළමානාකාර සහකාර ලෙස සේවය කළේය.ඉන්පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ විය.
එහි සේවය කරන සමයෙහි එම ආයතනය යටතේ පළ කළ විවිධ කෘතිවල සංස්කාරක මණ්ඩලයෙහි කටයුතු කිරීමේ අවස්ථාව ද ඔහුට ලැබිණ.ඉන්පසු කාලයෙහි
කෑගල්ල,ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල රජයේ ප්‍රවෘත්ති හා මාධ්‍ය නිලධාරි ලෙස කටයුතු කළ ඔහු 2018 දී විශ්‍රාම ගියේ ය.
ලේඛන ජීවිතය.
මුලින්ම ඔහු ප්‍රකට වූයේ කවියකු ලෙස ය.පුවත්පත් ගණනාවක ඔහුගේ නිර්මාණ සහ ලිපි පළ විය.”යුගයක ආලෝකය_ඩී.බී.අයි.පී.එස්.සිරිවර්ධන”කෘතිය ඔහු විසින් සම්පාදනය කරන ලද මාහැඟි ග්‍රන්ථයකි.කීර්තිමත් පරිපාලන නිලධාරියකුගේ ජීවන විත්තිය සහ ඔහුගේ කාර්ය භාරය ගැඹුරින් සාකච්ඡා කෙරෙන මේ කෘතිය ලිවීම සඳහා ඔහු වසර පහකට වැඩි කාලයක් බුද්ධිමය ශ්‍රමය කැප කළේ ය.
ප්‍රවීණ ලේඛිකා අයිලින් සිරිවර්ධනගේ ඉල්ලීමක ප්‍රතිපලයක් වූ මෙය ජනගත කිරීමේ උලෙළට මෙම ලියුම්කරුද සහභාගි විය.
අමුද්‍රිත කෘති
ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාව සඳහා ඔහු ඉදිරිපත් කළ ඒ.පී.ගුණරත්න සහ ඔහුගේ නිර්මාණ,සිංහල වාර්තා චිත්‍රපටි ඉතිහාසය, සංචාරක අත්දැකීම් ඇතුළත් සිරිපා සංචාරක සටහන්,කෘති තුන මුද්‍රණයෙන් පළ විය යුතු වැදගත් කෘතීන් යැයි සිතේ.
නිදහස් ජීවිතය
රැකියාවට අමතරව ඔහු කළ වැදගත් දෙයක් වේ නම් සිරිලක අප්‍රකට තැන් සොයා අප්‍රකට මාර්ග ඔස්සේ කළ සංචාරයි..විශ්‍රාම යෑමෙන් පසුවද මේ පුරුද්ද නැති කරගෙන නැත.මේ ගමන් බිමන් පිළිබඳ තොරතුරු සමුදායක් ඔහු විසින් සටහන් කර තබා ඇත.
“ඇයි ඕවා පොත් හැටියට පළ නොකරන්නෙ?”
මේ පැණය ඔහුගෙන් ඇසූ වාර අපමණ ය.
පිළිතුරු ලෙස ලැබුණේ සිනහවකි.ඔහු තමාට ම සරදම් කරගන්නා අමුතු මිනිසෙකි.ලොකු බලාපොරොත්තු නැත.වගකීම් නැත.කොටිම්ම ඔහුට තමා පිළිබඳවත් වගකීමක් නැත.මගෙන් ඔහු බැණුම් අසා ඇති වාරද අපමණය.
ඔහු තමන්ගේ යැයි දේපළක් ආරක්ෂා නොකරයි.අතේ තිබෙන කුඩා ගමන් බෑගය ඔහු සතු වටිනා ම දේපළයි.
කලක් ඔහු පොල්හේන්ගොඩ පදිංචිව සිටි පේරාදෙණිය සහ කොළඹ සරසවි වල සේවය කළ ආචාර්යවරියක වන වජිරා කන්නන්ගරගේ නිවසෙහි කාමරයක නවාතැන් ගෙන සිටියේය.ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රථම මහාචාර්යවරයා වූ එච්.ඩී.රත්නසූරිය ඇගේ සැමියාය.රත්නසූරියගේ අභාවයෙන් පසු ඇය කුක් නමැති ආචාර්යවරයා සමග විවාහ වී ඇත.
වජිරාගේ මවගේ ගම සිසිර උපන්ගම වීම අනුව ඔවුන්ගේ දැනහැඳුනුම් මේ නවාතැන්ගත වීමට බලපෑය.
දිනක් මම සිසිර හමුවීමට පොල් හේන්ගොඩ වජිරා කන්නන්ගරගේ නිවසට ගියෙම්.රැවුල වවාගත් පුද්ගලයා දුටු ඇය බියට පත් වූ ආකාරය මට සිහිවෙයි.ඒ වනාහී 80 දශකයේ භීෂණ සමයයි.

කලක් ඔහු නුගේගොඩ අයිලින් සිරිවර්ධනගේ නිවසෙහි නැවතී සිටියේය.වජිරා කන්නන්ගර,අයිලින් සිරිවර්ධන යනාදීන් සමග කතාබහ කිරීමේ අවස්ථාවද සිසිර නිසා මට ලැබිණ.ඔහු කලින් කල නැවතී සිටි බොහෝ තැන් මම දැන සිටියෙමි.හොල්මන් ඇතැයි බියෙන් නිවැසියෙන් හැර දමා ගිය රත්මලානේ නිවසකද ඔහු කලක් ජීවත් විය.
අසල්වැසියන් කියූ පරිදි හොල්මන් කරදර කරන නිසා කිසිවකුට ඒ නිවසෙහි ඉන්නට බැරිවී තිබේ.රාත්‍රි ගණනාවක් හොල්මන් දකින්නට සිසිරත් මමත් දැරූ උත්සාහය අසාර්ථක වූයේ හොල්මන් අපට බියෙන් පළාගිය නිසාය!!!
රාත්‍රියෙහි සිසිරත් මමත් ඔහුගේ මිතුරු වසන්තත් අතර ඇදුණු සංවාද හොල්මන්වලට ජීවිතය එපා කරවන්නට ඇතැයි සිතේ.!!!!
1988,89,භීම සමයේ රැකියාව අතරතුර අප නිතර හමුවීමේ පුරුද්දක් විය.ඒ දිනවල බෝඩිම් ජීවිතයද අනතුරුදායකය.හමුදාවෙන් වටලා සැකකරුවන් කුදලාගෙන යන හෙයිනි.රැවුළ,පොත්පත් සහ සරසවි ශිෂ්‍ය භාවය ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය.එක් දිනක
සිසිරත් මමත් කොලෝනියල් අවන්හලෙන් මධුවිතකින් සැනසී පිටකොටුව බස්නැවතුම පැත්තට ඇවිද යමින් සිටියෙමු.වීදි පාළුවට ගොසිනි.රෑ බෝ වන විට මිනිස් පුළුටක්වත් නැත.පිටකොටුව ලංගම බස් නැවතුමේ පඩිපෙළ මත පත්තර පිටුවක් එළා නිදාගන්නට සිතුවෙමු.හිටිගමන් පිටුපසින් පැමිණි පොලිස් ජීප් රථයක් හෝන් ගසා අප නැවැත්වීය. ප්‍රශ්න කිරීම් කෙළවරක් නැත.
“තමුසෙලා බීල නේද ?
“ඔව් බීපු එක වරදක්ද?
“වරද පෙන්නන්නං.අපි ලයිට් එක දාගෙන ඉන්නව.පාර දිගේ දුවපල්ලා.”
තුවක්කු අතින් ගත් නිලධාරීහු අන කළහ.උන්නත් දාහයි මළත් දාහයි කියා අපි දිව්වෙමු…මට හිතුණේ ම පිටුපසින් වෙඩි තියනු ඇතැයි කියාය.අපේ දිවිල්ල නතර වූයේ ගුණසිංහ පුරයේ අඳුරු වීදියකිනි.පොලීසියට අප සොයාගත නොහැකි විය.එකල නීතිය ක්‍රියාත්මක වූයේ එලෙස ය.
එදින අප රැය ගත කළේ බස් නැවතුමේ පඩි පෙළෙහිය.
අප වැනිම තවත් අය සමගය.
මෙබඳු අත්දැකීම් ගණනාවක් මතක පොතෙහි ඇත.
මේ දිනවල සිසිර රත්නපුර පැත්තට බරවී සිටින බව දැනගන්නට ලැබිණ.
“සංචාරක සටහන් පොතේ වැඩ කොහොමද”?
මම මෑතකදී දුරකතනයෙන් ඇසීමි.
“ළඟදි ඉවර කරනවා”
ඔහු කීය.මේ උත්තරය මට බොහෝ වතාවක් ලැබී ඇත.
ඔහු තම ගමේ උරුමයද අමතක කර ඇති සෙයකි.දෙමව්පියන් මියගොස් ඇතත් ඔවුන්ගේ උරුමයෙන් ලැබුණු කිසිවක් ගැනද ඔහු නොසිතයි.නොබලයි.අතේ වියදමෙන් මිලට ගත් ඉඩම් කැබැල්ලද වනසතුන්ට බාරදී තිබේ.
“ඕකෙ පොඩි කාමර කෑල්ලක් හදාගෙන පදිංචි වෙයන්”
මේ උපදෙසද දුන් වාර අපමණය.ඔහුට වගේ වගක් නැත.
වගකීම්වලින් පිරුණු දිවියකට වඩා එම දිවියෙහි ද අගයක් ඇතැයි විටෙක මට හැඟේ.
සිසිරගේත් මගේත් යාළුකම අවුරුදු 40කටත් වඩා පැරණිය.ඔහු ගැන සටහනක් තැබීම යාළුකමටත් වඩා වගකීමක් යැයි මට හැඟිණ.සමහර විට මෙය ඔහු ගැන කවුරුන් හෝ ලියන එක ම සටහනද විය හැකි ය.මට කලින් ඔහු මිය ගියහොත් නැවත ලිපියක් ලිවීමේ අවස්ථාව ලැබෙයි.එහෙත් ඔහුට කලින් මා මිය ගිය හොත් ලියන්නට කෙනෙක් නොසිටීමේ ඉඩ වැඩි නිසා ඒ යුතුකම කළෙමි.
සිසිරගේ දිවිසැරිය ගැන නිර්වචනයක් දෙන්නට මා අසමත්ය.මා කූඩුවක දැමූ ගිරවෙකු නම් ඔහු නිදහසේ පියසරන කම්මැලි ගිරවෙකි.අපතර වෙනස එයයි.

තිඹිරියාගම බණ්ඩාර-Thibiriyagama Bandara





