ළමා විවාහ පිටුදකිමු

සංජීවනී රූපසිංහ:

යශෝධරාත් සිද්ධාර්ථත් විවාහ වූයේ වයස දහසයෙන් යැයි අපි අසා ඇත්තෙමු. මහත්මා ගාන්ධි විවාහ වන විට ඔහුට දහතුනකි. ඔහුගේ බිරිඳ වන කස්තුරිබාට වයස දහ හතරකි. ඇතැම් දත්තයන්ට අනුව මොහමත් නබි තුමාට වයස පනස් අටක් වෙද්දී ඔහුගේ බිරිඳට වයස 9ක් වූවාය.

මහත්මා ගාන්ධි

මෙම ළමා විවාහ පෙරදිග සමාජයේ පමණක් නොව බටහිර සමාජයේද පැවතී ඇත. ස්කොට්ලන්තයේ මේරි රැජිණ විවාහ වන විට වයස පහළොවක් වූ අතර ෆ්‍රැන්සිස් ආදිපාදවරයාට වයස දාහතරක් විය.

ෆ්‍රැන්සිස් ආදිපාදවරයා-මේරි රැජිණ

අපේ ආච්චි කිව්වේද ‘උඹලා තාම ඕලෙවල් කරනවා බං. මං ඔය වයස වෙද්දී උඹලාගේ මාමයි අම්මායි දෙන්නාම ඉන්නවා’ යනුවෙනි.
මේ අතීතයේ හැටිය. වර්තමානය වෙනස්ය. ගැහැණු දරුවන් ඉගෙන ගත යුතුය. රැකියා කළ යුතුය. තමන්ගේම ස්ථාවරයක් ගොඩ නගා ගත යුතුය. ඇය දරුවන් හැදීමට සුදුසු වයසට පත් විය යුතුය.

එසේම විවාහයට ඇගේ කැමැත්ත පැවතිය යුතුය. මේ නිසා කුඩා දැරියන් විවාහ කර දීමේ මේ පැරණි චාරිත්‍රය අප ඉවත දැමිය යුතුය.
ළමා අයිතිවාසිකම් උල්ලංඝනනය කරන මෙවැනි මානුෂීය නොවන චාරිත්‍ර අප ඉවත දැමිය යුතු බව පුන පුනා අපට කියන්නට සිදු වන්නේ තවමත් ඒවා අපේ රටේ තැන තැන සිදු වන නිසාය.
පළමුව එය දරුවාගේ සෞඛ්‍යයට හොඳ නැත. දරුවෙක් දැරීමට තරමට ඇගේ අස්ථි වර්ධනය වී නැත. අනෙක් අතට ලැබේන්නට ඉන්නා දරුවාට හොඳ නැත. අඩු බර දරුවන් ඉපදීම, විවිධ සංකූලතා සහිත දරුවන් ඉපදීමේ ප්‍රවණතා වැඩිය.
මෙවැනි ළමා විවාහ නිසා දැරියගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙයි. ඇයට වටිනා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා අහිමි වී යයි. ඇයට ස්වාධීන ලෙස නැගී සිටීමට නොහැකි වී යයි. සදාකාලිකවම ගැහැණියක් පිරිමි ආධිපත්‍යය යටතේ තැබීම මේ අනුව සිදු වේ.

මේ සමඟම ඇයට ඇතිවන මානසික පීඩනය, කම්පනය, මෙන්ම පසුකාලීනව ඇය යැපෙන්නියක් වන නිසාම ඇතිවන ගෘහස්ත හිංසනය, තීරණ ගැනීමට ඉඩක් නොමැති වීම, ස්වාධීනත්වය අහිමි වීම තුළ ඇතිවන පීඩනයට ඇයට මුහුණ දෙන්නට සිදු වේ.
බොහෝ විට මෙම සමාජ දරන දරීද්‍රතාවයේ චක්‍රයට මොවුන් ගොදුරු වෙයි. නිසි අධ්‍යාපනයක් නැතිව මොවුන්ට එම දරීද්‍රතාවයේ චක්‍රය බිඳීම අපහසු වෙයි. සදාකාලිකවම දුප්පත්කමේ සෙක්කුවක බැඳ තබන ඇය එය වටා කැරකෙමින් දුක් විඳින්නට සිදු වේ.

අනෙක් අතට ළමා විවාහ අද වන විට නීත්‍යානුකූලව වරදකි. දරුවන්ට බොරු වයස් දමා බොරු සහතික හදා ඔබ ඇය විවාහ කර දෙන්නේ නම් ඔබට ඒ වෙනුවෙන් නීතියේ වරදකරුව්න් වී දඬුවම් ලැබීමට සිදු වනු ඇත.
ගැහැනු දරුවන්ට නිදහසේ ඉගෙනීමට ඉඩ දෙමු. නිදහසේ වෘත්තියක් තෝරා ගැනීමට ඉඩ දෙමු. ඇයට කැමති සහකරුවෙක් තෝරා ගැනීමට ඉඩ දෙමු. කරදරකාරී සබඳතාවකින් මිදෙන්නට ඉඩ දෙමු.

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය. 

More From Author

ගැලරිය පිනවන පොත් වලට මම කැමති නෑ – සල්මන් රෂ්ඩී

බොක්සිං හෙවත් කුකුලන් කෙටවීම: සෙල්ලම ද? ලෙල්ලම ද?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348