ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත් (Sojourner Truth)

ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත්
1797 දී සොජනා ටෲත් උපත ලද්දේ වහල් දාසියක ලෙස අප්‍රිකානු අමරිකානු සම්භවයක් සහිතවය. 1826 දී ඇය වහල්භාවයෙන් නිදහස ලබා ගත්තාය. ඇය සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ලෙසද ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙස ද පෙනී සිටියාය. සුදු ජාතිකයෙකුට එරෙහි නඩුවක් ජයග්‍රහණය කළ පළමු ගැහැණිය ඇය වූවාය.

1851 ඔහියෝවලදී පැවති ස්ත්‍රී අයිතිවාසිකම් සමුලුවේදී ඇය සිදු කළ කතාව ලෝකය පුරා ප්‍රසිද්ධ වූ අතර පසුකාලීන ස්ත්‍රීවාදයේ ප්‍රගමනයට එය තීරණාත්මක සංදිස්ථානයක් විය. එය දේශනය නම් කර තිබුණේ

මම ගැහැණියක් නොවන්නේද? (“Am I not a woman?) ලෙසිනි.

වහලුන් යනු පිරිමි පමණක් යැයි සිතා සිටි යුගයක ඇය ගැහැණු වහලුන් සිටින බව පෙන්වා දුන්නාය. ස්ත්‍රීන් සියල්ල සුදු යැයි සිතා සිටි ලෝකයක කලු ස්ත්‍රීන් ද සිටින බව ඇය පෙන්වා දුන්නාය. ස්ත්‍රීන් සමහරක් කලුය. කලු සමහරක් ස්ත්‍රීන්ය.
ඇය සුදු ධනේෂ්වර ස්ත්‍රීවාදය තුළ කලු ස්ත්‍රිය බැහැර කිරීම පිළිබඳ ප්‍රශ්න අභියෝගයට ලක් කළාය.

ඇයගේ මව්බස වූයේ ලන්දේසි භාෂාවයි. පසුකාලීනව ඇය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තාය. ඒ කතා කරන්නට පමණි. ඇය ලියන්න හෝ කියවන්නන නොදැන සිටියාය. ඇය පසුකාලීනව දේශකවරියක් ලෙස කටයුතු කළ අතර ඇගේ ප්‍රසිද්ධ දේශනය වූ “මම ස්ත්‍රියක් නොවන්නේද” යන්න ස්ත්‍රීන්ට පිරිමින්ට සමානව මානව හිමිකම් ඇතැයි යන තර්කය මුල්වරට ඉදිරිපත් කළ අවස්ථාවක් විය.

ඇය යැපීම මත අර්ථකථනය කරන ලද ස්ත්‍රීත්වය පිළිබඳ සංකල්පය විසංයෝජනය කරන ලද අතර ඇගේ ශක්තිය හා ශ්‍රමය පිරිමින්ට සමාන බව පෙන්වා දුන්නාය. ඡන්ද අයිතිය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංවාදවලින් කලු කාන්තාව මකා දැමීම ගැන ඇය කතා කළාය. මම ස්ත්‍රියක් නොවනන්නේද යන්න නැවත නැවත අසමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය පිළිබඳ අර්ථදැක්වීමවල ඇති ප්‍රතිවිරෝධතා සහ කුහකකම් හඳුනා ගැනීමට බල කළාය.

“ඕනෑම පිරිමියෙකු තරමට මගේ මාංශ පේෂි ද වැඩී ඇත. ඕනෑම පිරිමියෙකු තරමටම මට ද වැඩ කළ හැකිය. මම සී සා අස්වැන්න නෙලා අටු කොටු පුරවා ඇත. වෙනත් ඕනෑම පිරිමියෙකුට ඊට වඩා වැඩ කළ හැකිද? මට ඕනෑම පිරිමියෙකු තරම් බරක් දරා ගත හැකිය. ඕනෑම පිරිමියෙකු තරමටම කන්නට ද පුලුවන. ඕනෑම පිරිමියෙකු තරම්ම ශක්තිමත්ය. බුද්ධීය සම්බන්ධයෙන් ද එසේය. ස්ත්‍රී පුරුෂ සමානබව ගැන මම බොහෝ දේ අසා ඇත්තෙමි. ස්ත්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙනන් ඇය ඔනෑවට වඩා ගනීවි යැයි ඔබ බිය විය යුතු නැත. මන්ද අපට අපේ ප්‍රමාණයට වඩා ගත නොහැක.

මට කියවන්න බැහැ. ඒත් ඒවා ලොව පළමු පාපය යැයි මම අසා තියෙනවා. ස්ත්‍රිය ලොව අවුල් කළේ නම් ඇයට එය නිවරදි කිරීමට අවස්ථාවක් දෙන්න.’‘
ඇය 19 වන සියවසේ අමරිකවේ ප්‍රබලම හඬ ලෙස සැලකේ. එසේම වාර්ගික යුක්තිය ස්ත්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇය කොන්දේසි විරහිතව පෙනී සිටියාය. වහලියක ලෙස උපත ලද සෝජනා ටෲත් ජාතික තලයේ කථිකයෙකු දක්වා ආ ගමන අතිශය දුෂ්කර විය. ඇය වැනි වහල් ස්ත්‍රියකට එවැනි ගමනක් එන්නට හැකි වූවා නම් අනෙත් ඕනෑම ස්ත්‍රියකට සිය අරමුණු කරා යන ගමනේ බාධක ජය ගත හැකිව ඇත. තිබිය යුත්තේ ස්ථිර අධිෂ්ඨානය පමණි.

ඇය මරණ දණ්ඩනයට විරුද්ධව මෙන්ම වහල් භාවය අහෝසි කිරීම වෙනුවෙන්, එසේම ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් රට පුරා සංචාරය කරමින් දේශන පැවැත්වූවාය.

කලු මිනිසුන් පූර්ණ මිනිසුන් ලෙස හඳුනා නොගත් කාලයක ඇය ස්ත්‍රී අයිතිවාසිකම්, ජාතිය පිලිබඳ ප්‍රශ්නය, වාර්ගික යුක්තිය සහ පුරවැසිභාවය ආදිය වෙනුවෙන් පෙනී සිටීම අතීත කතාවක ස්වර්ණමය පරිච්ඡේදයක් ලෙස සනිටුහනන් වනු ඇත.

The Narrative of Sojourner Truth, written by Olive Gilbert

ඔලිව් ගිල්බට් විසින් රචිත සෝජනා ටෲත් පිළිබඳ ආඛ්‍යානය නම් ඇගේ ජීවිත කතාව අප්‍රිකානු අමෙරිකානු සාහිත්‍යයේද ස්ත්‍රීවාදී සාහිත්‍යයේද අති ප්‍රභල කෘතියක් ලෙස සැලකේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.  

දිනමිණ

More From Author

සිසිලියා පේන් මාහැඟි කාන්තාවකි…

ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මර්වාන් සුල්තාන්, ඊශ්‍රායෙල් ප්‍රහාරයකින් මරුමුවට

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348