බොක්සිං හෙවත් කුකුලන් කෙටවීම: සෙල්ලම ද? ලෙල්ලම ද?

දර්ශන මේදිස්:

[“බොක්සිං හෙවත් කුකුලන් කෙටවීම: සල්ලි පොරය හා ලේ පිපාසාව” යන මැයෙන් කම්කරු මාවත පත්‍රයෙහි (1997.08.29) ද, “බොක්සිං ක්‍රීඩාවේ ශේශ පත්‍රය: සෙල්ලම ද? ලෙල්ලම ද?” යන මැයෙන් රාවය පත්‍රයෙහි (2010.10.31) ද පල වූ ලිපිද්වයෙහි ඒකාබද්ධ හා යාවත්කාලීන ප්‍රවාචයකි – ලියුම්කරු]

විසි හත් හැවිරිදි අමෙරිකානු ශ්‍රේනිගත බොක්සිංකරු පැටි්‍රක් ඩේ චිකාගෝහි පැවති ජාතික සුපර් වෙල්ටර්වේට් ශූරතා තරගයේ (2019) දී සිය හිසට වැදුනු පහරකින් සිව් දිනක් විසඥව සිට මිය ගියේ ය. බොක්සිං නිසා එම වසර තුල දී මරු දුටු සිව්වැනියා ඔහු ය. මේ සියවසේ මුල් දශකද්වය තුල වලල්ල තුල දී ම ජීවිතක්ශයට පත් බොක්සිංකරුවන් සංඛ්‍යාව තිස් තුනකි. එතැන් පටන්, බොක්සිං නිසා වසරක් පාසා ජීවිතය අහිමි වන්නන්ගේ සාමාන්‍යය දහතුනකි.

Patrick Day

බොක්සිං යනු අනුග්‍රහයට හා ජනප්‍රසාදයට පාත්‍ර විය යුතු ක්‍රීඩාවක් ද? මේ ලිපියෙහි අරමුන බොක්සිං ‘ක්‍රීඩාවේ’ ඓතිහාසික වාර්තාව – එහි අපකීර්තිමත් සම්භවය හා ඉතිහාසය, එහි අමානුශික හා අශ්ලීල ස්වරූපය සහ එහි ප්‍රතිගාමී සමාජ බලපෑම පොදුවේ වගවිභාග කිරීම යි.

බොක්සිං වනාහි, වචනයේ සුපරිශුද්ධ අරුතින්, ගුටි කෙලියක් විනා කිසිදු ශිශ්ටසම්පන්න ක්‍රීඩා ලෝලියෙකු හට නරඹා කුල්මත් විය හැකි සෙල්ලමක් නොවේ. එය දෙවැනි වනුයේ මිහිතලයෙහි ඉතා ම තිරස්චීන ‘ක්‍රීඩාව’ වන ව්‍යාජ වෘත්තීය මල්ලවපොරයට (Telecatch) පමනි. බොක්සිංවලට දිගු ඉතිහාසයක් ඇත. ක්‍රීඩාව නමැති සමාජ ප්‍රපංචයෙහි ඓතිහාසික මූලයන් පිලිබඳ අවබෝධයකින් තොරව බොක්සිංහි උපත හා විකාසනය වටහාගත නොහැක.

ශාරීරික අභ්‍යාසය, බහු සෛලීය කාර්ය පද්ධතීන්ගෙන් යුත් සත්ත්වයින්ගේ නෛසර්ගික (ජීවවිද්‍යාමය) අවශ්‍යතාවකි. එහෙයින්, මනුශ්‍යයා ස්වභාවයෙන් ම ක්‍රීඩාශීලි සත්වයෙකි. සමාජ සංවර්ධනයෙහි එක්තරා නිශ්චිත අවධියක දී පැන නැඟි සංවිධිත ක්‍රීඩාව, පූර්වොක්ත කායික අවශ්‍යතාව සපුරාලන එක් ආනන්දජනක මාර්ගයක් ද වෙයි.

මිනිසාගේ ආදිතම ක්‍රීඩාව නිශ්පාදන මාදිලිය (දඩයම) සමඟ අවියෝජනීයව බැඳී පැවතුනු අතර හුදෙක් නිශ්පාදනය ම ක්‍රීඩාවක් විය. ආචීර්නකල්පික ගෝත්‍ර යුගය හෙවත් ප්‍රාථමික කොමියුනිස්ට් සමාජයෙන් බිහි වූ සමූහ දඩකෙලිය ක්‍රීඩාවේ මූලාරම්භය ලෙස සැලකේ. කල් යත් ම, එනම්, අතිරික්ත නිශ්පාදනය හා ශ්‍රම විභජනය මත පදනම්ව පංති සමාජය බිහි වීමත් සමඟ මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීම ඇරඹිනි. පුද්ගලික දේපල ක්‍රමය, මිනිසාට එරෙහිව මිනිසා පිහිටුවාලී ය. යුධ ශිල්පය හා රනකාමී චෛතසිකය යුගයේ න්‍යාය පත්‍රයට ඇතුලු විය. ප්‍රතිඵලය ඉතා පැහැදිලි ය: ක්‍රීඩාව හා නිශ්පාදනය අතර පැවති සමීප සබඳතාව ක්‍රමයෙන් දුරස්ථ විය. ශ්‍රමය නොහෙලන වරප්‍රසාදිත සුලුතරය සුවිශේශ ආත්මාරක්ශක සටන් කලා (martial arts) ප්‍රගුන කල අතර ශ්‍රමය වගුරන බහුතරය නිශ්පාදනය සමඟ තවමත් සෘජුව හෝ වක්‍රව බැඳුනු නොයෙක් ජන ක්‍රීඩාවන්හි නියැලුනි.

බොක්සිං හෙවත් මුශ්ටි පොරය වැඩී ආවේ මෙකී සමාජාර්ථික ගර්භාශය තුල ය. ක්‍රිස්තු පූර්ව පසලොස්වැනි සියවසෙහි ග්‍රීසිය අසල්‍ර ක්‍රීට් දූපතෙහි බොක්සිං පැවතී ඇත. එය පැන නැඟුනේ හුදු මිලිටරි අවශ්‍යතා වෙනුවෙනි: රාජකීය හමුදාවේ කාය බලය හා ශක්ති සංස්ථිතිය උරගා බැලෙන අභ්‍යාසයක් හැටියට ය. මයිසීනියානු රනකාමීන් සිය තරගාවලි සඳහා බොක්සිං යොදා ගත් බැව් හෝමර් (ඉලියඩ් ⅩⅩⅠⅠⅠ, ක්‍රි. පූ. 08 සියවස) සඳහන් කරයි. පුරාන ග්‍රීක රජෙකු වූ තීසියස් සිය හේවායන් එම ක්‍රීඩාවෙහි යෙදවී ය. ඔවුන්ගේ අත් මිටෙහි ලෝහ බොත්තම් හෝ ඇන සවි කල සම් පටි ඔතා තිබිනි. පසුව රෝම අධිරාජයා ද සිය වහලුන් පොර පිටියට තල්ලු කලේ ය. අපරාධකරුවන් ද, යුධ සිරකරුවෝ ද එම ඉරනමට ම ගොදුරු වූහ. එකෙකු මිය යන තෙක් ම සටන පැවතුනු අතර රජ පවුල ප්‍රමුඛ සම්භාවනීය පුරවැසියන් පරාජිතයා මැරී වැටෙන විට ප්‍රීති ඝෝශා නැඟූ බැව් පැවසේ. මෙලෙස, ග්‍රීක-රෝමානු පෞර රාජ්‍යයන්හි බොක්සිං ප්‍රකට ‘විනෝදාංශයක්’ විය.

ආසියාකරය – වෙසෙසා ඈත පෙරදිග, ඉන්දු චීනය හා ඉන්දීය උපමහාද්වීපය ද අනාදිමත් කලෙක සිට ගුස්ති සඳහා සරු පසක්ව තිබිනි. නන්ද හා දේවදත්ත කුමාරවරුන් දෙපල නෑකම් පසෙක ලා දෙනෝදාහක් ඉදිරියේ දත් කඩා ගත් බව චීන මහායාන සූත්‍රයක සඳහනි. ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසෙහි දී කේරලයෙන් බිහි වූ කලාරිපයත්තු (අංගම්පොර) ප්‍රාචීන ආත්මාරක්ශක සටන් සම්ප්‍රදායයෙහි පුරෝගාමී ප්‍රවාචය යි. බෝධිධර්ම නමැති පල්ලව භික්ශුව (05-06 සියවස) විසින් චීන ශාඕලිං පන්සලට කලාරි හඳුන්වා දෙන ලදුව කුංග්ෆු හෙවත් වූශු ලෙස ප්‍රචලිත විය. ජපන් කරාටේ කලාවේ පූර්වජයා වන මෙය ආසියාතික බොක්සිංහි ප්‍රාථමික රූපාකාරය වී නම් වත්මන් තායි කික් බොක්සිං එහි උච්චතර හා කෲරතර ප්‍රකාශනය වෙයි.

ක්‍රිස්තු පූර්ව සවැනි සියවසෙහි දී, අත් පලඳනා රහිත බොක්සිං (fist-fighting) ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිලිගැනුනු අතර විසි තුන්වැනි ඔලිම්පියාඩයට පූර්න පොරය (pancratium) නමැති බොක්සිං-මල්ලවපොර සංකලනයක් ද හඳුන්වා දෙන ලදී. කෙසේවෙතත්, ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසෙහි, රෝම අධිරාජ්‍යය බිඳ වැටීමට ආසන්නව තිබියදී, ඛංගධරයා හෙවත් කඩු ගත් මල්ලවයා (gladiator) කලඑලි බැසීමත් සමඟ බොක්සිං අභාවයට ගියේ ය. රෝම පාලක මහා තියඩෝරික් බොක්සිං සපුරා තහනම් කලේ එමගින් දේව නිර්මානය හෙවත් මානව රූපය විකෘත කෙරෙන බැව් පවසමිනි. එහෙත්, වඩා වැදගත් වෛශයික හේතුවක් ඊට පාදක වී යයි අනුමාන කල හැකි ය: එදිරිවාදියා මෙල්ල කරනු වස් මිනිසා වැඩි දියුනු අවි තනා ගැනීමත් සමඟ බොක්සිං යල්පිනූ ව්‍යායාමයක් ලෙස පෙනී යෑම යි. එහෙත්, ක්‍රීඩාවක් වසයෙන් නොසැලකුන ද, බොක්සිංහි අනිටු ඵලයක් ලෙස ද්වන්ද්ව සටන් අඛන්ඩව පැවතිනි. ආත්මාභිමානය හා ගර්වය වෙනුවෙන් ද, ප්‍රිියම්බිකාවන් දිනා ගැනුම උදෙසා ද, කෝන්තර පිරිමසා ගනු පිනිස ද මිනිස්සු දබරයෙහි පැටලුනහ.

ශතාබ්ද ගනනාවක නිහැඬියාවකින් පසුව, කාර්මික විප්ලවය සමයෙහි, ධනේශ්වර ක්‍රමයේ ප්‍රමුඛතම තෝතැන්න වූ බි්‍රතාන්‍යයෙහි දී බොක්සිං යලි උපත ලැබී ය: ඇල්බමාලේහි ආදිපාද සිය වධකයා සහ බොටලේරුවා සටනෙහි යෙදවීමත් සමඟිනි. අනතුරුව, හැඩිදැඩි මානවකයන් කිසියම් තිලිනයක් උදෙසා ප්‍රසිද්ධියේ සටන් වැදීම සුලබ දසුනක් වූ අතර තිලිනය ප්‍රදානය කල තැනැත්තා ඔට්ටු දැමීම මගින් යහමින් උපයා ගති. ඉංග්‍රීසි ශබ්දකෝශයෙහි නිර්මාතෘ සැමුවෙල් ජොන්සන් මේ සෙල්ලම නම් කලේ තෑගි පොරය (prize-fighting) යනුවෙනි. තෑග්ග ප්‍රමානයෙන් විශාල වත් ම තරගයේ උනුසුම ද ඉහල ගියේ ය.

Samuel Johnson

නූතන තරගකාරී ක්‍රීඩාවේ උල්පත එය යි. දහනවවැනි සියවසෙහි දී – එනම්, වේල්ස් කුමරාගේ අනසක යටතේ පුරාන ග්‍රීක-රෝමානු සංස්කෘතියට පුනර්ජීවය දුන් එංගලන්ත යුවරාජ සමයෙහි දී, බොක්සිං සඳහා සුවිශේශී අනුග්‍රහයක් ප්‍රදානය කෙරුනු අතර එය බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් විය. ලන්ඩනය කේන්ද්‍ර කොටගෙන අත්වැසුම් සහිත මුශ්ටි යුද්ධය (pugilism) හෙවත් වෘත්තීය බොක්සිං ස්ථාපිත වීමත් සමඟ පැරනි තෑගි පොරය හුදු සල්ලි පොරයක් බවට පෙරැලිනි; වෘත්තීය හා ආධුනික වසයෙන් ක්‍රීඩාව ද ක්‍රීඩකයන් ද වර්ග කෙරිනි.

ධනවාදයේ නැඟීමත් සමඟ බොක්සිං පුනස්ථාපනය වීම බැරූරුම්ව සැලකිල්ලට ගත යුතු ය. ධනේශ්වර ක්‍රමය පුද්ගලවාදය හා මුදලේ ආධිපත්‍යය පෙර නොවූවිරූ මට්ටමින් ඔසොවා තැබී ය. මිනිසුන්-මිනිසුන් අතර සබඳතා දේවල්-දේවල් අතර සබඳතා බවට සිඳුවා ලූ තතු යටතේ, යුරෝපයේත් අමෙරිකාවේත් බොක්සිං ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ධනවාදයේ රෞද්‍රතම අවධිය වූ විසිවැනි සියවස එලැඹියේ බොක්සිං කර්මාන්තයෙහි නව පෙරැලියක් ද සමඟිනි. එනම්, ජවසම්පන්න කලු ජාතිකයන් බොක්සිං වලල්ල ආක්‍රමනය කිරීම යි. 1929න් ඇරඹුනු ආර්ථික අවපාතයේ කාලකන්නි දශකය තුල මේ ප්‍රවනතාව කෙතරම් උග්‍ර වී ද යත්, එතෙක් අයර්ලන්ත ජාතිකයන් සතු වූ බොක්සිං ආධිපත්‍යය මොවුන් විසින් උදුරා ගැනුනි. ජාත්‍යන්තර බොක්සිං වේදිකාව යුරෝපයෙන් අමෙරිකාවට මාරු විය.

ධනේශ්වර ක්‍රමය, කලාවට මෙන් ම ක්‍රීඩාවට ද තරගකාරී වෙලෙඳපොලේ නිත්‍ය ලෑල්ලක් වෙන් කර දුනි. විසිවැනි සියවස මැද දී, ජගත් සන්නිවේදන තාක්ශනයෙහි නව සොයාගැනීම් හමුවේ, වෙසෙසා රූපවාහිනිය හා චන්ද්‍රිකා පනිවුඩ හුවමාරුව ඔස්සේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ශක සමූහයක් බිහි වීමත් සමඟ අන්තර්ජාතික සංගතකරුවෝ ක්‍රීඩාව නමැති නවතම ව්‍යවසාය වෙනුවෙන් නොමසුරුව ආයෝජනය කරන්නට ඉදිරිපත් වූහ. ක්‍රීඩාව වෙලෙඳ ප්‍රචාරයේ අතකොලුවක් බවට පත් විය. සියවසේ අවසන් කාර්තුව එලැඹියේ ක්‍රීඩාව මිනිසුන්-මිනිසුන් අතර තරගයකට වඩා සංගත-සංගත අතර තරගයක් බවට පෙරැලමිනි. කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසකගේ මනදොල මෙන් ම අතමිට ද පුරවන දැවැන්ත ව්‍යවසායයක් ලෙස බොක්සිං ඉස්මතු විය. ඔලිම්පික් බොක්සිං ශුරයන් හා අමෙරිකානු රූපවාහිනී ජාලා අතර ඩොලර් පන්ලක්ශයක කොන්ත්‍රාත්තුවක් අත්සන් තැබිනි. වෘත්තීය හා ආධුනික ක්‍රීඩකයෝ අහසට පොලොව සේ ධෘවාන්තගත වූහ. සුගර් රේ ලෙනාඩ්, කැශියස් ක්ලේ (මොහොමඩ් අලි), මයිකල් ස්පින්ක්ස්, ජෝර්ජ් ෆෝමන්, ජෝ ෆ්‍රේසියර් ආදී නමගිය බොක්සිංකරුවන් එමගින් අති විශාල ධනස්කන්ධයක් රැස් කර ගත් අතර සමහරෙක් නට්ටම් වූහ.

1.Sugar Ray Leonard 2.Muhammad Ali (formerly Cassius Clay) 3.Michael Spinks 4.Ged orge Foreman
5.Joe Frazier

බොක්සිං මතු නොව මානව සංස්කෘතියෙහි මාහැඟි සාඵල්‍යයන් වන පාපන්දු, ටෙනිස්, ක්‍රිකට්, ගොල්ෆ් ආදී එලිමහන් ක්‍රීඩා බහුතරය ද, ඇතැම් ගෘහස්ත ක්‍රීඩා ද වානිජකරනය වී හමාර ය. මින් සමහරක් තවදුරටත් අව්‍යාජ ක්‍රීඩා වසයෙන් නොපවතින අතර ඒවා තුරඟ තරග හෝ කැසිනෝ බඳු සූදු කෙලියක මට්ටමට පිරිහෙලා ඇත. යටත්පිරිසෙයින්, සුලු බහින්බස් වීමක් වත් වාර්තා නොවන ක්‍රීඩා වාරයක් නැති තරම් ය. නූතන ඔලිම්පික් තරගාවලිය උපතේ සිට ම (1896) ජාතිකවාදය, ස්වෝත්තමවාදය, වෙලෙඳාම හා දේශපාලනය අරමුනු කොට ගත් ව්‍යාපෘතියක් බැව් පෙන්වා දෙනු ලැබ තිබේ. සෙසු ක්‍රීඩෝත්සව ගැන කියනුම කවරේ ද?

බොක්සිං, උපතේ සිට ම ම්ලේච්ඡත්වය උරුම කොට ගත් ‘ක්‍රීඩාවකි’. ක්‍රිස්තු පූර්ව සතරවැනි සියවසෙහි නේමියානු ක්‍රීඩා උලෙලක දී, එක් ප්‍රහාරකයෙකු දුන් මුශ්ටි පහරකින් ප්‍රතිමල්ලවයාගේ උදරය පසාරු වී අතුනුබහන් එලියට පනින ලදුව ඔහු එතැන ම මලේ ය. එය නීති විරෝධී පහරක් වූ අතර මල ක්‍රීඩකයා ජයග්‍රාහකයා ලෙස නම් කෙරිනි! එදාමෙදාතුර, මේ භයානක සෙල්ලමෙන් ලෙල්ලම් වූ පුද්ගලයන් ගනන සුලුපටු නොවේ. ආධුනික ක්‍රීඩා ක්ශේත්‍රය සැලකුව ද තතු එසේ ම ය: වෘත්තීය ක්‍රීඩාවට පිවිසෙන දොරටුව එය බැවිනි. ගුටිබැට, නඩුහබ හා තහනම් ඖශධ ආදිය ගහන ආධුනික බොක්සිංහි අපකීර්තිමත් මෑත ඉතිහාසය ම ඊට නිදසුනි (බලන්න: රොබට් සැන්ඩල්සන්, Olympic Sports: Combat Sports, 1991).

ධනේශ්වර ක්‍රමය අර්බුදයෙන් අර්බුදයට යමින් සිටින මේ යුගයෙහි වෘත්තීය බොක්සිං ක්‍රීඩකයා සිය ප්‍රතිමල්ලවයාගේ ඊරි මාංශ භක්ශනය කිරීමට වුව පසුබට නොවන බැව් ලෝක බොක්සිං සම්මේලනයේ හෙවිවේට් ශූරතාව (1997) වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවති තරගයේ දී හිටපු ජගත් බොක්සිං ශූරයෙකු වන මයික් ටයිසන් ප්‍රතිමල්ලව ඉවැන්ඩර් හොලිෆීල්ඩ්ගේ කන ඩැහැ ගැනුමෙහි සිද්ධියෙන් පෙනී යයි. වට පසලොසකින් යුත් සටනේ ප්‍රථම විනාඩි දහය තුල දී ම, එනම්, තෙවැනි වටයේ දී, ටයිසන් විසින් හොලිෆීල්ඩ්ගේ වම් කන සපන ලදුව ඔහුට අවවාද කෙරුනු අතර එහි උනුසුම මැකී යෑමටත් පෙර හෙතෙම අනෙකාගේ දකුනු කනෙන් කොටසක් යලි බද්ධ නොකල හැකි සේ කඩා ගති. බොක්සිං නීිතියෙහි (Marquess of Queensburry Rules, 1867) දැනුවත් සපාකෑම පිලිබඳව සඳහනක් නැත. එහෙයින්, තරගය නතර කෙරුනේ “ක්‍රීඩකයා නුසුදුස්සෙකැයි සැලකිය හැකි වෙනත් ඕනෑ ම ක්‍රියාවක් හෝ හැසිරීමක් වෙනුවෙන්…” යන වගන්තියට අනුව ය. බොක්සිං ක්‍රීඩාවේ දී, විනිසුරුගේ තීරනය අවසන් තීරනය වන බැවින්, යම් හෙයකින් තරගය එතෙකින් නොනැවැත්වීමට හේ තීරනය කලේ නම්, අනෝන්‍ය වෛරයෙන් ජ්වලිත මේ පොර කුකුලන් දෙදෙනා එකිනෙකා කීතු කර නොගනු ඇතැයි කාට කිව හැකි ද?

සිය විශමාචාරය ගැන ටයිසන් කනගාටුව පල කලේ ජීවිතකාලීන ක්‍රීඩා තහංචියෙන් ගැලවී ගැනුමේ සහ දඩ මුදල අවම කර ගැනුමේ අටියෙනි. අනෙක් අතට, වින්දිතයාගේ ක්ශනික අවධානය යොමු වූයේ සිය තුවාලය කෙරෙහි නොව වන්දිය – ටයිසන්ගේ පසුම්බිය කෙරෙහි ය. නිසි අධ්‍යාපනයකින් හා යහපත් සමාජ ආශ්‍රයකින් තොර ටයිසන් නොයෙක් ප්‍රචන්ඩ ක්‍රියාවන්හි යෙදුනෙකි; ස්ත්‍රී දූශනයට වරදකරු වී සිරගත වූවෙකි. මේ කී නොකී කාරනා පුම්බා ලූ බොක්සිං ඒජන්තයන්, බොක්සිං ලෝලීන් හා මාධ්‍යකරුවෝ ටයිසන්ගේ විශමාචාරයට හේතුව ඔහුගේ දාමරික මානසිකත්වය යයි එකාවන්ව කියා සිටියහ. ඕනෑ ම ක්‍රීඩාවක් කෙරෙහි පොදුවේත් කේවල ඉසව් සඳහා සුවිශේශයෙනුත් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. සියලු වැරදි ටයිසන් පිට පටවා අත් සෝදා ගැනුම ඉතා පහසු ය. ටයිසන් යනු ඕපපාතිකයෙකු නොව දැවැන්ත සමාජ අසමානතාවයකින් යුත් අමෙරිකාවට දාව උපන්නෙකි; බොක්සිං කර්මාන්තයෙන් සිප්සතර හැදෑරුවෙකි. අදාල ගැටුම සිදු කෙරුනේ ඩොලර් මිලියන තිහක සල්ලි මල්ලක් වෙනුවෙනි. ලාභ ගැරීම ජීවිකාව කොට ගත් ධනපතියා තම මඩිය තර කර ගනු වස් නොකරන ජඩකමක් නැතිවා සේ ම ක්‍රීඩාව වෘත්තිය කොට ගත් ක්‍රීඩකයා තම ජයග්‍රහනය උදෙසා නොකඩන නීතියක් ද නැත. “වැටුනු මිනිසාට පහර නොදෙන්න” යන පැරනි බොක්සිං පිරුල තවදුරටත් වලංගු නොවේ. අමෙරිකානු සමාජයේ සදාචාරමය පරිහානිය කෙතරම් ද යත්, හොලිෆීල්ඩ්ගේ කනේ පින්තූර මුදලට විකිනිනි. තව ද, ඉරුනු කන් කැබැල්ලේ හැඩරුව සහිත චොකලට් පෙත්තක් එරටෙහි ජනප්‍රිය වූ බවට ද වාර්තා විය. ලාභ ගැරීමට අමතරව ම්ලේච්ඡත්වය උත්කර්ශයට නැංවීම පිටුපස පවතිනුයේ සමාජ පාදඩකරනය නමැති දේශපාලන සංකල්පය යි.

අමෙරිකාවේ වෘත්තීය බොක්සිංකරුවන් බහුතරය දුගී කලු ජාතිකයන් ය. පැසි පන්දු, බේස් බෝල්, රගර්, ජවන හා පිටිය ක්‍රීඩා ආදිය සඳහා ද මොවුහු හපන්කම් දක්වති. පන්ති පීඩනයට අමතරව නොනිල වර්නභේදවාදයට ද මැදිව රැකියා විරහිතව මඟතොට රස්තියාදු වන සද්දන්ත කලු තරුනයන් කෙරෙහි එරට බොක්සිං ප්‍රවර්ධකයන්ගේ උකුසු ඇස් නිරන්තරයෙන් යොමුව පවතී.

නිරවද්‍ය තෝරා ගැනීමක් යනු කදිම ඉල්ලමකි. ධනවාදය යටතේ සංස්කෘතිය අහිමි කෙරුනු මේ තරුන පිරිස් සිය මව්බස වත් හරිහැටි නොවහරති. බාල වියෙහි සිට කලහකාරී පරිසරයක වැඩෙන මෙබඳු තැනැත්තන් කෙරෙන් ශීලාචාර ගතිපැවතුම් අපේක්ශා කිරීම ම විහිලුවකි. ටයිසන්ගේ අවිනීත හැසිරීම දුටු සෑම අමෙරිකානුවෙකු ම සන්ත්‍රාසයෙන් මුසපත් වී යයි ජනාධිපති බිල් ක්ලින්ටන් පැවසී ය. නැත, සැබවින් ම එලෙස භීතියට පත් වූයේ බොක්සිං ව්‍යාපාරිකයන් ඇතුලු ධනපතියන් ය: ධනවාදයේ සැබෑ මුහුනුවර සමස්ත ලෝකයට ම ප්‍රදර්ශනය වූ බැවිනි.

නැගෙනහිර යුරෝපය ප්‍රමුඛ ඊනියා “සමාජවාදී කඳවුර” වුව බොක්සිං අවලංගු කලේ නැත. ඔලිම්පික් බොක්සිංහි මෑත පදක්කම් සටහනේ අමෙරිකාව හැර ඉහලින් වැජඹෙනුයේ මෙකී රටවල් ය. වැඩවසම් රුසියාව, ද්වන්ද්ව සටන්හි පාරාදීසයක් විය (මහාකවි ඇලෙක්සැන්ඩර් පුශ්කින් පවා එයට බිලි විය). එකී තතු යටතේ, පලමුවැනි සාර් නිකලස් විසින් 1882 දී රුසියාව තුල බොක්සිං තහනම් කෙරිනි. 1917 ශ්‍රේශ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව ස්ථාපිත කෙරුනු පොදු දේපල හා සැලසුම්ගත ආර්ථිකය හමුවේ සෝවියට් සමාජය තුල තවදුරටත් සටන් ක්‍රීඩා පැවතීමෙහි වුවමනාවක් නොවී ය. බොක්සිං පිලිබඳව බොල්ශෙවික් ආන්ඩුව දැරූ ආකල්පය ලියොන් ට්‍රොට්ස්කිගේ ප්‍රකාශයකින් අනාවරනය වෙයි: “…මීලඟට, ද ටයිම්ස් පත්‍රයෙහි ක්‍රීඩා පිටුද්වය සලකා බලමු. නා නා ප්‍රකාර ක්‍රීඩා තොරතුරු එහි සංගෘහිත ය: බොක්සිං වලල්ල තුල දී කවුරුන් විසින් කාගේ ලේ සොලවන ලද ද යනාදී වසයෙනි.” (Whither England?, 1925).

Leon Trotsky

මෙයට ප්‍රතිකූලව, “තනි රටේ සමාජවාදය” නමැති වඳ න්‍යාය ඔජවඩවනු පිනිස ක්‍රීඩාව උපයෝගී කොට ගත් ස්තාලින්වාදී තන්ත්‍ර බොක්සිං යලි ඔසොවා තැබී ය. පදක්කම් හිමි වේ නම් ක්‍රීඩාව කුමක් වුව ඔවුනට ප්‍රශ්නයක් නොවී ය. එසේවතුදු, ‘සමාජවාදී’ ලේබලය රැක ගනු වස් වෘත්තීය ක්‍රීඩාවට ඉඩ නොතැබීමට ඔවුහු වගබලා ගත්හ (ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනූ හංගේරියානුවා ලැස්ලෝ පැප් විශේශ අවසරයක් මත වෘත්තීය බොක්සිංහි නිරත විය).

László Papp

ස්තාලින්වාදී කියුබාව ද බොක්සිං සඳහා නමගිය රටකි. තෙවරක් ම ඔලිම්පික් ෆ්ලයිවේට් ශූරතාව දිනූ කියුබාවේ තියෝෆිලෝ ස්ටීවන්සන් වෘත්තීය බොක්සිං සඳහා තමාට ලැබුනු හැම අවස්ථාවක් ම අවඥාවෙන් යුතුව බැහැර කල බව සැබවි. එහෙත්, ඔහු එසේ කලේ වෘත්තීය බොක්සිං කෙරෙහි යුක්තියුක්ත විරෝධයෙන් මෙහෙයවීගෙන නොව පටු ජාතිකවාදී හැඟීමෙනි: “මිලියන අටක කියුබානු ජනතාවගේ ආදරය තරම් ඩොලර් මිලියනයක් වටී ද?”

ස්තාලින්වාදය පරිපූර්න ලෙස බිඳ වැටී ඇති මෙකල, එම රටවල්වලින් බිහි වන බොක්සිං ශූරයන් දැනට මත් සල්ලි පොරයට වහවැටී ඇත. බොක්සිං ප්‍රවර්ධනය කරමින් මයික් ටයිසන් කිහිප වර චීනයෙහි සංචාරය කලේ ය. චීන බොක්සිංකරුවන් ටයිසන්ගෙන් උගත් ගුරුහරුකම කවරේ දැයි නොකිවමනා ය.

අමෙරිකානු වෛද්‍ය සංගමය මගින් පල කෙරෙන සඟරාවක (Journal of the American Medical Association) සංස්කාරක වෛද්‍ය ජෝර්ජ් ලුන්ඩ්බර්ග් බොක්සිං හඳුන්වනුයේ කවර ශීලාචාර සමාජයකට වුව වැද්ද නොගත යුතු අශික්ශිත ක්‍රීඩාවක් හැටියට ය. 1980 ගනන්වල සිට ම අමෙරිකානු, කැනේඩියානු, බි්‍රතාන්‍ය හා ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගම් බොක්සිං තහනම් කල යුතු යයි එකහෙලා කියා සිටී. 2007 දී සිදු කෙරුනු නවතම අධ්‍යයනයන්ගෙන් හෙලිදරව් වූයේ, ආධුනික බොක්සිංකරු පලඳින හිස් ආවරනයෙන් හුදෙක් ඔහුගේ හිස්කබලට සිදුවන තුවාල අවම කෙරෙනු විනා මොලයට සිදු වන හානි වැලකෙනුයේ නැති බව යි.

George D. Lundberg

වෘත්තීය බොක්සිංහි දී, පැයට කි.මී. 30ක වේගයෙන් පතිත වන කි.ග්‍රෑ. 5.4ක් බරැති මිටි පහරකට සමාන මුශ්ටි ප්‍රහාරයකට තරගකරුගේ මොලය භාජන වන බැව් ගනන් බලා ඇත. එහෙත්, යමෙකු යන්තම් බිම හෙලීමට (knock-out), සිහි මූර්ඡා වීමට නැතහොත් ඝාතනය වීමට අවශ්‍ය ප්‍රහාරක බලයන් අතර පැහැදිලි බෙදුම්කඩන හඳුනාගෙන නැත. බි්‍රතාන්‍ය වෛද්‍ය සංගම් වාර්තාවකට අනුව, බොක්සිං නිසා යමෙකුගේ මොලයට සිදු වන හානිය ඔහු ‘ක්‍රීඩාවෙන්’ සමුගෙන දශකද්වයක් ගත වන තෙක් අඛන්ඩව සිදු විය හැක. මෘදු අත්වැසුම්, දැඩි නීතිරීති හා වෛද්‍ය ප්‍රතිකාර හේතුකොටගෙන කායික හානි සාපේක්ශ වසයෙන් පහල වැටී ඇතත් මාරක අවදානම බිඳකුදු අඩු වී නැත. බොක්සිං මරන සම්බන්ධයෙන් මෑතක් වන තුරු නිල වාර්තා කිසිවක් පල වී නැති අතර එක ම විශ්වසනීය මූලාශ්‍රය මැනුවෙල් වෙලාස්ක්වේස්04-1989) නමැත්තෙකුගේ පුද්ගලික දත්ත එකතුව යි. 1720 දශකයෙන් ඇරැඹෙන මොහුගේ සංඛ්‍යාලේඛන යාවත්කාලනය කල විට, බොක්සිං කරනකොටගෙන 2011 දක්වා ජීවිතක්ශයට පත් ආධුනික හා වෘත්තීය බොක්සිංකරුවන් සංඛ්‍යාව යටත්පිරිසෙයින් 1640කි (ජෝශප් ස්වින්ත්, “අවධාරිත ආලෝකය යටතේ මරනය”, Journal of Combative Sport, 2011 ඔක්තෝබර්). බොක්සිං ‘ක්‍රීඩාව’ විසින් එදාමෙදාතුර බිහි කෙරුනු විශිශ්ටතමයා වන මොහොමඩ් අලි පවා ස්නායුබද්ධ පාර්කින්සන් රෝගයට ගොදුරු වූ බව නොරහසකි. අනිකෙකු ලවා රචිත ඔහුගේ ආත්ම චරිතාපදානය (The Greatest: My Own Story” 1976) සමීප වනුයේ වීර වෘතාන්තයකට වඩා පශ්චාත්තාපී ශෝකාලාපයකට ය.

බොක්සිං යනු තුච්ඡ ‘ක්‍රීඩාවක්’ නොවේ යයි සනාථ කිරීමට කොතෙකුත් පරිශ්‍රම දැරී ඇත. හිටපු බි්‍රතාන්‍ය බොක්සිං ශූරයෙකු වූ හෙන්රි කූපර්, අවදානම බොහෝ ක්‍රීඩාවන්ට පොදු දෙයකැයි කියයි. එසේ ම, 1980 දී ලොස් ඇන්ජලීස්හි පැවති තරගයකින් පසුව ජොනී ඕවන් නමැති සූවිසි හැවිරිදි යුරෝපයීය බැන්ටම්වේට් ශූරයා මස්තිශ්ක රුධිර වහනයෙන් මිය ගිය අතර හේ මිය ගියේ මුශ්ටි පහරින් නොව පාදස්ථ කැන්වසයෙහි හිස වැදීම නිසා යයි ද කූපර් පවසයි (Henry Cooper’s Book of Boxing” 1983). මේ වනාහි, ධනවාදයට ආවඩන පශ්චාත් මරන පරීක්ශන වාර්තාවෙන් උපුටා ගත් නිගමනයකි.

මාක්ස්වාදීන් වන අප බොක්සිං ඇතුලු සකලසියලු සටන් ක්‍රීඩා පිටුදකිනුයේ හුදෙක් අවදානම නිසා ම නොව මිනිසාට එරෙහිව මිනිසා පිහිටුවන ජුගුප්සාජනක ස්වරූපය ද කරනකොටගෙන ය. කූපර් ම පවසන පරිදි, “සටනට යන මිනිසා යන්නේ සටනට ම බැවින් සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් පැන නොනඟී.” මෙවදන ම ටයිසන් වැන්නන්ට දුන් ලයිසන් පතක් වැන්න! බොක්සිං ‘ක්‍රීඩාවෙහි’ අමානුශික බව ගැන තවත් අටුවා කුමට ද?

කාන්තා බොක්සිං සඳහා ද මෙකල දැවැන්ත ප්‍රේක්ශක ආකර්ශනයක් නිර්මානය වී ඇත. මුල් වරට එය හඳුන්වා දුන්නේ 1904 ඔලිම්පික් තරගාවලිය වෙනුවෙනි. එහෙත්, ස්ත්‍රිය විශයයෙහි වික්ටෝරියානු සුචරිතවාදය දැඩිව බල පැවැත්වුනු යුගයක එය සාර්ථක අත්හදාබැලීමක් නොවී ය. සියවසේ අවසන් කාර්තුවෙහි, භූගෝලීකෘත ආර්ථිකය හමුවේ හුදු වෙලෙඳ භාන්ඩයක් බවට පත් ස්ත්‍රී ශරීරය ලෝක වෙලෙඳපොලේ උනු කැවුම් මෙන් අලෙවි වන තතු යටතේ, කාන්තා බොක්සිං යලි ප්‍රාදුර්භූත විය: දිගු කලක් පුරා බොක්සිං තහනම් කෙරී තිබුනු ස්වීඩනයෙහි ය! ජාත්‍යන්තර ආධුනික බොක්සිං සම්මේලනය විසින් 1993 දී කාන්තා බොක්සිං නිල වසයෙන් පිලිගැනුනි. මේ අතර 1999 දී, ඔස්ටේ්‍රලියානු ආධුනික බොක්සිං ලීගය විසින් ලමා බොක්සිං තරගාවලියක් සංවිධානය කරන ලදුව නව හැවිරිදි දරුවන් පවා ඊට සහභාගි කර ගැනුනි. සිතනමතන ජනතාව අතර මහත් ආන්දෝලනයට තුඩු දුන් මේ සිද්ධියෙන් පසුව වුව ලමා බොක්සිං නතර කිරීමට එරට මධ්‍යම ආන්ඩුව පියවර ගත්තේ නැත.

ලෝක පරිමානව, බොක්සිංහි බහුලව නිරත වන්නාහු සහ ඒ සඳහා නිරතුරු දිරිගන්වනු ලබන්නාහු පීඩිත කම්කරු පන්තික මානවමානවිකාවෝ ය. එහිලා ඔවුන් පොලඹවාලනුයේ, යමෙකුගේ පෞරුශ වර්ධනයට බොක්සිං ඉවහල් වේ යන මිථ්‍යා ආකල්පයත් ජීවනෝපායයක් ලෙස එහි ශක්‍යතාවත් ස්වකීය ජීවිත පිලිබඳ අනාරක්ශිතභාවයෙන් නිපන් ආත්මාරක්ශාව කෙරෙහි උත්සුකයත් යන මේ කරුනු මගිනි. අවාසනාවකට, ඔවුන් අතරින් අති බහුතරයට උරුම වනුයේ ප්‍රකෝපකාරී, මමංකාරී හා අවිචාරී මනෝගතියෙන් සන්නද්ධ පුද්ගල පෞරුශයකි. මෙකී නොසංඩාල සමාජ මානසිකත්වය ධනේශ්වර ක්‍රමයෙහි පැවැත්මට අතිශය හිතකර ය. ධනපති සංස්ථාපිතය ද, ව්‍යාපාරික ප්‍රජාවද, ජනමාධ්‍යය ද ඒ වෙනුවෙන් සැදීපැහැදී සිටී.

මානව ශිශ්ටාචාරයේ හා සභ්‍යත්වයේ ඓතිහාසික ප්‍රගමනයත් සමඟ අහෝසි වීමට නියමිතව තිබූ බොක්සිං, මල්ලවපොර, කඩු හරඹ, ගොන් පොර, ජූඩෝ ආදී සටන් ක්‍රීඩා තව මත් නොනැසී පවතිනුයේ මන්ද? ඊට පදනම් වූ ආර්ථික අධස්ථ ව්‍යුහය හෙවත් මිනිසාට එරෙහිව මිනිසා පිහිටුවාලන පුද්ගලික දේපල ක්‍රමය මෙතෙක් අහෝසි වී නැති බැවිනි. ධනේශ්වර විප්ලවය, ආර්ථිකය පිලිබඳ ක්ශේත්‍රයෙහි පැවති වැඩවසම්වාදය නැතිභංග කල බැව් අපි දනිමු. එහෙත්, සංස්කෘතික උපරි-ව්‍යුහයෙහි පසුගාමී නශ්ටාවශේශ මුලිනුපුටා දැමීමෙහි වුවමනාවක් ඊට නොතිබිනි. ඒ වෙනුවට, කෑදර ධනවාදය එය සිය වාසියට හරවා ගති: ධනෝපායනයෙහි උල්පතක් මෙන් ම මහජනතාවන් අතර ප්‍රතිගාමී දෘශ්ටිවාදය හෙවත් ව්‍යාජ විඥානය වැපිරීමෙහිලා මහෝපකාරී වන මාර්ගයක් වසයෙනි. ධනේශ්වර සමාජයක් තුල ආගම, ගුප්ත ශාස්ත්‍ර, සටන් ක්‍රීඩා ආදී වැඩවසම් සංස්කෘතිකාංග ඉතිරි විය හැක්කේ එක ම එක රූපාකාරයකිනි: බඩගෝස්තරවාදී ප්‍රපංච හැටියට පමනි.

නව දිල්ලියෙහි පැවැත්වුනු දහනවවැනි පොදු රාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උලෙලෙහි (2010) බැන්ටම්වේට් ශුරතාව ලාංකේය බොක්සිංකරු මංජු වන්නිආරච්චි විසින් දිනා ගැනුනු අතර ජාතික මාධ්‍ය එය උජාරුවෙන් වාර්තා කලේ දශක හතකට පසුව ලංකාවට හිමි වූ ප්‍රථම බොක්සිං රන් පදක්කම ලෙසිනි. බීජිං ඔලිම්පික්හි (2008) දී සිය ක්‍රීඩකයා කෙරෙහි තැබූ බලාපොරොත්තු සුන් වීමෙන් දුර්මුඛව සිටි මෙරට බොක්සිං ප්‍රවර්ධකයන්, ක්‍රීඩා බලධාරීන් හා ව්‍යාපාරිකයෝ මෙකී ජයග්‍රහනයත් සමඟ යලි උද්දාමයට පත්ව බොක්සිං කෙරෙහි පෙර නොවූවිරූ උනන්දුවකින් පෙරට පැමිනියහ. රාජපක්ශ ආන්ඩුව පදක්කම්ලාභියා පිලිගත්තේ රතු පලස මතිනි. ඔහුට සුභ පතනු පිනිස විශාල ජනකායක් කටුනායක ගුවන්තොට අවට ද ඔහු උපන් ප්‍රදේශය වන මහනුවර නගරය පුරා ද රැස්කකා සිටියහ; පාසල් සිසුහු මඟ දෙපස පෙලගස්වනු ලැබ සිටියහ (තදනන්තරව, තහනම් උත්තේජක පාවිච්චි කල බැව් සනාථ වී මොහුට එම පදක්කම අහිමි කෙරුනි).

Manju Wanniarachchi

ජරාජීර්න ධනේශ්වර ක්‍රමය විසින් තිරශ්චීන මට්ටමක් කරා පිරිහෙලනු ලැබ තිබෙනුයේ ගිහි මානසිකත්වය පමනක් නොවේ. පැවිදි මානසිකත්වය පවා එහි ගොදුරක්ව පෙරලා එය ම පෝශනය කරන තැනට පත්ව ඇත: සියරට පැමිනි වන්නිආරචිචි, ලේ ගඳ හමන නලලත කැපුම් තුවාල සහිතව අස්ගිරි මහනායක ථෙර බැහැදුටු අතර අවිහිංසාවාදයේ මුරදේවතාවන් ලෙස පෙනී සිටින බෞද්ධ භික්ශූහු කිසිදු හිරිකිතයකින් තොරව ඒ පාපතර සෙල්ලමට සෙත්පිරිත් සජ්ජායනාවෙන් ආශිර්වාද කලහ! පූජ්‍ය පක්ශය ප්‍රමුඛ ඊනියා ධර්මධරයන් හා ධනේශ්වර සමාජ විවේචකයන් විසින් අතපසු කෙරුනු ඒ විවෘත ඉල්ලීම සියලු බොක්සිංකරුවන් වෙත අපි කරුනා පෙරදැරිව ඉදිරිපත් කරමු: හෘදයසාක්ශියට එකඟව ම්ලේච්ඡ බොක්සිං ක්‍රීඩාවෙන් වහා ඉවත් වීමට එඩිතර වන්න. තරුන ප්‍රැටි්‍රක් ඩේ හට මරු කැඳවූ ප්‍රහාරක චාල්ස් කොන්වෙල් කලකිරීමට පත්ව ඉඟි කල නමුත් ඔහු විසින් මෙතෙක් ක්‍රියාවට නොනැඟුනු ඒ උදාරතර තීරනය සමඟ ඔබේ නාමය රන් පදක්කම් පරයා සදානුස්මරනීය වනු ඇත.

බොක්සිං සහ පාලක පන්ති ආරක්ශක සේවා අතර පවතිනුයේ චිරකාලීන ඥාතිත්වයකි. රටවල් බොහොමයක බොක්සිංකරුවන් බිහි වනුයේ පොලිස් නැතිනම් හමුදා සේනාංක අතරිනි. නොඑසේ නම්, බොක්සිං ශූරයෝ ආරක්ශක සේවාවන්ට බඳවා ගැනෙති. අමෙරිකානු පාබල හමුදාවට බැඳී වියට්නාම් යුදබිම වෙත යෑමට ලැබූ අන ප්‍රතික්ශෙප කිරීම හේතුවෙන් මොහොමඩ් අලි හට ජගත් බොක්සිං කිරුල අත්හැරීමට සිදු විය.

අඩ සියවසකට පෙර, විසි හැවිරිදි ජෝර්ජ් ෆ්ලෝරේස් නිව්යෝර්ක් බොක්සිං වලල්ල තුල මැරී වැටුනු කල්හි, කීර්තිධර ට්‍රොට්ස්කිවාදියෙකු වූ ජේම්ස් පී. කැනන් මෙසේ ලිවී ය: “කුකුලන් කෙටවීම නීති විරෝධී ය. පොර කුකුලන් දෙදෙනෙකු කොටුව තුලට යවා එකෙකු බිම වැතිරෙන තෙක් කොටා ගැනුමට උසිගැන්වීම අමානුශික ක්‍රියාවකැයි සැලකේ. එසේ ම, ඔට්ටු පිනිස දඩ බල්ලන් පොරට යැවීම ද නීතියට පටහැනි ය. එහෙත්, එකිනෙකා කෙරෙහි කිසිදු පෞද්ගලික ආරෝවක් නොමැති මිනිසුන් මුදල් තකා ද, ප්‍රේක්ශක විනෝදය තකා ද සටනට යැවීම වලක්වාලන නීතියක් නැතහොත් මහජන මතයක් සම්මත වීමෙහි දිශාවට අපේ ශිශ්ටාචාරය – පෙරට යමින් පවතිනුයේ වී නමුදු – තවම පියවර තබා නැත (“මල මිනිසෙකුගේ තීන්දුව”, The Militant, 1951.09.14). කැනන්ගේ තියුනු විවේචනයෙන් හැත්තෑ පස් වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් මිහිතලයෙන් බොක්සිං අතුගා දැමීමට මානව සභ්‍යත්වය තව මත් අපොහොසත්ව තිබීම අභාග්‍යයක් නොවේ ද?

James P Cannon

පවුල, පෞද්ගලික දේපල හා රාජ්‍යයේ සම්භවය නමැති කෘතියෙහිලා ෆ්‍රෙඩ්රික් එංගල්ස් නූතන විවාහය අරබයා එලැඹි ඒ මාහැඟි නිගමනය, උචිත වදනක් ආදේශ කල විට, නූතන ක්‍රීඩාව පිලිබඳව ද එක සේ වලංගු ය: ක්‍රීඩාව විශයයෙහි පූර්න නිදහසක් හා සන්තුශ්ටියක් භුක්ති විඳිය හැකි වනුයේ, ධනේශ්වර නිශ්පාදනයත් එමගින් බිහි කෙරුනු දේපල සබඳතාත් දුරීභූතව, ක්‍රීඩාවක් තෝරා ගැනුමෙහිලා තදින් ම බලපවත්වන ද්විතියික ආර්ථිකමය සලකා බැලීම් අහෝසිව ගිය කල්හි ය. එවිට ඉතිරි වනුයේ, හුදෙක් ශරීර සෞඛ්‍යයට, බුද්ධි වර්ධනයට හා සමාජ සුභ සිද්ධියට හිතකර මානුශික ක්‍රීඩා පමනි.

(අක්ශර වින්‍යාසය ලියුම්කරුගේ අභිමතය පරිදි ය.)

ශාකේස් සමාජ ශාලාවේ ගෝන්නු (1909), ජෝර්ජ් බෙලෝස්
“අමෙරිකානු චිත්‍ර කලාවෙහි පුරෝගාමියෙකු වූ බෙලෝස් මේ චිත්‍රයෙහි නිරූපණය කරන්නේ සකල සියලු කායික මානසික සීමා ඉක්මවා ගිය සටනකි. ප්‍රචන්ඩ පින්සල් පහරින් නිර්මිත වූ ශරීරයෝ එකිනෙකා මත කඩා වදිත්. විනිශ්චයකරුවා ද, ප්‍රේක්ශකයෝ ද සටනේ ම කොටස්කරුවෝ වෙති. ප්‍රේක්ෂක සමූහය අන්ධකාර පාතාලයට හෙලා ඇත. මහත්වරුන්ගේ කට රැඳි සුරුට්ටු, සංහාරකාමිත්වය විනෝදයක් වී ඇති බව කියාපායි.” (සටහන: එරික් ඉලයප්ආරච්චි, චිත්‍ර කලාව හා විචාරය)

දර්ශන මේදිස්-Darshana Medis

More From Author

ළමා විවාහ පිටුදකිමු

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ (පළමු කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348