මහේෂි බී.වීරකෝන්:
INTERVIEWER
ඔබ ලියද්දි, ඔබේ පොත් කියවන්නේ කවුද කියන එක ගැන ඔබ ටිකක්වත් හිතනවද?
SALMAN RUSHDIE
මම දන්නෑ, ඇත්තටම. තරුණ කාලේ නම් මම කියන්න පුරුදු වෙලා හිටියා, නෑ, මම වැඩේ සේවකයෙක් විතරයි කියලා.
INTERVIEWER
ඒක උදාරයි.
RUSHDIE
අතිශයින් උදාරයි. මම ගුණාංගයක් විදියට පැහැදිලිතාවය ගැන වැඩියෙන් උනන්දු වෙන්නත්, අසීරුතාවයේ ගුණාංග ගැන අඩුවෙන් උනන්දු වෙන්නත් අරන් තියෙනවා. මම හිතන්නේ ඒකෙන් කියන්නේ මිනිස්සු හිතන්නේ කොහොමද කියන එක ගැන මට වඩා පැහැදිලි හැඟීමක් තියෙනවාය කියන එකයි කියලා. මම විශ්වාස කරන්නේ එයින් අඩක් හැදිලා තියෙන්නේ මම මෙතෙක් ලියපු දේවල් මිනිස්සු කියෙව්වේ කොහොමද කියන එක ගැන මට ඇති දැනුමෙන්. ගැලරිය පිනවන පොත් වලට මම කැමති නෑ. ඒත් මට පුළුවන් තරම් පැහැදිලිවත්, සිත් ඇදගන්නා විදියටත් කතාවක් කීම ගැන මම වඩා සැලකිලිමත් වෙන්න අරන් තියෙනවා. ඒත් කොහොමත්, මම ආරම්භයේදි හිතුවෙත් එහෙමයි, Midnight’s Children ලියද්දි. කතාන්දර කීමත්, සාහිත්‍යත් දෙපැත්තකට යන්න අරන් තියෙනවා වගේ පෙනීම විකාරයක් කියලා මම හිතුවා.

කතාවක් සරල විය යුතු නෑ. ඒක ඒකමාන විය යුතු නෑ. හැබැයි, විශේෂයෙන්ම ඒක බහු මානික නම්, ඔයා ඒක කියන්න පැහැදිලිම, සිත්කළුම විදිය හොයා ගන්න ඕනි. මට, වඩා පැහැදිලිව මගේ විෂය බවට පත්වෙලා තියෙන එක දෙයක් තමයි, ඔනෑම තැනක කතාන්දර, අනෙක් හැම තැනම කතාන්දරම බවට පත් වෙන ආකාරය. යම්තාක් දුරකට, මම ඒක කලින්ම දැනගෙන හිටියා. මොකද මම ලොකු මහත් වුණු නගරය, බොම්බේ, කියන්නේ මුළුමනින්ම බටහිරයි නැඟෙනහිරයි එකට පැටළුනු නගරයක්. මගේ ජීවිතේ තුළ සිද්ද වුනු අහඹු සිදුවීම් නිසා ලෝකේ විවිද පැති එක තැනකට ගෙනෙන කතාන්දර ගොතන්න මට හැකියාවක් ලැබිලා තියෙනවා, පෙළක් විට සාමකාමී විදියට, පෙළක් විට ගැටුම් සහිතව, ඒ වගේම පෙළක් විට දෙයාකාරයටම – සාමාන්‍යෙන් දෙයාකාරයටම. මේ කතාවල දුෂ්කරතාවය තමයි, ඔයා හැම තැනම ගැන ලියනවා නම්, අන්තිමේටම නතර වෙන්නේ කිසිම තැනක් ගැන නොලියා වීම. ඒක, එක තැනක් විතරක් ගැන ලියන ලේඛකයෙක්ට මූණ දෙන්න වෙන්නේ නැති ගැටළුවක්. ඒ ලේඛකයෝ වෙනත් ගැටළු වලට මූණ පානවා, හැබැයි ඒ ෆෝක්නර්ට හරි වෙල්ටිට හරි තියෙන ගැටළුවක් – එයාලගේ ජීවිත කාලේ පුරාම හෑරුවත් එයාලට හිස් කරන්න බැරි, එයාලා ඉතාම ගැඹුරින් දැන අඳුනන, එයාලා මුළුමනින්ම අයිති වෙන පොළෝ අල්ලියක්- මම ඒක අගය කරනවා, හැබැයි මම කරන්නේ ඒක නෙමෙයි.
INTERVIEWER
ඔබ කොහොමද ඔබ කරන දේ විස්තර කරන්නේ?
RUSHDIE
මගේ ජීවිතේ මට මේ අනික් විෂය දීලා තියෙනවා: ගැටෙන ලෝක. අපි කොහොමද මිනිස්සුන්ට දකින්න සලස්වන්නේ හැම කෙනාගෙම කතාව දැන් අනික් හැම කෙනාගෙම කතාවේ කොටසක්ය කියලා? ඒක කියන එක වෙනම දෙයක්, ඒත් ඔයා කොහොමද පාඨකයාට දැනෙන්න අරින්නේ ඒක එයාගේ ජීවන අත්දැකීමය කියලා? මගේ අන්තිම නවකථා තුන මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ගත්තු උත්සාහයන්: The Ground Beneath Her Feet, Fury සහ අළුත් එක, Shalimar the Clown. ඒක පටන් ගන්නෙත් අවසන් වෙන්නෙත් ලොස් ඇන්ජලීස් වල.

ඒත් ඒකේ මැද කාශ්මීරේ, ඒකෙන් ටිකක් නාසිවාදීන් අල්ලගෙන හිටපු ස්ට්‍රැස්බර්ග් වල, ටිකක් හැට ගණ වල එංගලන්තේ. Shalimar කතාවේ, මැක්ස් ඕෆල්ස් කියන්නේ දෙවැනි ලෝක යුද සමයේ ප්‍රතිරෝධය දක්වපු වීරයෙක්. අපි වීරකමක් විදියට දකින ප්‍රතිරෝධය, යටත් කරගෙන ඉන්න කාලේදි, අපි දැන් කැරැල්ලක් කියලා හඳුන්වන දේ වුණා.

දැන් අපි ජීවත් වෙන්නේ අපි “වීරයි” කියලා හඳුන්වන්නේ නැති වෙනත් කැරැලි තියෙන කාලේක – අපි “ත්‍රස්තවාදී” කියලා හඳුන්වන කැරලි තියෙන කාලෙක. මට සදාචාරවාදී විනිශ්චයන් දෙන්න ඕනි නෑ. මට කියන්න ඕනි මේකයි: ඒ කාලේ ඒක සිද්ද වුණා, දැන් මේක සිද්ද වෙනවා, මේ කතාවේ ඒ දෙකම තියෙනවා, ඒවා එකට වාඩිවෙලා ඉන්න විදිය බලන්න. මම හිතන්නේ නෑ “මෙයින් අදහස් වෙන්නේ මේකයි” කියලා කියන එක නවකතාකරුවෙක්ට අයිති දෙයක් කියලා.
INTERVIEWER
ඔබට සිද්ද වෙනවද “මේකෙන් අදහස් වෙන්නේ මේකයි” කීමෙන් ඔබව වළකා ගන්න?
RUSHDIE
නෑ. නවකතාවකදි එහෙම කරන එකට මම විරුද්දයි. මම පුද්ගල මතවාදී ලිපියක් ලියනවා නම් ඒක වෙනස්. ඒත් මම හිතන්නේ පාඨකයාට උපදෙස් දීමෙන් ඔයා නවකතාවට හානි කරනවා කියලා. උදාහරණයක් විදියට, ශලිමාර්ගේ චරිතේ දුෂ්ඨ මිනීමරුවෙක්. ඔයා එයා ගැන භීතියට පත් වෙනවා. ඒත් පෙළක් අවස්තාවලදි – එයා සැන් කුඑන්ටින් වලදි තාප්පෙන් පැනලා යන ජවනිකාව වගේ – ඔයා එයාට චියර් කරනවා. මට ඕනි වුණා ඒක එහෙම සිද්ද වෙන්න. මට ඕනි වුණා එයා මොන වගේ මිනිහෙක්ද කියලා තමන් දන්නවා කියලා හිතනවට වඩා, එයා දකින විදියට මිනිස්සු දකින්න, එයාට දැනෙන විදියට මිනිස්සුන්ට දැනෙන්න. මගේ පොත් සේරම අතරින් මේක තමයි ඒකේ චරිත විසින් මුළුමනින්ම ලියැවුණු පොත. චරිත වලට වෙනත් පැත්තකට යන්න ඕනි වුණු නිසා පොතේ මුල් සංකල්පයෙන් සෑහෙන පමණ දේවල් හලලා දාන්න සිද්ද වුණා.
INTERVIEWER
ඒ කියන්නේ?
RUSHDIE
ලිවීමේදී, මොහොතින් මොහොත, මම කලින් නොදුටු දේවල් සිද්ද වෙනවා. මේ පොතේදී අමුතු යමක් සිද්ද වුණා. මට දැනුනා මුළුමනින්ම මට මේ මිනිස්සු වැහුණා වගේ. කොච්චරද කියනවා නම් මම මගේ චරිත ගැන ඇඬුවා. පොතේ එක තැනක් තියෙනවා බූනිගේ තාත්තා, පන්ඩිත් ප්‍යාරෙලාල් එයාගේ පළතුරු වත්තෙදි මිය යන. මට ඒක දරාගන්න බැරි වුණා. බලද්දි මම මේසේ ඉඳගෙන අඬා වැළපෙනවා. මම හිතුවා, මම මේ මොකක්ද කරන්නේ? මේ මම හදපු කෙනෙක්. ඊට පස්සේ තව තැනක් තිබුණා මම කාශ්මීර ගම්මානේ විනාශය ගැන ලියමින් හිටපු. ඒක ලියනවා කියන අදහස මට කොහෙත්ම දරාගන්න බැරි වුණා. මම මේසේ වාඩි වෙලා හිතනවා, මට මේ වැකි ලියන්න බෑ. කෲරත්වය කියන විෂය එක්ක ගණුදෙනු කරන්න සිද්ද වුණ හුඟක් ලේඛකයන්ට කෙළින්ම ඒකට මූණ දෙන්න බෑ. කතාවක් කීමේ අදහස දරාගන්න බෑ කියලා මට කවදාවත් දැනිලා නෑ – ඒක ඒ තරම් නරකයි, මට ඒක කියන්න බෑ, වෙනින් දෙයක් සිද්ද වෙන්න පුළුවන්ද? ඊට පස්සේ ඔයා හිතනවා, අයියෝ, වෙනින් කිසි දෙයක් සිද්ද වෙන්න බෑ,ඒක තමයි සිද්ද වෙන්නේ.
මහේෂි බී වීරකෝන්(පරිවර්තනය)
Interviewed by Jack Livings
ISSUE 174, SUMMER 2005
- The Paris Review

මහේෂි බී.වීරකෝන් -Maheshi B.Weerakoon





