මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l

කෘතහස්ත නවකථාකරුවකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ ‘බවතරණය’ රචනා කරමින් මුහුණ දෙන මූලික ආඛ්‍යාන විද්‍යාත්මකඅභියෝගය වන්නේ ආගමික සාහිත්‍යයේ මුඛ්‍ය චරිතයක් වූ සිද්ධාර්ථ ගෞතම එකී සාහිත්‍යාඛ්‍යාන සන්දර්භයෙන් නිදහස් කර ගෙන යථාර්ථවාදී නවකථා සන්දර්භය තුළ පිහිටුවීම බව නිසැක ය.

ජාතක කථා ඇතුළු බෞද්ධ සාහිත්‍යය, බයිබල් සාහිත්‍යය ඇතුළු ක්‍රිස්තියානි සාහිත්‍යය, භගවත් ගීතාව ඇතුළු හින්දු ආගමික සාහිත්‍යය ආදියෙහි චරිතායනය හෙවත් නිරූපණාත්මක චරිත ගොඩනැඟු‍ම සිදුවන්නේ කළු සුදු ආකාරයට, පැතලි ආකාරයට හා චරිතයක් විකාශනය වන දිශානතිය ආඛ්‍යානය තුළ දී බොහෝ දුරට මුල පටන් දිස් වන අයුරිනි. ආගමික චරිතයක සංකීර්ණතාව මෙන් ම දෝලනය ද සිය සීමිත ආඛ්‍යානය වෙනුවෙන් අවම මට්ටමකින් පවත්වාගෙන යාමට ආගමික කථාකාරයාට සිදු වේ.මෙය යම් ප්‍රමාණයකට වීර කාව්‍ය සාහිත්‍යයට ද උරුම වේ.

පිකරෙක්ස් හෙවත් චෞරාසක්ත ආඛ්‍යාන නවකථාවල ද මෙය යම් ප්‍රමාණයකට දැකිය හැකි ය. ඒවායෙහි චරිත විකාශනයක් සිද්වන නමුත් ඒ සුළු වශයෙනි. පිකරෙක්ස් නවකථාවක එන ‘සරදියෙල්-රූපී වීරයා’ සමාජය ගිලගත් ව්‍යාජත්වයෙන්, දූෂිතභාවයෙන්, තුච්ඡභාවයෙන් හා උද්ධච්ඡ අහංකාරයෙන් පිටස්තරව ජීවත්වෙමින් වූවද ඒවා සහිත පරිහානිගත සමාජය තුළම සැරිසරන්නෙකි. බොහෝ විට අපරාධයක මුවවිට දී පමණක්හෝ දුෂ්ටයකුගෙන් කාන්තාවක බේරා ගැනීම වැනි තම ‘ෂිවල්රි’ සද්ගුණය හෙවත් අනුනට පිහිටවීමේ ආචාර සම්පන්න ධීරවීර ගුණය වුවමනාවන අවස්ථාවල දී පමණක් සමාජ දුෂ්ටත්වයෙන් ආපසු හැරෙයි.

‘බව තරණය’ කියවන අපට වැදගත් වන්නේ පුද්ගලයා සහ සමාජය අතර සම්බන්ධය පිළිබඳව නවකථාකරුවා ගන්නා ආස්ථානය යි. මෙම නවකථාව තුළ දී මාර්ටින් වික්‍රමසිංහ අනුදක්නා එම සම්බන්ධතාව ආගමික සාහිත්‍යයට මෙන් ම වීර කාව්‍ය සාහිත්‍යයට ද වෙනස් එකකි. නවකථා සාහිත්‍යය මඟින් පිළිබිඹු කරන පුද්ගලයා සහ සමාජය අතර සම්බන්ධයේ අලු‍ත් ස්වභාවය විස්තර කරමින් ජෝර්ජ් ලූකාස් ‘ඓතිහාසික නවකථාව’ නම් සිය ප්‍රකට විචාර කෘතියේ දී මෙසේ කියයි.

George Lucas

“පුද්ගලයා සහ සමාජය අතර, පුද්ගලයා සහ පංතිය අතර, නව සම්බන්ධතාව නූතන නවකථාව වෙනුවෙන් අලු‍ත් තත්ත්වයක් නිර්මාණය කළේ ය. පුද්ගලයාගේ ක්‍රියාව තුළ සෘජු අරමුණක්
සහ සමාජ අරමුණක් ගැප් වන්නේ ඉතාමත් කොන්දේසි සහිත තත්ත්වයක හා සුවිශේෂ ප්‍රස්තූත කාරණයක දී පමණක් ම ය. ඇත්තෙන් ම නවකථාව දියුණුවන විට කිසි ම සංයුක්ත අරමුණක් නොමැති හා එවැන්නක් තිබිය නොහැකි වැදගත් කෘති වැඩි වශයෙන් බිහි විය. මධ්‍යකාලීන කුලීන ධීරවීර කලාව (chivalry) යළි නඟා සිටුවීම හා වික්‍රමජනක අවස්ථා adventure) සොය සොයායාමට වැඩි දෙයක් ‘ඩොන් කිහොටේ’ කෘතිය තුළ සිටින වීරයාගේ අරමුණ තුළ නොපැවතුණු බව දැනටමත් සැබෑ වී ඇත.

එනමුත් හෝමර්ගේ ‘ඔඩිසි’ වීර කාව්‍යයේ ඔඩිසියස් වීරයා ට්‍රෝජ පුර සංග්‍රාමයෙන් පසු නැවත සිය නිවෙස කරා පැමිණීමේ
අරමුණින් ක්‍රියා කිරීමේ අර්ථයෙන් ‘ඩොන් කිහොටේ’ කෘතිය තුළ සිටින වීරයාට ඇත්තේ අරමුණක් බව පැවසිය නොහැකි ය.” ජෝර්ජ් ලූකාස් පෙන්වා දෙන්නේ නවකථා කලාව මඟින් පුද්ගලයා සහ සමාජය අතර අලු‍ත් සම්බන්ධතාවක් නිර්මාණය කළ බව යි.

නවකථාවේ දී පුද්ගලයාගේ ක්‍රියාව තුළ සෘජු අරමුණක් ගැප් වන්නේ ඉතාමත් කොන්දේසි සහිත තත්ත්වයක හා සුවිශේෂ තත්ත්වයක දී පමණි. එනමුත් වීර කාව්‍යයේ පුද්ගලයා හැසිරෙන්නේ සංයුක්ත අරමුණකින් යුතුව ය. මේ තත්ත්වය ආගමික සාහිත්‍යයේ දී තවත් උග්‍ර වේ. ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහ සිය ආගමික වීරයාගේ චරිතය සිය අවසන් නවකථාවට වස්තුකර ගැනීමේ දී මුහුණ දෙන්නේ සැබැවින් ආඛ්‍යාන විද්‍යාත්මක අභියෝගයකට ය. එහි දී ඔහුට සිදුවන්නේ ප්‍රබන්ධ කලාව තුළ ආපසු ගමන් කරන්නට ය. එනම් රජැයූ කාලවකවානු අතින් චෞරාසක්ත ආඛ්‍යාන කලාවටත්, සමහර විට වීර කාව්‍ය කලාවටත් වඩා අතීතයට ගමන්කොට ආගමික කලාවෙන් සිය ආදරණීය වස්තු විෂය, නව විචාරයේ
ශාක් ලැකාන්ගේ භාෂාවෙන් කියත හොත් තම ‘පුංචි ආදර වස්තුව’ (Object petit a) සොයා ගන්නට ය.මාර්ටින් වික්‍රමසිංහ මුහුණදෙන මේ අභියෝගය සුළුපටු එකක් නොවේ. ලීලා, සීතා, සෝමා, අයිරාංගනී, මිරිඟු‍ව, රෝහිණී,
4.George Lukas, The Historical Novel, London Merlin Press, 1962, p.

1962 මඩොල් දූව, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, කළුවර ගෙදර හා විරාගය වශයෙන් නවකථා දොළොසකට පසු එවැනි අභියෝගයකට මුහුණදීමට කතුවරයා ගත් උත්සාහය ප්‍රශංසා කටයුතුය. අනූපම කෘතහස්තභාවයක් දක්වන ලද තම ගද්‍ය කලාව ඔස්සේ බුද්ධ චරිතය සොයා ගිය ගමන, අර්නස්ට් හෙමින්වේගේ සන්තියාගෝ මහල්ලා මෙන් ගල්ෆ් බොක්කට ගිය ගමනකි.

මේ සංසන්දනය අප කතුවරයා එවකට පසු වූ වයස සිහිපත් කරමින් සිදු කරන්නක් බව අවධාරණය කළ මනා ය.
1976 දී සිදු වුණ කතුවරයාගේ මරණය සැලකිල්ලට ගන්නා විට ‘බව තරණය’ ලියවෙන්නේ ඉන් තෙවසරකට මත්තෙනි.
එවකට ඔහු අසූතුන්වෙනි වියෙහි සිටියෙකි. එය කෙනෙකුගේ හායන සමය වන අතර ඛාදනය වන ප්‍රතිභාවට මුහුණට දෙන ජීවන සමයකි. මාර්ටින් වික්‍රමසිංහ තුළ පැවතුණු මහලු‍ කතුවර
කාංසාවට ‘බව තරණය’ පෙරවදන සාක්ෂියකි.

“මේ කථාවේ අත්පිටපත කියවූ මගේ දුව රූපා සපරමාදු කියූ කියුමකි, xvii පරිච්ඡේදයෙහි ඇතුළත් පොදු ජනයාගේ හා ඇමතියන්, සෙනවියන් ආදීන්ගේ ගැටීම පිළිබඳ පුවත ලියන්නට මට අනුබල දුන්නේ. මගේ බාල පුතා දොස්තර එච්. ආර්. වික්‍රමසිංහ අත්පිටපත කියවා පුවත් හා දර්ශනය පිළිබඳ සාකච්ඡාද
අතර පුනරුත් පෙදෙස් පෙන්වා දුන්නේ ය. ඒ පෙදෙස් කපා හැර මම කථාව සකස් කෙළෙමි.”

“මගේ ඇස් පෙනීම දුබලවීම නිසා මෙහි සුද්දි පත්තර මට කියවිය නොහැකි විය…”

ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් අන්ධව ලියන්නට සිදු වුණු ආර්ජෙන්ටියානු ලේඛක ශෝෂ් ලු‍යී බොහේස් සිහිපත් කරවන ලේඛක සුසුම් මැදින් අප ලේඛකයා පවසන්නේ නොයෙක් දිට්ටිවලත්, හැඟීම්වලත් නොඑල්බෙන පාඨකයා තම හැඟීම් හා
විවේචන ලියා එව්වොත් මේ කථාව යළි සකස් කරන්නට තමා උනන්දු කරවන උවදෙස් වනු ඇති බව ය.

Jorge Luis Borges

රෝලන්ඩ් බාතගේ ‘කතුවරයාගේ මරණය’ පිළිබඳ අදහසේ පෙරදැක්මක් වැනි මේහැඟු‍ම් දහරින් පෙනෙන්නේ ස්වාභාවික මරණයෙන් නැඟිට හෝ
යළි ඉපිද හෝ තම කෘතිය ප්‍රශස්ත මට්ටමක් කරා ළඟා කර ගන්නට කතුවරයා තුළ තිබෙන වුවමනාවකි. මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව iii

ලෝක සාහිත්‍යය තුළ මීට සමාන කළ හැකි තව යමක් වේ නම් ඒ ලියෝ තොල්ස්තෝයිගේ අවසාන නවකථාව වූ
රිසරෙක්ෂන්’ (පුනරුත්ථානය) විය හැකි ය.

පෙර කොටස්:

More From Author

ඝරසරප

ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකුට එල්ලවූ බරපතළ දූෂණ චෝදනා

One thought on “මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348