එරික් ඉලයප්ආරචිචි:
‘බව තරණය’ නවකථාවේ පසුබිම භාරතයයි.කොග්ගල මැවීමෙන් අජරාමර වූ කතුවරයා ඉන්දියාව මවන්නට පිරූ පෙරුම් එහි ප්‍රථම මුද්‍රණ සංඥාපනයේ ඇතුළත් ය.
“… අවුරුද්දක් පමණ කාලය තුළ පාලි, සිංහල, ඉංග්‍රීසි
පොත්වලින් ද, පුරාණ ඉන්දියාව හා බුද්ධ චරිතය ද පිළිබඳ කරුණු උපුටා ගෙන පුල්ස්කැප් පිටු 300 ක පමණ පොත් තුනක සටහන් කළෙමි. එයින් ඇතැම් කරුණු මම මගේ සිංහල සාහිත්‍යයේ නැඟීම යන පොත ලිවීමෙහි දී වහරට ගතිමි. මේ නවකථාව ලිවීමෙහි දී බෞද්ධ ඉන්දියාව පිළිබඳ ඒ සටහන් පොත්, මෑත දී පළවුණු History and Culture of Indian People නමැති පොතේ කාණ්ඩ දෙකක් හා තවත් පොත් ද මා ඉන්දියාවේ කිහිපවරක් ගොස් පැට්නා, නාලන්දා, රාජගිරිය, බුද්ධගයාව යන පෙදෙස්වල සංචාරයෙන් ලත් අත්දැකීම් ඇසුරෙන් බුද්ධ කාලයෙහි දඔදිව තතු හා පරිසරය මෙහි පසුබිම ලෙස නිර්මාණයට මම වෑයම් කළෙමි.”23

‘බව තරණය’ ඉන්දියාවේ සිට ලිවිය යුතු නවකථාවක් බව මම නොකියමි. එනමුත් භාරතය වේවා, දඹදිව වේවා, සල්මන්
රුෂ්ඩිගේ භාෂාවෙත් කියත හොත් කවර හෝ ‘පරිකල්පිත මව්බිමක්’ (imaginary homelands) හෝ වේවා එය සංකීර්ණ භූමියක් වන අතර ලෝක සාහිත්‍යයට නන් අයුරින් විෂය වී තිබේ. මාර්ටින් වික්‍රමසිංහ මවන ඉන්දියාව සාහිත්‍ය පසුබිමකට ( literary background) වඩා නාට්‍ය වේදිකාවක පසුබිම් තිරයකට (backdrop) සමාන ය. වික්‍රමසිංහගේ භාරතය ඒ තරම් ශෛලිගත ය. අප කුඩා මූගල් චිත්‍රයක් ( Mughal miniature painting) ඉදිරිපිට සිටින්නා සේ හැඟෙයි.

පුරාතනයේ පටන් කෆ්කා, බොහේස්, නබොකොව්,
මාකේස්, කැල්විනෝ, ඉෂිගුරෝල රුෂ්ඩි දක්වා ලේඛකයින් විසින් ප්‍රබන්ධිත පසුබිම්-විශ්වයන් ගවේෂණය කරන ‘සාහිත්‍ය
23 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව සසස

විස්මලන්ත: මෙතෙක් ලොව මැවුණු ශ්‍රේෂ්ඨතම ප්‍රබන්ධ ලෝක මැදින් ගමනක්’ යන කෘතියේ ප්‍රධාන සංස්කාරිකා ලෝරා මිලර් මෙසේ ලියයි.
“සිත් ඇදගන්නා කතා වස්තු, අදහන්නට හැකි චරිත, විචිත්‍ර භාෂාව ආදී අප මත බලගතු වසඟය ඇති කරන වශී මන්තර
අතරින් වඩාත් අඩුවෙන් අභිනන්දනය කෙරෙන්නේ වෙනත් ‘කාලයක් හා අවකාශයක්’ මැදින් ප්‍රවාහනය කරනු ලබන බව අපට හඟවන්නට තිබෙන හැකියාව ය. පොතකට කිඳා බැස, තමන් සැබවින් පා තබා නැති හෝ සත්‍ය වශයෙන් ම නොපවත්නා විය හැකි දර්ශන, සුගන්ධ හා ශබ්දවලින් ඉවත් වන්නට වුවමනා වීමේ අත්දැකීම ඉතා ගිජු පාඨකයන්ට බොහෝ දෙනෙකුට තිබේ. අප කිසිදා වික්ටෝරියානු ලන්ඩනයට පා තබා නොතිබෙනවා විය හැකි ය. නිශ්චිත වශයෙන් ම මධ්‍යම පෘථිවිය මැද්දෙන්
අපි පාද චාරිකාවෙහි යෙදී නැත්තෙමු. එනමුත් දසදහස් ගණන්
කියවන්නන්ට ඔවුන් සැබැවින් ගොස් තිබෙන නගරවලට වඩා ආතර් කොනන් ඩොයිල්ගේ සහ ජේ. ආර්. ආර්. ටොල්කීන්ගේ සාහිත්‍යයේ මැවෙන එම ස්ථාන වඩාත් සැබෑ ය.”24

වික්‍රමසිංහගේ ශෛලිගත, පසුබිම් තිර සහිත ලුහුවාදී (Minimalist) ඉන්දියාව, අන් රටක භූමිදර්ශන හා සතා සිව්පාවුන්ගෙන් හෙබි අන්‍ය භූමියක් බව අපට නොහැඟෙයි.’භව තරණය’ නවකථාවේ අන්තර්ගත ඇතුළු දර්ශන තරමට පිටත දර්ශන ද බහුලය. එනමුත් ඒවායේ හැසිරෙන චරිතයන්ගේ තාත්වික සුවිශේෂතා හා පොදු ස්වාභාවික වැනුම් විනා ආවේණික පාරිසරික සුවිශේෂතා, ඊට ම ආවේණික කාල – අවකාශය, සත්‍ය වශයෙන් ම පවත්නා සේ පෙනෙන දර්ශන, සුගන්ධ හා ශබ්ද ආදිය නැති තරම් ය.
“හදිසියේ හැමූ දැඩි සුළඟ කවුළු දොරින් ඇතුළු වී සාලාව තුළ වූ තිර රෙදි සොලවමින් පැතිරිණ. සුළඟට බියෙන් ඇතුළු

24 Laura Miller, Literary Wonderlands ( A Journey through the
Greatest Fictional Worlds Ever Created, Modern Books, 2016, p. 10
වූ කුරුල්ලෝ හඬ නඟමින් සාලාව තුළ පියාඹන්නට වූහ.සිදුහත් කවුළුව අසලට ගොස් එබී බැලුවේ ය. උයනෙහි ගස් මුදුන් ඇඹරෙමින් සැලෙයි. එහි එක් කෙළවරක් කුඩා වනරොදක් වැන්න. ගස් මුදුන්වලින් උඩ විසිවුණු කපුටුවෝ කෑ ගසමින් ඒ වටා පියාඹති. මයිනෝ නො සැලෙන අනික් ගස් සොයා පියාඔති. අසල ගසක ලැග සිටි කවුඩු පනිකියෙක් සිදුහත් ඉදිරියෙන් පියෑඹී ය. වේගයෙන් සෙලවුණු ගස් අතුවලින් උඩට නැඟුණු පොල් කිත්තෝ හා පිළිහුඩුවෝ යළිත් ගස් අතු බලා පියාඹති.”
“අහසේ කළු වලා හා සුදු වලා එකිනෙක පස්සේ දුවන්නාක් මෙන් යාත්රා කරති…”25
කතුවරයාගේ මේ සාමාන්‍යකරණය සිද්ධාර්ථ චරිතය භාරත සුවිශේෂතාවන්ගෙන් නිදහස් කරගැනීමක් වන අතර ලංකා සමාජයේ පිහිටි පැහැය (local colour) ඊට ලබා දීමේ දී ඔහුගේ ලුහු ඉන්දියාව රවීන්ද්‍රනාත් තාගෝර්ගේ භාවවාදී ඉන්දියාවට වෙනස් ය. සාදත් හසන් මන්ටොගේ බෙදී ගිය වේදනාකාරී සරාගී ඉන්දියාවට වෙනස් ය. හර්මන් හෙසගේ ප්‍රාචීනවාදී ආධ්‍යාත්මික ඉන්දියාවට(Orientalist India) වෙනස් ය. ඊ. එම්. ෆෝස්ටර්ගේ ජනාකීර්ණ කොලෝනියල් ඉන්දියාවට වෙනස් ය. රඩ්යාඩ් කිප්ලින්ගේ වනගත හා සෘෂිවර ඉන්දියාවට ද වෙනස් ය. වී. ඇස්. නායිපෝල්ගේ පුද්ගලික ඉන්දියාවට (personal India) ද වෙනස් ය.

අවසාන වශයෙන් මාර්ටින් වික්‍රමසිංහගේ සමගාමී සහෝදර ලේඛකයා වූ ජී. බී. සේනානායකගේ කොසැඹෑ නුවර ප්‍රධානකොට ගත් භාරතයට ද වෙනස් ය. සේනානායකගේ ඉන්දියාව වික්‍රමසිංහගේ ඉන්දියාවට වඩා සුහද වූ ද, ප්‍රබන්ධප්‍රිය වූ ද, ප්‍රබන්ධයට සුගම හැකියාව ලබා දෙන්නා වූ (enabling India) ද එකකි. එහි සේනානායකගේ චරිත සමඟ බැඳුණු ඉන්දියාවේ ඇතුළාන්තය පිළිබිඹු වේ. එය ගද්‍යයට කාවැදුණු වීර කාව්‍ය පරිමානයේ හෝමරික ඉන්දියාවක් (Homeric India ) හා වර්ජිල් ඉන්දියාවක් (Virgilian India ) බව අපට කිව හැකි ය.
25 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටු 48 – 9

“සෙතව්‍ය නුවරට ගැල් සාත්තුවක් අරගෙන ගිය දන්තිකට එහේදී අසනීපවෙලා හුඟක් අමාරු වුණාලු…”26
“ඔය කසී සළු විවීම මෙහේ දියුණු කරන්න පුළුවන්…”27
“තොටෙහි බොහෝ නැව් විය. රුවල් බෑ නැව්වල උස කුඹ ගස් බොහෝ ඈතට පෙනෙයි. ටික වේලාවකට පෙර ආ ලොකු නැවක නැවියන් එහි රුවල් බා හකුලනවා පෙනිණ…”28
“පුතාට උදේනි නුවරට ගිහින් ජීවත් වෙන්ට ඕනෑ නම් ඒකට මගෙන් බාධාවක් නැහැ.”29
“දඹදිව කොසඹෑ නුවර උපාරක මහ සිටාණෝ ඊට පෙර දින රාත්‍රියෙහි මළහ.”30
‘බව තරණය’නවකථාවෙහි භාරත පසුබිම වීර කාව්‍ය පරිමානයකින් නොව නිර්දය විනයකින් යුතුව අල්පභාෂීව සිතුවම් කරන්නට මාර්ටින් වික්‍රමසිංහ ගත් පියවර පසුපස පැවතුණු ප්‍රපංචවේදය (phenomenology) විභාග කිරීම මැනවි. එය වික්‍රමසිංහ ගම්පෙරළිය, විරාගය, යුගාන්තය, මඩොල් දූව වැනි නවකථා රචනා කිරීමේ දී අනුගමනය කළ ආඛ්‍යානවේදී පිළිවෙත නොවේ. ‘බව තරණය’ නවකථාවේ මැවෙන ඉන්දියාව, ජී. බී. සේනානායකගේ ඉන්දියාව සමඟ සසඳා බලත හොත් පෙනී යන්නේ වික්‍රමසිංහ සදාතනික ඉන්දියාව (Perennial India) පිළිබඳ අදහසේ රැඳී සිටින අතරේ සේනානායක කාලමය වශයෙන් භෞමික හා ආර්ථික පැවැත්ම සනාථ කරගන්නා ගතික වූ ද, සාන්දෘෂ්ටික වූ ද ඉන්දියාවක් (dynamic and existential India) පිළිබඳ අදහසේ රැඳෙන බවකි. තම ඉන්දියානු සිතියම

26 ජී. බී. සේනානායක, වරදත්ත, තරංග ප්‍රකාශකයෝ, 2022, පිටු 14, 15, 127, 336
27 එම.
28 එම.
29 එම.
30 ජී. බී. සේනානායක, චාරුමුඛ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2011,
පිටුව 1

මත බ්‍රාහ්මණ ඉන්දියාව සහ බුදුන්ගේ විප්ලවය අතර යුගල ප්‍රතිපක්ෂයක් (binary opposition) ගොඩනඟන්නට වික්‍රමසිංහට හැකි වේ.
“බුදුන් වහන්සේ රාජගිරියට ගොස් උද්දකාරාමපුත්තගේ අසපුව සෙවූහ. උද්දක මියගිය බව දැනගත් බුදුහු ඔහුගේ අසපුවෙහි නවාතැන් ගත්හ. බුදුහු උද්දකගේ අනුගාමිකයන්ට
මෙන් අනික් වයිදික, ජයින, සාංඛ්‍ය ලෝකායතික තවුසන්ට ද තමන් සොයා ගත් මඟ දෙසූහ.”31

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස්:
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-ll
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (3 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (4 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (5 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (6 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (7 කොටස)





