මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (6 කොටස)

තරුණ පිරිස හා විස්වාමිත්‍ර අතර ක්ෂත්‍රිය කුලාචාර, උපනිෂද්, බ්‍රාහ්මණ යාගහෝම පිළිවෙත්, සාංඛ්‍ය ධර්මය, ලෝකායත දර්ශනය ආදිය මූලිකකර ගනිමින් ඇතිවන දාර්ශනික සංවාදයෙන් ඇරඹෙන දෙවෙනි පරිච්ඡේදය අවසන් වන්නේ අනපේක්ෂිත තැනකිනි.

14 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 199 15 Introduction by Iain Hamilton Grant to Jean-Francois Lyotard,
Libidinal Economy, Continuum, 2005, p. xxvii

Jean-Francois Lyotard

වියත් කතාබහින් අනතුරුව සිදුහත් භූමිදර්ශනයට ඇතුළු වෙයි. එහි මුල පියකරු වුණත් අග බියකරු ය. රප්ති නදියෙන් අනෙක් පැත්තේ අලංකාර පලස් ලෙස පෙනෙන කෙත් වතු අනතුරුව කළු පැල්ලම් බවට පෙරළෙයි. කෙත්වල වැඩ කරන දාසයින් හා උන් අතින් දරුණු හිංසනය‍ට පත්වන හරකුන් දකින අතරේ රාජ්‍ය පිළිවෙතක් වූ වහල් කර්මයේ ආදීනව අකාමකා දැමිය හැකි මනෝරාජික පිළිවෙතක් තමා සතුව නොමැති බව දකියි. සිදුහත් සිතෙහි ඉච්චාභංගත්වය ඇති කරවන ඒ ජවනිකාවෙන් අනතුරුව තවත් ඉදිරියට යන විට තත්ත්වය බැරෑරුම් වේ.

“මේක කුඩා ගමක් ද?”

“නෑ. අමුසොහොනක් වෙන්න ඇති!”16

එනයින් සිදුහත්ගේ ලෝකයෙහි ක්ෂිතිජය පුළුල් වේ. සොහොන්බිම පිළිබඳ අතිබියකරු විස්තරයේ දී කතුවරයාගේ බලහත්කාර සුපිරි අහම දුර්වල වී අවිඥානය ප්‍රබල වේ. සුපිරි අහමේ වෙහෙසකර හා පරිශ්‍රමශීලී කර්තව්‍යයන් ඵල නොදරයි. අවිඥානය කැරැලි ගැසීම සිදු වේ. එපෙදෙසේ රැඳවූ ‘ගැරිසනය’අකර්මන්‍ය වේ.

රාජකීයන්ගේ සුඛපරම ජීවිතය තුළ දිග හැරෙන දඩයම් සාදය ඉදිරියේ බෞද්ධ දෘෂ්ටිය මුල්කර ගනිමින් කතුවරයා විසින් හැඟීම් හා මිනිස් ගතිලක්ෂණ ප්‍රකට වීම නතර කරන්නට නැවතුම්
ලකුණ තබනු ලැබේ. එය වඩාත් ප්‍රකට වන්නේ ‘යුද්ධය හා සාමය’ නවකථාවේ දී සත්වෙනි ග්‍රන්ථයේ දී ලියෝ තොල්ස්තෝයි සාර් රුසියාවේ කුලීන කුටුම්භයන්ගේ වෘක දඩයම විස්තර කරන නිදහස් නොමසුරු ආකාරය සිහිපත් කරන විට ය.

රොස්ටොව් සිටුවරයා ප්‍රමුඛ පිරිසේ දඩ කෙළිය වෙනුවෙන් තොල්ස්තෝයි පරිච්ඡේද 6 යක් වැය කරයි. එය අමන්දානන්දයෙන් සිදු කරන වෘත්තාන්ත කථනයක් බව කිව යුතු ය. අශ්වාරෝහකයින්

16 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005.පිටුව199

විසිදෙනෙක් ද, දඩයම් සුනඛයින් එකසිය තිහක් ද ඊට සහභාගි වෙති. දඩකෙළියට පසු මාමා විසින් පිළියෙල කරන ලද මහා රාත්‍රි භෝජන සංග්‍රහයකි. මාමා ගිටාරය වයන විට නටාෂා නම් සිටු දියණිය සිත් සේ ජිප්සි නැටුමක් නටයි.

මාර්ටින් වික්‍රමසිංහ ඒ අරභයා දක්වන උපේක්ෂා සහගත භාව මර්දනය සොහොන්භූමි ජවනිකාවේ නොමැති අතර එය බියකරු ලෙසින් විස්තර වේ. අනිත්‍ය, ජරාව හා මරණය දකින්නට බුදු සමයෙන් ලබා දෙන නොමඳ ඉඩහසර මාර්ටින් වික්‍රමසිංහගේ විස්තරය ප්‍රාණවත් කරයි.

“අමුසොහොන අසල ජීවත්වන වියාලයෝත් කැනහිලු‍ත් පිස්සු බල්ලන් වගෙයි. මළකුණු කාලා පුරුදු වෙලා මිනිස් ගඳ ඉව වැ‍ටුණු විට උන් පිස්සු වැටෙනවා.”

“සොහොන් පාලකයන් කන්ට උන් නොයන්නේ මන්ද?”

“උන් සොහොන් පාලකයන්ට බයයි. කීකරුයි. බල්ලන් ඇති කරන්නා බල්ලන්ට කෑම දෙනවා. උන් බලා ගන්නවා. වියාලයන් කැනහිලු‍න් හිතනවා ඇති උන්ට මිනීමස් දී උන් බලා සොයා ගන්නේ සොහොන් පල්ලන්ය කියා.”17

සිදුහත් සොහොන් පල්ලන්ගේ දිළිඳු පැල්පත්වලට යයි. වැරහැලි හැඳගත් මිනිසුන් දකියි. කාම හැඟු‍ම් පුබුදන බිරියන් දකියි. සිදුහත් රන් කාසියක් රූබර ගණිකාවකට දෙයි. සිදුහත් ඇගේ අත මිරිකයි. සොහොන් පල්ලෝ සිදුහත් හා කපිල කුමරුන් වෙතින් ඊතල තිලිණ ලබත්. වියාලයන් හා කැනහිලු‍න් ඇටකටු විකන හඬ ඇසේ.

“වියාලයන් හා කැනහිලු‍න් ඔය විකන්නේ ඊයේ හවස ගෙනැත් දැමූ දරුවකුගේ ඇටකටු.”18

වික්‍රමසිංහගේ මේ ෂෝපන්හවර් ශෛලියේ සර්වාශුභවාදී වෘත්තාන්ත කථනය හා ඒ අරබයා කතුවරයා පෙන්නුම් කරන

17 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 19918 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 199

ඉක්මන්කමට තුඩුදෙන තත්කාලීන හේතු රැසක් අපට ‘කැරැල්ල’ හා ‘හමුදා කණ්ඩය’ පිළිබඳ ෆ්‍රොයිඩියානු රූපක ඔස්සේ තව දුරටත් ගවේෂණය කළ හැකි ය. ඒ ප්‍රයත්නයෙහි ලා ප්‍රශස්ත විචාර අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි නැවතත් වෝල්ටර් බෙන්ජමින්ගේ ‘කථාව හා නවකථාව’ පිළිබඳ ගැඹුරු මීමංසාව වෙත එළඹෙමු. මිනිසාගේ සංස්කෘතික උරුමයේ වැදගත් අංගයක් ලෙස පැවතුණු පැරණි කතාන්දරකාරයාගේ කතා කලාව, එනම් හරි විදිහට කතාවක් කීමේ හැකියාව (ability to tell a tale properly) පිරිහී ගිය බවත්, ඊට එක් හේතුවක් වූයේ අත්දැකීම නම් ප්‍රපංචයේ
අගය පිරිහීයාම බවත්, එය පතුලක් නොපෙනෙන අගාධයක ගිලී යන්නා සේ පෙනුණු බවත්, පළමුවෙනි ලෝක යුද්ධය සමඟ පැහැදිලිව පෙනෙන්නට පටන්ගත් එය, ඉන් පසු ද නැවතුණේ නැති බවත් බෙන්ජමින් කියයි.

“මහා යුද්ධය අවසන්වීමෙන් පසු යුදබිමේ සිට ආපසු පැමිණි මිනිසුන් මුනිවත රැකුම වැඩි වූ බවත්, සංනිවේදන අත්දැකීමෙහි ලා වැඩිදියුණුවීම වෙනුවට තවත් දිළිඳු වූ බවත් නිරීක්ෂණය නොවිණි ද? දස වසරකට පසු යුද්ධය පිළිබඳව ලියවුණු පොත් ගංවතුරක් ඇති විය. ඒවා කටින් කට යන අත්දැකීම්වි නා අන් කවරක් ද? මොන යම් හෝ විශේෂ කාරණයක් ද එහි නැත. සූක්ෂම ලෙස සැලසුම් කළ යුද්ධයේ දී අත්විඳින ලද උපායමාර්ගික අත්දැකීම, උද්ධමනය නිසා ඇතිවන ආර්ථික අත්දැකීම, තාක්ෂණික යුද ශිල්පය අබිමුව ලබන කායික අත්දැකීම හා බලයේ සිටින්නන්ගේ සදාචාර අත්දැකීම තරම් පරස්පරතාවක් ‘අත්දැකීම’ තුළ ඇති වී නැත. පාරේ දුවන අස්ස කරත්තවල පාසල් ගිය පරපුර විවෘත අහස යට, වලාකුළු විනා වෙනස් නොවූ කිසිවක් නැති පිටිසර ගැමි ලොවෙහි බලා සිටින අතර, ඒ වලා යට දිග හැරෙන විනාශදායි ප්‍රවාහයන්ගේ හා දරුණු පුපුරා යාම්වල ක්ෂේත්‍රයෙහි, කුඩා, සියුමැලි මනුෂ්‍ය ශරීරය රැඳී තිබේ.”19

19 The Storyteller, Reflections on the Works of Nikolai Leskov in Illuminations, Walter Benjamin, Essays and Reflections, edited by Hannah Arendt, Schocken Books, New York, 1969, p. 83 – 4

බව තරණය’ 1973 පළ කළ සිංහල නවකථාවක් බව කල්පනා කරන විට එය රචනා කෙරෙන්නේ 1971 අප්‍රියෙල් කැරැල්ල අවසන් වීමෙන් පසු ය. සටන් බිමේ සිට නොමැරී පැමිණි හා පුනරුත්ථාපන කඳවුරුවල සිර දිවි ගෙවා ආපසු පැමිණි තරුණයින් මෙරට නගර හා ගම් දනව්වල සිටියහ. තමන් ලැබූ අත්දැකීම් ගැන මුනිවත රැකුමට වැඩි දෙයක් කරන්නට ඔවුන්ට ඉතුරු වී නොතිබුණි. වසර කිහිපයකට පසු කැරැල්ල හා සිර දිවිය පිළිබඳ ලියවුණු පොත් ගංවතුරක් ඇති විය. තවමත් ඒවා පළ වෙයි.

වෝල්ටර් බෙන්ජමින්ගේ භාෂාවෙන් කියත හොත් මහ විද්‍යාලවලට පයින් පාසල් ගිය පරපුර මෙන් ගුරුගෙදර හෝ පිරිවනේ හෝ පන්සලේ හෝ පල්ලියේ ඉස්කෝලේ, ගිය පරපුර ද විවෘත අහස යට, වලාකුළු විනා වෙනස් නොවූ කිසිවක් නැති පිටිසර ගැමි ලොවෙහි බලා සිටි අතර, ඒ වලා යට දිග හැරෙන විනාශදායි ප්‍රවාහයන්ගේ හා දරුණු පුපුරා යාම් සහිත භූමියෙහි කුඩා, සියුමැලි මනුෂ්‍ය ශරීරය රැඳී තිබුණි. ‘බව තරණය’ ලියවෙන්නේ එවැනි වාතාවරණයක ය. කොග්ගල වික්‍රමසිංහ නිවස ආසන්නයේ ද තරුණයින් රැඳ වූ සිරගෙයක් විය.

මුනිවත රැකුම වැඩි වූ සහ සංනිවේදන අත්දැකීම දිළිඳු වූ වකවානුවක අප මහලු‍ ගත්කරුට, සංස්කෘතික උරුමයේ වැදගත් අංගයක් ලෙස පැවතුණු පැරණි කථාන්දරකාරයාගේ කථා කලාව සහ අත්දැකීම නම් ප්‍රපංචයේ අගය පිරිහී, පතුලක් නොපෙනෙන අගාධයක ගිලී යන්නා සේ පෙනුණු බව නිසැක ය. ඒ වාතාවරණය තුළ හෙතෙම පැරණි කථා ලෝකයේ ප්‍රමුඛතම කථාව වූ බුදු සිරිත තෝරා ගැනීම පුදුමයක් විය නොහැකි ය.

තවද එය සෞඛ්‍ය සේවාවන්ගේ දියුණුව, ළදරු හා මාතෘ මරණ අඩුවීම, ආයු අපේක්ෂාව වැඩිවීම, කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණයවීම, රසායනික පොහොර හා දෙමුහුන් බීජ නිසා අස්වැන්න වැඩිවීම වැනි කාරණා නිසා ශතවර්ෂයක් පමණ පොදු විඥානය තුළ දුරස් කර තිබුණු මරණය පිළිබඳ සිතුවිල්ල, ‘කැරැලි’ හා ‘ගැරිසන’ තත්ත්වයන් තුළ නැවතත් දොරකඩට හා ලයිට් කණු යටට කැඳවන ලද වකවානුවකි.

ගෙවී යමින් තිබුණේ මරණයට පත්වීමේ දර්ශනය දැකීමෙන් මහජනයා වැළැක්වීමට නොහැකි වුණු අතිබියකරු දවස් ය. ගුණදාස අමරසේකර ‘දිනපොතේ ලියූ කවිය’, ‘කතා පහක්’ කෙටිකථා සහ දෙබස් නාට්‍යයකට නැඟු‍වේ ද ඒ බයකරු දවස් ය. මයිකල් ඔන්ඩච්චි පවා එහි සාහිත්‍ය සාක්ෂිකාරයෙකි.

පෙර කොටස්:

More From Author

පිළිකාව මාරයෙක්ද?

චෙිරන්ගේ තෝරාගත් කවි “ළසෝ දිය ⁣වෙන භුමිය” (Land of melting sorrow)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348