භුෂන් පුදීප්:
ළසෝ දියවෙන භුමිය
අමතක කරන්න උත්සාහගන්නා, හිතාමතා අමතක කර දමන, එහෙත් කෙසේවත් අමතක කල නොහැකි ඓතිහාසික මිනිස් වේදනාවන් සමග කෑකෑරෙන වාර්ගීක යුද්ධයක ආත්මීය වැළපුම අපව සදා තිගැස්මකට ලක්කරන බව සහකම්පනය ඇති සැමට අත්දකින්නට හැකිවූ බව නොරහසක්.
ජාතියක් තවත් එවැනිම ජාතියකගේ වාර්ගික අනන්‍යතාවය නොසලකා හරිමින්, සංස්කෘතික වටිනාකම් සුළුකොට තකමින්, අයිතීන් පාගා දමමින්, එකම භූමියක සිටි ජනකොටසක් හා යුද වැදීමෙන් පසු තම සහෝදර ජනයාගේ ජීවිත අහිමිවීමේ ආත්මීය වැලපුම තම ආත්ම ප්‍රකාශනය අනෙකා සමග බෙදාගැනිමෙන් සමනය වේ යැයි සිතිය නොහැක. නමුත් හෘදය සාක්ෂියක් ඇති අයෙකුට එසේ සිටිය හැකිද?
චේරන්ගේ කවිවලින් එළියට පනින්නේ එම හෘද සාක්ෂියේ කම්පනීය වේදනාවයි. සිංහල සමාජය මෙම කම්පනය කෙලෙස අත්විඳිනු ලැබුවේදැයි අප හොදින් දනී. චේරන්ගේ කවිවලින් මතුවන සහෝදර ජනයාගේ අහිමිවීම විදහා දක්වන ‘ළසෝ දියවෙන භුමිය‘ නැමැති චේරන්ගේ තෝරාගත් කවි ඇතුළත් කෘතිය මෙවැනි යුගයක සිංහලට පරිවර්තනය කරමින් සංජුලා පිටර්ස් ගත් උත්සාහය අප අගය කලයුතු වන්නේ ඇයිද යන්නත් විමසා බැලිය යුත්තක්.

දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර ගිය සමයක හැදී වැඩුණු චේරන්ගේ කාව්‍යකරණය වඩාත් මුවහත් වන්නේ එවකට පැවති ආණ්ඩුව යාපනය පුස්තකාලය ගිනි තැබීමත් සමඟමයි.
යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබු චේරන් එම වකවානුවේ වඩ වඩා තම අත්දැකීම් ඔස්සේ විවිධ දේශපාලන අදහස් තුළ තමන් සොයා යෑමට උත්සාහ ගැනීමේදී; කවියකු තමා තුළ සිටිතැයි යන නිගමනය මත වඩාත් කවිය තුළ තමන්, තම සහෝදර ජනයාගේ අහිමිවීම, තමන් උපන් බිමේ අයිතිය තව දුරටත් අහිමිවීම ආදියෙන් ලත් වේදනාව කවිය තුළ පිහිටුවන්නට ගන්නා උත්සාහය තුළයි චේරන් අපිට කියවා ගත හැකි වන්නේ. සිංහල ජාතිකවාදය තුළ මෙන්ම ලංකාවේ කලාත්මක සමාජය තුළ චේරන් පිලිබඳව සහ ඔහුගේ ආත්මීය ප්‍රකාශණය පිලිබඳව සඳහන් වන්නේ අල්ප වශයෙනි.
සිංහලට පරිවර්තනය වූ චේරන්ගේ කවි අතරින් මෑතකදී සංජුලා විසින් කරන ලද මෙම පරිවර්තනය තුළ නැවත වතාවක් චේරන්ව සොයායෑමේ අවස්ථාව උදාවෙයි. චේරන්ගේ කවිය තුළ ලාංකේය සමාජයේ දෙමළ ජනයාගේ අයිතින් අහිමි කරමින් කරගෙන ගිය යුද්ධයක තම සහෝදර වැසියනගේ ආත්මීය කම්පනයෙන් තමන් තුළ හටගත් හෘද සාක්ෂියේ සහකම්පනය කොතරම්ද? සංජුලා පරිවර්තනය කල චේරන්ගේ මේ කවිය බලන්න.
සොහොන් කුහරය ( 2009 )
අපි නොදන්නේ මන්දැයි නොඅසනු
අපිට අමතක වුයේ කෙසේදැයි නොඅසනු
අපි නොලීවේ ඇයි කියාද නොඅසනු
එකිනෙකාට තමන්ගේම වු මතකයකි.
සාක්ෂිකරුවන් නැති බිමකි.
චේරන්ගේ මෙම කවිය තුළම තම සහෝදර ජනයාගේ ජීවත්වීමේ අවම කොන්දේසි පවා අහිවීමේ ඛේදවාචකය කවියා දැඩි කම්පනයකට ලක් කරයි. එකම දේශයක ජීවත්වන ජන කණ්ඩායමක මූලික අයිතින් අහිමිකරමින් තමන් උපන් බිමේම අයිතිය නැති අසරණයන් කරමින් අනන්‍යතාවය අහිමි වූ පිරිසකගේ ශෝකීය වැලපුම සිය කවිය තුළ දිගහරී.
චේරන්ගේ ඇටසැකිලි පෙරහැර කවිය තුළ තමන් කලින් ලත් සාමකාමී ජීවිතයේ පැවැත්මේ අහිමිවීම ඔහු අපට අභිමුඛ කරයි.
ඩාවින්ට පින් සිදු වන්නට
ශක්තිමතුන් බේරී
දුබලයන් මියයයි.
මෙය සමාජයට නොව
විද්‍යාවට රුකුලක් වේවා.
ජාතියක් ලෙස සිංහල මහජාතියේ දැඩි මර්දන කොන්දේසිවලට එකඟව තව දුරටත් ජීවත්වීමේ සහ පැවැත්මේ ඉඩ ප්‍රස්ථාව සමග ගනුදෙනු කළ අවස්තාවන්හිදී තමන් විඳි වේදනාත්මක අත්දැකීම සංජුලාගේ පරිවර්තනය තුළ අපව දැඩි සිතීමකට පොළඹවාලයි. එකවර කවියාගේ සමාජ සිහිනය, යාපනයේ ජීවත්වන මධ්‍යම පාන්තිකයෙකුගේ සිහිනය වන අධ්‍යාපනය තුළ සාර්ථකවීම වෙනුවට ඔහුගේ සිහින හදිසියේ රූපාන්තරණය වන අන්දම කවිය තුළ පිහිටුවන ආකාරය බලන්න.
ඇටසැකිලි පෙරහැරකි.
පිරිමි ඇටසැකිලි
ගැහැනු ඇටසැකිලි
දරුවන්ගේ ඇටසැකිලි
දරුගැබ් දරාගත් ඇටසැකිලි
තරුණ ඇටසැකිලි
මහලු ඇටසැකිලි
අත් රහිතව පවා
ගල් වු ඇස් කුහර
ලේ හා කඳුළු ධාරා
ගලා යන දෙසට යොමුවී
පෝළිමට
ඇටසැකිලි දහසකි,
වෛරයෙන් පිරි ඇස්
ඒවෙත යොමු වී
සෙබළ තුවක්කු පත්තුවෙයි.
දරුණු යුදමය තත්ත්වයක් තුළ ජීවත් වු මිනිසුන්ගේ ජීවිත තුළ වූ ජීවත්වීමේ ආශාව මෙන්ම මිනිසුන් ලෙස අනෙකාට කොතරම් ගෞරවයකින් පිළිගත්තාද කියා උත්ප්‍රාසාත්මකව විමසයි. අවසානයේ කවියා තම විප්‍රවාසී පැවැත්ම තුල තමාවම ප්‍රශ්න කරන ආකාරයත්, ඔහුට ජීවිතය බේරාගත හැකිවුණද තම හෘද සාක්ෂියේ දරුණු වැලපුම සදා ඔහු වේදනාව තුළ ගිල්වා තබන බවත් ප්‍රත්‍යක්ෂය.
සෙන් ගං ඉවුර මත
වුපර්ටාල් අහස යට
ටොරොන්ටෝවේ හිමැති බිම තුළ
විසිරි කැබලිති වැතිරෙන වග
සිහිනයෙන් ඇහැරී
ඔහු දකියි.
දැන් අවදිව සිටියදී වුව
පා නගන ඇටසැකිලි හඬ
ඔහුට ඇසෙයි.
දරුණු සිවිල් යුද තත්ත්වයක තම සහෝදර ජනයාගේ ජීවිත අහිමිවීමේ ක්ෂතිමය අත්දැකිම කවියා ස්වකීය භාෂාවට ගෙනෙන මොහොත තුළ සහෘදයා චේරන්ගේ මෙම ආත්මීය වැලපුම තුළ චේරන් කියවා ගැනීමට උත්සාහ ගනී. මෙහිදී අපට වැදගත් වන්නේ ලාංකේය කාව්‍යකරණය තුළ මෙවැනි කාව්‍ය කොතෙක් දුරට සංවාදයට බඳුන්වේද යන්නය.
චේරන්ගේ මෙවැනි පරිවර්තිත කවි බොහෝදෙනාගේ කියවීමට හසුනොවන හේතු කවරේද? ඒ අප අනෙකාට දක්වන මිනිස් සබඳතාවල විරුද්ධාභාසයක්ද? දෙවියන් මියගිය සමාජයක, ධනවාදය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන යුගයක, පරිභෝජනවාදයේ සියලු දොරගුළු ඇර රිසිසේ විනෝදයේ ගැලී සිටින මිනිසුන් සිටින සමකාලීන සමාජයේ සියල්ල ප්‍රමෝදයේ අවිංඥානික තර්කනය ඔස්සේ තමන්ව මෙහෙයවයි. එවන් මොහොතක ලාංකේය පොළොව මත හඹාගිය තම සහෝදර අනෙකාගේ කම්පනීය වේදනාව තුළ ගිල්වාලූ ජනවාර්ගික යුද්ධයක දරුණු මතකය පිලිගැනීමට තරම්, වේදනාව බෙදා ගැනිමට තරම්, ලාංකේය ආත්මය කොතරම් සංස්කෘතිකද යන්න චේරන් මෙන්ම සංජුලාද සිංහල ජහමනයාගෙන් නොව ප්‍රබුද්ධ කලාත්මක සමාජයෙන් ඇසිය යුතු ප්‍රශ්නයයි. මෙය පිළිගැනීමට තරම් ඔවුන් නිහතමානී නොවන බව මගේ අදහසයි.
දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සැබෑ ලෙස පෙනිසිටින පිරිස් ඇත්නම් එය ඔබට දේශපාලනය තුළ හමුවනවා මිස ජනවාර්ගික යුද්ධය තුළ ශෝකී වන කලාත්මක සමාජයේ කිසිවකු කිසිදා ඔබට මුණ නොගැසෙනු ඇත. වරද ඇත්තේ ධනවාදය තුළ නොව රැවටිලිකාර නරුමයන් තුළය.

භුෂන් පුදීප් – Bushan Pradeep.





