ගගන ලක්සර වර්නකුලසූරිය:
ප්‍රවේශය
නිර්මාන කාර්‍යයෙන් වසර ගනනාවකට පසුව වුවත් සිංහල සිනමා තිරය මත දිග හැරෙන්නට භාග්‍යයලත් බහුචිතවාදියා නැමැති සිනමා වියමනෙහි වන දේශපාලනිකය පිලිබඳ සොයාබැලීමකටයි මේ ලිපියෙන් උත්සාහ දරා ඇත්තේ. මාලක දේවප්‍රියගේ සිනමා කාර්‍යයක් වන මෙය කොලඹ විශ්වවිද්‍යාලීය ආදි ශිශ්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමක්.
බහුචිතවාදියා තුල විරැකියාව, සූරාකෑම, තරුන අසහනය, ලිංගිකත්වය ඈ විවිධ තේමාවන් ගලා යන බව සරල මතික නිරීක්ශනයකින් වුවද පැවසිය හැකි වුවත්, ඒ සියල්ල පහත ලෙස ලඝු කොට දැක්විය හැකි බවයි මගේ අදහස. බහුචිතවාදියා නම් සිනමාත්මක වියමන වනාහි ආශාව සංවිධානය වී ඇති ස්වභාවය (Organization of Desire) කේන්ද්‍රය ලෙසත්, ශ්‍රම සංවිධානයේ ස්වභාවය (Forms of Labour Organization) පරිධියක් ලෙසත් පවතින වෘත්තාකාර අනවරත පථයක් ලෙස හඳුනාගැනීමට උත්සාහ කරමු. තවත් ආකාරයකින් සංශිප්ත කලහොත් මෙහි කේන්ද්‍රය මරනය හඹායාම (Death Drive) වන අතර පරිධියේ දිවෙන්නේ සූරාකෑම (Exploitation) යි.

ආශාව (Desire) නම් හිස්තැනක් (A Void) ලෙස අර්ථදැක්වෙන, මේ වෘත්තාකාර පථයෙහි කේන්ද්‍රය, එසේම තිබියදී, එහි පරිධියේ සීමාව පිලිබඳ ඔබේ අවධානය රැගෙන යන්නට මට ඉඩ දෙන්න. නිශ්පාදනය (Production), ශ්‍රමය (Labour), සූරාකෑම (Exploitation), වෙලෙඳපොල ආදී ප්‍රපංචයන් විසින් මේ යුගයේ පුද්ගල සම්බන්ධතා සහ ඔවුනොවුන්ගේ පැවැත්ම තීරනය කරන බව අමුතුවෙන් කියන්නට කරුනක් නොවෙයි.
ඒ අනුව විවිධ දේශපාලන න්‍යායන් සහ සම්ප්‍රදායන් විසින් සමාජ පන්ති, ශ්‍රම සංවිධාන මට්ටම්, ධුරාවලි (Hierarchy) ආදිය පිලිබඳ සංකල්ප හඳුන්වා දී තිබෙන්නේත් මේ ගතිකයන් තේරුම්ගැනීම පහසුකිරීමේ අදහසින්. නමුත් ඒ සියලු පන්ති කතිකාවන්ට (Discourse) මඟහැරුනු ශ්‍රමය මූලික-පන්තියක් පිලිබඳව, ස්ත්‍රීවාදී සහ මාක්ස්වාදී න්‍යායාචාර්‍යවරියක් වන සිල්වියා ෆෙඩ්රීචි (Silvia Federici) නැමැත්තිය සලකුනු කරනවා.

ඇගේ චින්තන සම්ප්‍රදාය අනුව යමින්, බහුචිතවාදියා තුල පසුබිමින් දිවෙන ශ්‍රම සංවිධානය තුල නොසැලකිය නොහැකි සාධකයක් ලෙස ‘ගැහැනිය’ නම් ශ්‍රමික පන්තිය මතුවන ආකාරයයි මේ ලිපියේ මූලික ප්‍රවාදය ලෙසින් කොඳුනාරටිගත වන්නේ.
ගැහැනිය නැමැති ‘ශ්‍රමය මූලික-පන්තිය’ හෙවත් ‘ව්‍යූහාත්මකව සූරාකෑමට ලක් වූ පන්තිය’
( woman as a structurally exploited class)
ආර්ථිකය පදනම් කොට ගත් සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායට අනුව බොහෝ සමාජ සංවර්ධන අවදිවල මූලික සමාජ ස්ථර දෙකක් හඳුනාගත හැකියි. ඒ පාලක පන්තිය සහ පාලිත පන්තියයි. තුන්වන සමාජය වන ධනේශ්වර සමාජය තුල නම් එය පෙනී සිටින්නේ ධනපති-නිර්ධන හෝ බුර්ශුවා-කම්කරු (Bourgeoisie-proletariat) ලෙසයි. එහිදී බුර්ශුවා පන්තිය හැමවිටම කර්මාන්ත හිමියන් සහ ප්‍රාග්ධන හිමියන් වන අතර නිර්ධන කම්කරුවෝ ශ්‍රමයට උරුමකම් කියනවා.
ඔවුන් සිය ශ්‍රමය කර්මාන්ත හිමියාට මුදලට අලෙවි කරන අතර ඒ නිසා ම ඔවුන් වේතන-කම්කරුවන් (Waged-proletariat) බවට පත් වෙනවා. ඒ කෙසේ වෙතත් මේ ශ්‍රමය මිලයට ගැනීමේදී ධනපතියා විසින් නිර්ධනයාව සූරාකෑම අනිවාර්‍යයෙන් සිදුවන්නක්. එය මාක්ස්ගේ ප්‍රධාන තර්කයක්.

මෙම සූරාකෑම පිලිබඳ කතාකරන සම්භාව්‍ය මාක්ස්වාදීන් එසේ සූරාකෑමට ලක්වන වේතන කම්කරුවාගේ කාර්මික ශ්‍රමය සලකා බැලුවද, හැමවිටම නොසලකා හැරෙන වැටුප් රහිත ශ්‍රමයක් වගුරනා කන්ඩායමක් ද සිටින බවට මුල් ප්‍රවාද මතුකරන්නේ මාරියාරෝසා දලා කොස්තා (Mariarosa Dalla Costa) සහ සෙල්මා ජේම්ස් (Selma James) වැනි ස්ත්‍රීවාදී සිතන්නියන් විසින්.

(Mariarosa Dalla Costa)-(Selma James)
ඒ නොසලකා හැරෙන වැටුප් නොලබන ශ්‍රමය නම් ශ්‍රමිකයාව නිශ්පාදනය කිරීමේ ශ්‍රමයයි. ඒ ශ්‍රමය වගුරන්නේ ගැහැනියයි. එය තවදුරටත් හෙජමොනික ලෙස දෘශ්ටිවාදීව හා සංස්කෘතිකව නිර්මිත සහ ධනේශ්වරයේ බිහිවීමට සමාන්තරව ගොඩනගාගත් සමාජ පන්තියක් ලෙස සිල්වියා ෆෙඩ්රීචි විසින් මතුකරනවා.
මාතෘත්වය වැනි දෘෂ්ටිවාදී සංකල්ප මේ සඳහා කදිම පසුබිමක් නිර්මානය කරනවා. වේතන කම්කරුවා (මුල් යුගයේ පිරිමි කම්කරුවා පමනයි මේ කොටසට අයත් වුනේ.) සූරාකෑමට ලක්වුවත් තවමත් වේතනයක් හිමියි. නමුත් ශ්‍රමිකයාව නිශ්පාදනය කරන ගැහැනිය එයින් බැහැර කර ඇත්තේ ඉතා සූක්ශමවයි. ඒ සඳහා දායක වන දෘශ්ටිවාදයන් කෙතරම් බලවත් දැයි කියතොත්, එය අසාධාරන ශ්‍රම විභජනයක් යැයි පැවැසීම ම ඇතැම් විට විකාර සහගත කරුනක් ලෙසයි බොහෝ දෙනා දකින්නේ.
කෙසේවෙතත් ෆෙඩ්රීචි පවසන අන්දමට ඉතිහාසයේ පටන්ම ගැහැනිය වෙනම පන්තියක් ලෙස ගොඩනැගී ඇති බව හොඳින් සිතා බැලීමේදී අවබෝධ කරගැනීම අපහසු නැහැ. එහිදී ධනේශ්වරය විසින් ගැහැනියගේ ප්‍රජනන ශ්‍රමයත් (Reproductive Labour), පිරිමියා විසින් ලිංගික ශ්‍රමය (Sexual Labour), ගෘහස්ත ශ්‍රමය (Domestic Labour) සහ චිත්තවේගීය ශ්‍රමයත් (Emotional Labour) සූරාකනවා. මේ සියල්ල එක්ව ගත්තම එය මාතෘ ශ්‍රමය ලෙස නම් කිරීමේ ද වරදක් නැහැ.
ඊට අමතරව මේ වනවිට ගොඩනැගී ඇති ස්ත්‍රීවාදී කතිකාවන් පවා සිය වාසිය පිනිස හරවා ගත් ධනේශ්වර ශ්‍රම වෙලෙඳපොල විසින් ගැහැනියව කාර්මික ශ්‍රමිකයෙක් නැතිනම් වේතන කම්කරුවෙක් ලෙසද හසුරවනවා. ඒ අනුව වේතන කම්කරුවා ලක්වන-මාක්ස් පවසන-සූරාකෑමටත්, ශ්‍රමිකයා නිශ්පාදනයේදී සිදුවන සූරාකෑමටත්, සමාජ තත්ත්ව භේදයකින් තොරව පිරිමියාගේ ලිංගික, ගෘහස්ත සහ චිත්තවේගී සූරාකෑමටත් ගැහැනිය යටත්. ඒ අනුව ගැහැනු ශරීරය ධනේශ්වරයටත්, රාජ්‍යයටත් අයිති දේපලක් බවට පත් වන ආකාරය පැහැදිලි වෙනවා ඇති.
ෆෙඩ්රීචිගේ මෙම න්‍යාය පශ්චාත් මාක්ස්වාදයට සමීප බව ඇතමෙක්ට ඒත්තු යාමට ඉඩ ඇතත් සමීපව නිරීක්ශනය කිරීමේ දී එය එසේ නොවන බව පැහැදිලියි. ඒ ගැහැනිය නම් පන්තිය ආශ්‍රිතව ඈ මතුකරන අදහස, සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යාය සේම ‘පන්තිය’ අක්ශය කරගත් සහ ‘ශ්‍රමය’ කේන්ද්‍රය කරගත් එකක් නිසා. එහෙත් මෙහි ශ්‍රමය, නිශ්පාදනය සහ පන්තිය යන්න ප්‍රතිඅර්ථකතනය (Re-interpret) කරන නිසා එය පශ්චාත්-මාක්ස්වාදී නැඹුරුවක් ඇති මතකයක් බවටද අයෙක්ට තර්ක කල හැකියි.
බහුචිතවාදී පිරිමි සහ හුදෙකලා ගැහැනු
යලිත් බහුචිතවාදියා දෙසට හැරෙමු. බහුචිතවාදියා තුල විවිධ තරාතිරම්වල විවිධ සමාජ පසුබිම්වල පසුවන ගැහැනුන් සහ පිරිමින් බොහොමයක් නරඹන්නියට හමුවෙනවා. මෙහි කතානායකයා සහ කේන්ද්‍රීය චරිතය වන සසිත නම් තරුනයා ත්‍යාග බෙදාහැරීමේ සේවයක රැකියාවේ නිරත වන්නෙක්.
ඒ සේවා ස්ථානයේ වැඩකරන එකම සේවකයා ඔහුයි. ඔහුගේ ආයතන ප්‍රධානියා පැරනි වාමාංශික ක්‍රියාකාරිකයෙක්ලු. ඔහු නිතරම මාක්ස්-ලෙනින් වැන්නන් උපුටා දක්වන්නේද අන් කිසිවක් සඳහා නොව තම ශ්‍රමිකයා රවටා තවදුරටත් ඔහුගේ ශ්‍රමය සූරාගැනීමේ නව ප්‍රවේශයන් සලසා ගැනීම වෙනුවෙනුයි. ඒ ධනේශ්වරයට විකල්ප ලෙස ගොඩනැගුන බොහෝ සමාජ ව්‍යාපාරයන් අවසානයේ ධනේශ්වර සම්ප්‍රදායේම සීමා පුලුල් කිරීමෙහිලා කටයුතු සැලසුනු ඉතිහාසයක් තුලයි. මේ සුලු ධනපති (Petite bourgeoisie) හිටපු වාමාංශිකයා තම සේවකයාට වැටුප් ගෙවීම පවා මඟහරින අතර අවසානයේ සසිත රැකියාවෙන් ඉවත් වූ පසුත් එම මුදල් නොගෙවා සිටින්නට වගබලා ගන්නේ තම මැර බලය පවා පෙන්වමින්.
මේ සියලු ගැටුම් මැද සසිතගේ ප්‍රමුඛ අරමුන ලෙස නොනවත්වා ඇසෙන්නේ කෙසේ හෝ විදේශගත වී ‘ජීවිතය ගොඩ දා ගැනීමේ’ සිහිනයයි.මේ ‘රට යාමේ’ දෘශ්ටිවාදය අප වැනි රටවල තරුනයන් අතර බොහෝ සුලබව දැකගත හැකි එකක්. විදේශගත වීම තමන්ගේ සියලු ප්‍රශ්න විසඳන බව ඔවුන් දැඩිව විශ්වාස කරනවා. චිත්‍රපටියේ දැක්වෙන අයුරින්ම ඔහුට පෙර විදේශගත වී මේ ධනේශ්වර ෆැන්ටසිය බිඳ වැටුනු සමහරෙක් අපේ මේ ‘සිහින දකින්නන්ට’ හමුවන්නට ඉඩ තියෙනවා.
එහිදී ඔවුන් මේ සිහින දකින්නන්ට අනතුරු ඇඟවීමට පවා ඉඩ තියෙනවා. ඔවුන් මොනවා කිව්වත් මේ සිහින දකින්නන් ඒවා කනකට ගන්නේ නෑ. ඔවුන් අසන්නේ ඔවුන්ට ඇසිය යුතුව ඇති දේ පමනයි. පාරක් අතුගාමින් හෝ විදේශ රටක ජීවත් වීම සැපයැයි ඔවුන් අදහන්නේ ආගමික ශුද්ධ වූ ඉගැන්වීමකටත් වඩා බරපතල ඇදහීමක් ලෙසයි. දෘශ්ටිවාදයන් වැඩ කරන්නේ ඒ ආකාරයට තමයි. සසිත මේ සිහිනය වෙනුවෙන් විවිධ උපක්‍රම යොදද්දී ප්‍රධාන උපකරනය ලෙස තෝරාගන්නේ විදේශ සබඳතා සහිත ගැහැනියයි. ඒ පසුපස ‘රට යාමේ සිහිනය’ට අමතරව ඔහු හඹායන, ඔහුද නොදන්නා ආශාවේ කලාපයක් ද පවතින බව පෙනෙන්නට ඇති කරුනක්. ඔහු මේ සියලු ගැහැනුන් සමග ලිංගික සබඳතා පවත්වන්නේත් ඔවුන්ගේ මුදල් තෑගි-බෝග ලබන්නෙත් ඒ සියලු දෙනාට විවාහ පොරොන්දු දෙන ගමන්.
සසිතගේ මිතුරා ලෙසින් සිටින පුද්ගලයා රැකියාවක් කරන බවක් පෙනෙන්නට නැහැ. ඔහුද බොහෝවිට යැපෙන්නේ අපේ කතානායකයා මතයි. ඇතැම්විට ඔහුගේ දික්කසාද වූ බිරිඳ වෙනුවෙන් වන මාසික වන්දිය පවා ගෙවන්නේ සසිත. මේ මිතුරා ඒ වෙනුවෙන් සසිත සමග එක්ව සූස්ති ඇදීමත්,ජීවිතය දිනන පහසු ක්‍රම පිලිබඳව සාකච්ඡා කිරීමත්, උපදෙස් දීමත් නොමිලයේම සිදුකරනවා. ඊට අමතරව ඔහු සසිතට හොරෙන් සසිතගේ වැඩිමහල් සොහොයුරිය සමග රහස් සම්බන්ධයක් පවත්වද්දී ඇගෙන් මුදල් පවා ඉල්ලාගන්නවා. සසිතගේ අක්කා නිවසේ සිට සිය ‘ටෙක්ස්ටයිල් බිස්නස්’ සිහිනය ගොඩදා ගැනීමට අසාර්ථක යැයි පෙනෙන උත්සාහයක නිරත වන ගමන් වයස ගතවීම සහ අවිවාහක ව සිටීමේ සමාජ පීඩනයටද මුහුන පා සිටින බව පෙනෙනවා.
මේ ආකාරයෙන් මෙහි සිටින සියලු පිරිමින් විසින් ධනේශ්වරයේ සූරාකෑමට යටත්වන අතරම ඔවුනොවුන්මද සූරාකන්නට හැකි සෑම උත්සාහයක්ම දරන බව දැකගන්න පුලුවන්. ඒ අතර ඔවුන් සියලු දෙනාම පාහේ අනිවාර්‍යයක් ලෙස තමන් වටා සිටින ගැහැනුන්ව ලිංගිකව සූරාකනවා. ඒ අනුව පිරිමින් සමාජ ක්‍රමය තුල පීඩිතයන් ලෙසද ස්ත්‍රිය විශයෙහි පීඩකයන් ලෙසද ක්‍රියාකරන බව පැවසිය හැකියි.
නමුත් ඊට වෙනස්ව මෙහි එන සියලු ගැහැනුන් මෙකී සියලුම පාහේ සූරාකෑමේ මාදිලිවලට යටත්. බහුචිතවාදියා තුල ෆෙඩ්‍රීචි දක්වන මූලික සූරාකෑමේ මාදිලිය වන දරුවන් බිහිකිරීමේ ශ්‍රමය සම්බන්ධ උදාහරන හමුවන්නේ නැහැ. නමුත් ඒ සූරාකෑමේ මාදිලිය වටා නිර්මිත දෘශ්ටිවාද සහ සමාජ ගොඩනැංවීම් නිසාම පැනනගින ලිංගික සූරාකෑම, ගෘහස්ත සහ චිත්තවේගීය සූරාකෑම බහුචිතවාදියා තුල ප්‍රබලව මතුවෙනවා. එයද ගැහැනිය ගැහැනියක් වීම නිසා උරුම වුනු තත්ත්වයක් බවත්, දරුවන් බිහිකිරීමේ ශ්‍රමයේම දිගුවක් මෙන්ම පෙර කී මාතෘ ශ්‍රමයේම කොටසක් බවත් වටහාගැනීම ඒ තරම් අපහසු නැහැ. ඒ නිසායි ෆෙඩ්රීචිගේ තර්කය බහුචිතවාදියා තුල තවදුරටත් වලංගු වන්නේ.
මේ තුල හමුවන තරමක හෝ හිතුවක්කාර ගැහැනියක ලෙස ප්‍රවේශ වන මිතුරාගෙ බිරිඳ-නයෝමි- පවා සසිතගේ ආශා මාත්‍රයේ තමන්ට හිමි ඉඩ සෙවීමට යාම ඛේදයක්. සසිතගේ පෙම්වතිය වූ කාංචනා ද එහෙමයි. ඇය මෙහි එන අනෙක් ගැහැනුන් වගේ ප්‍රේමයෙන්ම ආතුර වූ ගැහැනියක් නොවෙයි. ධනේශ්වර ආශාවන් සහ හඹායාම් ද ඇගේ තීරනවලට බලපානවා. ඇය පිරිමියාගේ ආශා කලාපය මගහැර තම ඉලක්ක වෙත යාමට දරන උත්සාහයත් අවසානයේ නැවත වටයකින් හසුවන්නේ පෙර යාන්ත්‍රනයටමයි. සසිතගෙන් වෙන් වූ පසු කාංචනා සසිතගේ ආයතන ප්‍රධානියා වන ‘විජේ’ නම් වයෝවෘධ පුද්ගලයා සමග සම්බන්ධයක් ඇතිකරගන්නේ සිය ‘රට යාමේ සිහිනය’ සැබෑ කරගැනීමේ අරමුනෙන්. විජේ ඇයව විවාහ කරගන්නා බවටත්, විදේශගතවන බවටත් පවසමින් ඇය සමග ලිංගිකව එකතු වෙනවා.
ඒ අතරම ඔහු කාංචනාට තවදුරටත් පවසන්නේ හොඳින් පරිගනක සහ ඉංග්‍රීසි ඉගනගන්නා ලෙසයි. ඒ සසිතගෙන් පුරප්පාඩු වූ ශ්‍රමය කාංචනාගෙන් සපුරාගැනීමේ අදහසින්. සූරාකෑම මත පදනම්ව පිරිමි වේතන කම්කරුවා සහ ධනපතියා අතර ගැටුම් ඇතිවන පසුබිමක, ගැහැනිය ශ්‍රම වෙලෙඳපොල වෙත ගෙන ඒම සාර්ථක ප්‍රයත්නයක් ලෙස ධනපතියා දකින්නේ එහෙමයි. මැදපෙරදිග වෙසෙන ශ්‍රමිකයන් දෙදෙනෙකු වන නිලූකා සහ කාන්ති ද ධනේශ්වර ශ්‍රම වෙලෙඳපොල තුල සූරාකෑමට ලක්වන අතර ප්‍රේමයේ නාමයෙන් පිරිමින්ගේ මූල්‍යමය, ලිංගික සහ චිත්තවේගීය සූරාකෑමට ලක් වෙනවා.
මෙහි එන කිසිඳු ගැහැනියක් අනෙකාව සූරාකෑම උදෙසා උනන්දුවන බවක් පේන්නේ නැහැ. ඔවුන් බොහෝවිට සොයන්නේ පිරිමියාගේ ආශාවේ කලාපය තුල තමන්ට හිමි තැන.
මේ සමාජ කන්ඩායම් දෙක අතර පවතින තවත් එක් වෙනසක් ෆෙඩ්රීචි විසින් මතුකරන ආකාරයෙන්ම මේ විත්‍රපටියේ ද දැකගත හැකියි. ඒ ගැහැනිය හුදෙකලා කිරීම. මේ ගැහැනුන් හුදෙකලාව සිටින තාක් පමනයි පිරිමියාට අවස්ථාව උදාවන්නේ. නමුත් පිරිමින් ඊට වෙනස්. ඔවුන් එකිනෙකා තම තමන්ට වංචාකරන බව දන්නවා. දැනගෙන නොදන්නා සේ තමන්ද ඔවුන්ට වංචාකරනවා. සසිත සිය දික්කසාද බිරිඳ සමග ලිංගිකව එක්වන බව මිතුරා දැන සිටියත් එය කල් තියා හඟවන්නට යන්නේ නැහැ. ඔහු සසිතගේ සහෝදරිය සමග පවත්වන සම්බන්ධයට එරෙහිව සසිතගේ විරෝධය මැඩපැවැත්වීමට එම තොරතුර යොදාගැනීමට තරම් උපායශීලී වෙනවා. මෙහි එන පිරිමින්ගේ ලෝකය සූරාකෑම වෙනුවෙන්ම අශුද්ධ ලෙස සංවිධානය වූ එකක්. එය සාමාන්‍ය දෙයක්. නමුත් ගැහැනියට මේ ලෝකයට ඇතුල් වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එසේ දරන සියලු උත්සාහයන් අවසන් වන්නේ අලුත් වටයකින් සූරාකෑමට ලක්වීමෙන්.
සූරාකෑම සහ පන්තිය
මේ ගැහැනුන් සහ පිරිමින් දෙස හොඳින් බැලූවිට පෙනෙන තවත් දෙයක් තිබෙනවා. ඒ පිරිමියා සූරාකෑමට ලක්වන මාදිලිය තීරනය වීමට බොහෝවිට ඔහුගේ සමාජ තත්ත්වය බලපෑවත්, ගැහැනිය ලක්වන ලිංගික සූරාකෑම ඇගේ සමාජ තත්ත්වය මත රඳාපවතින්නක් නොවන බවයි. පැරනි ප්‍රභූ පන්තියක ගැහැනියක් ලෙස හැඟෙන අයිරාංගනිත්, කොලඹ සුඛෝපභෝගී මහල් නිවාසයක ජීවත්වන කුමාරිත්, මැදපෙරදිග රැකියාවක නිරත වන කාන්තිත්, දික්කසාදව ස්වාධීනව සිටින නයෝමිත්, සසිත ඉදිරියේදී සූරාකෑමට ලක්වන්නේ එකම විදහට. පිරිමියා යටත් වන සූරාකෑම වෙත බලපාන ප්‍රභූ-නිර්ප්‍රභූ හෝ බුර්ශුවා-කම්කරු ආදී සමාජ පන්තීන් ඒ අර්ථයෙන් ගැහැනියට බලපාන්නෙ නැහැ. මොන සමාජ පන්තියක ගැහැනියක් වුවත් ලිංගික, ප්‍රජනන සහ චිත්තවේගීය සූරාකෑමට ලක්වන්නේ එකම මුහුනුවරකින්. ඒ නිසා සාම්ප්‍රදායික පන්ති දේශපාලනය තුල එන පන්ති වෙනස්කම්වලට අමතරව ගැහැනියට ගැහැනිය වීම නිසා සිදුවන ශ්‍රමය මූලික සූරාකෑම මත පදනම්වයි ගැහැනිය පන්තියක් ලෙස හඳුනාගත යුතු බවට ෆෙඩ්‍රීචී ඇතුලු ස්ත්‍රීවාදීන් තර්ක කරන්නේ. එය පහත අයුරින් රූපමය ලෙස දක්වන්න පුළුවන්.

ඒ අනුව ස්ත්‍රිය විශයෙහි සූරාකෑමේ අධිපතිත්වය දරන්නේ පිරිමියායි. (ඊට අමතරව මේ යුගය වනවිට ධනේශ්වර ශ්‍රම වෙලෙඳපොලද සිය ආධිපත්‍යය ස්ත්‍රියට සෘජුව බලපෑම් කරන්නට තරම් පුලුල් වී ඇති බව ඇත්තක්.)
සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායට යටත්ව බුර්ශුවා පන්තියෙන් බලය පැහැරගෙන කම්කරුවා විසින් කොමියුනිස්ට් යුතෝපියාව උදාකර ගැනීම සූරාකෑම වැලැක්විය හැකි අවසාන විසඳුමයි. නමුත් ෆෙඩ්රීචි තර්ක කරන ආකාරයෙන්ම මේ කොමියුනිස්ට් යුතෝපියාවෙන් වේතන-කම්කරුවන් විමුක්තිය උදාකරගත්තත්, ගැහැනියට ගැහැනිය වීම නිසා උරුම වූ සූරාකෑමෙන් නිදහස හිමිවේ යැයි සිතිය නොහැකියි. ඒ අනුව ගැහැනියට ආවේනික වූ මේ ලිංගික, බෝ කිරීමේ සහ චිත්තවේගීය (මාතෘ) ශ්‍රම සූරාකෑමෙන් විමුක්තිය ලබාගත හැකි නව යුතෝපියාවක් සොයා ගත යුතුව ඇති බව බහුචිතවාදියා දුරින් හිඳ ඉඟි කරන බව දැන් ඔබට ඒත්තු යනවා ඇති.

ගගන ලක්සර වර්ණකුලසූරිය – Gagana Laksara Warnakulasooriya
ආශ්‍රිත මූලාශ්‍ර
Federici, Silvia (2004). Caliban and the Witch: Women, the Body and Primitive Accumulation, Penguin Random House, United Kingdom.
මල්ලිකාරච්චි, ඩෙස්මන්ඩ් (2010). මාක්ස්වාදය සහ සාහිත්‍ය විචාරය, සංහිඳ ප්‍රකාශන, නුගේගොඩ.
කුඩාහෙට්ටි, බර්ටි බී (2020). ප්‍රාග්ධනය: ධනවාදයේ සම්පූර්න කතාන්දරය, සුභාවි ප්‍රකාශන, කොලඹ.
එංගල්ස්, ෆෙඩ්‍රික් (2017). සමාජවාදය: මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා සංවර්ධනය වීම, නියමුවා ප්‍රකාශන, මහරගම.





