රුවිනි මේනකා:
ඕං මේ රාත්තිරි යාමේ රුක්අත්තන මල් සුවඳ!
ඒ මල් සුවඳ එක්කෝම හිත දුවලා ගිහිං නතර වුණේ සීගිරිය දැකුම් ගන්ට කියලා ගිය දොහක දුටු දසුනක් ගාව. හැඩකාර යුවතියක් කැටපත් පවුරට දෑහ තියං අතොරක් නැතුව ඒක බලං හිටපු දසුන. මගේ හිත කිව්වේ ම එයැයි මොනව දෝ හොයනවා කියල ම යි.

‘මින්දා’ මේ ඔයා ම ද?
අග්බොයිගේ සංසාර ආදරය හොයනව ද?
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී
ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්.හිත අවුළලා නතර නොවී ඒ උමතු මල් සුවඳ ,අවාරෙ මුතු නෙළන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එළන මල් සුවඳක්.
මණිපද්මය පුරා පිටුවෙන් පිටුව නාස්පුඩු කිතිකවන හඳුන් සුවඳක් දැනෙ.දෑ සමන් මල් සුවඳකට ,හඳුන් සුවඳකට, මොර මල් සුවඳකට ඉහ උස්සන්න නොදෙන වසඟකාරී, මායාකාරී,ඒකාධීකාරී පුසුඹක් රුක්අත්තන මල් කිනිත්තක තියෙ.ළං වෙන්න වෙන්න දැනෙනවාට වැඩියෙන් ඈතින් ඈතට යන්න යන්න ඒවායෙ පුසුඹ වැඩි වැඩියෙන් දැනෙ.ඉතිං අතැර යන කෙනෙකුට උවත් ආපහු හැරෙන්න දෙවරක් නොහිතෙන පුදුමාකාර පුසුඹක්.සුවඳ යනු කිමෙක්දැයී කියා විස්තර කෙරුමට භාෂාව පොහොසත් වුණු කළෙක ඒ අරුමැසි හැඟීම කවුරුන් හෝ ලෝකයාට කියා දේවී.
එහෙව් දවසක මෙහෙව් ප්‍රේම කතාවල ආත්මීය සුවඳ ඔබට දැනේවී.වැටහේවී.
“කාලෙක ඉදන්ම ඒ මල් සුවඳ මතක දිගේ කිඳුරු රජ්ජුරුවන් පහුකරලා එන්නේ මයෙ පෙම්බරා”
ප්‍රේමය යනු රැඟීම නොව දැනවීම බවම යළි යළිත් සපථ කළ මින්දා.
කියවා තේරුම් ගන්න බැරි මොනාලීසා හිනාවක් ඕනෑම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක උවත් තිබිය හැකි බවත් ඒ වග පැවසීම පාඨකයාගේ අවංක බවත් යැයි මා අසා තිබෙනව.මණිපද්මයෙහිද අල්පප්‍රාණ මහප්‍රාණ අතර ඇතැම් විටෙක සිරවූවද එකම ආකාරයෙන් ගලා යන රමණිය හාෂා ගඟුලක කිමිද, පතුල අතනොගා ආපසු ගොඩ පිහිනන්නේ නැතැයි දැඩි අධිෂ්ටානයෙන් හඳුන් සුවඳ සමඟ හැපි හැපී රුක් අත්තන මල් සුවඳ වින්දෙමි.
ප්‍රේමයේ සම්මත රාමුව කඩා බිඳදමා ඉන් එපිට කියව බලන්නට ඒ ගැන සංවේදී වන්නට ඉගැන්වූ මණිපද්ම .
අසම්මතයි සම්මත බොහෝ සබඳකම් සම්මතයෙන් පිට ඉදන් බැලුවම සුන්දර බව පසක් කර දුනි.

ඔබ පවසන ලෙසම ඔබ ඉතා හොඳින් ප්‍රගුණ කළ එක් අයෙකුට අයිති නොවී ආදරය කිරීමේ කලාවෙහි ආනීසංස බෝ වෙතැයි සිතමි .එහෙයින්
කුටුම්බෙක කොටුවෙලා සංසාරෙට ඇලෙනවාට වඩා , ළිහිණි කුරුල්ලෙක් වාගෙ ඉගිලියන් මයෙ රත්තරනේ….නුවරින් පිට තමයි ලෝකේ කියන්නේ…
අගෝස්තු,සැප්තැම්බර් මාස වල පිපෙන රුකත්තන මලේ ආශ්චර්‍ය සුන්දරත්වය සේම ශෘංගාරාත්මක පුසුඹ
ඖෂධීය ගුණය මණිපද්මයෙහි උරාගෙන .
මඟදිගට ඇති රුකත්තන මල් දකින වාරයක් පාසා දැන් මණිපද්ම ප්‍රේමයේ පුසුඹ සිහියට එනව.

මා නිවසන මේ පෙදෙස පුරාම රුක් අත්තන ගස් ඕසෙට වැඩිලා තියෙ.මේ පිංතූරේ තියෙන්නෙ වැව ළඟ රුක්අත්තන ගහෙන් කඩාන ආව රුක්අත්තන මල්….මේ පුසුඹ තව දවස් ගානක් යනකම් ගේ ඇතුලේ ඔබමොබ යමින් අමුතු අමුතු මනෝභාවයවට හිත ඇද දමාවී.වජ්‍රබෝධී හිමි,අග්බෝයියා,මින්දා සිහි කරාවී.
මණිපද්ම කියන්නේ ම මේ සාහිත්‍ය මාසයේ පිපුණු රුක් අත්තන මල් සුවඳට .
රුක්අත්තන මල් සුවඳ කියන්නෙ ම මණිපද්මය ට
හිතේ ඉපැදෙන එසැණ මියයන අටෝරාසියක් පව්කාර හිතිවිලි අකා මකා දාලා හිත හෑල්ලූ කරගන්න හිතනකොටම…..
ආයෙමත්
හිත අවුස්සන රුක්අත්තන මල් සුවඳ!
රුවිනි මේනකා-Ruwani Menaka





