මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il

ලෝක සාහිත්‍යය තුළ මීට සමාන කළ හැකි තව යමක් වේ නම් ඒ ලියෝ තොල්ස්තෝයිගේ අවසාන නවකථාව වූ ‘රිසරෙක්ෂන්’ (පුනරුත්ථානය) විය හැකි ය. ලෝක සාහිත්‍යයේ වැදගත් කෘතියක් ලෙස සලකන නමුත් එය තොල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’, ‘ඇනා කැරනිනා’ වැනි නවකථාවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, මහා ලේඛකයකුගේ ඛාදනය වන්නා වූ හැකියා පෙන්නුම් කරන බවත් කියැවී ඇත. එහි නිරූපිත චරිත ඒකමාන ඒවා බවත්, සවිස්තරාත්මක විවරණ කෙරෙහි කතුවරයා තුළ පැවතුණු අවධානය හා අවධාරණය එහි නැති බවත් කියැවේ.

‘බව තරණය’ පෙරවදන කියවන කෙනෙකුට පෙනී යන්නේ පුද්ගලයා සහ සමාජය අතර මෙන් ම පුද්ගලයා සහ පංතිය අතර ද නව සම්බන්ධතා පිළිබඳ කේන්ද්‍රීය කරණයේ දී මාර්ටින් වික්‍රමසිංහ බෞද්ධ දර්ශනය හා බෞද්ධ සාහිත්‍යය සතු යථාර්ථවාදී ගුණය පිළිබඳ විශ්වාසය තබන බවකි. ප්‍රථම මුද්‍රණයේ සංඥාපනයෙහි ආරම්භයේ ලා මාර්ටින් වික්‍රමසිංහ මෙසේ කියයි.

“මෙය සිදුහත් – බුදු සිරිත ඇසුරෙන් රචනා කරන ලද නවකථාවකි.”

“අද්භූතවාදය අනුව ලියැවුණු රාමායණය අරාබි නිසොල්ලාසය වැනි පද්‍ය ගද්‍ය කාව්‍යයන් අප රට ගැමියන් පවා‘දෙඬුම් මුල් යුතු’ කතා මෙන් සලකා බැහැර කළේමීට අවුරුදු බොහෝ ගණනකට පෙර ය.”

“බුදුන් වහන්සේගේ දහම හා කථා කලාව පැරණි අද්භූතවාදයට ඉඳුරා පටහැණි බව බොහෝ සූත්තර දේසනාවන්ගෙන්, එහි ඇතුළත් කථාවන්ගෙන් හා ථෙර ථෙරිගාථාවලින් නිසැකව හෙළි වෙයි. හැම පැරණි බුද්ධ චරිතයක් ලියවී ඇත්තේ බුදුන් බැහැර කළ අද්භූත අලංකාර රීතිය අනුවයි. “

6.මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව i

මේ කතුවරයාගේ මහත් අබිමනට ලක්වන දහම හා පැරණි කථා කලාව පිළිබඳ එක්කරා යුතෝපියානු හා නොස්ටැල්ජියානු මතයක් සේ පෙනේ. එපමණක් නොව පැරණි සාහිත්‍යය තුළ පැරණි කථා කලාව සහ අද්භූත රීතිය අනුව ලියැවී තිබෙන විශිෂ්ට ගද්‍ය පද්‍ය සාහිත්‍යයන් අවප්‍රමාණය ද කෙරේ. එනමුත් වෝල්ටර් බෙන්ජමින් පැහැදිලි කළ අර්ථයෙන් පැරැණි කථාවේ සාමුහිකත්වය සහිත, යථාර්ථවාදී ආඛ්‍යානය උසස් කොට සැලකූ ආගමකින් අනුප්‍රාණය ලැබීම ය, මාර්ටින් වික්‍රමසිංහගේ සවිඥානික වුවමනාව ලෙස පැවතුණේ. එහි දී ව්‍යවහාරික බුදු සමය මෙන් ම දාර්ශනික හා අභිධාර්මික බුදු සමය සම්බන්ධයෙන් ද තමාගේ ම වූ අදහස් සහ ජනකායකගේ තර්ක බුද්ධිය හා ශිෂ්ටත්වය වගාදිගා කරන යහපත් ඇදහිලි පිළිබඳ විශ්වාසයක් ලේඛකයා සතු විය. ඒ ඔස්සේ පුද්ගලයා සහ සමාජය අතර අලු‍ත් විධිහේ සම්බන්ධතාවක්, නැඟී එමින් පැවතුණු මුල් කාලීන නවකථාවට හඳුන්වාදීම සිදු වුණු අවස්ථාවක පවතින්නට ඉඩ තිබෙන ආඛ්‍යාන මොඩලයක් කරා වික්‍රමසිංහ ගමන් කරයි.

වෝල්ටර් බෙන්ජමින් – Walter Benjamin

නව ප්‍රබන්ධයක ප්‍රධාන චරිතය සිද්ධාර්ථ ගෞතම වන අතරේ, ඒ චරිතය විසින් දේශිත ධර්මය කතුවරයා විසින් පිළිගනු ලැබීම, චරිතාපදානාත්මක නවකථාවක් ලෙස ඊට පරිබාහිරව පවතින්නක් වන අතරේ, එය කතුවරයාගේ ‘දෘෂ්ටිවාදී අතිරික්තය’ (ideological surplus ) සහ ‘බව තරණය’ නවකථාවේ ‘ව්‍යතිරේකය’( supplement ) ලෙස සැලකීමෙන් විනා මේ නවකථාවේ සාහිත්‍යමය අගය විමසිය හැකි මාර්ගයක් නැත. මෙහි ලා වර නැඟිය යුතු තීරණාත්මක ප්‍රශ්නය වන්නේ ඒ ‘ව්‍යතිරේකය’ ‘මුඛ්‍ය ශරීරය’ ලෙස නවකථාවට වඩා වික්‍රමසිංහට වැදගත් වී ද යන ගැටලුව යි.

තම ‘ව්‍යතිරේකය’ තම ප්‍රබන්ධය ලෙස පවත්නා ‘මුඛ්‍ය ශරීරයට’ වඩා වැදගත් වී නම්, ඒ අරභයා අප කතුවරයා දෝෂදර්ශනයට ලක් කළ යුතු ද යන ගැටලුවේ දී ‘කලාවේ හා කලාකරුවාගේ නිදහස’ පිළිබඳ මූලධර්මය මත පිහිටා සිටිය යුතු වන අතර එවැනි ප්‍රයත්නයක දී කතුවරයාගේ සාහිත්යික නොවන අරමුණ කෙබඳු ස්වරූපයේ එකක් වී දැයි විමසීම ද මැනවි.

නූතන සාහිත්‍යයට සහ කලාවට විෂය විය යුතු සමකාලීන අර්බුද, ව්‍යසන හා මැවුණු අලු‍ත් සමාජ හා පුද්ගලික අපායන් ඉදිරියේ බුදු සමය ප්‍රමාණවත් නො වන හා නිර්ව්‍යාජත්වයට අවහිර කරන්නා වූ ධර්මතාවක් වන්නේ ය යන‘නූතනවාදී’‘පේරාදෙණි’ අදහසට එරෙහිව පරිශ්‍රමශීලී ලෙස කටයුතු කරන අතරේ,බුදු සමයේ මෙන් වෙනත් ජාතික ආගමික ඇදැහිලි තුළ ද පවත්නා ඇතැම් විශ්වාස හා චාරිත්‍ර විවේචනයට ලක්කිරීම මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය ව්‍යාපෘතියේ ලා කැපී පෙනේ.

“ආචාර්ය ශරච්චන්ද්‍ර බෞද්ධ සංස්කෘතිය ‘බාල චබඩුවක්’ ලෙස සලකන්නේ ගර්වයෙනි. යති ජීවිතය හා කොළඹ ඉංගිරිසි උගත් ඇතැම් බෞද්ධයන්ගේ උපාසක සංස්කෘතිය ද යන දෙක බෞද්ධ සංස්කෘතිය ලෙස සලකන උගතුන් අතර ප්‍රාඥයකුගේ තැන ලබන්නේ බෞද්ධ සංස්කෘතිය ‘බාල බඩුවක්’ ලෙස හඳුන්වන්නා ය.”

එදිරිවීර සරච්චන්ද්‍ර-Ediriweera Sarachchandra

අභිධාර්මික බුදු සමය සහ ව්‍යවහාරික බුදු සමය එකක්නො ව දෙකකි යන මතයෙහි පිහිටා සිටිමින් ද, බෞද්ධ
සංස්කෘතියෙහි හරයෙන් තොර තර්ක බුද්ධිය සහ බුද්ධිවාදය පිළිබඳ විවේචනයකින් යුතුව ද, තර්ක බුද්ධිය නොතැකූ බටහිර කවීන් හා නවකථාකරුවන් ගැන පවසමින් ද ඊට පිළිතුරු සම්පාදනය කරන අතරේ මාර්ටින් වික්‍රමසිංහ බෞද්ධ සංස්කෘතිය තුළ ම පැනනගින ගූඪ දේවවාදී අභිචාර හා වන්දනා හෙළා දැක්කේ ය. ‘බව තරණය’ මුලින් පළ වීමෙන් දෙවසරකට පසු පළ වුණු තුන්වන මුද්‍රණයේ සංඥාපනයේ දී මාර්ටින් වික්‍රමසිංහ ඒ අරබයා විවේචනයක් ඉදිරිපත් කරයි.

“… බුදු සමය උගත් ගැමි යතිවරයකු වූ උන්වහන්සේ (සද්ධර්ම රත්නාවලිය රචනා කළ ධර්මසේනස්වාමින්වහන්සේ)
වර්තමාන නාගරික උගතුන් මෙන් විෂ්ණු. කතරගම, හූනියම් දේවතාවන් වැනි බොරු දෙවියන්ට දොහොත් නඟා වඳින්නෙක්නොවූහ. මෑතක් වන තුරු ගැමි ගැහැනිය පවා දොහොත්මු දුනටනඟා වැන්දේ බුදුන් වහන්සේට පමණි. මීට අවුරුදු පණහකට හැටකට පෙර දකුණු පළාතේ ඇතැම්ග ම්වල පන්සල් හත අටකින් එකක පමණි විෂ්ණු දේවාලයක් වූයේ…”

7 මාර්ටින් වික්‍රමසිංහ, නවකථාංග හා විරාගය, සී/ස මවුන්ට් ප්‍රකාශකයෝ,පිටුව 238

“මෙකල ඉංගිරිසි සිංහල දෙකම උගත් බෞද්ධයෝ කතරගම දෙවියන්ගේ රූපයට දොහොත් මුදුනට නඟා වඳිති. ඔවුන් එසේ කරන්නේ තමන් සිතන පතන දේ ලබාගත හැක්කේ දෙවියන්ගෙනි යි සිතන බැවිනි. ඔවුහු බෞද්ධයන් වුව ද බුදුන් වඳින විට දොහොත් මුදුනට නො නඟති. නළල් තලයට හෝ ළයට ළං වන
සේ දොහොත් ඔසවති.”

බව තරණය ‘හමාර කීම’ අවසන් වන්නේ මෙලෙසිනි.

“දයාව, කරුණාව, මෙත් සිත, මානව බක්තිය හා ලෝකෝත්තර හැඟීම ද විසින් බුදු සිරිත හා කිතු සිරිත එක සමාන වෙයි. ඒ මුනිවරයාගේ චරිත පුන්නිය චේතනාව නොහොත් බැති මෙත් වඩන සමාන දහම් කතා වෙයි.”

නවකථාව පළමුව කියවා අනතුරුව කැමැති නම් කියවනු පිණිස කතුවරයා අවසානයට ඇතුළත් කර තිබෙන ‘හමාර කීම’ කතුවරයාගේ යථෝක්ත දෘෂ්ටිවාදී අතිරික්තය සහ නවකථාවේ ව්‍යතිරේකය පිළිබඳ ස්වයං-කථනයකි.

පෙර කොටස්:

More From Author

ඇය අපූරු රාජ්‍ය නිලධාරිනියක්

“ස්ලෝමෝෂන්” පැය නම්න් කවිපොතක් කරන්නෙම අපේ ජීවීත වලට අතිරේක විරාමයක් දීපු කාල පරිච්ඡේදයක

One thought on “මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348