එරික් ඉලයප්ආරචිචි:
‘බව තරණය’ නවකථාවේ මුල් පරිච්ඡේද දෙක කුරුධර්ම ජාතකය වදාරන්නට කාරණාව වුණු භික්ෂුවක ගලක් ගසා හංසයකු මැරීම සිහි ගන්වන දඩයම් ජවනිකාවකින් ආරම්භ වී මෘත ශරීර කුණුවීමේ ජුගුප්සාජනක ආදීනව විස්තර කරන සොහොන් බිම් ජවනිකාවකින් අවසන් වේ. සිදුහත් කුමරු ඔහුගේ මිතුරන් සමඟ හිමාලය පාමුල රප්ති නදියට නුදුරු වනයේ දඩයමේ යෙදෙති. එය බටහිර නුතන නවකථාවේ හා සිනමාවේ අර්ථයෙන් හන්ටිං පාටියකි. ලියෝ තොල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’, ඇන්ටන් චෙකොව්ගේ ‘දඩයම් සාදය’ නවකථා සහ ෂොන් රෙනුආගේ ‘ “The Rules of the Game” නම් ප්‍රංශ චිත්‍රපටිය දඩ කෙළිය නිරූපිත අග්‍ර කලාවෝ වෙති.

මාර්ටින් වික්‍රමසිංහ එහි ලා පැරණි කථාවටත්, පැරණි රජුන්ගේ සුඛපරම සන්තෘෂ්ටි ධර්මයකටත් ඉඟි කරයි. නව ප්‍රබන්ධ කලාව තුළ අප මෙය තේරුම් ගන්නේ කෙසේ ද? මෙය හුදෙක් ඓතිහාසික නවකථා ලේබලය අලවා සංතෘප්තියට පත්විය නොහැකි සාහිත්‍ය විරුද්ධාභාසයක් ( paradox ) වේ. නව ප්‍රබන්ධ සන්දර්භය තුළ එය කියවීමේ දී අප කළ යුත්තේ නිතරම අතීතයට දුවන කතුවරයා අපට සමීප වර්තමානයට කැඳවීම ද?
නැවත වෝල්ටර් බෙන්ජමින්ගේ ‘කථා කියන්නා’ කරා යන කෙනෙකුට එහි ආරම්භක වැකියේ දී ම මේ ගැටලුව සමඟ පොරබැදුමක් දක්නා ලැබේ. ඔහු තම නිබන්ධය අරඹන්නේ මෙලෙසිනි.

“කතා කියන්නා යන ඔහුගේ නාමය අපට කොයි තරම් හුරුපුරුදු විය හැකි නමුත් හෙතෙම ජීවත් වන්නා වූ අන්තරතාව(immediacy) (යමක් යමෙකුට සමීපස්ථ හා ජීවමාන ලෙස පෙනී යාම) මොන යම් හෝ අයුරකින් වර්තමානික බලවේගයක් නොවේ. ඔහු දැනටමත් අපෙන් දූරස්ථ යමක් වන අතරේ තව තවත් දුරට ගමන් කරන දෙයකි. ලෙස්කොව් (රුසියානු ලේඛක නිකොලායි ලෙස්කොව්) වැන්නෙකු කතාකරුවකු ලෙස ඉදිරිපත් කිරීමෙන් අදහස් කරන්නේ ඔහු අපට තවත් ළං කිරීම නොව ඔහු සහ අප අතර දුර තවත් වැඩි කිරීමකි.”13

ඒ අනුව 20 වෙනි සියවසේ දෙවෙනි භාගයේ ලියැවුණු සිංහල නවකථාවේ කතුවරයා හැටියට මාර්ටින් වික්‍රමසිංහ
නම් වූ අපට සමීපස්ථ නවකථාකරු අපේ පොකැට්ටුවට දමා ගැනීමට වුවමනාවක් නැත. ඔහුගේ නාමය අපට කොයි තරම්
හුරුපුරුදු විය හැකි නමුත් හෙතෙම ජීවත් වන්නා වූ අන්තරතාව වර්තමානික බලවේගයක් නොවන හෙයින් ඔහු දැනටමත් අපෙන් දුරස්ථ යමක් වන අතරේ තව තවත් දුරට ගමන් කරන දෙයකි.අප තුටු විය යුත්තේ ඔහු අපට ළං කිරීමට හැකි වීම ගැන නොව
ඔහු සහ අප අතර දුර තවත් වැඩිවීම ගැන ය. ‘බව තරණය’ වැනි නවකථාවක් රචනා කිරීම සම්බන්ධයෙන් එල්ල වුණු දහසකුත් එකක් විචාර, විවේචන හා අවලාද කෙරුණේ ඔහු අපට ළංකර ගනිමිනි. ඔහු අපට ළං කර ගත හැකි නම් එසේ කළ හැකි වන්නේ බයිබල වෘත්තාන්තවල කියවෙන එඬේරාගේ ‘නැතිවුණු බැටළුවා’ සොයා ගැනීමේ අර්ථයෙන් පමණි.
කථාකරුවකු ලෙස ඔහු අපගේ නැතිවුණු බැටළුවා වන අතර ඔහු නැවතත් ඩොක්සාව’ හෙවත් බුදු සිරිත පිළිබඳ පොදුවේ අනුදත් අදහස වෙත කැඳවා ගත යුත්තේ, එඬේරා දුර කැලෑවට වැදී තම නැතිවුණු බැටළුවා සොයා ගෙන, කරපිට තබා ගෙන තම බැටළු පට්ටිය වෙත පැමිණෙන අයුරිනි.

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස්:
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-ll
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (3 කොටස)





