වෛද්‍ය සුජීවා හේමමාලි:
නිමාලි වයස අවුරුදු 38ක දෙදරු මවකි. ඇගේ වම් පියයුරේ කුඩා ගැටිත්තක් වැනි තද යමක් අතට දැනෙන බව ඇය හඳුනා ගත්තේ අහම්බෙනි. ඒ ගැටිත්ත කෙමෙන් ලොකු වන්නේ දැයි ඇයට විටින් විට සැක සිතුණද ඇය රෝහලට යාම පමා කලාය.
“සුනිල්, මේ ගෙඩිය ටිකක් ලොකුවට දැනෙනවා වගේ”
“නිමාලි, අපි යමුද doctor කෙනෙක්ට පෙන්න ගන්න. මම දැන් මාසයක් තිස්සේ ඉඳන් කියන්නේ. ඔය ලැජ්ජාව ටිකක් පැත්තකට දාලා මාත් එක්කම යමු”

අනේ මට බැහැ”
“විකාර කියන්නේ නැතුව අදම ලෑස්ති වෙන්න.”
ඇයව නිවස ලඟ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන ලද්දේ සුනිල් ය.
“මේ ගෙඩිය අපිට තව පරීක්ෂණ කරලා බලන්න වෙයි. සුනිල්ට ඕන නම් ඉතුරු පරීක්ෂණ මෙහෙන්ම කර ගන්න පුළුවන් . නැත්නම් මේ ලියුම අරන් ඉස්පිරිතාලෙට යන්න.”
සුනිල් රජයේ ආයතනයක ලිපිකරු සේවය කරන්නෙකි. මුදල් අර පරිස්සමින් පාවිච්චි කිරීම ඔහුට පුරුදු ය. ඔහු රජයේ රෝහලෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට එකඟවූවේය.
රෝහලේ බාහිර රෝගී අංශය වෙත නිමාලි රැගෙන යන ලද්දේ ද සුනිල් විසිනි. ඇය පියයුරු පරීක්ෂා කිරීමට කිසිවෙකුට ඉඩදීමට මහත් ලැජ්ජා වූවාය. එහෙත් පියයුරු පරීක්ෂාව සිදු කරනු ලැබූ කිසිවිටක ඇයව අපහසුතාවයකට පත් නොවුන බව ඇය අත්දැක්කාය.
ස්කෑන් පරීක්ෂණයක් සහ FNAC පරීක්ෂණයක් සිදු කිරීමට නියම වූයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට ඇයව යොමු කිරීමෙන් අනතුරුවය.

පරීක්ෂණ වාර්තා සමඟ සතියකින් පමණ පසු දෙදෙනාම නැවත රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනය වෙත පැමිණ සිටියහ.
“නිමාලිගෙ වාර්තා දෙකම අපි බැලුව. මේක පියයුරු පිළිකා තත්වයක් බව තමයි වාර්තා වලින් පේන්නෙ”
අනේ දොස්තර මහත්තයෝ, මොකද දැන් කරන්නේ?” සුනිල් විමසුවේ බියපත් වූ හඬකිනි.

“කලබල වෙන්න එපා. මේකට ප්‍රතිකාර තියෙනවා. අපි ඔයාගෙ මේ ගැටිත්ත ඔපරේෂන් කරල දෙන්නම්. ඒත් එක්කම පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලගටත් නිමාලිව අපි යොමු කරනවා”
“සම්පූර්ණ පියයුරම අයින් කරනවද doctor ?” නිමාලි ඇසුවාය.
“සමහර වෙලාවට නම් අපිට සම්පූර්ණ පියයුරම අයින් කරන්න සිද්ධ වෙනවා. ඒත් නිමාලිගෙ ගෙඩිය තියෙන විදිහට අපිට සම්පූර්ණ පියයුර අයින් කරන්න ඕන වෙන්නේ නැහැ. අපි පොඩි කොටසක් විතරයි අයින් කරන්නේ.”
ඇය එදින කටයුතු නිමවා නිවසට යන විට හවස් වී තිබුණි.
“අනේ මට බයයි සුනිල්”

“බයවෙන්න දෙයක් නැහැ නිමාලි. බලන්න සම්පූර්ණයෙන් පියයුරු අයින් කරත් අඩුවක් පේන්න නැති වෙන්න පලඳින්න දේවල් තියනවනේ. ඔයාගෙ ගෙඩියෙ හැටියට පොඩි කොටසක් පියයුරින් අයින් වුනා කියලා ඒක පේන්නේ නැහැ කියලත් ඉස්පිරිතාලෙන් කිව්වනේ. “
ඇය හිත හදා ගනිමින් සිටියාය. ශල්‍යකර්මයක් මගින් ඇගේ පිය යුරේ තිබූ අසාමාන්‍ය ගැටිත්ත ඇතුළු පටක කොටස් ඉවත් කරන ලදී. ශල්‍ය තුවාලය සුව වීම සඳහා සති කීපයක් විවේකයෙන් හිඳ නැවත නියමිත දිනට ඇය සායනයට පැමිණෙන ලදී. එදින ඇයව පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරන ලද අතර කපා ඉවත් කරන ලද කොටසේ පටක වාර්තා සමඟ ඇය පිළිකා රෝග සායනයේ පෙනී සිටියාය.
“නිමාලී, අපි ඔයාට දැන් පිළිකා නාශක ඖෂධ පටන් ගන්න ඕන. සති තුනෙන් තුනට අපි බෙහෙත් විදින්න ලෑස්ති කරල තියෙන්නේ…මේ ප්‍රතිකාර ගැන විස්තර අපේ වාට්ටුවේ ඉන්න නීලම් doctor හොඳට කියල දෙයි. මග ඇර ගන්නෙ නැතිව වෙලාවට බෙහෙත් ටික කරමු.

ඒ වගේම රේඩියෝතෙරපි කියන විකිරණ ප්‍රතිකාර ක්‍රමයත් පාවිච්චි කරන්න වෙනවා අපිට. නැවත පිළිකා සෛල එතන මතු වෙන එක නවත්තන්නයි, ඉතුරු වෙලා තියෙන පිළිකා සෛල විනාශ කරන්නයි අපි මේ ප්‍රතිකාර ක්‍රම දෙකම පාවිච්චි කරනවා.”
ඇය සති තුනෙන් තුනට පිළිකා නාශක ඖෂධ ලබාගන්නා අතරතුරේ දී ඇගේ immuno histochemistry වාර්තාව නිකුත් වී තිබුණි.
” මේ වාර්තාවේ හැටියට දිගින් දිගටම අවුරුදු 5 ක් හෝ දහයක් යනකම් දිනපතා බොන්න දෙන පෙත්ත අපි ඔයාට දෙන්නෙ නෑ. ඒත් තව අමතර එන්නතක් ලබා දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒකත් සති තුනෙන් තුනට එන්නත් වාර දාහතක් විතර තමයි දෙන්න ඕනේ. එතනින් පස්සේ ප්‍රතිකාර නිමයි.
ඇයට තමා ලබාගන්නා ප්‍රතිකාර ගැන සියලු විස්තර රොහල් සායනයෙන් කියා දී තිබුණි. නිමාලී කිසි විට සායනයට පැමිණීම අතපසු නොකළාය. ඇයගේ ප්‍රතිකාරයන් අතර තුර විවිධ සංකූලතාවයන්ටද ඇයට මුහුණ දෙන්නට සිදු විය. ඇය ඒ හැම විටම වෛද්‍ය උපදෙස් පිළිපැද්දාය.
“අද අන්තිම බෙහෙත දොස්තර මහත්තයෝ ” ඒ නිමාලිය.
” ඒක තමයි. අපි ඊලගට CT Scan පරීක්ෂණ, ultrasound scan පරීක්ෂණ එහෙම කරන්න දින දෙනවා. මාස තුනෙන් , හයෙන් ගෙන්න ගෙන බලනවා. නිමාලිත් තමන්ගෙ පියයුරු ස්වයං පරීක්ෂා කර ගන්න ඕන. මොනව හරි ගැටළු තියනව නම් සායනයට ඇවිත් කියන්න පුළුවනි”
” බොහොම ස්තූතියි දොස්තර මහත්තයෝ”
නිමාලී නිවසට ආවේ සැහැල්ලුවෙනි . සුනිල් රැකියාවට ගොස් නිවසට පැමිනෙණ තෙක් ඇය බලා සිටියේ සතුටු ආරංචිය කන තැබීමටය.
එහා ගෙදර කුමුදු කලබලෙන් නිමාලීව සොයා ආවේ එවෙලේය.
මොකද කුමුදු හදිස්සියේ?”
“මගේ පියයුරේ මෙන්න මෙතන මොනවද තදට අහුවෙනව නේ නිමාලි”
” ඔයා ඉස්පිරිතාලෙට යන්න. බාහිර රෝගී අංශයට පෙන්නන්න ඉස්සර වෙලාම”

“අනේ මට හරි බයයි නිමාලි. මේක පිළිකාවක් වුනොත් මගේ ළමයි බලා ගන්නෙ කවුද? මට මැරෙන්න බෑ දැන්ම”
“බය වෙන්න එපා කුමුදු , පිළිකාව මාරයෙක් නෙමේ. මේ බලන්න කෝ දැන් මම කොච්චර සනීපෙන් ඉන්න වද කියල ! “

වෛද්‍ය සුජීවා හේමමාලි-Dr.Sujeewa Hemamali





