2025 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයේ “ප්‍රශස්තතම නවකතාව” සඳහා තෙවැනි ස්ථානය හිමිකරගත් “හැරපට” නවකතාවේ කතෘවරිය සුරංගි ලියනපතිරන මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ “අරුනැල්ල” සමඟ එක්වෙයි.

2025 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයේ සම්මාන ඇගයීමේදී “ප්‍රශස්තතම නවකතාව” සඳහා වන සම්මානයේ තෙවැනි ස්ථානය ලැබුණේ “හැරපට” කෘතියටය. ලේඛිකාවක් වශයෙන් මෙම අවස්ථාව ඔබට කෙසේ දැනෙන්නේද?
මේ නිර්මාණය මගේ කෙටිකාළීන අධ්‍යයනයක ප්‍රථිපලයක්, නමුත් එහි වස්තු බීජ මගේ හිත පුරා දළු ලා වැඩෙමින් තිබුණා. එයින් හිත නිදහස් කරගැනීමේ බලවත් සිතිවිල්ලක් තිබුණා. ඒ නිසාම මට එය නොලියා බැරිවුණා. එය ආස්වාදජනකයි, මා ලියූවක් නමුත් මට නැවත නැවතත් එය කියවා විඳිය හැකියි. අත්පිටපත් තරඟයට ඉදිරිපත් කිරීමත් එයින් සම්මානයට නිර්දේශිත ග්‍රන්ථ අතර එක්වීමත් තෙවන ස්ථානය ලැබීමත් මගේ භාග්‍යයක්, එහි අන්තර්ගතය පරිසරය හා බැඳුණු පුද්ගලයකුට නම් අතිශය ආස්වාදජනක වනු ඇති. සහකම්පනයෙන් යුක්ත දයාර්ද හදැති මිනිසෙක් කම්පාවට ලක්කරවනු ඇති. එය කියවූ පාඨකයන්ගේ ප්‍රතිචාරය වූයේ එය එක හුස්මට කියවා අවසන් කළ හැකි බවයි. ඉතින් ලේඛිකාවක වශයෙන් එය මට නිරාමිස සතුටක්. මම එය විඳිමින් සිටිනවා..

ඔබේ නිර්මාණ ජීවිතයේ ආරම්භය ගැන සඳහන් කළොත්?
මම ඉතා කුඩා අවධියේ සිටම කියවිමට පුරුදු වී සිටියා. ඉතින් පාසලේ විවිධ සාහිත්‍ය තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වී යම් යම් ජයග්‍රහණ ලැබුවා. පසුව විශ්ව විද්‍යාල සමය තුලදීත් විවිධ කලා නිර්මාණ වලට දායකත්වය සැපයුවා. 2012 වර්ෂයේ මගේ පළමු නවකතාව ජනගත කළා. ඉන් අනතුරුව විවිධ පුවත්පත් වෙත නිර්මාණ ඉදිරිපත් කළා. ඒ වගේම 2020 වර්ෂයේ සිටි මුහුණු පොත හරහා නිර්මාණකරණයේ නියැළුනා. ඒ අතරත් පුවත්පත් වලට කාව්‍ය නිර්මාණ ආදිය යොමු කළා . 2020 මගේ පළමු ගීත නිර්මාණයත් ඉන් අනතුරුව තවත් ගීත හයක් පමණත් සිදු කළා. ඒ අතරින් එක් නිර්මාණයක් රුහුණ ගී සරසිය ගේය පද රචනා තරගයේ පළමු ස්ථානය ලැබුවා. 2023 වර්ෂයේ පළමු කාව්‍ය කෘතිය එළිදැක්වුවා. එය සබුද්ධි රන් සම්මාන නිර්දේශිත ග්‍රන්ථ අතරට එකතු වුණා. ඊට අමතරව එහි කවියක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වුණා.2025 වර්ෂයේ ගොඩගේ අත්පිටපත් සඳහා ඉදිරිපත් කළ හැරපට නවකතාව සම්මානය සඳහා නිර්දේශිත ග්‍රන්ථ පහ අතරට එක් වී ඉන් තුන්වන ස්ථානය ලබා ගත්තා. ඉදිරියේදිත් හැකි පමණින් කලාවේ සහ සාහිත්‍යයේ ඉදිරි ගමන වෙනුවෙන් මගේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න මම සූදානම්.

වර්තමාන සාහිත්‍ය නිර්මාණ ගැන ඔබේ ඇගයීම කෙබඳුද?
වර්තමාන සාහිත්‍ය නිර්මාණ පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී ඉතා පුළුල් ක්ෂේත්‍රයක විසිර පැතිර ගිය අනුභුතින් ඔස්සේ නිර්මාණ බිහිවෙන ආකාරය දකින්න පුළුවන්. ප්‍රවීන නිර්මාණකරුවන් අතින් වගේම ආධුනික නිර්මාණශිල්පීන් අතිනුත් ඉතාමත් අනර්ඝ නිර්මාණ බිහිවෙනවා දකින්න පුළුවක් . නමුත් ලක්ෂ්මියට සරස්වතියට එක් තැනක වාසය කළ නොහැකිවාක් මෙන් එම නිර්මාණ කරුවන්ට සාධාරණය ඉටු වෙන්නෙ නැහැ. අරුත් සුන් නිර්මාණ වලට සමාජමාධ්‍ය හරහා අතිවිශාල ප්‍රචාරණයක් ලැබෙනවා. සමාජගත නොවිය යුතු නිර්මාණ කළ එළි දකිනවා. නිර්මාණකරුවකුගේ සමාජ වගකීම තේරුම්නොගත් අඳබාල නිර්මාණ විසින් සාහිත්‍යයේ මළගම තීරණය කරනු ලබනවා. ඒ ගැන කණගාටුයි. අවර ඝනයේ නිර්මාණ පසුපස රසඥතාවයක් හෝ විචාර බුද්ධියක් නොමැති රසික පිරිස් ඒකරාශි වන බව පේනවා. මනස වෙහෙසවන අන්දමේ නිර්මාණ වලට වඩා බොහෝ විට අධි අසාමාන්‍ය හෝ බාල සිල්ලර ඝනයේ නිර්මාණ කෙරෙහි තරුණ පාඨක ප්‍රජාව ඇදී යමින් සිටින බවක් දැනෙනවා. එවැනි අවර ඝනයේ නිර්මාණ සිදු කරන නිර්මාණකරුවන්ගේ භාවිතාවන් පිළිබඳ කණාගාටු හිතෙනවා.
ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ විස්තර කළොහොත්?
ඉදිරියේදී තවත් නවකතාවක් රචනා කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරමින් සිටිනවා. ඒ වගේම 2023 වසරේ සිට සිදු කරන ලද කාව්‍ය නිර්මාණ අළලා කාව්‍ය කෘතියක් සිදු කිරීමටත් ගීත නිර්මාණ කිහිපයක් එළි දැක්වීමටත් බලාපොරොත්තු වෙනවා.
සංවාද සටහන: සුභාෂ්
“හැරපට” [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





