එරික් ඉලයප්ආරචිචි:
‘බව තරණය’ කෘතියේ එතෙක් මැවෙන චරිතයන්ගේ, විශේෂයෙන් සිදුහත් චරිතයේ ප්‍රබන්ධාත්මක වටිනාකම රැඳී තිබෙන්නේ ඔවුන්ගේ තරුණ ආලේඛ තුළ විනා ඔවුන් රඳා සිටින බව කතුවරයා කියන උපනිෂද්, බ්‍රාහ්මණ, සාංඛ්‍ය, ලෝකායත ආදී දර්ශනවාද පීඨිකාවල නොවේ. එනමුත් ජේම්ස් ජොයිස්ගේ ‘තරුණයකු ලෙස කලාකරුවකුගේ ආලේඛය’ (The Portrait of an Artist as a Young Man) නවකථාවේ මෙන් වික්‍රමසිංහ ද එකී දර්ශනවාදවලින් අනුබල ලබන හෝ නොලබන ඔවුන්ගේ තරුණ ගතිපැවතුම් නිරූපණය කරයි.

‘බව තරණය’ නවකථාව කියවීමේ දී වැදගත් වන්නේ ඒ අංශය කෙරෙහි කතුවරයා දක්වන සැලකිල්ල ය. සාක්කිය, කාසි, ලිච්චවී ජනපද පිළිබඳව තුන්වෙනි පරිච්ඡේදය අවසානයේ ඇතුළත්කර ඇති විස්තරය මඟින් ධ්වනිත කෙරෙන භෞමික සංකල්පය (territorial concept) අර්ථකථනයට භාජනය විය යුතු එකක් වන අතරේ එය නවකථාව කියවීමේ අත්‍යාවශ්‍ය නිර්ණායක් (essential criteria) ලෙස සැලකීම නොමැනවි.
ජාතික කතිකාව තුළ නවකථා කියැවීමේ භාවිතාවේ මුල් තැන ගන්නේ නවකථාවක පසුබිමෙන් උපදින එබඳු භෞමික සංකල්ප පිළිබඳ අර්ථකථන විරහිත අදහසකි. බමුණන් මෙලොව දෙවියන් ලෙස වැජඹුණු බවත්, උපනිෂද් ධර්මය ඊට එරෙහිව බිහි වූවක් බවත්, එය ක්ෂත්‍රීය කුලයේ ස්වාධීන චින්තනයක් බවත්, සාක්කිය ජනපදයේ බමුණු ආධිපත්‍යයක් නොපැවති බවත්, එහිපොදු ජනයා පීඩා වින්දේ හුදෙක් වෙළෙන්දන් හා සිටුවරයන් නිසා බවත්, ඔවුන් එවකට රජ කළ පාලක පංතියේ සැලකිලි ලද බවත්, මුදල් රාශිකරණය සහ මසුරුකම බමුණු – ක්ෂත්‍රිය සමාජයේ ගතිසිරිත් නොවන බවත් කියමින්, මාර්ටින් වික්‍රමසිංහ ගොඩනඟන භූදේශපාලනික වාතාවරණය සිදුහත් චරිතය වෙනුවෙන් ම නිපැයූවක් බව හැඟේ.
එවැනි විවේචනයක් මගින් ඉල්ලා සිටින්නේ ඉන්දුවිද්‍යාව ඔස්සේ ඓතිහාසික ඉන්දියාව පිළිබඳව ලබා ගන්නා වඩාත් නිරවද්‍ය හා යථාරූපී විශ්ලේෂණයක් විනා මාර්ටින් වික්‍රමසිංහගේ සරල ඉන්දියාවේ දොස් දැකීමක් නොවන බව කිව යුතු ය. ඉන් ඉල්ලා සිටින්නේ ඓතිහාසික නවකථාවක් ලෙස ‘බව තරණය’ රචනා කිරීමේ දී, කෘතහස්ත යථාර්ථවාදී නවකථාකරුවකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ මුහුණදෙන ලද අභියෝගය පිළිබඳ වඩාත් විචාරශීලී හා සහානුභූතික දැක්මක් පමණි. මෙතෙක් ‘සිංහල ඓතිහාසික නවකථාව’ පිළිබඳ අධ්‍යනයක් සිදු වී නැති හෙයින් ඒ වෙනුවෙන් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන විචාරය ද අසම්පූර්ණ එකක් වීමට නියමිත ය.
මගේ විචාරයට පදනම් වන්නේ ලෝක ඓතිහාසික නවකථාවේ නැඟීම සම්බන්ධයෙන් ජෝර්ජ් ලූකාස් ඉදිරිපත් කරන සාරගර්භ විචාරය යි. මධ්‍යකාලීන රොමෑන්ටික් ආකල්පයෙන් මිදී යථාර්ථවාදී ඓතිහාසික නවකථාවක් රචනා කරන යථාර්ථවාදී ලේඛකයකු මුහුණදෙන ගැටලු ලූකාස්ට විෂය වේ.

“සර් වෝල්ටර් ස්කොට්ට පෙර බිහි වූ ඊනියා ඓතිහාසික නවකථාව තුළ නිශ්චිත ලෙස ම නොපැවතුණේ ඓතිහාසිකත්වය, එනම් චරිතවල පුද්ගලභාවය ඔවුන්ගේ යුගයේ ඓතිහාසික සුවිශේෂයෙන් ව්‍යුත්පන්නකර ගැනීම ය. තම සමකාලීනයන්ගේ ඓතිහාසික නවකථා මහත් සේ විවේචනය කළ මහා විචාරක බොලූ (Boileau) අවධාරණයෙන් ඉල්ලා සිටියේ නවකථා චරිත සාමාජයීයව සහ මනෝවිද්‍යාත්මකව සැබෑ විය යුතු බව ය. පාලකයා ප්‍රේම කළ යුත්තේ එඬේරාට වඩා වෙනස් අන්දමින් ය යනාදි වශයෙනි. යථාර්ථය පිළිබඳ කලාත්මක පිළිබිඹුවේ ඓතිහාසික සත්‍යය පිළිබඳ කාරණය තවම තිබුණේ ඔහුගේ සිතිජයට එපිටින් ය.”20

අපගේ විචාරය ද නියතාර්ථයෙන් ම සිදුහත් චරිතයේ හා පසුව බුදුන් වහන්සේගේ චරිතයේ පුද්ගලභාවය ප්‍රස්තූත යුගයේ ඓතිහාසික සුවිශේෂයෙන් ව්‍යුත්පන්න කරගැනීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙනි. එනම්, සිදුහත් ප්‍රේම කළ යුත්තේ අම්බපාලිට වඩා වෙනස් අන්දමිනි යනාදි වශයෙනි. ලූකාස් කියන්නේ 18 වෙනි ශතවර්ෂයේ මහා යථාර්ථවාදී සමාජ නවකථාව පවා යථාර්ථයට එළඹීම සම්බන්ධයෙන් විශාල විප්ලවීය පිම්මක් ලබා ගත් අතරේ ම චරිතවල ආචාරධර්ම හා මානසිකය නිරූපණයේ දී එම චරිත කිසියම් සංයුක්ත කාලයකට අයිති බවක් පෙන්වන්නට ඊට වුවමනාවක් නොතිබුණු බව ය.

එහිදී සමකාලීන ලෝකය චිත්‍රණය කිරීම අසාමාන්‍ය මූර්තිධර සුවීයත්වයකින් සහ ජීවිතය හමුවේ සැබෑවන අයුරින් සිදු කරන ලද නමුත් ලෝකය ‘දෙන ලද යමක්’ ලෙස සරලව පිළිගන්නා ලද්දේ ය. එය වැඩුනේ කවදා ද, කෙසේ ද යන වග ලේඛකයාට ගැටලුවක් වී තිබුණේ නැත. ඓතිහාසික සමය චිත්‍රණය කිරීමේ
වියුක්තභාවය ඓතිහාසික ස්ථානය චිත්‍රණයට ද බලපෑවේ ය.
එනයින් ජොනතන් ස්විෆ්ට්, වෝල්ටෙයාර්, දිදරෝ වැනි ආදි – යථාර්ථවාදී ලේඛකයින් තත්කාලීන ප්‍රංශයේ එංගලන්තයේ සමාජය ‘කොහේවත් නැති – කවදාවත් නොපැවති’ අයුරින් යථාර්ථවාදී ලෙස චිත්‍රණය කළ හැටි ලූකාස් පෙන්වයි. යථාර්ථවාදය ඉමහත් කලාත්මක ශක්තියකින් යුතුව වර්තමානයේ සුවිශේෂ ගතිලක්ෂණ නොකඩවා ගෙනහැරපාන අතරේ ද මේ මූලික ආකල්පය නොවෙනස්ව පැවතුණු බව ද ලූකාස් කියයි.

ඓතිහාසික නවකථාව සිය ප්‍රාග්-ඉතිහාසයේ දී ප්‍රංශ විප්ලවයට මඟ හෙළිකරන ලද ප්‍රබුද්ධතාව (the Enlightenment) 20 George Lukacs, The Historical Novel, London Merlin Press, 1962,
p. 19

ප්‍රතික්ෂේප කරමින් රොමෑන්ටික – ප්‍රතිගාමිත්වය වැලඳ ගෙන තිබුණු අතර ඊට ඉතිහාසය පිළිබඳ දැක්මක් හෝ ඓතිහාසික ඥානනයක් හෝ නොපැවතුණි. සැබෑ ඓතිහාසික නවකථාව බිහිවීමට වුවමනා සමාජ හා දෘෂ්ටිවාදී පදනම ගොඩනැඟුණේ ප්‍රංශ විප්ලවයට මඟ හෙළිකළ විප්ලවීය ඓතිහාසික ඥානන වකවානුවට හා විප්ලවයට පසුව ය. ලූකාස් සිය මාහැඟි කෘතිය ආරම්භ කරන්නේ ද ඓතිහාසික නවකථාව 19 වෙනි ශතවර්ෂය ආරම්භයේ නැපෝලියන් බොනපාට්ගේ ඇද වැටීම සමඟ නැඟී ආ බව කියමිනි.21
සාක්කිය, කාසි, ලිච්චවී ජනපද පිළිබඳව චිත්‍රණය කරනු ලබන ඓතිහාසික ලෝකයෙහි වික්‍රමසිංහගේ ආත්මමූලිකත්වයේ සෙවණැල්ල පතිතව තිබෙන බව පැහැදිලි ය. එනමුත් දුරාතීත හා මධ්‍යකාලීන ආගමික රොමෑන්ටිකත්වයෙන් නිදහස් ඓතිහාසික හැඩරුවක් ඊට ලබා දෙන්නට වික්‍රමසිංහට වුවමනා වේ. නවකථාවේ වුවමනාව පිණිස සාර්වත්‍රික අයුරින් කවරදාටත් පොදු පුවතක් ලෙස අසාමාන්‍ය මූර්තිධර සුවීයත්වයකින් සහ ජීවිතය හමුවේ සැබෑ වන අයුරින් ‘බව තරණය’ රචනා කරන අතරේ එහි ලෝකය ‘දෙන ලද යමක්’ ලෙස සරලව නොපිළිගෙන එය වැඩුනේ කවදා ද, කෙසේ ද යන වග පෙන්වීම ඔහු තමාගේ ගැටලුව බවට පත්කර ගනියි.
වර්තමාන උතුරු ඉන්දියාවේ හිමාලය තුළ හා එහි පාමුල විසිරුණු ජාතික රාජ්‍යයන් සහ කලාපයන් සම්බන්ධයෙන් ‘භෞමිකය’ මෙන් ම‘වාර්ගිකය’ ද ගැටලු සහගතවන අයුරු ජම්මු සහ කාශ්මීර් ඇතුළු එකී ඉන්දීය උපමහද්වීපික උතුරුකරය සම්බන්ධයෙන් ලියැවුණු ‘අතීතය ආපසු ඉල්ලා සිටීම’ (Reclaiming the Past ) නම් කෘතිය අපට පැහැදිලි කර දෙයි. “

…ඩොග්රා රාජ්‍යයේ (ජම්මු දේශයට උරා ගත් දේශයක්)
භෞමික සංකල්පය භාෂික හා ආගමික වෙනස්කම් අර්ථකථනයට 21 George Lukacs, The Historical Novel, London Merlin Press, 1962,
p. 19
නම්, තහවුරුකර ගැනීමක් සැබවින් වුවමනා නම්, අත්‍යාවශ්‍ය නිර්ණායකයක් ලෙස තවදුරටත් පිළිගත නොහැකි නම්, වාර්ගිකත්වය ගැන කියනුම කවරේ ද?…”22
යථාර්ථවාදී නවකථා සන්දර්භය තුළ රැඳවිය හැකි පරිදි ‘බව තරණය’ කතුවරයා තම ප්‍රධාන චරිතයේ මානවධර්ම සලකුණු කරයි. තත්කාලීන තරුණ සමාජයෙන් එය වෙනස්වන අයුරු හොඳින් විලක්ෂණය කොට දක්වයි. ‘විරාගය’ නවකථාවේ අරවින්ද චරිතයත්, ‘ගම්පෙරළිය’ නවකථාවේ තිස්ස චරිතයත් අපට සිදුහත් චරිතයේ පූර්වගාමීන් ලෙස හමුවේ. අමුසොහොන හා සමාජ ශාලාවත්, යසෝදරා හා ගණිකාවත්, ඔස්සේ අවවරප්‍රසාදිත සමාජය හා වරප්‍රසාදිත තමාත් අතර දෝලනයවන ඔහු තාරුණ්‍යයේ දොරටුවෙන් පරිනතභාවය කරා ළං වෙයි.

නවකථාවේ මේ කලාපය ජීවිතාබෝධය ලැබීම ඔස්සේ උපනයනය ලැබීම ( coming of age) පිළිබඳ අතුරු ඓතිහාසික කථාවකි. මෙහි දී නවකථාකරුවකු ලෙස වික්‍රමසිංහ මුහුණ දෙන්නා වූ අභියෝගය වන්නේ අරවින්ද – තිස්ස චරිත දෙකේ විකාශනයේ දී ඔවුන්ගේ චරිත සමාප්තිය නොපැහැදිලිව පැවතුණත් සිදුහත් චරිතය විකාශනය කිරීමේ දී සමාප්ත තත්ත්වය පූර්ව-නිශ්චය වී තිබීම යි. නවකථාකරුවකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ මේ උගුලෙන් ගැලවෙන්නේ කෙසේ ද? ඔහුට සිදුහත් චරිතයේ අවසානය වෙනස් කළ නොහැකි ය. අවසානය පූර්ව නිශ්චිත වූ කල මැවිය හැක්කේ එක්කෝ ආගමික වශයෙන් උපදේශන සාහිත්‍යයට (didactic literature ) උචිත චරිතයකි. නැති නම් ප්‍රචාරකවාදී හා ජනතාවාදී චරිතයකි.
ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහට ගැලවෙන්නට පුළුවන් එක ම මාර්ගය සිදුහත් චරිතය අවසානය දක්වාම යථාර්ථවාදී චරිතයක් කිරීමෙන් පමණි. එවකට එවැනි බරපතළ නවකථා සාහිත්‍ය ගැටලු විසඳා ගන්නට අද මෙන් ‘මැජිකල් යථාර්ථවාදී විසඳුම’ යෝජනා වී නොතිබීම වික්‍රමසිංහගේ මෙන් ම අපගේ ද වාසනාවකි. 22 Vernon Hewitt, Reclaiming the Past, Portland Books, 1995, p. 13

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස්:
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-ll
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (3 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (4 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (5 කොටස)
- මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (6 කොටස)





