දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (අවසාන කොටස)

මගේ අදහස කෙටියෙන් සාරාංශගතකර..

මේක හොඳ අවස්ථාවක්, සරලව ලියන්න හිතාගෙන හිටපු අදහසක් සාරාංශ ගතකරල පල කරන්න.

සරල හෞතිකවාදීන්
අපි අපේ පොඩිකාලෙදි දැකල තියෙනව, වාමාංශිකයන්, මාක්ස්වාදීන්, කොමියුනිස්ට්කාරයන් සහ විකල්ප මත දරන ප්‍රගතිශීලී කොටස් විශ්වාස කරපු සරල හෞතිකවාදය හා විද්‍යාත්මක මතවාදයන් මත පිහිටල, ‘දෙවියන් නැත’, ‘ ආගම මිත්‍යාවක්’ වගේ කාරනාවන් රැඩිකල් මතවාදයන් විදියට ඉදිරිපත් කරල, ජයග්‍රහණය කරන්නත් පුලුවන්කම තිබුන හැටි. ආගම් අදහපු , විඥානවාදී තර්ක ගොඩනගපු කොටස්, මතවාදීව පරාජය කරන්න මේ කාලයේ අපහසු උනේ නෑ.

Karl Popper

සාපේක්ෂතාවාදීන්ගේ අභියෝගය
ඊට පස්සේ එලඹෙන්නෙ මේ සරල භෞතිකවාදීන්ගේ අවාසනාවන්ත කාලය. කාල් පොපර්, තෝමස් කූන් සහ පෝල් ෆෙයරාබන්ඩ් වැන්නන්ගේ අදහස් වලින් පෝෂණය වෙන නලින් ද සිල්වාගෙන් පටන්ගෙන චම්පික-ගෙවිඳු සහ චන්න ජයසුමන-තමුලු මලිත්ත පියදිගම දක්වා වන සාපේක්ෂතාවාදීන් (නැතිනම් පශ්චාත් නූතනවාදීන් හෝ සංශයවාදීන්) මේ සරල හෞතිකවාදීන්ට සෘජුවම එල්ලකරන අභියෝග හමුවේ කොවුර්වාදීන් සිට කාලෝෆොන්සේකා-වික්‍රමබාහු-සුචරිත ප්‍රමුඛ විශාල වාමාංශිකයන් ධාරාවක් ඇතුලු කණ්ඩායම් ( ආගම් විවේචනයට ලක්කිරීම නිසා, වෙනස්කම් තිබියදීත් මේ කන්ඩායම හඳුන්වන්න යොදාගත හැකි තවත් නමක් තමයි “නිරාගමිකයො” කියන එක ) නන්නත්තාර වෙනව. ආගම මිත්‍යාවක් නම්, ඒවගේම උපකල්පනවලින් සැදුනු විද්‍යාවත් මිත්‍යාවක් කියල මේ සාපේක්ෂතාවාදීන් අභියෝග කරනව.

Sucharitha Gamlath

බටහිරින් එන කොන්ටම් භෞතිකවිද්‍යාවේ නව දැනුම් පද්ධති මේකට හොඳ පසුබිමක් හදල දෙනව. නලින්ල නාථ දෙවියොවගේ දේවල් කරලියට ගෙනල්ල, මේ කොටස් වලට සෘජුවම අභියෝග කරනව. දැන්වෙනකොට දර්ශනය තරමක් හදාරා තියෙන අයෙක් දන්නව මේකෙ බරපතළ කම. ආපසු හැරවිය නොහැකි විදියට සරල හෞතිකවාදීන්, නැතිනම් නිරාගමිකයො දාර්ශනිකව පරාජය ලබල ඉවරයි.

ලංකාවේදී මාක්ස්වාදීන්
දැන් මේ පරාජිත කන්ඩායම නියෝජනය කරන ‘අපේ කන්ඩායම’ තමයි, ලංකාවේ මාක්ස්වාදීන් නැත්නම් විද්‍යාත්මක සමාජවාදයක් ගැන කතා කරපු කට්ටිය* . මේ පිරිස විද්‍යාත්මක ක්‍රමය ඇතුලු සරල හෞතිකවාදය අර්බුදයට යනකොට, සරල භෞතිකවාදී අදහස් නැවත ගොඩගත නොහැකි ලෙස ප්‍රතික්ෂේප වෙනකොට, ඒකට මුහුන දෙන්න නව දැනුමක් සම්පාදනය කරගන්න අසමත්වන නිසා විනාශවී යෑමට නියමිත ජීවීන් කොටසක්.

එහි සරල අර්ථය වන්නේ මොවුන් ‘මේ සියල්ල මෙසේ වීමට අවශ්‍ය ගැඹුරු හේතුවක් තිබෙනා නිසා ලෝකය ක්‍රියාත්මක වන අනිවාර්යය රාමුවක් තිබෙනවා’ කියා සිතිම දැන් බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්වී ඇති බවයි. එවැනි අනිවාර්යයතාවයක් තිබෙන්නේ ඇයිද කියා සංශයවාදියෙක් හට පහසුවෙන් ප්‍රශ්න කළ හැක. ඉතාමත් දුර්වල සංශයවාදියෙක් හට වුවත් මෙම අදහස් බිමට දැමිය හැකි වනවා යන කටුක සත්‍යය පිළිගැනීමට දැන් අපට සිදුවෙයි.
මිලිටරි ආගමික අන්තවාදය සහ අධානග්‍රාහී චින්තනයේ ජයග්‍රහණයට “දාර්ශනිකව” මුහුණදීම
දැන් මේ නලීන් ප්‍රමුඛ සාපේක්ෂතාවාදීන්, එහි තාර්කික අවසානයක් කරා ලඟාවෙන්නෙ, අධානග්‍රාහී ආගමික මිලිටරි අන්තවාදයක් ලංකාව තුල ජයග්‍රහණය කරවමින්. සම්ප්‍රදායික වාමාංශිකයන් හා මාක්ස්වාදීන්ට මේකට මුහුණ දීමට අවශ්‍ය නව දැනුම සම්පාදනය කරගන්න බැරිවෙනකොට, ලංකාවේදී මේ දැනුම කුඩාවට හෝ බිහිවෙන්නේ මහපාරෙදි. ( රොහාන්, දීප්ති සහ X කන්ඩායම වගේ ) ප්‍රංශය ප්‍රමුඛ බටහිර දාර්ශනික සමාජයෙන් එන සමපේක්ෂන යථාර්ථවාදී නැතිනම් සමපේක්ෂන භෞතිකවාදී ( Speculative Materialist) ධාරවන්ට පමනයි ලෝකයේ මේ සාපේක්ෂතාවාදීන්ට දාර්ශනික අභියෝගයක් එල්ල කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ප්‍රංශ දාර්ශනික මෙයුසු ( Quentin Meillassoux ) ප්‍රමුඛ චින්තන ධාරාවේ ආභාසය ලබන වංගීස සුමණසේකර ප්‍රමුඛ බටහිර ඉවුරේ දර්ශනය / බව සටහන් කන්ඩායම වගේ කුඩා කණ්ඩායමක් තමයි මේ දැනුම ලංකාවට ගෙන ඒමේ උත්සාහයක් මේවනවිට දරමින් ඉන්නෙ.

Quentin Meillassoux

“දේශපාලනිකව” මුහුණදීමට මාක්ස්වාදයේ නවමානයන් විවෘත කරගැනීමට යෝජනාවක්
මම යෝජනා කරමින් ඉන්නේ, මෙම සාපේක්ෂතාවාදීන්ට දේශපාලනිකව මුහුණදීමට, සරල භෞතිකවාදී පදනම් මත ඉඳගෙන මාක්ස්වාදය විග්‍රහ කරමින් සිටීම, ඔවුන්ගේ උගුලට අසුවීමක් බවත්, මාක්ස්වාදයේ හරි වැරැදි සොයන්නට හෝ නිවරැදිභාවය සාධනයට උත්සාහ කරනවා වෙනුවට ( ලංකාවේදී තමුලු මලිත්ත වැන්නන්ගේ බොරුවලවල්වල නොවැටී ), සැබෑ මාක්ස්වාදීන් කලයුත්තේ මාක්ස්වාදයේ නවමානයන් විවෘත කරගැනීමට උත්සාහයක් දැරීම බවත්ය.

උදාහරණයක් ලෙස මාක්ස් එක්දහස් අටසිය ගනන්වලදී පලකල ආර්ථික කරුණුවලට දැන් බිහිවී ඇති නව දැනුමෙන් ඉතා පහසුවෙන් අභියෝග කලහැක, නමුත් වැදගත් කාරනාව මාක්ස් නාටකාකාරයෙන් තම අතිවිශාල සාහිත්‍යය තුල දැක්වූ කරුණු විශ්වීය විමුක්තියක් වෙනුවෙන් උපායමාර්ගික ප්‍රවිශ්ඨයක් ( Strategic Tool ) ලෙස යොදා ගැනීම විප්ලවවාදීන්ට වැදගත් වන්නේ කෙසේදැයි හැදැරීමට ආරම්භ කිරීමයි. ඉසබෙලා ගාරෝ ( Isabelle Garo ) වැන්නියක හඳුන්වා දෙමින් මා පලකල ” දේශපාලනික මාක්ස්වාදයක් සදහා ” (Towards Political Marxism) ලිපිපෙලෙහි අරමුණ එයයි.

පසු සටහන්

විද්‍යාත්මක සමාජවාදයක් ගැන කතා කරපු කට්ටිය කරන්නේ මාක්ස්වාදය විද්‍යාවක් බවට යෝජනා කිරීමයි. මා තේරුම් ගත් ආකාරයට මින් ඔවුන් අදහස් කරන්නේ විද්‍යාවක් ලෙස මාක්ස්වාදය තවමත් වලංගු බව කීමට උත්සාහ කිරීමයි. මට මෙතන විද්‍යාව සම්බන්ධයෙන් ඔවුන්ට ඇති අදහස එතරම් පැහැදිළි නැත. නමුත් “විද්‍යාව විසින් කරන්නේ වාස්තවික ලෙස පවත්නා ලෝකය නිවැරදි ලෙස පැහැදිලි කිරීම” වැනි අදහසක් වෙනුවෙන් අපට තවදුරටත් පෙනී සිටීමට පහසු වනවා කියා මා සිතන්නේ නැත. මේ මගින් කරන්නේ සත්‍යය පිළිබඳව ‘ගැලපීමේ ප්‍රවාදය’ (Correspondence Theory‘) එතරම් ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගැනීමයි. එයට අනුව සත්‍යය යනු අදහසක් සහ එයින් බාහිර දෙයක් අතර ඇති පරිපූර්ණ ගැලපීමයි. මෙය ඓතිහාසිකව මුහුණ දුන් දාර්ශනික අභියෝගය වන්නේ, අදහසකින් පරිබාහිරවූ දෙයක් සමග අදහස ගැලපෙන බව සන්සන්ධනය කිරීම සඳහා අප අපේ අදහස් වලින් එළියට ගොස් ඒ දෙස බලන්නේ කෙසේද යන්නයි. එම නිසා විද්‍යාව මගින් හෙළි කරන ලෝකය අපට සාපේක්ෂවේ කියා කියන්න සිදුවෙයි. මෙවැනි ප්‍රශ්න වලින් ගොඩ ඒම සඳහා අප විකල්ප පැහැදිලි කිරීමක් ‘පැවැත්ම’, ‘සත්‍යය’, ‘විද්‍යාව’ වැනි අදහස් වලට ලබා දිය යුතුය. ප්‍රංශයේදී බදියු, මෙයසූ ප්‍රමුඛ සමපේක්ෂන භෞතිකවාදීන් සහ තවත් අය උත්සාහ කරන්නේ මෙයයි. නමුත් එහිදී මාක්ස්වාදය සමග මේ සම්බන්ධය පැරණි අර්ථයෙන් තබා ගැනීම පහසු නැත. අනෙක් අතට, කෙනෙක් විද්‍යාව පිළිබඳව ඉහත සාපේක්ෂතාවාදී අර්ථයෙන් වුවත් විශ්වීය ලෙස වලංගු වනවා කියා කිවහොත්, එය තවදුරටත් පරම අර්ථයෙන් නිවැරදි වනවා කියා කිව නොහැක.

එම නිසාම සෑම විද්‍යා ප්‍රවාදයක්ම අනාගතයේදී වෙනස් වීමේ හැකියාවට අනිවාර්යයෙන් යටත් වෙයි. සත්‍ය වශයෙන්ම විද්‍යාවේ අද්විතීය ලක්ෂණයක් වන්නේ එහි ස්වං-වර්ධනය තුළ එහි අතීත අදහස් එය විසින්ම විනාශ කිරීමයි. නිව්ටන්ගේ භෞතික විද්‍යාව වැනි සියවස් කීපයක් අඛණ්ඩව පවතින ශ්‍රේෂ්ඨ විද්‍යා ප්‍රවාද වලට පවා මෙම ඉරණම අත්වෙයි. එම නිසා කෙනෙක් වර්තමාන සමාජය පැහැදිළි කළ හැකි විද්‍යාවක් ලෙස මාක්ස්වාදය ගත්තද, එමගින් එය අනාගතයේදී අවලංගුවී යාමේ අනතුර ඉතිරි වෙයි. සංශයවාදීන් හා පශ්චාත්නූතනවාදීන් ලංකාවේදී නම් නලින් ද සිල්වා ප්‍රමුඛ කන්ඩායමේ නිර්දය ප්‍රහාරයට ලක්වන්නේ මේ විද්‍යාව සමග ගැටගැසූ මාක්ස්වාදයයි. අප මේ වරද නැවත නොකල යුතුය. මේ නිසා මාක්ස්වාදයෙන් ඔබ්බට ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්‍යවශ්‍ය ගැටලුව නිර්වචනය කිරීමේදී, අප සාම්ප්‍රදායික විසඳුම්වල උගුලට නොවැටීමට උත්සාහ කළ යුතුය.

” සත්‍ය සහ අව්‍යාජ මාක්ස් යනු කුමක්ද ? ” යන ප්‍රශ්නය අපගේ චින්තනය දිළිඳු කරයි. මාක්ස්ගේ කෘතීන් තුළ අප සොයා ගන්නා දෙය, යම් අර්ථයකින්, අනාවැකියක් ගොඩනැගීම සහ ඉලක්කයක් නිර්වචනය කිරීම අතර දෝලනය වන නාට්‍යානුසාරී දෙයක් බව පෙනේ. එම යුගයේ සමාජවාදී කතිකාව සංකල්ප දෙකකින් සමන්විතවූ නමුත් ඒවා ප්‍රමාණවත් ලෙස වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වී ඇත.

පෙර කොටස්:

More From Author

ඉක්බාල්ගේ විමුක්ති ගීත සමුදාය

දිය ඇල්ලක් කතා කරයි!

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348