සමන් කළුආරච්චි:
දිය ඇල්ලක ලස්සන තියෙන්නේ රැඳිලා තියෙන්නේ වතුර කඩා හැලෙන විදියෙන් ද? එහෙමත් නැතිනම් කඩා හැලෙන වතුරත් එක්ක මතුවන ගෝසාවෙන් ද?
ගල් කුළු මැද්දෙන් දිය දහරාව කඩා වැටෙන චමත්කාරයත් එක්ක අර කිව්ව මහා ගෝසාවත් එකට එකතු වුණාම තමයි ලස්සන!
ඒත් දිය ඇල්ල තමන්ගෙ ලස්සන කියා පාන්නේ ඒ දෙකෙන් විතරක්ම නෙමෙයි. දිය ඇල්ලක් කතා කරන තවත් භාෂාවක් තමයි දිය ඇල්ලේ වතුරෙන් මතුවන පැහැය… නැතිනම් වර්ණය.
මේ කරුණ සටහන් කරන්නට හිතුණේ සති අන්තයේ උදේ වරුවම දිය ඇලි දෙකක් පාමුල කාලය ගත කළාට පස්සෙයි. දිය ඇලි දෙක තියෙන්නේ එකිනෙකට බොහොම ළඟින්. කිලෝමීටර් දහයක විතර දුරින්. එකම වනාන්තර භූමියක. ඒත් ඒ දිය ඇලි දෙකේ වර්ණය එකිනෙකට හාත්පසින්ම වෙනස්.
එක දිය ඇල්ලක් Shannon Falls. ඒක බොහොම ජනප්‍රිය දිය ඇල්ලක්. ඒකට හේතුව ඒ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ “Sea to Sky’ කියන අති සුන්දර අධිවේගී මාර්ගයට බොහොම කිට්ටුවෙන් නිසා. ඒ හින්දා බොහොම දෙනෙක් යන එන තැනක්. අනෙක් දිය ඇල්ලත් ළඟ පාතම තිබුණත් තියෙන්නේ තරමක වන වදුලක් ඇතුළේ. ඒ හින්දා ඒ දිය ඇල්ල බලන්න යන පිරිස අඩුයි. ඒ දිය ඇල්ලේ නම Mamquam Falls. (ආදි වාසී භාෂාවෙන් Mamquam කියන නමේ තේරුම “සැමන් මසුන් බහුල වූ” කියන එකයි).

මේ දිය ඇලි දෙකම පුදුමාකාර විදියට සිත් ඇදගන්නා දිය ඇලි දෙකක්. ඒත් මේ දිය ඇලි දෙක කතා කරන්නේ භාෂා දෙකකින්. ඒ කියන්නේ දිය ඇල්ලේ වතුරට මුහුවෙලා තියෙන පාටින්.
මුලින්ම කිව්ව Shannon Falls කියන දිය ඇල්ලේ තියෙන්නේ ලංකාවේ අපි කවුරුත් දන්න හඳුනන දිය ඇල්ලක සුපුරුදු පැහැය. ඒ කියන්නේ සුදෝ සුදු පැහැය. ඒ පැහැය තමයි ලෝකයේ බොහෝ දිය ඇලිවල තියෙන පොදු පැහැය.

ඒත් දෙවැනිව කිව්ව Mamquam Falls කියන දිය ඇල්ලට තියෙන්නේ අමුතුම පාටක්. එකවරම හිත පැහැරගෙන යන නිල්-කොළ පාටක්! මේ කියන පැහැයට ඉංග්‍රීසියෙන් තනි වචනයක් තියෙනවා : ‘turquoise color’. (‘පච්ච නිල්’ කියලා සිංහලෙන් කියන්න පුළුවන් වුණත් හරිම වචනය ඒක ද කියලා විශ්වාස නැහැ). මේ පැහැය ගැන කවි ලියද්දී ඉංග්‍රීසි කවියන් නම් හරිම අපූරු යෙදුම් භාවිත කරනවා. “Glacial blue” (ග්ලැසියර් නීල වර්ණය), “Icy jade” (ජේඩ් සිසිලස), “Crystal seafoam” (පළිඟු පෙන කැටි) වගේ යෙදුම්.

Turquoise කියන නම නිර්මාණය වෙලා තියෙන්නේ “turques” කියන ප්‍රංශ වචනයෙන්. ඒ වචනයේ තේරුම තූර්කි (“Turkish“) කියන එකයි. ඒකට හේතුව යුරෝපීයන්ගේ සිත් අමන්දානන්දයට පත් කළ ආකර්ශනීය නිල්-කොළ පැහැති මැණික් ගල් යුරෝපයට මුලින්ම පැමිණියේ ඔටෝමන් අධිරාජ්‍යයෙන් හින්දයි. මුලින්ම ඒ නම පාවිච්චි කළේ ඒ පැහැය තියෙන මැණික් ගල් හඳුන්වන්න. දැන් ඒ පැහැය හඳුන්වන්න පොදුවේ කියන්නෙත් Turquoise කියලයි.
එක ළඟම තිබුණත් මේ දිය ඇලි දෙකට මේ විදියට එකිනෙකට වෙනස් පාට දෙකක් තියෙන්නේ ඇයි?
මුලින් කිව්ව Shannon Falls වලට වතුර ලැබෙන්නේ අහස උසට නැගුණු කඳු මුදුන්වල රැඳිලා තියෙන මිනිස් පා පහස නොලත් සුපිරිසිදු හිම තට්ටු දියවෙලා ඇවිත්. මේ හිම කඳු ග්ලැසියර නෙමෙයි. (හිම තට්ටුවලින් වැහිලා තියෙන හැම කන්දක්ම ග්ලැසියරයක් නෙමෙයි). අඳුරු කළු පැහැති ගල් ශිඛර මැද්දෙන් අර කිව්ව හිම සුදු පැහැයෙන් වතුර ගලාගෙන එද්දී කළු-සුදු කියන එකිනෙකට ප්‍රතිවිරුද්ධ පැහැයන් දෙකෙන් මතු කරන සුන්දරත්වය (contrast) හරිම අපූරුයි.
ඒත් Mamquam Falls වලට ප්‍රධාන වශයෙන්ම වතුර සැපයෙන්නේ ග්ලැසියර් දිය වෙලා. ග්ලැසියර් නිර්මාණය වෙන්නේ වසර ගණනාවක ස්ථිරසාර හිම තට්ටුවලින්. ඒ හිම තට්ටු විශාල බරක් දරාගෙන ඉන්නවා. ඒ වගේම විවිධාකාර පාරිසරික හේතු හින්දා ඒවායේ චලනයන් සිද්ධ වෙනවා. මේ චලනයන් වලදී ඒවා යට තියෙන ගල් කුළු සීරීමට ලක් වෙනවා. මේ සීරීම හින්දා ගල් කුළුවල මතුපිට කොටස් පවුඩර් තරම් ඉතාම සියුම් අංශු (“rock flour”) වලට කැඩෙනවා.
ග්‍රීස්ම සෘතුව උදාවත් එක්ක ග්ලැසියර් දියවෙලා ගංගා ඇළ දොළ දිය ඇලි වලට එකතු වෙද්දී ඒ දිය දහරාවන්ට අර කිව්ව සියුම් ගල් කුඩුත් එකතු වෙනවා. ඒ අංශු කොයි තරම් සියුම් ද කියනවා නම් ඒවා දිය පත්ලේ තැන්පත් වෙන්නේ නැහැ. ගලාගෙන යන වතුර පහරත් එක්ක එකටම මුහුවෙලා ඔහේ ගලාගෙන යනවා. මේ වතුර පහරට හිරු එළිය වැටුනාම තමයි වතුර විවිධාකාර විදියට වර්ණ ගැන්වෙන්නේ. ඒ නිසා ඉර එළිය වැටෙන ස්වභාවය අනුව දිය ඇල්ල බොහෝ වෙලාවට අළු පැහැය මුසු වුණු කිරි පැහැයකට හැරෙනවා. ග්‍රීස්ම සෘතුව උදාවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඒ කියන්නේ ග්ලැසියර් තදින්ම දිය වෙන්න පටන් ගන්න වෙලාවේ, අවශ්‍ය ප්‍රමාණයට හිරු එළියත් ඒකට මුහු වුණාම තමයි අර කිව්ව මායාකාරී නිල්-කොළ පැහැය (turquoise color) වතුරට ලැබෙන්නේ. වාසනාවකට වගේ අපි දිය ඇල්ල ළඟට ගියේ අන්න ඒ වගේ දුර්ලභ වෙලාවක.

ඒ වෙලාවට දිය ඇල්ල සුපුරුදු විදියටම කිරි පැහැයෙන් බිමට කඩා ගෙන වැටෙනවා. ඊට පස්සේ වේගයෙන් ගලා ගෙන ඇවිත් පහළින් තියෙන සාපේක්ෂව නිශ්චල ජල ධාරවට එකතු වෙලා සන්සුන් වෙනවා. හරියට වේගයෙන් දුවගෙන දුවගෙන ඇවිත් ඒ මදිවාට ගල් කුළිනුත් පහළට කඩාගෙන වැටෙන්නට වුණාට පස්සේ ටිකක් නතර වෙලා නිස්කලංකව හුස්ම ගන්නවා වගේ. අන්න ඒ වෙලාවට තමයි මේ නෙත් සිත් පැහැර ගන්නා පැහැය හොඳටම දකින්න පුළුවන් වෙන්නේ.
ඒ වෙලාවට ඒ දිය දහරාව ළඟට වෙලා ඕන තරම් කාලයක් ගත කරන්න පුළුවන්… පැය ගණනක් වුණත්! ඒකට හේතුව හුදෙකලාව… ශාන්ත භාවය වගේ හිතේ නිස්කලංක බවක් ඇතිකරන මනෝ ස්වභාවයක් ඇති කරන්න මේ කියන turquoise පැහැයට පුළුවන්කම තියෙන හින්දා. ආදිවාසී මුල් ජනකොටස් කියන විදියට මේ Turquoise පැහැය අහස – පොළොව එකිනෙක යා කරන පූජනීය පැහැයක්. එයින් සංකේතවත් වෙන්නේ භෞතික ලෝකය සහ අධ්‍යාත්මික ලෝකය අතර තියෙන සුසංයෝගය…එකමුතුකම!
ඔවුන්ට මේ පැහැය හැම අතින්ම වැදගත්. කලිනුත් කිව්වා වගේම හුදෙකලාව, නිස්කලංකභාවය විතරක් විතරක් නෙමෙයි ‘සුවපත් කිරීම’, ‘ආරක්ෂාකාරී බව’, ‘ප්රශස්ත සමබරතාව’ කියන විවිධාකාර ගුණාංගය සංකේතවත් කරන පැහැයක් විදියට තමයි ඔවුන් මේ පැහැය නම් කරන්නේ. මේ නිසා Turquoise පැහැය මුහු වෙච්ච ආභරණ සහ කලා නිර්මාණ ආදිවාසී සංස්කෘතික උත්සවවලට නිතර යොදා ගන්නවා. එයින් ඔවුන් පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ පරිසරයත් එක්කම එකට ජීවිතය ගත කළ ආදි මුතුන් මිත්තන්ගේත්, ඔවුන්ගේ ජීව ගුණය මුසු වුණු පරිසර පද්ධතියේත් රැකවරණය නූතන පරම්පරාවට ළං කර දීමේ සංකේතයක් විදියට. මේ පැහැය මුසුවුණු අබරණ මගින් නිරෝගී දිවියක්, අධ්‍යාත්මික දියුණුවක් වගේම නැණ නුවණ වර්ධනය වීමත් ඇති කෙරෙන බව ඔවුන් විශ්වාස කරනවා.
දිය ඇල්ලක ස්වභාවය කොහොමත් ප්රචණ්ඩකාරීයිනේ. එහෙමත් නැතිනම් ආවේගකාරීයි. මුලදී කිව්ව Shannon Falls වගේම අපේ රටේ දිය ඇලිවල ස්වභාවයත් ඒකම තමයි. ඒ ආවේගකාරී ජල ප්රවාහයට, දිය ඇල්ලේ සුදෝ සුදු බව එක් වුණාම එතැනින් මතුවෙන්නේ තරමක තේජස් ගතියක්… ගම්බීර බවක්! ඒ මනෝ ස්වභාවය අර කිව්ව turquoise මනෝ ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. නීතිමය භාෂාවෙන් කියනවා නම් ‘සුනිල්වන් සන්සුන්කමට’ එරෙහිව ‘සුදෝසුදු බලහත්කාරය’ වගේ අදහසක්; turquoise calmness vs. white force
ඒ නිසා තමයි මුලදීම කිව්වේ මේ දිය ඇලි දෙක කතා කරන්නේ භාෂා දෙකකින් කියලා… එකිනෙකට වෙනස් ස්වර දෙකකින්!
ස්වභාවික පරිසර පද්ධතියක් තුළ Turquoise පැහැය වතුරට මුහුවෙනවා කියන්නේ ඉතා යහපත් නිරෝගී පරිසර පද්ධතියක් තියෙනවා කියන එක බව නූතන පරිසර විද්‍යාවේ මතයයි. පරිසර දූෂණය අවමයි කියන කාරණාව තමයි එයින් අවධාරණය කරන්නේ. ඒත් නූතන විද්‍යාව ඒ බව සොයා ගන්න බොහොම කලින් ආදි වාසී මුල් ජන කොටස් ඒ කාරණාව සක් සුදක් සේ දැනගෙන හිටියා. මේ නිසා මේ පැහැය ජලයට මුසු කරමින් පරම්පරා ගණනාවක් ඈත අතීතයේ මේ භූමියේ සිටි මුතුන් මිත්තන් කිසියම් පණිවිඩයක් අපට එවන බව ආදි වාසී මුල් පදිංචිකරුවෙකු දවසක් මට කිව්වා. ඒ තමයි පරිසරයත් එක්ක අපිට නොවැළැක්විය හැකි බැඳීමක් තියෙන බව වගේම පරිසරය සුරක්ෂිත කර රැකබලා ගැනීමේ වගකීම බරපතළ විදියට අපි භාර ගන්නට ඕන කියන පණිවිඩය.
ඔහු කීවේ ඇත්තක්. දිය ඇල්ල පාමුල මේ මායාකාරී නිල් කොළ පැහැය දිහා බලාගෙන ඉන්දැද්දී අතීතයෙන් ගලා ගෙන එන ඒ හඬ අපිටත් ඇහුණා…. ඒ වගේම පුදුමාකාර විදියට හදවතට දැනුණා.
(අති සුන්දර Mamquam දිය ඇල්ලේ අසිරිය මෙහි සටහන් කර ඇති කෙටි වීඩියෝ සබැදියෙන් ද නැරඹිය හැකිය. මෙම වීඩියෝවේ අයිතිය Wandering Sole Images සතුය.)

සමන් කළුආරචිචි-Saman Kaluarachchi





