හිත්තටියගේ සමන්ත:
මෙම ලිපිපෙල ලංකාවේ මෑත කාලීන දේශපාලන ප්‍රබෝධය තුළ, බොහෝ දුරට පසෙකටවී ඇති මාක්ස්වාදී අදහස් සමස්ථය පිළිබඳවවූ විවේචනාත්මක ප්‍රවේශයන් නැවත සලකා බලයි. ලංකාවේ මේ නව දේශපාලන ප්‍රවේශයන්හිදී බොහෝ විට ප්‍රකාශිත වන්නේ නිර්මාක්ස්වාදී අදහස් යැයි ප්‍රකාශයට පත්කිරීමේ හිඟයක් නොතිබුණද, මෙම රචනය තර්ක කරන්නේ අර්ථකථනයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, විචාරශීලී මාක්ස්වාදී භාවිතයක් ගැන සිතීමට වඩාත් පුලුල්වූ විෂය පථයන් තුළ ඉඩ ලබාදී ඇති බවයි.
විලාසිතාවකට ‘ මාක්ස්වාදය ‘ ප්‍රතික්ෂේප කරන සිංහලෙන් ලියන ලංකාවේ රැඩිකල් වාමාංශික බුද්ධිමතුන් මෙන් නොව, ‘බටහිර ඉවුරේ දර්ශනය ‘ හා ‘ බව සටහන් ’ මා හට සුවිශේෂී වන්නේ ග්‍රම්සි,අල්තුසර් කල එකතු කිරීම් පිළිබඳවත් බදියු , ලැක්ලාවු හා මුෆේ වැනි පශ්චාත් මාක්ස්වාදීන් කල ඉතාමත් සංකීර්ණ ගැඹුරු විවේචනයන් පිළිබඳවත් සංයුක්ත අධ්‍යයනයක් එහි කර ඇතැයි විශ්වාස කරනා බැවින් ( එම ලිපි කියවූ විට තේරුම් යන ආකාරයට ) සහ මේ විවේචනාත්මක අධ්‍යයනයන් වර්තමානයේ නඩත්තු කල යුතු ආකාරය පිළිබඳවවූ ඔවුන්ගේ අදහස වඩා විවෘතව හා සංයුක්තව ප්‍රකාශිත බැවිනි.
මා දකිනා ආකාරයට, ‘ බටහිර ඉවුරේ දර්ශනය ‘ හැරුනු කොට බොහෝ සිංහල වාමාංශික බුද්ධිමතුන් මේ කාරනයේදී ( මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීමේදී ) ජේ.ආර්.පී. සූරියප්පෙරුමට වඩා ඉදිරියට නොගොස් ඇතැයි මට සිතේ.
කෙසේ වුවත් ‘බටහිර ඉවුරේ’ මෑතකදී පලකල ලිපි කිහිපයක් බැලූවිට, ” දේශපාලනය ” මේ තරම් වියුක්ත හෝ ස්වාධීන ලෙස සැලකීම නිවැරදිදැයි මට සිතේ. මාගේ මෙම විවේචනය ලැක්ලාවුට ( Laclau ) එල්ලවූ විවේචනයට ‘තරමක්’ සමාන එකකි. ( Politics , based on nothing but itself ). අනෙක් අතට, මාක්ස්වාදී අදහස් “දේශපාලනික මාක්ස්වාදයක්” කරා නවීකරණය කල යුතුය යන්න පිළිබඳව විවාදයක් මා හට නොමැත.
මූලෝපායික අවධානය, මාක්ස්ගේ පූර්ව කොමියුනිස්ට් (1848 ) සංකල්පයේ දක්නට ලැබෙන අතර, එය 1871 පැරිස් කොමියුනයට පසුව, විශේෂයෙන් ඔහුගේ “ප්‍රංශයේ සිවිල් යුද්ධය” ( The Civil War in France ) කෘතියෙන් පසුව පරිණත වීමට පටන් ගනී.

මෙම කාර්යයේදී, මාක්ස් ඕනෑම අනාගත සමාජවාදී විප්ලවයක් සදහාවූ අදහස න්‍යායගත කිරීමට පටන් ගනී. එහිදී කම්කරු පන්තිය අතර සාමූහික හා ස්වාධීන තීරණ ගැනීම සඳහාවූ නිදහස දිනා ගැනීමේ දේශපාලන අරමුන සඳහා ප්‍රථමයෙන් ප්‍රමුඛත්වය දිය යුතු බවයි ඔහු අරමුණු කලේ . එම කොමියුනිස්ට් ක්‍රියාකාරකම් මගින්, කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගන්නා විප්ලවවාදී අරගලයක ක්‍රියාවලියක් යෝජනා වන අතර, සංස්කෘතික ක්‍රියාකාරකම් හරහා නිර්ධන පංතිය, සමාජ පැවැත්මේ සියලුම ක්ෂේත්‍ර සක්‍රීයව නැවත අත්පත් කර ගනී. මෙම මූලෝපායික දැක්ම මාක්ස්ගේ විවරණයන් තුළ ස්ථාවරව පවතී. එහිදී ඔහු තර්ක කරන්නේ කම්කරු පන්තිය රාජ්‍ය බලය අල්ලා ගැනීම සහ කොමියුනිස්ට්වාදයට සංක්‍රමණය වීම වඩාත් හොඳින් වටහා ගත හැක්කේ රාජ්‍ය ආකෘතිය තුළ සිදුවන ක්‍රියාවලියක් ලෙස සහ ව්‍යාපාරයක් ලෙස බවයි.
එය දිගින් දිගටම ‘දේශපාලනය ‘ ප්‍රතිනිර්මාණය කරයි. මෙම උපායමාර්ගය තුළ දේශපාලන මැදිහත්වීම් ගොඩනැගීමේ ක්‍රියාවලිය ඇතුළත් වන අතර, එයට බලමුලු ගැන්වීම් හා සංවිධානය කිරීම්, දේශපාලන වැඩසටහන් හා ව්‍යාපෘති සහ සමාජ පැවැත්ම හා සම්බන්ධ පොදු විකල්ප සංස්කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීමද ඇතුලත්වේ . වැදගත්ම කාරනය නම්, අහෝසි කිරීම සඳහා බලාත්මක කිරීමට ඉලක්ක කරන සමාජ පර්යායේ උරුමක්කාරයා වන බැවින්, කොමියුනිස්ට්වාදය සම්පූර්ණයෙන්ම මූලෝපායික ඉදිරි දර්ශනයකට ලඝු කළ නොහැකිය යන්නයි. මේ අනුව විප්ලවය අර්ථකථනය කළ යුත්තේ සමාජය තමා සමඟ සංයෝජනය කරන ප්‍රතිසන්ධානයක් ලෙස නොව, දේශපාලනික නැවත අත්පත් කර ගැනීමක් ලෙසයි. එය කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමෙන් පසුව දිගටම පවතින භාවිතාවකි.
මෙම නැවත සංයෝජන කියාවලිය ( ව්‍යාපාරය ) සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳ සමෝච්ඡයන් කොමියුනිස්ට්වාදය සහ උපායමාර්ගය තුළ සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කර නැත. නමුත් වඩාත්ම සිත්ගන්නා සුලු කරුණ නම්, මෙම ව්‍යාපාරය, නව ආකාරයක නිෂ්පාදන මාධ්‍යයන් පුළුල් පරිමාණ සාමූහික නැවත අත්පත් කර ගැනීමක් සහ සාක්ෂාත් කර ගැනීමේ හැකියාවක් ඇති ” ප්‍රායෝගික ” හේතුවක් ඉල්ලා සිටී යන්නයි . මෙහිදී අපට ලැක්ලාවු සහ අනෙකුත් පශ්චාත්-මාක්ස්වාදීන්ට ගැඹුරින් බලපෑම් කළ මාක්ස්වාදී චින්තකයෙකු වන ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චි වෙත අවධානය යොමු කල හැක. එහෙත් ග්‍රාම්ස්චිගේ අදහස් අප ගත යුත්තේ, පශ්චාත්-මාක්ස්වාදී චින්තකයින් ඔහුව ගෙනහැර දැක්වූවාට වඩා වෙනස් ලෙස, එනම් ලිබරල් ආයතනවලට විරුද්ධ චින්තකයෙකු ලෙසයි.

නැවතත් අවධාරණය කලයුත්තේ, මෙම සංයෝජන ක්‍රියාවලිය සිදුවන්නේ විකල්ප ආර්ථිකයන්හි සීමාවන් තුළ නොව, සටන්කාමී දේශපාලන උද්ඝෝෂණයන් තුළ බවයි.
- මේ ලිපිය සදහා Isabelle Garo ගේ Communism & Strategy : Rethinking Political Mediations (in French, Amsterdam, Paris, 2019 ) කෘතියේ අඩංගු කරුණු හා ලිපි වලින් අදහස් උපුටා ගැනීම් කර ඇත.
දේශපාලනික මාක්ස්වාදයක් සදහා ඉසබෙලා ගාරෝ

මේ සඳහා ලෝකය වෙත හැරෙන අප, ඉසබෙලා ගාරෝ ( Isabelle Garo ) වැන්නන්ගේ ආභාෂය ලබා ගත යුතුයයි මා යෝජනා කරයි. 1963 උපත ලැබූ ඉසබෙලා ගාරෝ, කාල් මාක්ස්ගේ කෘති පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ප්‍රංශ දාර්ශනිකයෙකි. කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ කෘතීන් කෙරෙහි අවධානය යොමු කරන අතර, ඇය න්‍යායික සහ දේශපාලන යන කෝණ දෙකෙන්ම ඔවුන්ගේ අධ්‍යයනයන් විකාශනය කරයි. 1970 ගණන්වල සිට, විශේෂයෙන්ම ප්‍රංශයේ, මාක්ස්ගේ අදහස් විවේචනාත්මක පිළිගැනීමට ලක්කිරීමට ඇගේ කෘතීන් බලපා ඇත. ඒ අතරම ඇය, සමකාලීන ධනවාදයේ විෂය පථය තුළ සහ එහි අර්බුදය තුළ, මාක්ස්වාදී සම්ප්‍රදාය විශ්ලේෂණය කරයි. ඇය සූදානම් කළ විසඳුම් යෝජනා නොකරයි. නමුත්, විවිධ අරගලයන් හුදෙක් වියුක්ත නොවන දෙයක් බවට පත් කිරීමට අදහස් කරන සියලු දෙනා විසින් විසඳිය යුතු ප්‍රධාන ව්‍යාපෘතියක් විවෘත කරයි. ඇයගේ මෑත කාලීන කෘතිය වන Communism & Strategy : Rethinking Political Mediations, රචනය තුළදී කොමියුනිස්ට් යෝජනාවට විවේචනාත්මක හා දේශපාලන බලය නැවත ලබා දීමට ඇය උත්සාහ කරයි.

ඇය මාක්ස් නැවත කියවන අතර කොමියුනිස්ට්වාදය තේරුම් ගන්නේ සියල්ලටම වඩා ධනවාදයට එරෙහිව එල්ල කල ප්‍රබල ප්‍රති-ප්‍රහාරයක් ලෙසය.
එය පීඩිතයන් විසින් මෙහෙයවන ලද අරගලවල විමුක්තිකාමීත්වයන්ට ස්තුතිවන්ත වන්නටය. මේ මගින් අපේ කාලයේ විවේචනාත්මක හා දේශපාලන රැඩිකල්වාදයට විශිෂ්ට දායකත්වයක් ඇය සපයා ඇත. එය 2000 ගණන්වල නැවත ආරම්භ කරන ලද කොමියුනිස්ට්වාදය පිළිබඳ විවාදය තුල නව ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරයි. ඇය ගැටලුව උඩු යටිකුරු කරන අතර, මාක්ස්ගේ න්‍යාය පිළිබඳ, සූක්ෂම සහ සන්දර්භගත අධ්‍යයනයක ආලෝකය තුළ, ප්‍රධාන සමකාලීන මැදිහත්වීම් නැවත සලකා බැලීමට යෝජනා කරයි.
මේ අනුව කොමියුනිස්ට්වාදය පෙනී යන්නේ වියුක්ත අදහසක් ලෙස නොව, අපේ කාලයේ විප්ලවවාදී අරගල සඳහා නව ඉදිරි දර්ශනක් විවෘත කළ හැකි උපායමාර්ගික දැක්මක් ලෙසයි.
කොමියුනිස්ට්වාදය පිළිබඳ ප්‍රශ්නය අද නැවත පැමිණෙමින් තිබේ නම්, මෙම නව උනන්දුව බොහෝ විට කිසියම් සංයුක්ත දේශපාලන ඉදිරි දර්ශනයක් අත්හැර දැමීමක් සමඟ සිදුවේ. විවේචනාත්මක දර්ශනයන් සංවර්ධනය වෙමින් හා වර්ධනය වෙමින් පවතී. නමුත්, බොහෝ විට ශාස්ත්‍රීය අංශයට වැඩිපුර යොමුවීම නිසා, ඒවායේ අවධානය ධනවාදයේ වත්මන් අර්බුදය හා සම්බන්ධ ගෝලීය ගැටළු වලින් වෙනතකට යොමුවී ඇත.
හිස් ජනප්‍රියවාදයක පැත්තකට ඇද දැමීම වෙනුවට, ඇය යෝජනා කරන්නේ සැබෑ අභිලාෂයන් සහ අරගල තුළ සාමූහික ඉදිකිරීමක් ලෙස විකල්පයේ සමකාලීන පුනර්ජීවනයක කොන්දේසිය ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙය න්‍යායික කාර්යය පිළිබඳ නැවත සිතා බැලීමකින් වෙන් කළ නොහැක. බොහෝ මෝස්තරකාර රැඩිකල් න්‍යායාචාර්යවරුන් මුහුණ දෙන බාධාවන් ආමන්ත්‍රණය කිරීමෙන් සහ මාක්ස් හා ග්‍රාම්ස්චි සම්බන්ධයෙන් ඒවා නැවත සලකා බැලීමෙන් සමකාලීන ප්‍රශ්නවල දෘෂ්ටි කෝණයෙන් ඒවා නැවත කියවීමට ඇය අපට ඉඩ සලසයි. රාජ්‍යය සහ පක්ෂය, වැඩ සහ දේපල, ගැටුම් සහ ආධිපත්‍යය ආදිය මේ අතර වේ. මේ අනුව, උපායමාර්ගය නැවත සිතා බැලීම යනු, “දේශපාලන” පිලිබඳවවූ නව මැදිහත්වීම් පිළිබඳ ප්‍රශ්නය නැවත ගවේෂණය කිරීමයි.
මා විසින් Isabelle Garo ගේ Communism & Strategy : Rethinking Political Mediations (in French, Amsterdam, Paris, 2019 ) කෘතිය සම්පූර්ණයෙන්ම කියවා නොමැති අතර, මේ ලිපිය සදහා කෘතියේ අඩංගු කරුණු පිළිබඳව පලවූ ලිපි වලින් උපුටාගැනීම් කර ඇත.







8 thoughts on “දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (පළමු කොටස)”