හිත්තටියගේ සමන්ත:
මේ මාක්ස්වාදයෙන් ගැලවෙන්නේ කෙසේද ?
දේශපාලන අදහස් හා පරිකල්පනයන් සම්බන්ධයෙන් ගත් කල, අප ජීවත් වන්නේ ඉතා දුප්පත් තැනක බව අපට පිළිගත යුතුය. විකල්ප චින්තන ක්‍රම සඳහා විවෘත වීම, විශේෂයෙන්ම විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් ලෝකය අවබෝධ කර ගැනීම විෂයයෙහි අප සම්පූර්ණයෙන්ම අසාර්ථකය. දූපත් මානසිකත්වය ඇතුලු බොහෝ දේ මේ සඳහා දායකවී ඇතත්, අප අතර පවතින අධිපති මාක්ස්වාදය මේ සදහා සීමාකාරී රාමුවක් වන්නේ කෙසේදැයි සලකා බැලීම මේ සටහනේ අරමුණයි.
ඇත්තටම, අප සමාජ-දේශපාලන තලයේ පවතින මෙම පරිකල්පනයේ දරිද්‍රතාවය පැමිණෙන්නේ කොහෙන්දැයි සොයන විට, අප අතර පවතින අධිපති මාක්ස්වාදී අදහස්ද එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනේ. අප අතර පවතින අධිපති මාක්ස්වාදය, අපගේ දේශපාලන පරිකල්පනයේ දුප්පත්කමට හා එය දුර්වර්ණ කිරීමට හේතුවක් වී ඇත. විසිඑක්වන සියවසේ මාක්ස්වාදීන් වන අපට මෙය ආරම්භක ස්ථානයයි !
කාර්ල් මාක්ස් යනු ඓතිහාසික සිදුවීම් අනුව ප්‍රතික්ෂේප කළ නොහැකි ජීවියෙකි. යම් යම් දේ නොවැරදීම ප්‍රකාශ කළ, ඉතා සංකීර්ණ සංකල්පයන් හා ගැඹුරු අදහස් තිබූ පුද්ගලයෙකි. ඔහු අභිබවා යාමට උත්සාහ කිරීම ඉතාමත් අඥාන ක්‍රියාවකි.නමුත් මාක්ස්වාදය සම්බන්ධයෙන් ගත් කල, අපගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය. තරමක් පැරණි විග්‍රහ විධික්‍රමයක් පදනම් කරගෙන වුවත්, මෙය සැබවින්ම අවබෝධ කරගැනීම සඳහා, මාක්ස්වාදය යනු මූලික අර්ථයෙන් බල මාදිලියක් මිස අන් කිසිවක් නොවන බව අප තේරුම් ගත යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, මාක්ස්වාදය යනු බල සම්බන්ධතාවල එකතුවකි. මේ කාරණයේදී අප නූතන සමාජය තුළ මාක්ස්වාදය ක්‍රියාත්මක වන ආකාරය විශ්ලේෂණය කළ යුතුය. මෙය අත්‍යවශ්‍ය කර්තව්‍යයකි. අතීත සමාජයන්වලදී දර්ශනය හෝ කොන්ෆියුසියස්වාදය වැනිදෑ විසින් ඉටු කරන ලද කාර්යභාරය විශ්ලේෂණය කළාක් මෙන් එය කල නොහැක. මක්නිසාදයත්, මාක්ස්වාදයේ වෙනස නම්, එය ශාස්ත්‍රීය දර්ශනයකින් හෝ සදාචාරාත්මක මූලධර්මයකින් බිහි වූවක් නොවීමයි. මාක්ස්වාදයේදී කාරණය වඩාත් සංකීර්ණ වන්නේ, එය විද්‍යාවක් ලෙස තාර්කික චින්තනය තුළ මතුවූ දෙයක් වන බැවිනි. සත්‍යය නිරාවරණය සඳහා ගන්නා ලද ප්‍රස්තුතයන්ගේ එකතුවක් වැන්නක් දක්වා මෙය ලඝු කළ නොහැක්කේ ඒ නිසාය. එය ( මාක්ස්වාදය ), ඒ සමගම, බලහත්කාරී ප්‍රස්තුත මාලාවකට සහජයෙන්ම සම්බන්ධවූ දෙයකි.
එනම් මාක්ස්වාදය විද්‍යාවක් ලෙස – එය ඉතිහාසයේ සහ මානව වර්ගයාගේ ඉතිහාසය පිලිබඳ විද්‍යාවක් වන තරමට – සත්‍යයන් සම්බන්ධයෙන් බලහත්කාර බලපෑම්වල ගතිකයක් වී ඇත. එහි කතිකාව අතීතයේ දිශානතියට පමණක් නොව, මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය දෙසටද, සත්‍යයන් මත බලහත්කාරී බලයක් විහිදුවන අනාවැකිමය විද්‍යාවකි. වෙනත් වචන වලින් කිවහොත්, වැදගත් වන්නේ ඓතිහාසිකත්වය සහ අනාවැකිමය සත්‍යය සම්බන්ධයෙන් බලහත්කාර බලවේගයක් ලෙස, මාක්ස්වාදය ක්‍රියා කිරීම තේරුම් ගැනීමට පරිනත වීමයි. මාක්ස්වාදය විද්‍යාත්මක කතිකාවක් ලෙසද, මාක්ස්වාදය අනාවැකි පලකරන්නක් ලෙසද, මාක්ස්වාදය රාජ්‍ය දර්ශනය හෝ පන්ති දෘෂ්ටිවාදය ලෙසද, නොවැලැක්විය හැකි ලෙසම සමස්ත බල සම්බන්ධතා සමූහයට සහජයෙන්ම බැඳී ඇත. මේ අනුව මාක්ස්වාදයෙන් මිදෙනවාද නැද්ද යන ගැටලුව මතුවන්නේ නම්, එය මාක්ස්වාදයේ මේ පැතිවලින් ගොඩනැගෙන බල සබදතාවල ගතිකයේ මට්ටම සමග සංසන්දනය කලයුතු නොවේද ?
මෙම දෘෂ්ටි කෝණයෙන් බලන විට මාක්ස්වාදය අද ප්‍රශ්නයට ලක් වීමට නියමිතය. නමුත් සමහරකු කරනා පරිදි, එම විශේෂිත කාර්යයන් ඉටු කරන මාක්ස්වාදයට සම්බන්ධ බල සබඳතාවල ගතිකත්වය ඉවත දැමීමට වඩා, මාක්ස්වාදයෙන් අප නිදහස් වීමට අවශ්‍ය බව පැවසීම ගැටලුවකි. මේ නිසා මාක්ස්වාදයෙන් ඔබ්බට ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්‍යවශ්‍ය ගැටලුව නිර්වචනය කිරීමේදී, අප සාම්ප්‍රදායික විසඳුම්වල උගුලට නොවැටීමට උත්සාහ කළ යුතුය. ” සත්‍ය සහ අව්‍යාජ මාක්ස් යනු කුමක්ද ? ” යන ප්‍රශ්නය අපගේ චින්තනය දිළිඳු කරයි.
මාක්ස්ගේ කෘතීන් තුළ අප සොයා ගන්නා දෙය, යම් අර්ථයකින්, අනාවැකියක් ගොඩනැගීම සහ ඉලක්කයක් නිර්වචනය කිරීම අතර දෝලනය වන නාට්‍යානුසාරී දෙයක් බව පෙනේ. එම යුගයේ සමාජවාදී කතිකාව සංකල්ප දෙකකින් සමන්විතවූ නමුත් ඒවා ප්‍රමාණවත් ලෙස වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වී ඇත. නිදසුනක් වශයෙන්, රාජ්‍යය අතුරුදහන් වනු ඇතැයි යන මතය වැරදිය. සමාජවාදී රටවල සංයුක්තව සිදුවූ හා සිදුවෙමින් පවතින දේ අනුව, මාක්ස්ගේ මෙම අනාවැකිය සාක්ෂාත් කර ගැනීම දෙසට යොමුවේ යැයි සිතිය නොහැක. එහෙත් රාජ්‍යය අතුරුදහන් වීම “පරමාර්ථයක්”ලෙස නිර්වචනය කළ වහාම මාක්ස්ගේ වචන පෙර නොවූ විරූ යථාර්ථයක් බවට පත්වේ. අවිවාදිතව, ධනේශ්වර රටවල මෙන්ම සමාජවාදී රටවලද යෝධ සංකීර්ණත්වයකින් යුත් මෙම බල යාන්ත්‍රණවල පවතින යථාර්ථය, අරගලයක මූලෝපායික දෘෂ්ටිකෝණයෙන්, පරමාර්ථයක් ලෙස ගත්විට රාජ්‍යය අතුරුදහන් වීම සාධාරණීකරණය කරන බව මම සිතමි.…
එම හේතුව නිසාම අපි මාක්ස්වාදී න්‍යායේ මෙම ප්‍රමාණවත් නොවන අංගයන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කළ යුතුය. ගිරවුන් මෙන් මාක්ස්වාදී උදෟත වමාරනවා වෙනුවට ගැඹුරු අධ්‍යයනයන් වෙත යොමු විය යුතුය. අප මෙතෙක් එම සාධාරණය ඉටු කිරීමට අප සමත් වී නොමැති බව සහතිකය.
( මිෂෙල් ෆුකෝ විසින් 1970 ගනන් පමන ඈත කාලයේ දක්වන ලද කර්කශ සෘජු විවේචනාත්මක අදහස් කිහිපයක් අවිධිමත් ලෙස මේ සටහනට කොපිකරගෙන ඇත. )

මාක්ස්වාදය පිළිබඳ සාකච්ඡාවේ සමාප්තිය ප්‍රධාන වශයෙන්ම වර්ගීකරණයකට ලක්කල හොත්, මාක්ස්වාදයේ න්‍යායික අර්බුදයක් ( Theoretical Crisis of Marxism) , විප්ලවවාදී ව්‍යාපෘතියේ මූලෝපායික අර්බුදයක් (Strategic Crisis of the Revolutionary Project), සහ විශ්ව විමුක්තිය නැති නම් දේශපාලන විශ්වීත්වය දිනාගත හැකි සමාජ විෂයේ අර්බුදයක් ( Crisis of the Social Subject capable of winning Universal Emancipation or the Political Universal) යන මෙම අංග තුනෙන්ම මාක්ස්වාදයට එරෙහි මතවාදී ප්‍රහාරයන් එල්ලවේ.

මේ නිසා කාල් මාක්ස්ගේ කෘති පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ප්‍රංශ දාර්ශනිකයෙකු වන ඉසබෙලා ගාරෝ ( Isabelle Garo ) වැන්නියකගේ හා ඉතා මෑත දිනෙක අපෙන් සමුගත්, ඉතාලි ජාතික ඇන්ටෝනියෝ නෙග්රි ( Antonio Negri ) වැන්නන්ගේ එකතු කිරීම් වලින් පටන් ගෙන,පශ්චාත් මාක්ස්වාදීන්, සමපේක්ෂන භෞතිකවාදීන් දක්වාවූ විශාල පරාසයකට සවන්දීමට අපට සිදුවේ.

අතිවිශාල මාවෝවාදී සාහිත්‍යයක්ද , ලතින් ඇමරිකානු විප්ලවවාදී ප්‍රයත්නයන්ගේ අත්දැකීම් හා උගත් පාඩම්ද මේ අතරවේ.
අනෙක් වැදගත් කාරනය නම්, සෝවියට් ක්‍රමයට එරෙහි විරෝධය තවදුරටත් රෝසා ලක්සම්බර්ග්, ලියොන් ට්‍රොට්ස්කි හෝ නිකොලායි බුකාරින් වැන්නන්ගේ අදහස් මත ඇදී යන්නේ නැත යන්නයි. මෙම විරෝධයන්ගේ මතකයන් දැන් බිඳී ඇත, අඛණ්ඩ පැවැත්ම නැවතී ඇත.

පොදු යහපත සඳහා පුද්ගලික දේපල සාර්ථකව අහෝසි කරන ලද සමාජයක එකම ආකෘතිය සෝවියට් සමාජයයි.
එහෙයින් පැරණි සීතල යුද්ධය සහ පශ්චාත් ස්ටැලින්වාදී අවධිය පිළිබඳ ස්ලාවික් අධ්‍යයනවල අදහස් නැවත නිර්වචනය කිරීමක් අවශ්‍ය වන අතර, රුසියානු කවියෙක් සහ ශාස්ත්‍රඥයකු, කලා න්‍යායාචාර්යවරයෙක් සහ දාර්ශනිකයෙක් වන කේටි චුහාරොව් ( Keti Chukharov ) වැන්නියකගේ අදහස් අපට මගහැර යා නොහැක.
අවසාන වශයෙන්, මෙම සාකච්ඡාව සමාප්ත කිරීම සදහා, සංවෘත චින්තන පද්ධතියක් ලෙස නොසිතමින්, මාක්ස්වාදයේ වර්තමාන සමජාතීය ප්‍රතිරූපයෙන් ඔබ්බට සිතමින්, මාක්ස් පිළිබඳ අවබෝධය පුළුල් කිරීමේ වෙනත් උත්සාහයන් සමඟ අත්වැල් බැද ගැනීම අද දවසේ සැබෑ මාක්ස්වාදීන්ගේ යුග කාර්‍යභාරවන බව සටහන් කරමි.

හිත්තටියගේ සමන්ත-Hiththatiyage Samantha
පෙර කොටස්:
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (පළමු කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (2කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (3කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (5 කොටස)
- දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (6 කොටස)





