එරික් ඉලයප්ආරචිචි:
නයිපෝල්ගේ සාහිත්‍ය ජයග්‍රහණවලින් අදහස් කරන්නේ ඔහු ලියූ සියල්ල හොඳ බව නොවන බවත්, ඔහුගේ හැසිරීම ආදර්ශමත් නොවන බවත් පැවසීමේ දී ඒ චරිතාපදාන රචකයා පවසන්නේ ලේඛකයාගේ භූමිකාව පිළිබඳ සංකීර්ණ අදහසකි.
සැබවින් ම නයිපෝල්ගේ හැසිරීම, විශේෂයෙන් ඔහුගේ පොදු පරිධියේ ආචරණය විවාදාත්මක වූ අතර, ඔහු වාරණය සාහිත්‍යයේ පාලන මෙවලම ලෙස සලකන දුර්දාන්ත ජාතික සමාජ යක්ෂාවේශ කරන්නකි. ඔවුන්ට සිතෙන්නේ තමන් ඉදිරිපිට යක්ෂයකු සිටින්නා සේ ය. ජනතාවාදය පමණක් නොව අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා පිහිටුවා ගත් ජනරජවාදී ජාතිකවාදය ද ඔහුගේ දරුණු විවේචනයට හා අවලාදාත්මක දේශපාලනයට (vituperative politics) යොමු විය.
ඔහු නිදහස් ජනරජවල ව්‍යාකූලතා හා ගැටුම් දකින්නට ඉන්දියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ ඇවිදිමින් අගනා සංචාර ආඛ්‍යාන රචනා කළේ ය. මහත්මා ගාන්ධි අගය කළ ඔහු, ගාන්ධිගේ පසුකාලීන අනුකාරකයින් උපහාසාත්මක ලෙස කර්කශ විවේචනයට ලක් කළේ ය. ඩයනා කුමරියගේ මරණය පිළිබඳ සිද්ධියේ දී ඔහු ඇයට පාක්ෂික ලෝක මතයට එරෙහිව බකිංහැම් මාලිගයට පක්ෂපාතී විය.
සාහිත්‍යකරුවා සහ කලාකරුවා ද සෙස්සන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගෙවන අතර, ජීවත්වීමේ සතුට හා වේදනාව, කලාත්මක ප්‍රතිනිෂ්පාදනය වෙනුවෙන් අත්විඳියි. ජීවිතය සාහිත්‍යයේ සහ කලාවේ කොන්දේසියක් වන නිසා, ඔහුට ජීවත්වීම ද සාහිත්‍යයේ හා කලාවේ කොටසකි. ඒ නිසා ජීවිතය තුළ ‘විසීම’ ද, ඉන් ‘පරත්වාරෝපණයවීම’ ද එකවර සිදු වේ. ඒ වෙනුවෙන් සාහිත්‍යකරුවාට හා කලාකරුවාට තමා සමඟ සංවාදයක්, ආත්මීය කතිකාවක් වුවමනා ය. වාරකයා සහ ජනතාවාදියා නොතකන්නේ සාහිත්‍යකරුවාගේ ඒ අභ්‍යන්තර නිදහස් කතිකාව යි.
අවුරුදු හතලිස්අටකට පෙර ගුණදාස අමරසේකර මට මුලින් හමු වුණු දින බුදු වදන් උපුටමින් මට කීවේ විචාර මතය දෙවෙනි කොට තබා, තමා තමාට පහනක් කර ගන්නා ලෙස ය. එය ලේඛකයකුට වුවමනා අභ්‍යන්තර සංවාදය පිළිබඳ බරපතළ නිවේදනයකි.
ලේඛකයකුගේ හා කලාකරුවකුගේ භූමිකාව සමඟ බැඳුණු අභ්‍යන්තර සංවාදය ජීවිතය සමීපස්ථ ලෙසත්, ලජ්ජා විරහිත ලෙසත් වෙළා ගැනීම සමඟ බැඳෙයි. ජීවිතය සහ කලාව අතර පවත්නා සම්බන්ධය හේතුකොට ගෙන ඔහුගේ අභ්‍යන්තර ජීවිතය තුළ ඔහුගේ කාලයේ සාහිත්‍ය සහ සමාජ ජීවිතයේ ඇතුළාන්තය පිළිබිඹු වේ.

ලේඛකයින්ගේ ඇතුළාන්ත ජීවිතය පිළිබඳ නිර්දය හැඟුමක් තිබූ විචාරකයකු වූ රිචර්ඩ් ඉල්මාන් නම් ඔක්ස්ෆර්ඩ් මහාචාර්යවරයා විසින් ඔස්කා වයිල්ඩ්, ජේම්ස් ජොයිස්, එස්රා පවුන්ඩ්, ටී. එස්. එලියට්, ඩබ්ලියු. එච්. ඕඩන් සහ යුලිසිස් නවකථාව ගැන ලියූ වටිනා හා කල් පවත්නා දේවල්වලට අතිරේකව ‘රන් මහල්ලෝ – චරිතාපදාන අනුමාන චින්තා’ නමින් අපූරු කෘතියක් ද පළ කරනු ලැබුවේ ය. ඒ කෘතියේ ආමුඛය මෙසේ ඇරඹේ.

“ජීවත් වූ බව අපට කියන්නකුට යටින්, ගුප්ත හෝ අඩු තරමින් ව්‍යංග වූ ජීවිතයක් තිබේ. අපි එය නොදන්නා නිසා හෝ දන්නා නමුත් නීරස බව සොයා ගත් නිසා ඒ ගැන නිහඬ වෙමු. එසේ නැති නම් ළබැඳියාව හෝ ලජ්ජාශීලී විනීත අපහසුව සමඟ බැඳුණු හේතු කාරණා නිසා අපි ඒ ගැන මුදු සුමුදු වෙමු. නවකතා සහ කවි ලිවීමේ එක සතුටක් වන්නේ මෙම යටිතල භූගත ජීවිතය, ස්වයං – චරිතාපදානයේ හෝ ඉතිහාසයේ හෝ වගකීම්වලින් නොබැඳී, කලාවේ කිසියම් ආකෘතියක් ඔස්සේ සතුටින් යුතුව ගෙනහැර පාන්නට පුළුවන් වීම ය.”*17
*17. Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. ix
එනයින් රිචර්ඩ් ඉල්මාන්, ලේඛක භූමිකාවේ ‘භූගත යටිතලය’ ද ගවේෂණය කරයි. ඔහු පවසන්නේ ලේඛකයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ නොකියූ ඉතිහාසයන් (unspoken histories) වෙත එළඹෙන්නට කිසියම් ඉඩක් ලබා දෙන බව යි. ඔහු මෙසේ කියයි.
“එනමුත් ඔවුන් හමු වෙන්නට ඉඩ දෙන වේලාව කෙටි ය. ප්‍රවිෂ්ටය තහනම් කොට භූමියෙන් කොටසක් අවුරා තිබේ.”
ඒ බාධක මධ්‍යයේ රිචර්ඩ් ඉල්මාන්, ලේඛක භූමිකාවේ අඳුරු දෝනා කරා ගමන් කරයි. එහි ලා ඇති බාධක ගැන ද ඔහු ඒ තරමට ම දැනුවත් ය. එතරම් කැමැත්තක් නැති, ජේම්ස් ජොයිස් ලේඛකයා විසින්, චරිතාපදාන රචකයා හඳුන්වන ලද්දේ ‘චරිතාපදාන – යක්ෂයා’ (biografiend) වශයෙනි. අඩු තරමින් ස්වකීය වැන්දඹුවන්ගේ උදව්වෙන් හෝ චරිතාපදාන රචනා කිරීම ටී. එස්. එලියට් සහ ජෝර්ජ් ඕවල් තහනම් කළේ යයි එල්මාන් අපට කියයි.
ශොන් පෝල් සාත්‍ර විසින් ප්‍රංශ සාහිත්‍යකරුවන් තිදෙනකු වූ බෝදිලෙයා, ජෙනේ හා ෆ්ලෝබෙයාගේ චරිතාපදාන රචනා කරමින් ඔවුන්ගේ ලේඛක භූමිකාවන්ගේ යටිතලය බාල ළමා විය ඔස්සේ විභාග කරනු ලැබුවේ ය. ඒ ගැන රිචර්ඩ් ඉල්මාන් මෙසේ ලියයි.
“ළමයා තුළ පිරිපුන් මනුෂ්‍යයා සොයා යාම, අප තුළ මර්දනය කළ නොහැකි ආසාවක් ඇති කරන අතර, ෆ්‍රොයිඩ් වෙනත් මනෝවිද්‍යාඥයින්ට වඩා ඊට උදව් කරන්නට කැමැති ය. බෝදිලෙයා, ජෙනේ හා ෆ්ලෝබෙයාගේ චරිතාපදාන තුනේ දී, ශොන් පෝල් සාත්‍ර ෆ්‍රෙයිඩ්වාදය, සාන්දෘෂ්ටික මනෝවිද්‍යාව (existential psychology) සමඟ එකතු කරන්නට උත්සාහ දරයි. බෝදිලෙයා සම්බන්ධයෙන් ඔහු දැඩි විචාරාත්මක අදහසකින් ක්‍රියා කරයි.”*18
*18. Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. 4
බොදිලෙයා කවියාගේ මව ඔහු ප්‍රතික්ෂේප කළ සැටිත්, එහි සෘජු ප්‍රතිවිපාකයක් හැටියට ඇයට සහ ඇගේ මිතුරන්‍ට වඩා වෙනස් ලෙස තමා නඟා සිටුවන්නට කවියාට වුවමනා වූ සැටිත්, පළි ගැනීමක් ලෙස අද්විතීය විශිෂ්ටත්වය දිනූ සැටිත් ශොන් පෝල් සාත්‍ර විස්තර කළ බව ඉල්මාන් කියයි.
මුලින් පාදඩ සහ සුළු අපරාධ සහිත අඳුරු පාතාල දිවියක් ගෙවූ ශොන් ජෙනේ ප්‍රංශ නවකථාකරුවෙක්, නාට්‍යකරුවෙක්, කවියෙක් සහ රචනාකරුවෙකි. ඉල්මාන් කියන්නේ ජෙනේ සම්බන්ධයෙන් සාත්‍ර වඩාත් කාරුණික වූ බව යි.
“ජෙනේ ගැන වූ සාත්‍රගේ පොත, වඩාත් සානුකම්පික වූ අතර, එය විෂය වස්තුවට ගැලපෙන්නක් විය. බෝදිලෙයා 4# සම්බන්ධයෙන් දැඩි දණ්ඩන පිළිවෙතක් අනුගමනය කරන්නට දැක් වූ ඉක්මන, ඔහු ජෙනේ සම්බන්ධයෙන් වළක්වා ගත්තේ ය. ඒ ජෙනේ ඔහුගේ අනන්‍යතාව පිළිගෙන ඒ තුළ ජීවත් වූ නිසා ය.”*19

*19 Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. 5
“ජෙනේ ඉතිහාසයට පිටින් (outside history) මෙන් ම දේශපාලනයට පිටින් (outside politics) ද සිටින්නකු බව සාත්‍ර කියයි.”
එනමුත් රිචර්ඩ් එල්මාන් ඒ ලේඛක භූමිකාව දෙස වූවත් බලන්නේ චරිතාපදානය නම් සාහිත්‍ය ශානරය සහ එහි සංකීර්ණතා තුළින් ම ය. ඔහු මෙසේ ද ලියයි.
“(ඉතිහාසයට පිටින් හා දේශපාලනයට පිටින් සිටිය ද) පසු කලක සමහර විට ශොන් පෝල් සාත්‍ර, තව ම මෙලොව ජීවත්වන අයුරින් ජෙනේ ලේඛකයා දේශපාලනයේ නිරත කරවූයේ, සමහර විට චරිතාපදාන රචකයාට අභියෝග කරන්නට ද විය හැකි ය. ඇත්ත වශයෙන් ප්‍රංශයේ නිවාස යෝජනා ක්‍රමයක් ගැන දක්වන ලද විරෝධතාවක දී ජීවත්වන ජෙනේ ද, මියගිය ශොන් පෝල් සාත්‍ර ද එකට නිරත වී සිටින අයුරු දක්නට ලැබුණි.”
ඒ අනුව එල්මාන් සාහිත්‍යකරුවන්ගේ චරිතාපදාන රචකයින්ට උත්ප්‍රාසවත් උපදෙසක් ලබා දෙයි.
“සෑම විට ම ඔබගේ චරිතාපදානයට විෂය වූ තැනැත්තා මියයන තෙක් සිටීම මැනවි. ඒ රූපකාර්ථවත් ලෙසට වඩා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ය. ඒ මන්ද යත් අධිපතිවාදී ප්‍රතික්ෂේපය ඇති වීමේ හැකියාව ඉන් අඩුවන බැවිනි.”*20
*20. Richard Ellmann, Golden Codgers – Biographical Speculations, Oxford University Press, 1973, p. 6
එල්මාන්ගේ ප්‍රඥාවන්ත උපදෙස, එවැනි උත්ප්‍රාසවත් වියත් සංස්කෘතික හැඟුමකින් හා ශානරීය ඥානනයකින් තොරව කටයුතු කරමින්, ‘කලාවේ හා කලාකරුවන්ගේ නිදහස’ නොපිළිගන්නා සියල්ලන්ට ද ගැලපෙයි. කලාවට හා කලාකරුවන්ට නිදහස වුවමනා මන්ද යන කාරණය ද යථෝක්ත විස්තරාත්මක භූමිකා විශ්ලේෂණයෙන් තහවුරු කෙරේ.
සිංහල සාහිත්‍යයේ නිරතව සිටින අප සියල්ලන්ට එල්මාන්ගේ තහවුරුව අද තවත් කාලීන හේතුවක් නිසා අදාළ වේ. ඒ කුමක් ද යත්, අද මෙරට කතා කරන්නේ ජීවත්වන සාහිත්‍යකරුවන් හා ඔවුන්ගේ කෘති, සම්මාන, අලෙවිය ආදිය ගැන පමණි. එනමුත් ශොන් පොල් සාත්‍ර මියගිය ප්‍රංශ කවියන්, ලේඛකයින් හා නාට්‍යකරුවන් ගැන කතා කළ පරිද්දෙන් සහ රිචර්ඩ් එල්මාන් ‘මියගිය සාත්‍ර’ සහ ‘ජීවත්වන ජෙනේ’ එකට විරෝධතා දැක්වීම නිරීක්ෂණය කළ අයුරින් අප ද මළවුන් සමඟ මුසු විය යුතු ය. ඒ රූපකාර්ථවත් ලෙස නොව වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ය.

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස්:
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව- පළමු කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-2කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-3කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-4කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-5 කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-6 කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-7 කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-8 කොටස





