වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-5 කොටස

ජෝර්ජ් ස්ටයිනර් සාහිත්‍ය චින්තකයා, ආචීර්ණ කල්පික සාහිත්‍ය ලෝකය තැති ගන්වමින්, සමාජ අර්බුදය සහ භාෂාව අතර ගැටළුව, බර්නාඩ් ෂෝ ‘පිග්මැලියන්’ නාට්‍යයේ දී දුටු ඉංග්‍රීසි භාෂා අර්බුදයට වඩා බියකරු අන්ධකාර ක්ෂේත්‍රයක් වෙතට රැගෙන යයි.

එය භාෂාව ගැන මිනිස් ගෞරවයක් නැති වීමට සහ දෝෂ සහගත උච්චාරණයට වැඩිමනත් දෙයකි. නමුදු එය ද මූලික වශයෙන් භාෂාව සහ ශාබ්දිකත්වය පිළිබඳ ගැටළුවකි.
එහි දී ජෝර්ජ් ස්ටයිනර් ‘භාෂාවේ ශාබ්දිකත්වය අහෝසි වීම’ හෝ ‘භාෂාව මියයාම’ දැකීම දක්වා ම ගමන් කරයි. ඔහුට අනුව යම් භාවිත තත්ත්වයක දී භාෂාව මුළුමනින් ම පාහේ නිශ්ශබ්ද විය හැකි ය. භාෂණ අගයෙන් තොර විය හැකි ය. කියවීම නතර විය හැකි ය. වෙනත් භාෂිකයකු විසින් දක්වනු ලබන අවමානයෙන් තොරව කට අරින්නට නොහැකි වනවා පමණක් නොව අවඥාව පිණිස හෝ ශ්‍රවණය කරන්නට කෙනෙක් නැති වී යා හැකි ය.
එය දෘෂ්ටිවාදීව සන්නද්ධ වී සිටින යම් පිරිසකට, සමහර විට නොමඟ ගිය මහජනයාට පමණක් කළු – සුදු වශයෙන් ළඟා වන්නට පුළුවන් තත්ත්වයක් පමණක් විය හැකි ය. එවිට වුවමනා වන ප්‍රතිසංස්කරණවාදියා සමාජය නැවත සකස් කරන්නට කැප වුණු, දේශපාලනය සහිත, උනන්දු සහගත, උද්යෝගිමත් ශාබ්දිකයෙකු වන අතර, ඔහු අනාගත ‘මයි ෆෙයා’ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව නිරූපනය කරන වීරයා බවට පත් වන්නේ ය.
හෝමර්ගේ සිට ශේක්ස්පියර් දක්වා ද, එෆ්. ආර්. ලීව්ස්ගේ සිට මාසල් මැක්ලුහාන් දක්වා ද, ලෙවි ස්ට්‍රවුස්ගේ සිට ලුඩ්විග් විට්ගන්ස්ටයින් දක්වා ද, තෝමස් මාන්ගේ සිට ගුන්ටර් ග්‍රාස් දක්වා ද, ජෝර්ජ් ලූකාස්ගේ සිට ලියොන් ට්‍රොට්ස්කි දක්වා ද ලියන්නට යෙදුණු අනේකවිධ විෂයන් හා තත්කාලීන සංස්කෘතික සිද්ධීන් පිළිබඳ වේදනාකාරී ලිපි සමුච්චයක පොදු තේමා – ආරුක්කුව පැහැදිලි කරමින් ජෝර්ජ් ස්ටයිනර් මෙසේ ලියයි.

“මේ සමුච්චයේ ඇතුළත් රචනා සහ ලිපි විවිධ කාලවල ලියන ලද ඒවා ය. බොහෝ තන්හි දී ඒ සුවිශේෂ අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමක් හැටියට ය. එය පොතක් පළ වීම, නාට්‍ය හෝ ඔපෙරා නිෂ්පාදනයක් හා දේශපාලන සිද්ධියකි. එනමුත් ඊට පාදක වෙමින් යටින් දිවෙන තේමාව වන්නේ, භාෂාවේ ජීවිතය සහ අපගේ සමාජය හා සංස්කෘතිය තුළ භාෂාව සතු වන සමහර සංකීර්ණ බලශක්තීන් ය. ඇතැම් ඒකාධිපති රෙජීම තුළ උච්චාරණය කරනු ලබන්නට බල කෙරෙන මිනීමරු කෙබෙර සහ හිස්භාවය සමඟ භාෂාවට තිබෙන සම්බන්ධතා මොනවා ද? එසේ නැති නම්, ග්‍රාම්‍ය නොසැබිකමේ, නිශ්චිත සහ නිරවද්‍ය නොවීමේ හා පොදුජන පාරිභෝගිකවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිරී ඉතිරී තිබෙන මහා කෑදරකම සහිත විශාල කුණු ගොඩ සමඟ සමඟ භාෂාවට තිබෙන සම්බන්ධතා මොනවා ද? යන්න ගැන ය” *6

*6. George Steiner, Language and Silence, Essays on Language, Literature and the Inhuman, Athenaeum New York, 1986, p. vii
ඉන් පසු ස්ටයිනර් මතු කරන්නේ අද අප මෙන් එදා යුරෝපය ද තම සාහිත්‍ය ප්‍රකාශනයේ සම්භාව්‍ය වකවානුවේ සිට වාචික ප්‍රාථමිකත්වයක් (verbal primacy) කරා යමින් සිටියේ ද යන බරපතළ ප්‍රශ්නය යි.

අප යමින් සිටින්නේ පිරිහුණු භාෂා අදියරක, පශ්චාත් – වාග්විද්‍යාමය රූපාකාර සහ සමහර විට අර්ධ නිශ්ශබ්දවීමක් කරා ද?”
පසුගිය කාලය පුරා අපගේ ආදරණීය සිංහල භාෂාව ද යථෝක්ත පරිමානයේ අවර ගණයේ සමාජ සම්බන්ධතා පවත්වා ගෙන ගොස් ඇත. භාෂා හා කලා සාහිත්‍ය ව්‍යාපාර සහිත ජාතික අරගල ඔස්සේ යටත්විජිත යුගයේ ඇති වූ පිරිහීමෙන් මහත් පුනර්ජීවනයක් ලැබූ එය, නිදහස් යුගයේ ජාතික රාජ්‍යය තුළ උච්චාරණය කරනු ලබන්නට බල කරන ලද මිනීමරු කෙබෙර සහ හිස්භාවය සමඟ සම්බන්ධතා පවත්වා ඇත.
ග්‍රාම්‍ය නොසැබිකමේ, නිශ්චිත සහ නිරවද්‍ය නොවීමේ හා පොදුජන පාරිභෝගිකවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිරී ඉතිරී ගොස් ඇති වී තිබෙන කෑදරකම සහිත විශාල කුණු ගොඩකට අප භාෂාව කර ගසා ඇත. විද්‍යුත් ජනමාධ්‍යයේ සිට වෙබ් අඩවි දක්වා වූ ග්‍රාම්‍ය නොසැබිකම්, නිශ්චිත සහ නිරවද්‍ය නොවීමේ භාෂා සංස්කෘතියක් වෙත එය නැඹුරු කර ඇත.
සිංහල භාෂාව රජකර හුදකලා කිරීම නිසා ඉංග්‍රීසි සහ දෙමළ භාෂා සහෝදරත්වය ද ඊට අහිමි විය. පුරාණ භාෂා ඉගෙනීමේ උනන්දුව සරසවිවලින් ගිලිහී යාම නිසා පාලි හා සංස්කෘතික භාෂා අධ්‍යයන පටු වීමෙන් අප චිරන්තන සාහිත්‍ය පෞරුෂයට හිමි වී තිබුණු ‘ෂඩ් භාෂා පරමේශ්වරත්වය’ අහෝසි වී යන්නට විය. ඉංග්‍රීසි භාෂාව දුරස් කිරීමෙන් සිංහල භාෂාව හා සාහිත්‍යයට හිමි විය යුතු ගෝලීය විදේශිකත්වය අහිමි විය. බුකර් ත්‍යාගය දිනා ගන්නේ ඉංග්‍රීසියෙන් ලියන ලාංකිකයෙකි.

Leonard Sidney Woolf

ලෙනාර්ඩ් වුල්ෆ් පවසන්නේ, හම්බන්තොට කච්චේරියේ සේවය කළ ඔහුගේ ආරච්චි (ප්‍රධාන පියුන්), ඉංග්‍රීසි පමණක් නොව ලතින් භාෂාව ද දැන සිටි බව ය.

ආරොන් ආරච්චි වාරු කර ගෙන පැමිණෙනු දුටු ලෙනාර්ඩ් වුල්ෆ් වහා ම වාඩි වී සිටි පුටුවෙන් නැඟිට ඉදිරියට ගියේ ය….”
“ආ…රොන්… මගේ කටහඬ අඳුනනවයි… ආ…රොන් ඒ කාලේ මගේ හෙවනැල්ල වගේ හිටියෙ… මට සිංහල ඉගැන්නුවෙත්…මේ…ආ…රොන් තමයි.” ලෙනාර්ඩ් වුල්ෆ් එසේ කියමින් මොහොතක් නිහඬව බලා සිටියේ ය.”

“ආ‍රොන් ආරච්චි හම්බන්තොට දී ම මෙලොව එළිය දුටු අයෙකි. ශාන්ත මේරි මිෂනාරි ඉංග්‍රීසි විද්‍යාලයෙන් මුල සිට ම ඉංග්‍රීසි, ලතින්, ප්‍රංශ වැනි භාෂාවන් විදේශීය ගුරුවරුන් වෙතින් ඉගෙන ගත් ඔහු…”*7english danna*7
*7. විජේසිංහ බෙලිගල්ල, ලෙනාර්ඩ් වුල්ෆ් සමඟ ගමනක්, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1995, පිටු. 19 – 20
සෑම භාෂාවකටම විදේශිකත්වයක් (foreignness) ඇතැයි කාල් මාක්ස් කොහේ හෝ කියා හෝ හඟවා ඇත. සමහර විට අද සිංහල භාෂාව පරිවර්තනය කළ නොහැකි භාෂාවක තත්ත්වයට පත් වී තිබෙනවා විය හැකි ය. සිංහල භාෂාවට අභ්‍යන්තර දේශපාලන කැරැලි සහ සිවිල් යුද්ධයන්හි භාෂා මාධ්‍ය මෙහෙවර ඉටු කරන්නට සිදු වූ බව ද නොරහසකි.
අද සිංහල භාෂාව ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටක ආර්ථික හා දේශපාලනික දුක්කන්දරාව දරා සිටින අතර, ඊට භාෂා අධ්‍යාපනය හා කියවීම ඔස්සේ ලැබිය යුතු අනිවාර්ය පෝෂණය නැතිකමින් නුදුරු අනාගතයේ දී භාෂා මන්දපෝෂණයකට ගොදුරු වීමේ අවදානමට මුහුණ දී සිටියි.
ජෝර්ජ් ස්ටයිනර්ගේ වචන වහරතොත් මේ අන්ධකාරය සිංහල භාෂාව මත කඩාපාත් වුණේ ගෝබි කාන්තාරයෙන් හෝ ඇමේසන් වැසි වනාන්තරයෙන් හෝ නොව අපගේ සංස්කෘතිය හා සභ්‍යත්වය ඇතුළතින් ම ය. ඊට බාහිර සතුරන් නම් කිරීම පරිහානිගත භාෂා පරිහානියෙන් උද්ගත වන්නා වූ භාෂා ප්‍රයෝගයකි. ඒ භාෂා විපත්තිය මැද අද සවන් පිරෙන්නේ ජනමාධ්‍ය හා සමාජ ජාලා ඝෝෂාවෙනි.
එය හුදෙක් භාෂාව පමණක් නොව සංගීතය හා රංග කලාව ද අපයෝජනය කරයි. සැබැවින් ම අප සම්ප්‍රාප්ත වී සිටින්නේ සාහිත්‍ය ප්‍රකාශනයේ සම්භාව්‍ය වකවානුවේ සිට ‘වාචික ප්‍රාථමිකත්වයක්’ වෙතට ය. පිරිහුණු භාෂා සාහිත්‍ය අදියරක පශ්චාත් – වාග්විද්‍යාමය රූපාකාර සහ සමහර විට අර්ධ නිශ්ශබ්දවීමක් කරා ය. මෙය පැරැණි භාෂා සම්ප්‍රදාය ඉල්ලා සිටින සිංහල ව්‍යාකරණඥයින්ට විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. භාෂාවක වෙනස් වීම් මැද භාෂාත්මක සමාජ සම්බන්ධතාවන්ගේ අභියෝග ජයගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ද, නවකතාව, කෙටිකතාව, පද්‍යය, නාට්‍යය, සංගීතය යනාදි භාෂාත්මක හෝ භාෂා ඥාතිත්වය සහිත වෙනත් ශානර සමඟ බැඳුණු ප්‍රශ්නයක් ද වේ.

භාෂාවක සහ සමාජයක අනන්‍යෝන්‍ය විපත්තිය ගැන ස්ටයිනර් මෙසේ ද කියයි.‍
“මරා දමන්නන්ගේ කෑදීම, විශ්වවිද්‍යාලවල ශබ්ද කන වැකෙන මානයේ සිදු වූ අතර, රංගශාලා සහ කෞතුකාගාර එපිට මාවතෙහි පරපීඩාකාමුකත්වය ඇති විය.

Voltaire

වධහිංසා පැමිණීම අවසන් කිරීම ගැන වෝල්ටෙයාර් 18 වෙනි සියවසේ පසුභාගයේ දී විශ්වාස කළේ ය. දෘෂ්ටිවාදී සමූලඝාතනය පිටුවහල් කළ සෙවණැල්ලක් විය යුතු විය.” *8
*8. George Steiner, Language and Silence, Essays on Language, Literature and the Inhuman, Athenaeum New York, 1986, p. viii-ix

පෙර කොටස්:

More From Author

ඇය නික්ම ගිහින්….

ඩු බුවා සහ ඔහුගේ ද්විත්ව සවිඥාණිකත්ව සංකල්පය

One thought on “වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-5 කොටස

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348