වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-6 කොටස

සාහිත්‍ය ඉගැන්වීම නොකිරීමේ පටන් සාහිත්‍ය ඉගැන්වීමට කැප නොවීම දක්වාත්, සාහිත්‍ය දැනුම සම්බන්ධයෙන් යාවත්කාලීන නොවීමේ සිට සාහිත්‍ය ගුරුවරයකුගේ අමිල විඥානය තම සාන්දෘෂ්ටික පැවැත්ම තුළ නඩත්තු නොකිරීම දක්වාත්, අසුබ ආරංචි සරසවි පීඨවලින් ගලා ඒම අද සාමාන්‍ය කාරණයක් වී ඇත.
එවැනි අර්බුදාත්මක පසුතලයක් තේමා කර ගත් සමකාලීන ප්‍රංශ ලේඛක මිෂෙල් හූල්බෙක්ගේ ‘SUBMISSION’ නවකතාවේ කියවෙන්නේ, ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ඉස්ලාමික හා පීතෘබලධාරී පක්ෂයක් ප්‍රංශ සමාජවාදී පක්ෂයේ ද සහයෝගයෙන් බලයට පැමිණීම ගැන ය. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය වූ ෆ්‍රන්සුවා, මැදි වියේ සරසවි කතිකාචාර්යවරයෙකි. ඔහු සෝබෝන් විශ්වවිද්‍යාලයේ සාහිත්‍යය උගන්වයි. ‘ඩෙකැඩන්ට්’ හෙවත් පරිහානිවාදී ප්‍රංශ නවකතාකරුවකු, කලා විචාරකයකු මෙන් ම ප්‍රංශ සිවිල් නිලධාරියකුව සිටි ජෝරිස් කාල් විස්මාන් නම් ලේඛකයා පිළිබඳව පර්යේෂණයේ යෙදුණු සාහිත්‍ය ප්‍රවීණයකු වූ ෆ්‍රන්සුවා, සිය ශිෂ්‍යයාවන් සමඟ ලිංගික ඇසුරුකම් පවත්වයි. සම්භාව්‍ය සාහිත්‍යය නැවත කියවයි. අසභ්‍ය යූටියුබ් චිත්‍රපටි නරඹයි. මයික්‍රොවේව් ආහාර බුදියි. ඔහු කිසියම් වටිනාකමක් තිබෙන ‘ඇකඩමික් වැඩක්’ කර දැන් අවුරුදු ගණනක් ඉක්ම ගොසිනි.
නොබෝ කලකින් පුද්ගලීකරණය කරන ලද මූලධර්මවාදී සරසවියක් බවට පත්වී තමා ද ඊට අනුගතව වරප්‍රසාද ලබන්නට නියමිත ඔහු, තම විෂයෙහි සමකාලීන තත්ත්වය දකින්නේ මෙලෙසිනි.
“අප සියල්ලන් දන්නා පරිදි ඔබ අතිදක්ෂ සිසුවකු වෙ‍තොත් විනා ශාස්ත්‍රීය අධ්‍යාපනය මඟින් මූලික වශයෙන් ඔබ කොතැනකටවත් ගෙන නොයයි. ඔබ අතිදක්ෂයකු නම් පමණක් එමඟින් සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය උගන්වන ආචාර්යවරයකුගේ වෘත්තියට ඔබ සූදානම් කරනු ලැබේ. වෙනත් වචනයෙන් කියනවා නම් එය හුදෙක් සාහිත්‍යය තුළින් ඔබ නැවත ගොඩනඟා ගැනීමේ විකට රංගනයකි. එවැනි අවස්ථාවලින් සියයට අනූපහක දී එය අසාර්ථක වේ. එනමුත් එය අනතුරු රහිත අහිංසක දෙයකි. එක්තරා ආන්තික වටිනාකමක් වූවත් සාහිත්‍යයෙහි තිබෙන්නට පුළුවන. කිසියම් තරුණියක් සුප්‍රසිද්ධ සෙලීනු හෝ අර්මේස් වැනි බ්‍රෑන්ඩඩ් සාප්පුවක අලෙවි රැකියාවක් සඳහා අයදුම් කරයි නම්, වෙනත් සියල්ලට වඩා ඇය උනන්දු වන්නේ ඇගේ පෙනුම ගැන ය. සාහිත්‍යය උපාධිය හුදෙක් දෙවෙනි මට්ටමේ වත්කමකි. එය වෙනත් ප්‍රයෝජනවත් කුසලතා නැති අතරේ වෘත්තීය දියුණුව කරා රැගෙන යන එක්තරා බුද්ධිමය කඩිසරකමක් පිළිබඳ සහතිකයක් හාම්පුතාට ලබා දෙයි. ඊට අතිරේක වශයෙන් සුඛෝපභෝගී භාණ්ඩ ක්ෂේත්‍රය තුළ සාහිත්‍යය මඟින් ජනනය කරන ධනාත්මක හැඟවීම් ඇත.” *9

  1. Michel Houellebecq, SUBMISSION, Farrar – Straus – Giroux, New York, 2015, p. 8

ඒ හා සමාන ජාතික වාතාවරණයක, මෙරට සරසවි සිංහල සාහිත්‍ය අධ්‍යාපනය ද මුහුණ දී සිටින්නේ බෙහෙවින් ම දුෂ්කර අදියරකට ය. ඓතිහාසික වශයෙන් සරසවි පීඨ මඟින් සාහිත්‍යයේ දියුණුව සම්බන්ධයෙන් පැහැරහැරිය නොහැකි කර්තව්‍යයක් සිදු කර ඇති බව අවිවාදාත්මක ය. එය සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යාපනික විෂයමාලාගත කිරීමේ ජාතික භාෂා ප්‍රවර්ධන ව්‍යාපාරයේ මුඛ්‍යාංගයක් විය.
එනමුත් එවැනි ජාතික සාහිත්‍ය අධ්‍යාපන ව්‍යාපාරයක දී, සැබෑ සාහිත්‍ය කෘතියක් මුහුණ දෙන අභියෝගය වන්නේ, කිසියම් භාෂා සාහිත්‍ය හෝ සංස්කෘතික මානවවිද්‍යා හෝ සමාජවිද්‍යා හෝ පාඨමාලාවක් තුළ ගොනු වීමේ දී එහි මූලික ස්වරූපය රැකෙන්නේ ද යන්න ය. නිර්දිෂ්ට කෘතිය හුදෙක් තවත් අධ්‍යයන මාතෘකාවකට, පංති කාමර පාඩමකට, විද්‍යාගාරයක ඇති ආදර්ශයක් වැන්නකට සීමා නොකර, සාහිත්‍ය කෘතියක් ලෙස සැලකිල්ලට ගන්නේ කෙසේ ද යන්න තීරණාත්මක කාරණයක් වන අතර, එය සාහිත්‍ය උගන්වන ආචාර්යවරයකුගේ මෙන් ම සාහිත්‍ය හදාරණ විද්‍යාර්ථියකුගේ ද පැහැර හැරිය නොහැකි වගකීමක් හා යුතුකමක් වේ. කැපවුණු සාහිත්‍ය ආචාර්යවරයකු හා සාහිත්‍ය විද්‍යාර්ථිකයකු බිහි කරනු ලබන්නේ එම වගකීම නොපිරිහෙළා ඉටු කිරීම මඟිනි‍.
දිනෙන් දින යාන්ත්‍රික වන ඉගැන්වීම, පාඩම් කිරීම හා විභාග පිළිතුරු ලිවීම යන ආකෘතියේ දී අද ඉටු නොවන්නේ ඒ වගකීම නම් එවැනි වගකීමක් ඉටු කරන්නේ කෙසේ ද ගැටළුව විභාග කළ මනා ය. එහි දී කැපවුණු සාහිත්‍ය ආචාර්යවරයකු හා සාහිත්‍ය විද්‍යාර්ථිකයකු විසින්, සාහිත්‍ය කෘතියක ඇති සර්වකාලීනත්වය හා සාර්වත්‍රික බව තහවුරු කරන අතරේ, සාහිත්‍ය කෘතියක ආපතිකතාව (contingency) පිළිබඳව ද අවධානය යොමු කළ මනා ය.
එනම් කිසියම් සාහිත්‍ය කෘතියක් බිහි වූයේ කවරාකාර සංසිද්ධියක් ලෙස ද? අවසානයේ දී සාහිත්‍යකරුවාට පවා නිශ්චිත ලෙස පූර්වනිශ්චය කළ නොහැකි වූ නිර්මාණය බිහි වූයේ කවර කාරණා නිසා ද? සාහිත්‍ය කෘතියක් යනු ඊට ආවේණික කර ගත් ස්වභාවයෙන් අනිවාර්යයෙන් බිහි වීමක් හා පැවතීමක් නොව, විවිධ විභවතා මධ්‍යයේ ඒ අයුරින් සාක්ෂාත් කර ගන්නා ලද එකකි යන උපන්‍යාසයෙන් අනුබල ලබන සාහිත්‍ය හැදෑරීම ප්‍රයෝජනවත් ය. එබඳු විශ්වාසයක් නොතිබීමේ අනිටු ප්‍රතිඵලය වන්නේ නිර්දිෂ්ට සාහිත්‍ය කෘතියක් වූ කලී අවසාන වශයෙන් විෂයමාලාව තුළ පැවතීම සඳහා ඒ ආකාරයට ලියන ලද්දකි යන පහසු, අසාර හා නරුමවාදී නිගමනයට පැමිණීම ය.

මේ සාධකය සම්බන්ධයෙන් යම් යම් කොන්දේසිවලට යටත්ව, සාහිත්‍යකරුවාගේ භූමිකාව අවබෝධ කර ගත හැකි එක් මාර්ගයක් වන්නේ, සාහිත්‍ය කෘතිය හා සාහිත්‍යකරුවාගේ ජීවිතය අතර සම්බන්ධය විමසීම ය. එනමුත් එය හුදෙක් අනන්‍ය කළ හැකි ද්විත්වයක් නොවේ. යම් යම් සීමාකම් මැද ඒ දෙක අතර යම් සංසන්දනයක් කළ හැකි ය.
සාහිත්‍යකරුවකුගේ චරිතාපදානය සමඟ කෘතියක් අනන්‍ය කරන්නට නොහැකි බරපතළ බාධා තිබේ. සරල වශයෙන් ම කෘති රැසක් රචනා කළ ලේඛකයකු සම්බන්ධයෙන් චරිතාපදානය හා සාහිත්‍ය කෘති අතර අනන්‍ය කිරීමක් කොහෙත් ම සිදු කළ නොහැකි ය. සමහර ප්‍රතිවිරෝධතා මටසිලුටු කරන්නට කරන්නට නොහැකි ඒවා ය.
සාහිත්‍යකරුවා ම සිය ජීවිත කතාවේ කතුවරයා වන විට ජීවන තොරතුරු මත සාහිත්‍ය භූමිකාව උත්තරාරෝපණය වෙයි. එවිට පුද්ගලික ජීවන සිද්ධි සාහිත්‍යයට අනුබල දීම පිණිස සිදු වූ ඒවා සේ පෙනෙයි. එසේ ලියවෙයි.
ඒ සම්බන්ධයෙන් සිංහල පාඨකයාට වඩාත් සමීප සාහිත්‍යකරුවන් දෙදෙනා වන්නේ මාර්ටින් වික්‍රමසිංහ සහ ජී. බී. සේනානායක විය හැකි ය. ඒ විශේෂයෙන් ‘උපන් දා සිට ‘ සහ ‘මම එදා අද’ යන අගනා ස්වයං-චරිතාපදාන දෙක හේතුවෙනි.

Upan Da Sita – Author: Martin Wickramasinghe

සිය චරිතාපදානය වූ ‘උපන් දා සිට’ කෘතියේ දී මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කරන්නේ සිය මවගේ මරණයට හේතුව හදිසි ආබාධයක් නොව ‘දිගු කලක් අසම්පූර්ණ ආහාරයෙන් ජීවත්වීම නිසා කෙමෙන් කය දුබල වීම’ බව යි. සිය මව ‘කෑම අහේනිය’ නිසා මියයාමෙන් පසු තමන්ගේ සිතුම් පැතුම් වෙනස් වුණු බව කතුවරයා කියයි. දුෂ්කර ක්‍රියාවෙන් වැහැරුණු බුදුන් වහන්සේගේ කය දැක්වෙන ‘ගන්ධාර පිළිමයේ සිත්තමක්’ දකින සෑම විට ම මවගේ වැහැරුණු කය ඔහුට සිහිපත් වෙයි.
“ඈ මළේ කාසයෙන් නොවේ” ඔහු සිය චරිතාපදානයෙහි ලියයි.* 10

  1. * මාර්ටින් වික්‍රමසිංහ, උපන් දා සිට, සමන් මුද්‍රණාලය, 1961, පිටුව 127

ඔහුගේ ‘මව’ නම් කෙටිකතාව ඇරඹෙන්නේ වේදනාකාරී කෑම අහේනිය දෝංකාර නංවන චාල්ස් ඩිකන්ස්ගේ ‘ඔලිවර් ටුවිස්ට්’ නවකතාවේ එන සුප්‍රකට වැකියෙනි.

Oliver Twist

එනම් ‘තව ටිකක්’ (Some more) යන සාගිනි වැකියට සමාන වූ ‘බත් දියන්… මට බඩගිනියි’ යන වැකියෙනි.

සිංහල නව ප්‍රබන්ධයෙහි ලා මවකගේ මරණය පිළිබඳව නොමැකෙන මරණ ජවනිකාවකි, ඔහු ‘මව’ කෙටිකතාවේ මවන්නේ. ඔහුගේ ‘බේගල්’ කෙටිකතාවේ එන ළමා චරිතය වූ සැමී, චරිතාපදානාත්මකව විභාග කරන විට පෙනී යන්නේ එම චරිතය අර්නස්ට් හෙමින්වේගේ ‘නික්’ චරිතයට සමාන සංවේදී ආත්මාවර්තී චරිතයක් වන බවකි.

Ernest Hemingway

‘නික්’ චරිතය අර්නස්ට් හෙමින්වේගේ ළමා කාලයේ පිළිබිඹුවකි. එය සිය දිවි නසා ගත් වෛද්‍යවරයකුගේ පුත්‍රයා ලෙස අර්නස්ට් හෙමින්වේ විසින් ජීවිතය වෙත වීසිකර දමන ලද ළමා චරිතයකි.
මාර්ටින් වික්‍රමසිංහගේ ‘සැමී’ නම් ළමා චරිතය ද මවගේ මරණය නිසා මහත් සේ කම්පාවට පත් වුණු ලේඛකයකුගේ නිර්මාණයක් බව වික්‍රමසිංහගේ චරිතාපදාන තොරතුරු අනුව හෙළිදරව් වේ. 1910 දී කතුවරයාගේ මව මියගොස් තිබේ. කෙටිකතාව පළවන්නේ 1924 දී ය.
‘මම එදා අද’ යන ස්වයං-චරිතාපදානයේ දී ජී. බී. සේනානායක තම ඥාති පිටපත්කාරියකගේ විහිළු කතාවක් අනුව තමා ප්‍රංශ ප්‍රබුද්ධන චින්තක වෝල්ටෙයාර්ට සමාන කර ගනියි.

G. B. Senanayake

“මට දැන් හෘදය වස්තුවෙහි ආබාධයක් ඇත. සමහර විට මෙය ඉතා උග්‍රවෙයි. එය උග්‍රවන්නේ සාමාන්‍යයෙන් රෑ දෙක පසු වූ විට ය. එවිට හුස්ම හිර වී මම මුර ගාන්ට වෙමි. එසේ වූ කල මම පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගෙනයනු ලැබෙමි.”

“මා කටින් කියන කල වදන් බොහෝ සෙයින් ම ලියන්නේ මගේ අයියාගේ දුවක වන නෙලුම් නැමති තරුණියක විසිනි.”

“දවසක් රෑ මට හුස්ම ගන්ට බැරි වූ විට ඈත් වෙනත් කාන්තාවකුත් මා ආරෝග්‍ය ශාලාවට ගෙන යන්ට මෝටර් රථයක් සොයන්ට ගමේ ඇවිද්දෝ ය. අමාරුවෙන් රථයක් සොයා ගන්නා ලදී. මම ආරෝග්‍ය ශාලාවකට ගෙන යනු ලැබුවෙමි. එහි දවස් කීපයක් නැවතී සිට ආපසු ගෙදර ආ කල නැවතත් පොත් ලිවීම පටන් ගත්තෙමි.”

“කුඩප්පච්චි වෝල්ටෙයර් වගේ” යි නෙලුම් කීවා ය.

“ඇයි එහෙම කියන්නේ” යි මම ඇසුවෙමි.

“වෝල්ටෙයර් පණ ඇද ඇද පොත් ලියුවා” යි ඈ සිනාසෙමින් පිළිතුරු දන්නා ය.

“අද වෝල්ටෙයර් ඇ‍ඳේ වැතිරිලා පණ ද ඇද ඉන්නවා. හෙට උදේට ආයෙත් පොත් ලියන්ට පටන් ගන්නවා.”*11

*11. ජී. බී. සේනානායක, මම එදා සහ අද, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1991, පිටුව 97

පෙර කොටස්:

More From Author

කලා කෘතිය කලාකරුවාගේ නිර්මාණයකි. ඊට අණ නො පනවනු!

ප්‍රවීණ  සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහත්මයාගේ නව කෘති ද්විත්වයක් වන රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන යන ග්‍රන්ථ දෙක මහනුවර නගරයේ එළිදැක්වීම…

One thought on “වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-6 කොටස

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348