එරික් ඉලයප්ආරචිචි
ලොලිටා නවකතාව රචනා කළ වැල්දිමීර් නබොකොව්ගේ චරිතාපදානයක් පිළිබඳව ලියන ලද විචාරයක දී, ඉංග්‍රීසි නවකථාකරුවකු හා විචාරකයකු වූ මාර්ටින් අමිස්, චරිතාපදාන මූලධර්ම සහ සාහිත්‍ය ජීවිත පිළිබඳව මෙසේ අදහස් පළ කරයි.
“තමන්ට කිසිවක් සිදු වුණා නොවුණා, ලේඛකයෝ ඔවුන්ගේ චරිතාපදානයන්ට එක්තරා මූලධර්මයක් ප්‍රදානය කරති. එය බොහෝ කාලයකට කලින් අනාථ වූ මූලධර්මයකි. ඔවුන් කල්පනා කරන්නේ එවැනි චරිත අධ්‍යයන මඟින් තමා ලියූවේ මන්ද? ලියූවේ කුමක් ද? යන බව පැහැදිලි කරන්නට උදව් කළ යුතු බව යි. නිදසුනක් වශයෙන්, ඊ. එම්. ෆෝස්ටර්ගේ ජීවිතය කැපී පෙනෙන්නේ එය කිසි ම සිද්ධියකින් තොර එකක් වූ නිසා ය.

එනමුත් ඔහුට වෙළුම් දෙකක ජීවිතයක් ලැබී ඇත. ඒ ජීවිතය කිහිප වතාවක් නැවත ලියා ඇති බව ද නිසැක ය.” *12
*12. Martin Amis, The War Against Cliché, Essays and Reviews 1971-2000, Jonathan Cape London, 2001, p. 245
එනමුත් මාර්ටින් අමිස්ට හා චරිතාපදාන කතුවර ඇන්ඩෲ ෆීල්ඩ්ට අනුව නබොකොව්ට නම් නොයෙකුත් දේවල් සිද්ධ වී තිබේ. ඔහුගේ ජීවිත කථා පොතේ ආස්වාදනීය විකාරයන් අතර ඒ කාරණයත් ඇති බව අමිස් පවසයි.
“ඔහුගේ දිවියෙහි විලම්භිත හාමු කෙනෙකුගේ වීර වික්‍රමාන්තික විකාර ඇත. බොහෝ දුරට නවකතාවක් වැනි ය. මෝහනාත්මක ලෙස වසඟකාරී ය. නිතර සිනහ උපදවනසුලු ය. නිතර ඛේදාන්තමය වේ. නිතර පරමෝත්කෘෂ්ට වන අතර ඒ ගුණය ඔහුගේ ප්‍රබන්ධයට යෝග්‍ය ශානරයකි.”
මාර්ටින් අමිස් තව දුරටත් පවසන්නේ, නරක කලාවට (bad art) යතුර ලෙස නබොකොව් සැලකූ සුලබ හණමිටි පුවත් ගොන්නකට (cliché) ඔහුගේ ජීවිතය සමාන වීම උත්ප්‍රාසාත්මක ආකර්ෂණයක් බව යි. ඒවා කවරේ දැයි මාර්ටින් අමිස් යථොක්ත චරිතාපදානය ඇසුරෙන් පෙළ ගස්වමින් පවසයි.
‘නබොකොව් පවුල’ විප්ලවයට පෙර රුසියාවේ මහත් ධනයෙන් යුක්ත වූවකි. එය ධනයෙන් මතු නොව පාරම්පරික පුරාණත්වයෙන් හා රදල වංශවත්භාවයෙන් ද අනූන විය. නබොකොව්ගේ පියා සාර් රජවරුන් දෙදෙනකුගේ අධිකරණ ඇමති විය. ඔහුගේ ගෘහය උසස් සංස්කෘතික මට්ටමකින් අනූන එකක් විය. එය බැරෑරුම් සහ ප්‍රබුද්ධ පවුලකි.
‘කෑම මේසයේ දී එය ප්‍රංශ ය. දරුවන්ට උගන්වමින් බලා කියා ගන්නා ශාලාවේ දී එය ඉංග්‍රීසි ය. අනෙක් සෑම තැනේ දී එය රුසියානු ය.’
නබොකොව්ගේ පියා විප්ලවය මැද බිහි වූ තාවකාලික ආණ්ඩුවේ ප්‍රමුඛ ලිබරල්වාදියකු වූ අතර, ලියොන් ට්‍රොට්ස්කි ඔහුට විශේෂයෙන් අකැමැති විය.
නබොකොව්ගේ පියා කොයි තරම් ‘යුරෝපීය’ වී ද යත් සිය කමිස සෝදා මදින්නට ලන්ඩන් යැවී ය. සිටුවර තොල්ස්තෝයි තරුණ නබොකොව්ගේ හිසකේ සුරතල් කළේ ය. මැන්ඩෙල්ස්ටම් ඔහුගේ පාසලට පැමිණ සිය නිර්මාණ කියවී ය. විසිවෙනි වියට පෙර නබොකොව්ට රූබල් මිලියනයක නිදහස් නිධානයක් ලැබුණි. ඔහු තමාගේ සමහර කවි පුද්ගලික මුදල් වැයකොට මුද්‍රණය කළේ ය. කෙල්ලන් පස්සේ දිව්වේ ය. ඔහුගේ වැඩිමල්, පදක්කම්ලාභී ‘කාලතුවක්කු හමුදා – කවියෝ’ (hussar–poets) ‘සුදු හමුදාවේ’ (White Army) දී ඉක්මනින් මරු දුටුහ. මුළු පවුල 1919 දී ක්‍රිමියාවට බෝට්ටුවෙන් පලා යන විට බොල්ෂෙවික් සේනාංක ඊට වෙඩි තැබුවේ ය.
මාර්ටින් අමිස් පවසන තාලේ බාල කලාවට සුදුසු හණමිටි පුවත් ගොන්නක් වැනි ඒ ජීවිතය නිසා අපි ‘ලොලිටා’ රචකයා නොතැකිය යුතු ද? එසේ නැති නම් සමහර විට ‘බූලිස්ම්බෙරි කවයේ’ සාමාජිකයකු වීම, සමලිංගික නැමියාවක් තිබීම සහ ඉන්දියාවට පැමිණ මහරාජා කෙනෙකුගේ මාලිගාවක ටියුෂන් ගුරුවරයා වීමට වැඩි ආකර්ෂණීය සිද්ධියක් නැති ඊ. එම්. ෆෝස්ටර්ගේ ඒකාකාරී ජීවිතය පාදක කර ගනිමින්, ඔහුගේ සාහිත්‍ය භූමිකාව අගය නොකළ යුතු ද? ‘පැසේජ් ටු ඉන්ඩියා’ නම් උසස් නවකතාව නොකියවිය යුතු ද? අප ඒ වෙනුවට කළ යුත්තේ ඔහුගේ විශිෂ්ට නවකතා හා ලිපි රචනා වූ සාන්දෘෂ්‍ටික ආපතික ජීවන පදනම ඒ බැව් පිළිගැනීම ය.
ආනන්ද අමරසිරි විසින් ‘සාගින්දර’ හා ‘අභිරහස්’ නමින් පරිවර්තනය කරන ලද නෝවිජියානු නවකතාවල කර්තෘ, නුට් හැම්සන් සමාජවාදියකු නොවූවා පමණක් නොව යුරෝපා ෆැසිස්ට්වාදයට පවා නැඹුරු වූ ලේඛකයකු වූ නමුත් මැක්සිම් ගෝර්කි, තම සාහිත්‍ය කර්තව්‍යයන් ගැන පවා ස්වයං-විවේචනාත්මක වෙමින්, අවසාන කාලයේ දී පවා ඔහු අගය කළ අවංක මතකය, ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි නම් ප්‍රකට සෝවියට් විචාරකයා මෙසේ සටහන් කරයි.
“හැම්සන් දෙස බලන්න,” ගෝර්කි නොකඩවා වැලපුණි. ‘පොළොවේ යුෂ’ කෘතියෙන් පටන් ගෙන ඔහු ලියා ඇති සෑම දෙයක් ම විස්මිත යි. ඔවුන් කියන්නේ ඔහු රෑට අන්ධකාරයේ ගිනි නැතිව ලියන බව යි. එසේ ලියූ දේවල් ඔහු ඊට පහුවෙනි දා සකස් කරනවා. සෑම දවසක ම ඔහු ‘කොඤැක්’ මත්පැන් බෝතලයක් බොනවා. ඔහුට වයස දැන් හැත්තෑවටත් වැඩි යි. මම ඔහුට ඊර්ෂ්‍යා කරනවා. ඒ කොහොම වුණත් ඔයා ‘ක්ලිම් සම්ගින්’ තුන්වෙනි වෙළුම කියෙව්වා ද? අපොයි තාමත් කියෙව්වේ නැද්ද? මම ඔබට ආයාචනා කරනවා ඒක කියවන්න කියලා. එහි ඉන්නවා මරිනා කියලා ස්ත්‍රියක්. මම දැන ගන්න කැමති යි ඔබ මොනව ද ඇය ගැන හිතන්නේ කියලා. ඇය සිත් ගන්නා ගැහැනියක්.”*13
*13. Alexander Konstantinovich Voronsky, The Art of Seeing the World in Art as Cognition of Life, Selected Writings 1911-1936, Mehring Books, 1998, p. 423.
සාහිත්‍යකරුවකුගේ චරිතාපදානය මරණයෙන් කෙළවර වන්නක් නොවන බව ය, ඇල්බෙයා කමූගේ අකල් මරණයෙන් වහා ඔහුගේ සාහිත්‍ය සම්බන්ධයෙන් ඇති වූ කතිකාවෙන් පෙනී ගියේ. එය වඩාත් ශ්‍රේෂ්ඨ කෘති ලියවිය හැකිව තිබූ සාහිත්‍යකරුවකුගේ අකල් මරණයක් බව පැවසිණ.
‘ඔහු නැවත පොත් නොලියන්නේ ය’ යන කටුක අනිවාර්ය යථාර්ථය තුළ එතෙක් පළ වූ කෘති දෙස නැවත හැරී බැලීමක් සිදු විය. ඔහුගේ දිවි පුවත තුළ රිය අනතුරකින් සිදු වූ ඔහුගේ හදිසි මරණයේ අතිදුක්ඛිත ජවනිකාව ඔහුගේ සාහිත්‍යය පිළිබඳ විශ්ව බද්ධ බැල්මෙහි (gaze) අංගයක් බවට පත් විය.
එහි දී මරණය සම්බන්ධයෙන් ඔහු තුළ වූ ග්‍රස්තිය (obsession with death) මඟින් ද ඔහුගේ හදිසි මරණය හා සාහිත්‍යය පිළිබඳ යාවජීව සම්බන්ධය පැහැදිලි කරමින්, ප්‍රංශ ගොන්කූ සාහිත්‍ය ඇකඩමියේ සාමාජික එම්මෑනුවෙල් රොබ්ලස් නම් ඔහුගේ කල්‍යාණ මිත්‍රයා ඉදිරියේ මෙසේ ලියයි.

“කැමූගේ පැත්තෙන්, මරණය පිළිබඳ ඔහුගේ මෙම ග්‍රස්තිය පිළිබඳව මේ දක්වා සඳහන් නොකළ හා ඕරාන් සඟරාවේ විශේෂ කලාපයෙහි, 1940 ජනවාරි 4 වෙනි දිනය ගැන පළ වුණු මගේ විස්තර වාර්තාවේ සඳහන් නොකරන්නට මවිසින් තීරණය කරන ලද කාරණය දැන් මට හෙළිදරව් කරන්නට පුළුවන. කමූගේ හදිසි මරණය ගැන මගේ පුවත්පත්කලාවේදී මිතුරන්ගෙන් දැන ගත් වහා මම මගේ බිරිඳ සමඟ මදාම් මාවතෙහි පිහිටි කමූගේ නිවසට ගියෙමි. කමූගේ බිරිඳ ෆ්‍රාන්සීන්ට කලින් අප එහි ළඟා වී සිටියෙමු. ඇය පැමිණෙන විට කිසිවක් දැන සිටියේ නැත. කමූගේ සොහොයුරිය ක්‍රිස්ටියෑන් ඒ බියකරු පුවත කියනු පිණිස ඇය පැත්තකට කැඳවා ගෙන ගියා ය. මම ඇය මගේ රියෙන් විලිබ්ලිවින් වෙත රැගෙන ගියෙමි. ඒ වන විටත් එමින් සිටි පත්තරකාරයින් හා ඡායාරූප ශිල්පීන් බොහෝ පිරිස් ඇතුල්වීම වැළැක්වීම පිණිස පොලීසිය මගින් මුර යොදා තිබුණු නගර ශාලාවට මම ඇයත් සමඟ ගියෙමි. ෆ්‍රාන්සීන් ඇය ළඟ සිටින්නට ඉඩ දුන්නේ මට හා දොස්තර කමූට (සිත් කාවදින සමාන නාමයකි) පමණි. ශරීරය දිග මේසයක් මත යුද අගල් කබායක සතපා තිබුණි. එය මුළු නළල මත කැලැල සහිත මුහුණකි. වම් අතේ සීරුම් තුවාලයක් විය. කමූ නිදා ඉන්නවා මෙනි.
මොහොතක නිහැඬියාවට පසු ෆ්‍රාන්සීන් මෙසේ මුමුනනවා මට ඇසුණි. ‘එයාගේ අත්, ලස්සන අත්…’ වේදනාවෙන් ස්නායුපීඩාවට පත් වූ ඇය ඒවා සෙමින් පිරිමැද්දා ය. ඉන් පසු දොස්තර වෙත හැරී මෙසේ විමසුවා ය. ‘මෙයා මැරිලාමයි කියලා ඔයාට නිශ්චිත ද? ඒ ප්‍රශ්නය මා පුදුමයට පත් කළේ ය. දොස්තර ද ඉන් චකිතයට පත් විය. ඔහු මෙසේ කීවේ ය.
‘බෙල්ලයි, කොඳුනාරටියයි කැඩිලා… බලන්න තුවාල දෙකෙන් ලේ ගලන්නේ නෑ. ගැටීම නිසා හදවත නතර වෙලා.’ ෆ්‍රාන්සීන් දුක්ඛිතව මෙසේ කීවා ය. ‘ඒක එහෙම තමයි. එයා මට ඒක නිතර ම නිශ්චිතව ම කිව්වා.’*14
*14. Emmanuel Robles of the Academie Goncourt, Camus, Our Youthful Years, in Camus’s L’Etranger: Fifty Years On, edited by Adele King, Macmillan, 1992, p. 20-1
එනයින් සාහිත්‍යය ඉගැන්වීමේ දී හා ඉගෙන ගැනීමේ දී එහි පැවැත්ම (Being) පමණක් නොව ඒ පැවැත්ම අන්තර්ගත (include) කර ගත් එහි වීම (Becoming) ද සැලකිල්ලට ගත මනා ය. අද මෙරට සාහිත්‍ය ඇකඩමි අධ්‍යාපනයේ දී ස්පර්ශ නොකෙරෙන්නේ සාහිත්‍යයේ පැවැත්ම හා එය ඇතුළත් කර ගනිමින් විවිධාකාර නාමරූප අවස්ථා තුළ නොකඩවා සිදු වන අසංඛ්‍ය සංඛ්‍යාත ‘වීම’ යි.
ඇත්තෙන් ම විෂයමාලාවක් තුළ නිර්දිෂ්ට කෘතියක් වීමේ දී, එකී ඇකඩමික හෙජමොනිය තුළින් ම එසේ සාහිත්‍යයේ ‘පැවැත්ම’ හා ‘එහි වීම’ යන දෙක වළක්වන බැවින්, ඒ සඳහා ඉතාමත් වෙහෙසකර අතිරේක සැතැපුමක් දුවන්නට සාහිත්‍ය ගුරුවරයාට හා ශිෂ්‍යයාට සිදු වේ.
විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට ඌනපූරකයක් හැටියට කිසියම් කෘතියක් භාවිත කිරීමේ ආදීනව අතර එය අඩු තරමින් ‘වියමනක්’ හැටියටවත් පවතින්නක් ලෙස නොසලකා, හුදෙක් ඒ පිළිබඳ ‘කිසියම් විචාරාත්මක අදහසක්’ ඇති කර ගැනීම ය, අද කොතෙකුත් සිදු වන්නේ. එවිට ගැඹුරු කියවීම තබා මතුපිට කියවීමවත් සිදු නොවේ. එවැනි අවභාවිතයක යෙදෙන කිසිවෙක් නවකතාවක පැවැත්ම හෝ ඒ තුළ සිදුවන නිරන්තර ‘වීම’ දැන නොගනිති. එය සමාන වන්නේ කඩසාප්පුවල ප්‍රදර්ශන කවුළු නැරඹුමකට ය. කෘතියක් කියවීම යනු වැය පිරිවැය සහිත සුවිශේෂ පරිභෝජනයකි. ඉන් කියවන්නා තුළ නොමැකෙන සලකුණු තැබේ.වෝල්ටර් බෙන්ජමින් විසින් ෆ්‍රාන්ස් කෆ්කා කියවන ලද අයුරු, නොබෙල් ත්‍යාගලාභී දකුණු අප්‍රිකානු ලේඛක ජේ. එම්. කොයේට්සි මෙසේ පැහැදිලි කරයි.
“භාෂාව කෙරෙහි වූ බෙන්ජමින්ගේ ප්‍රවිෂ්ටය විසිවෙනි ශතවර්ෂයේ වාග් විද්‍යාවෙන් මුළුමනින් බැහැර වූවකි. එනමුත් ඒ ප්‍රවිෂ්ටය ඔහුට පුරාණෝක්තිය සහ දෘෂ්ටාන්තය වෙත, විශේෂයෙන් (ඔහු එය අවබෝධ කර ගත් පරිදි) කෆ්කාගේ ආදිකල්පිත (primeval) පූර්ව-මානුෂික ‘හැල වගුරු ලෝකය’ (swamp world) වෙත රජ මාවතක් විවෘත කර දුන්නේ ය.” *14
*14. J. M. Coetzee, Inner Workings, Essays 2000-2005, Vintage, 2008, p. 53
සාහිත්‍යය කියවීම යනු එහි පැවැත්ම එනයින් ග්‍රහණය කිරීමකි. කියවා ගෙන යන අතරේ හා නැවත කියවීමේ දී සියල්ල සිදු වේ. ‘කිය’ සහ ‘වීම’ එහි උත්කෘෂ්ට ප්‍රතිලාභය යි.
කියවීම වූ කලී කියවන කෘතිය පිළිබඳ අලවා තිබුණු ‘ලේබල්’ හා ‘ටැග්’ ගලවා දමා බාහිර ලෝකයෙන් මුළුමනින් බැහැර වී සිදු වන ආත්මීය ක්‍රියාවකි. රෝලන්ඩ් බාත කියවීම තුළ අන්තර්ගත තව සිදු වීමක් හඳුනා ගනියි.
එනම්, කියවන්නා එක් කියවීම් මොහොතක දී සිය දෙඇස පිටුවෙන් ඉහළට ගෙන පොතට උඩින් දිස් වන හාත්පස ලෝකය දෙස බලා මොහොතක ආවර්ජනයක යෙදීම ය. ඊට එකතු කළ යුතු තව කාරණයක් අපට යෝජනා කළ හැකි ය. එනම් එහි දී කියවන්නා සිදු කරන්නේ ලේඛකයාගේ හැල වගුරු ලෝකය වෙතට යොමු වුණු රජ මාවතක් විවෘත කර ගැනීම ය.
ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් කියවූ ජේ. එම්. කොයේට්සි ඒ ලේඛකයා පිළිබඳව එළඹෙන්නේ, මෙරට මාකේස් කියවන ලද හෝ නොකියවා අමන – මැජික් මත පළ කරන බොහෝ දෙනෙකු විපිළිසර කරන නිගමනයකට ය.

“ඔහුට එල්ලා ඇති ‘මැජික් රියලිස්ට්’ ටැග් එක තිබුණත් ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස්ගේ කෘති, පුද්ගල මනසේ ක්‍රියාකාරිත්වය ග්‍රහණයට ගත හැකි තර්කණයක් පවතින්නේ ය යන උපකල්පනය සහිත මනෝවිද්‍යාත්මක යථාර්ථවාදයට දැඩි ලෙසින් ඇතුළු වේ. ඔහු ම කියා ඇති පරිද්දෙන් සරල ලෙස ම ඔහුගේ ඊනියා මැජික් යථාර්ථවාදය, ඇදැහිය නොහැකි කතාන්දර කෙළින් මුහුණ බලා ගෙන කීමක් වන අතර, ඔහු එය උගත්තේ කාටිහෙනාවේ හිටපු ආච්ච්ගෙනි. තවද විශ්වාස කරන්නට බැරි බව බාහිර ලෝකයා සිතන කතාන්දර ලතින් ඇමරිකාවේ යථාර්ථයෙහි ඉතා සාමාන්‍ය දේවල් ය.”*15
*15. J. M. Coetzee, Inner Workings, Essays 2000-2005, Vintage, 2008

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස්:
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව- පළමු කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-2කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-3කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-4කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-5 කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-6 කොටස






One thought on “වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-7 කොටස”