වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-8 කොටස

ඇකඩමිය තුළ සාහිත්‍යය ඉ‍ගැන්වීමේ බරපතළ කාරණයේ දී සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව පිළිබඳ නොසැලකිල්ල තවත් බරපතළ වන්නේ සාහිත්‍ය කෘතියක සමාජයීය හා ආත්මීය භූමිකාව මෙන් ම, සාහිත්‍ය ලෝකය තුළ ඒ කෘතියේ දෛවෝපගත ගමන ද සම්පූර්ණයෙන් ම නොතකකා හැරෙන බැවිනි.‍

කිසියම් සාහිත්‍ය කෘතියක සර්වකාලීනත්වය හා සාර්වත්‍රිකත්වය මුල් තැන තැබීම නිවැරදි වෙතත් සාහිත්‍ය කෘතියක සමාජයීය හා ආත්මීය භූමිකාව මෙන් ම සාහිත්‍ය ලෝකය තුළ එහි දෛවෝපගත ගමන ගැන ද අවධානයක් තිබිය යුතු බව කල්පනා කරමු.
මෙය නිර්දිෂ්ට කෘතිය ඉගැන්වීමේ මාර්ගෝපදේශයන්ට පරිබාහිර අභ්‍යාසයක් විය හැකි ය. එනමුත් කෘතියෙහි කියවීම් ලෝකය කවර ස්ථානික හා කාලමය විපරිනාමයකට ලක් වී තිබෙන්නේ ද යන කාරණය විමසීම විද්‍යාර්ථීන්ගේ කල්පනාව වඩන කාරණයකි.

ඇත්ත වශයෙන් අද කලා ශිෂ්‍යයා මුහුණ දෙන අර්බුදයට විසඳුමක් වන්නේ, ඔහු හෝ ඇය එවැනි සාරගර්භ තර්කාපණික ව්‍යාපෘතියකට ඇතුල් කිරීම ය. සහතික වශයෙන් ම බටහිර ලෝකයේ කලා ශිෂ්‍යයා බාහිර වෘත්තීය ලෝකයේ සියුම් කුසලතා වුවමනා ක්ෂේත්‍රයන්හි හා විදග්ධ තීරණ ගත යුතු ක්ෂේත්‍රයන්හි ආකර්ෂණය දිනා ගන්නෙකු බව මෙහි දී සිහිපත් කළ මනා ය.
ඒ භාෂා කෞශල්‍යය හා ලෝකාවබෝධය වුවමනා වන අන්දමේ තීරණ ගැනීම අනිවාර්ය වූ විධායක ක්ෂේත්‍රවල ය. පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයෙහි වූවත් ඒ විද්‍යා තාක්ෂණයෙන් අනුබල ලබන නිර්මාණාත්මක මනසට වෙන් වූ රජ මාවතක් ඇත. එනයින් අවම වශයෙන් මිෂෙල් හූල්බෙක්ගේ සර්ව අශුභවාදී මානවශාස්ත්‍ර ලෝකයට වුවමනා බහුභාෂික තර්කාපණික කුසලතා හෝ නොසපුරන්නේ නම් මානවශාස්ත්‍ර අධ්‍යාපනය හායනයට යොමු වීම අනිවාර්ය වන්නේ ය.

සාහිත්‍ය කෘතියක ඓතිහාසිකත්වය පිළිබඳ හැදෑරීමේ දී ඒ කෘතිය බිහි වූ දා සිට ඊට සිදු වෙමින් පවතින දෙය මෙන් ම, ඉංග්‍රීසි කිවි ටී. එස්. එලියට් ප්‍රකාශ කළ ආකාරයට කවර කලාවක් හෝ ප්‍රගුණ කරන කලාකරුවකුට තනිවම පරිපූර්ණ ලෙස අර්ථවත් වන්නට නොහැකි වීම සහ හැරල්ඩ් බ්ලූම් ප්‍රකාශ කළ ආකාරයට සෑම කවියකු ම පූර්වගාමී කවීන්ගේ ආභාෂයට නතුවීම හා ඉන් නිදහස් වීමේ කාංසාව විඳවීම (anxiety of influence) හේතු කොට ගෙන, ඔහුට කලා ලෝකය තුළ හිමි ස්ථානය හා එහි ඇති වන පෙරළි ද ශාස්ත්‍රවන්තයින්ගේ අවධානයට යොමු වීම යෝග්‍ය වේ.

T. S. Eliot

“අභිනව කලා කෘතියක් නිර්මාණය වූ කල්හි එයට සිදු වන දෙය, ඒ හා සමඟ ම, ඊට පොරතුව පහළ වී තිබූ සියලු කලා කෘතිවලට ද සිද්ධ වන්නේ ය. කලින් පැවති විශිෂ්ට නිර්මාණ විසින් ඒ ඒ කෘති අතර පරමාදර්ශී පරිපාටියක් සකස් කෙරෙන අතර, නව කලා නිර්මාණයක් (සැබවින් ම නවතම නිර්මාණයක්) පහළ වූ කල්හි එය නිසා ඒ සියලු නිර්මාණ අතර පවත්නා පරිපාටිය වෙනස් වෙයි. අභිනව කෘතිය එළි දැකීමට පෙර නම් එතෙක් පවත්නා පරිපාටිය සම්පූර්ණ ය. එහෙත්, පවත්නා පරිපාටියට අභිනව කෘතියක් එකතු වූ කල්හි, ඒ පරිපාටිය තව දුර පැවතීමට නම්, සමස්ත පරිපාටිය ම ස්වල්ප වශයෙන් හෝ සංශෝධනය වුව මනා ය.”*15

*15. T. S. Eliot, Tradition and Individual Talent, පරි: ඒ.වී. සුරවීර, සම්ප්‍රදාය, නිර්මාණය සහ විචාරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1989, පි.51

කෘතියක සාහිත්‍ය දිවිය ‘දෙන ලද්දක්’ නොව ‘දිනා ගන්නා ලද්දක්’ ලෙස දකිනු කැමැත්තෙමු. කිසියම් වැදගත් සාහිත්‍ය කෘතියක සර්වකාලීනත්වය පවතින අතරේ ම, නොයෙක් විවාදසම්පන්න අවධීන් ගත කරන්නට, අමතක කර දමා හෝ වළ දමා තිබෙන අවධීන් ගත කරන්නට හා නැවත ගොඩනැගීම් සිදු වන්නට ඉඩ ඇත. දිගින් දිගට එය පවතිනු ඇත්තේ ද ආගමික ඇදැහිල්ලක් ලෙස නොව විචාරාත්මක කතිකාවක් ලෙස ඒ තුළ පමණි.
නිදසුනක් වශයෙන් කොයි තරම් ප්‍රකට ලේඛකයකු වූවත් ඇල්බෙයා කැමූ තරම් විචාරයට හා විවේචනයට භාජනයක වූ තවත් ලේඛකයකු නැති තරම් ය. විසිවෙනි සියවසේ ලේඛකයින් හා චින්තකයින්ගේ බලපෑම හා පැවැත්ම පිළිබඳ විවරණය කළ, අන්තර් මහද්වීපික පිළිගැනීමක් සහිත සම්මානනීය ඇමරිකානු ඉතිහාසඥයකු වූ ටෝනි ජූඩ්ත්, හතලිස් හයවෙනි වියේ මියගිය ඇල්බෙයා කමූගේ සාහිත්‍යමය වලංගුතාව පිළිබඳව විවාදාත්මක විවරණයක් සිදු කරයි.

Albert Camus

ඒ විවරණයට අනුව, ඒ මරණයට යන්තම් තුන් අවුරුද්දකට පෙර නොබෙල් ත්‍යාගය දිනා තිබිය දී පවා, ඇල්බෙයා කමූගේ කීර්තිය පිරිහෙමින් තිබුණි. ස්වීඩන් සාහිත්‍ය ඇකඩමිය විසින් තරුණ ලේඛකයකු තෝරා ගන්නා බව විශ්වාස කරන ලද නමුත් ඇත්ත වශයෙන් එමඟින් සනාථ කරන ලද්දේ ‘අකල් පටක ඝනවීමක්’ (premature sclerosis) පමණි. කැමූගේ විශිෂ්ට කෘති ලියවෙන්නට තිබුණේ බොහෝ කාලයකට පසු ය. ඇත්ත වශයෙන් ඔහු කලකින් වැදගත් දෙයක් ලියා තිබුණේ නැත. ටෝනි ජූඩ්ත් පවසන්නේ ඒ පිරිහීමට කැමූ ද කොටස්කාරයකු බව යි. .”* 16

Tony Judt

16. Tony Judt, REAPPRAISALS – Reflections on the Forgotten Twentieth Century, Penguin Books, 2008, p. 95- 105

සාහිත්‍යකරුවාගේ භූමිකාව ඔහුගේ හෝ ඇයගේ නිර්මාණාත්මක බුද්ධිය මූලික කොට ගත්තක් ද, නැති නම් පරිශ්‍රමශීලී ලෙස වගාදිගාකර ගනු ලැබූවක් ද යන ගැටළුවේ දී ඊට වඩා ප්‍රාථමික වූ තවත් ගැටළුවකට ද අපි අභිමුඛ වෙමු. එනම් සාහිත්‍යකරුවාට පවසන්නට ඇති දේ පිළිබඳ වැදගත් කාරණාව යි. ඒ එහි අනිවාර්යතාව හෙවත් කෙසේ හෝ කියන්නට ඇති වුවමනාව සපුරනු ලබන්නේ නිර්මාණශීලී බුද්ධිය ද? පරිශ්‍රමය හෙවත් නොකඩවා දරන උත්සාහය ද? යන්න යි. ඒ දෙවෙනි ගැටළුව හමුවේ දී, සාහිත්‍යකරුවාගේ වෙහෙසකර පරිශ්‍රමය, ඔහුගේ නිර්මාණාත්මක බුද්ධිය පරයා යන්නක් විය හැකි ය. 2015 දී ‘හාවර්ඩ් බිස්නස් රිවීව්’ සඟරාවට ලබා දෙන ලද සම්මුඛ සාකච්ඡාවේ දී සල්මන් රූෂ්ඩි පැවසුවේ ‘සරස්වතී වරම’ ළඟාවන තුරු බලා සිටින්නට ලේඛකයින්ට නොහැකි බව යි. “ලේඛකයින්ට හා කලාකරුවන්ට ‘නිර්මාණාත්මක චිත්ත ස්වභාවය’ (creative temperament) පහළ වන තුරු හෝ අනුප්‍රාණය (inspiration) ළඟා වන තුරු හෝ සිටින්නට පුළුවන් බව මම නොසිතමි. ඔබ කළ යුත්තේ නිකම් වාඩිවීම සහ ඔබ ලවා වැඩ ගැනීම යි.

වසර ගණනක් පුරා මා ඇත්ත වශයෙන් දියුණු කර ගෙන තිබෙන්නේ ඒ ශික්ෂණය යි.” ‘ෆ්ලොරන්සයේ වශීකාරිය’ (The Enchantress of Florence) ලියන්නට පෙර දසක කිහිපයක්, තමා අක්බාර් අධිරාජ්‍යයා සහ නිකොලායි මකියාවෙල්ලි ගැන කල්පනා කළ බවත්, තමා නිතර ම අවසන් කරන්නේ ලියන්නට පටන්ගත් කතාව නොවන බවත්, ලිවීම වූ කලී ගවේෂණ සන්තතියක් (process of discovering) බවත් රූෂ්ඩි කියයි. අද මූලධර්මවාදියකු අතින් ඇසක් සහ අතක ප්‍රාණය අහිමි මහලු ලේඛකයකු වන විට ද ඔහු එසේ චාරිත්‍රානුකූලව ලියන්නෙකි.

‘ලිවීම’ සැලසුම් සහගත ලෙස සිදු නොකර කන්දෙන් පනින අයුරින් එය කරන්නට කෙනෙකුට මහලු වන විට පුළුවන් බව ඔහු කලින් ම පවසා තිබුණි. එහෙයින් සාහිත්‍යකරුවකු තමාගේ භූමිකාව ඉටු කරන්නේ ඉංග්‍රීසි තේරුමෙන් ‘මියුස්’ සහ ‘සිසිෆස්’ අතර සිදු කරන දෝලනයක් ලෙසින් බව නිගමනය කරන්නට කැමැත්තෙමු. ‘මියුස්’ වූ කලී රචනා අනුප්‍රාණයේ වරම ලබා දෙන සරස්වතිය යි. ‘සිසිෆස්’ වූ කලී නිතර ම පහළට පෙරළී යන විශාල ගලක් කන්දක් මුදුනට තල්ලු කිරීමේ දේව දණ්ඩනයට ලක් වී සිටින්නා ය. සිය භූමිකාව ඉටු කිරීමේ දී සාහිත්‍යකාරයා, නබොකොව් වැනි සිනා ගන්වන තරමේ වාසනාවන්තයකු නොවේ නම්, ඔහු ඒ භූමිකාව ඉටු කරන්නට වුවමනා සිත කය දෙක පවත්වා ගෙන යන්නට වුවමනා ආර්ථිකයක ද්‍රව්‍යමය අතිරික්තය සහ විවේකයේ මානසික අතිරික්තය වුවමනා කෙනෙකි. ලේඛකයින්ට චරිතාපදානයක් කියා දෙයක් තිබේ නම් එය සකස් වන්නේ එමඟිනි. මාර්ටින් අමිස් ගෙනහැර දක්වන පරිදි, දැනටමත් අනාථ වී තිබෙන චරිතාපදාන මූලධර්ම යුග්මය, එනම්, ‘ලේඛකයකු ලියූවේ මන්ද? ලියූවේ කුමක් ද?’ යන්න නැවත කියවිය යුතු වන්නේ ඒ පසුතලය තුළ ය. ඒ අනාථ මූලධර්ම දෙක අප කැඳවා ගෙන යන්නේ ලේඛකයා සහ ලිවීම පිළිබඳ ව්‍යාකූල කලාපයක් වෙතට ය. උක් වැවිලි කම්කරුවන් ලෙස ඉන්දියාවෙන් කැරිබියන් දූපත් කලාපයට ගොස්, ට්‍රිනිඩෑඩ් නම් කුඩා දූපතේ පදිංචි වූ බ්‍රාහ්මණ පවුලකින් පැවත එන්නකු වූ වී. එස්. නයිපෝල්, සිය කෙටි නොබෙල් සම්මාන දේශනයේ දී කියා සිටියේ ඔහුගේ පසුබිම එකවර අතිශයින් සරල ද, අතිශයින් ව්‍යාකූල ද (at once exceedingly simple and exceedingly confused) බව යි.

V. S. Naipaul

නයිපෝල්ගේ අනුමත චරිතාපදානයෙහි කතුවර පැට්‍රික් ෆ්‍රෙන්ච්, ඒ භූමිකා පසුතලය මෙසේ සාරාංශ කරයි. “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පුරා වහල් ක්‍රමය තහනම් කර තිබිය දී ද සීනි වැවිලි සඳහා කම්කරුවන් වුවමනා විය. ඉතින් ඉන්දියාවේ සිටි නයිපෝල්ගේ අනාථ ආදිතමයන්, ඇපයට ගත් දුගී කම්කරුවන් ලෙස, කැරිබියන් දූපත් කරා රැගෙන යන ලද්දේ ය. එය වහල්කමට තවත් නමක් විය. කල් ඉකුත් වූ නමක් විය. 1932 දී යටත්විජිත ඉන්දියාවේ ග්‍රාමීය දුප්පත්කමේ කුසින් උපන් නයිපෝල්, කිසිවක් නොදෙනු ඇති ඒ පසුතලයකින් නැඟී අවුත්, විසිවෙනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගෙන් කෙනෙක් විය. මේ ජයග්‍රහණයෙන් අදහස් කරන්නේ ඔහු ලියූ සියල්ල හොඳ බව නොවේ. ඔහුගේ හැසිරීම ආදර්ශමත් බව ද නොවේ. එනමුත් බොහෝ දුරට ඔහු දිනූ ලේඛන සමුච්චය ඔහුගේ සමකාලීනයන් ඉක්මවා යන බවත්, ලේඛකයින් සහ පාඨකයින් ලෝකය දකිනා ආකාරය වෙනස් කළ බවත් ය. සරල වාක්‍ය භාවිත කරමින් ඔහු සංකීර්ණ නූතන විෂයන් දෙස බලයි. අන්තවාදය, ගෝලීය සංක්‍රමණ, දේශපාලනික හා ආගමික අනන්‍යතා, වාර්ගික වෙනස, අප්‍රිකාවේ මහා පිපිරුම, ආසියාවේ පුනරුත්ථානය සහ අධිරාජ්‍යයේ වැටීමට පසු යුරෝපයේ තත්ත්වය ඊට ඇතුළත් ය. ඔහුගේ ජයග්‍රහණ අධිෂ්ඨානයේ ප්‍රතිලාභයෝ වෙති. එහි ලා හෙතෙම සෑම අවස්ථාවක් සහ සම්බන්ධතාවක් ම සිය අභිලාෂයට දෙවෙනි කොට සැලකුවේ ය. බුද්ධිමය සාපේක්ෂතාවාදය රජැයූ වකවානුවක නවකතාකරුවකු සහ සිද්ධිදාම රචකයකු ලෙස ඔහුගේ පොදු ප්‍රසිද්ධ ආස්ථානය අනම්‍ය විය. ඔහු උසස් ශිෂ්ටාචාරය, පුද්ගල අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් නැඟී සිටියේ ය.”16

*16. Patrick French, The World is What It Is, Authorized Biography of V. S. Naipaul, Picador, 2008, xi – xii

පෙර කොටස්:

More From Author

දරුවාගේ ප්‍රකාශය (දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය)

කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (පළමු කොටස)-විශ්ලේෂණයක්.

One thought on “වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-8 කොටස

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348