එරික් ඉලයප්ආරචිචි:
අපගේ තත්ත්වය ඒ ඉංග්‍රීසිකාරයින්ගේ හා ප්‍රංශකාරයින්ගේ තත්ත්වයට වඩා බෙහෙවින් ම නරක බව කිය යුතු නොවේ. අපගේ සිංහල ‘මයි ෆෙයා ලේඩි’ නාට්‍යයේ වීරයා විය යුත්තේ ශාබ්දිකයකු පමණක් නොවේ. නිර්මාණාත්මක ලේඛකයකු ද අපට වුවමනා ය.
මෙරට භාෂාව පමණක් නොව සාහිත්‍ය ප්‍රභේද හා අනුප්‍රභේද හෙවත් ශානර පවා බරපතළ අර්බුදයට යමින් පවතින මෙවැනි වකවානුවක, ශාබ්දිකයකුගේ හා නිර්මාණාත්මක ලේඛකයකුගේ වුවමනාව බරපතළ මට්ටමේ එකකි. රුහුණු විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු ‘බව තරණය’ නවකතාවේ අඩසියවස් සමරු ශාස්ත්‍රීය සම්භාෂණයේ දී එක් ආරාධිත දේශකයකු සිංහල භාෂා සාහිත්‍යය හදාරණ සරසවි සිසුන්ගේ භාෂාත්මක හා අවබෝධාත්මක දුර්වලතාව පිළිබඳ ලොමු දැහැගන්වන අනාවරණයක් කළේ ය.

බර්නාර්ඩ් ෂෝගේ ‘පිග්මැලියන්’ උපහාස වේදිකා නාට්‍යයෙන් කියවෙන්නේ, ලන්ඩනයේ පහළ සමාජයට අයිති කාන්තාවකට වියත් භාෂා හුරුව ලබා දී ඉහළ සමාජයට යැවීමේ අභියෝගය භාර ගන්නා ශාබ්දිකයකු පිළිබඳව ය.
භාෂා විශාරදයකු වූ හෙන්රි හිගින්ස් නම් ඔහු තරුණ එලිසා ඩූලිට්ල් නම් මල් වෙළෙන්දියකගේ ‘කොක්නි’ නම් පහළ පංතික හඩු මාර්කට් ඉංග්‍රීසිය වෙනුවට, ඇයට උසස් ඉංග්‍රීසි බස උගන්වා සය මසකින් ඇය සිටුවරියක කරන්නට පුළුවන් බවට, ඉන්දියාවේ සිට පැමිණි තවත් ඉංග්‍රීසිකාරයකු වූ කර්නල් පිකරින් සමඟ ඔට්ටු අල්ලයි. ඒ අනුව උග්‍ර පුහුණුවක් අරඹන හිගින්ස් ඇය උසස් සමාජයට යවන්නට සමත් වේ.
පිග්මැලියන් ග්‍රීක පුරාණෝක්තියේ මැවෙන චරිතයකි. මූර්ති ශිල්පියකු වූ පිග්මැලියන් තමා නෙළන සුන්දර නාරි මූර්තියකට වසඟ වන අතර, ආදරයේ දෙවඟන වූ ඇප්‍රොඩයිට් (වීනස්) ඔහුගේ ඉල්ලීම සපුරමින් ඒ ප්‍රතිමාවට ප්‍රාණය ලබා දෙයි.
සාහිත්‍ය ලේඛකයාගේ තත්ත්වය ද ඊට සමාන වන අතර ඔහු මිනිස් ජීවිතය ඇසුරෙන් සිය නිර්මාණය බිහි කරමින් ඒ සමඟ බැඳෙයි. එහි දී ශාබ්දිකයාගේ කාර්යය ද ඔහු අතින් ඉටු විය යුතු අතර, පොදුජන බස නිර්මාණයට ගැලපෙන අයුරින් සකස් කර ගන්නට ය, ඔහුට සිදු වන්නේ.
මාර්ටින් වික්‍රමසිංහ වැනි පුරෝගාමී ලේඛකයින්ට එදා සිංහල භාෂා විශාරදයින් හා ව්‍යාකරණඥයින් වෙතින් එල්ල කෙරුණු කර්කශ විවේචන අනුව පෙනී යන්නේ, නවකතා හා කෙටිකතාකරුවකුගේ භාෂාව හුදෙක් සම්භාව්‍ය භාෂාව හා ව්‍යාකරණය නොවන බව යි. සම්භාව්‍ය භාෂාව හා ව්‍යාකරණය ලේඛකයාගේ ස්වාධීන කර්තව්‍යය වෙනුවෙන් ඒ අයුරින් යොදා ගත නොහැකි වන්නේ, අලුත් අත්දැකීම් කැලතෙන සමකාලීන සමාජය ඔහු තම නිර්මාණවලට විෂය කර ගන්නා බැවිනි. එය සම්භාව්‍ය භාෂා විශාරදයා හා ව්‍යාකරණඥයා පය නොතබන ක්ෂේත්‍රයකි.
අප අද සම්ප්‍රාප්තව සිටින්නේ බර්නාර්ඩ් ෂෝ නුදුටු හා දකින්නට නොරිසි නොවන මට්ටමේ භාෂා අර්බුදයකට ය. විද්‍යුත් ජනමාධ්‍යයෙන් ආරම්භ වූ එය මුහුණුපොත ඇතුළු සමාජ ජාලා නිසා වඩාත් අර්බුදාත්මක මට්ටමක් කරා ළඟා වෙමින් තිබේ. එහි ව්‍යවහාර කරන්නා වූ භාෂාව අමුතු එකකි. මේ නිසා භාෂා අර්බුදය ශානරීය අර්බුදයක් සමඟ අතිනත ගෙන ඇති අතර, එහි ගමනාන්තය කිසිවකුට සලකුණු කළ නොහැකි එකකි.
අනෙක් අතට වර්තමාන බංකොලොත් ආර්ථිකය හා සමාජ ව්‍යාකූලත්වය සමඟ දිග හැරෙන අධ්‍යාපන ව්‍යාකූලත්වය ද සැලකිය යුතු එකකි. විශේෂයේ අද සිංහල භාෂා සාහිත්‍ය පීඨ මේ අර්බුදයට මුහුණපා සිටියි.

ඒ අනුව අද අපට වුවමනා වී තිබෙන ප්‍රතිසංස්කරණවාදියා වන්නේ හුදෙක් භාෂා විශාරදයකු වූ හෙන්රි හිගින්ස් වැනි උනන්දු සහගත උද්යෝගිමත්ශා බ්දිකයකු පමණක් නොවේ. සාහිත්‍යකරුවකු ද වුවමනා ය. භාෂාව සහ ශානරය යන දෙක ම නඟාලන ලේඛක භූමිකාව වැදගත් වන්නේ මෙහි දී ය.
අද මෙලෙස මුහුණ දෙන අර්බුදයට හුදෙක් ජනමාධ්‍යයට පමණක් චෝදනා කළ නොහැකි ය. සමාජ ජාලය තුළ පාවිච්චි කරන භාෂාවේ වරදකරුවා කිසිසේ ම ඒවා හෝ නව තාක්ෂණය හෝ නොවේ.
බර්නාර්ඩ් ෂෝගේ පිග්මැලියන් නාට්‍යයේ අර්ථයෙන් අපට අද ඇති ගැටළුව ‘හෙන්රි හිගිනිස් කෙනෙකු’ මෙන් ම මල් වෙළෙන්දියකව සිට සිටු ආර්යාවක විය හැකි ‘ඩූලිට්ල් කෙනෙකු’ ද නැති වීම ය. එපමණක් නොවේ. අප අද රඟ දක්වන නාට්‍යය පිග්මැලියන්ට හෝ මයි ෆෙයා ලේඩිට වඩා බියකරු එකකි.
මේ කනගාටුදායකදායක තත්ත්වයන් තුළ හෙන්රි හිගින්ස් මට්ටමේ චරිතයක් වීමේ හා එසේ වීමෙන් පසු ඒ වෙනුවෙන් කැපවී ජීවත් වීමේ වගකීමෙන් අත්මිදෙන්නට මානවශාස්ත්‍ර පීඨවල ආචාර්යවරුන්ට නොහැකි ය. මල් වෙළෙන්දියකව සිට සිටු ආර්යාවක විය හැකි ඩූලිට්ල් චරිතයක් ලෙස සමාජයට යාමේ වගකීමෙන් අත්මිදෙන්නට මානවශාස්ත්‍ර පීඨවල සිසු සිසුවියන්ට ද නොහැකි ය.
මෙහි දී ජීවමාන භාෂාවක් අර්බුදයට ගිය අවස්ථා සහ සාහිත්‍යය, සංගීතය, චිත්‍ර කලාව යනාදිය අර්බුදයට ගිය අවස්ථා පිළිබඳ විමසිලිමත් වීම අද අපට ඉතාමත් වුවමනා වී තිබෙන ප්‍රතිසංස්කරණවාදියා කවරෙක් ද යන්න අවබෝධ කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් ය.
අප අද මුහුණ දී සිටින අසාමාන්‍ය සංස්කෘතික තත්ත්වයන් තුළ වුවමනා වන්නේ රසවාදයේ හෝ කලාත්මකභාවයේ හෝ කලාත්මක ප්‍රගමනයේ හෝ අලංකාරිකයන් හෙවත් රෙටොරිකයන් පමණක් නොවේ. නිර්-කලාත්මකභාවයේ, පරම කලාත්මක පරිහානියේ හා කලාවේ මරණයේ අලංකාරිකයන් හෙවත් රෙටොරිකයන් ද අද අපට වුවමනා වේ.
මේ රචනාව වෙනුවෙන් දැන් ඒ බිහිසුණු අඩවියට ද පා තබන්නට කැමැත්තෙමු. කලාත්මක ලෙස අද මෙරට පෙනී සිටින සියල්ල කලාත්මක නොවන බව තේරුම් ගැනීම සඳහා ‘නිෂේධනාත්මක රසවාදයක්’ සහ ‘නිෂේධනාත්මක අලංකාරවේදයක්’ අපට වුවමනා වී තිබේ.
අපට ‘අමානවීයත්වය’ (the inhuman) පිළිබඳ බිහිසුණු අදහසක් ද ඊට එකතු කළ හැකි ය. අප කලින් විමසූ ජෝර්ජ් ස්ටයිනර් මෙහි ලා ඉතා වැදගත් භාෂා හා සාහිත්‍ය චින්තකයෙකි.
දෙවෙනි ලෝක යුද සමය තුළ නාසිවාදයේ නැඟීම හමුවේ ජර්මානු භාෂාව මුහුණ දුන් තත්ත්වය ජෝර්ජ් ස්ටයිනර් පැහැදිලි කරයි.
ඇත්තෙන් ම ස්ටයිනර් තම කෘතිය නම් කළේ ‘භාෂාව සහ සාහිත්‍යය – භාෂාව, සාහිත්‍යය සහ අමානවීයත්වය’ (Language and Silence – Essays on Language, Literature and the Inhuman) යන බිය දනවන දීර්ඝ නාමයකිනි.

එහි පෙරවදන ඇරඹන්නේ මෙනයිනි.
“මූලිකව මෙය භාෂාව පිළිබඳ ග්‍රන්ථයකි. භාෂාව සහ දේශපාලනය ගැන ය. භාෂාව සහ සාහිත්‍යයේ අනාගතය ගැන ය. ඒකාධිපති බොරු (totalitarian lies) සහ සංස්කෘතික පරිහානිය විසින් ඇති කරනු ලබන පීඩන ගැන ය. භාෂාව සහ අනෙක් අර්ථජනන කේතයන් (සංගීතය, පරිවර්තනය, ගණිතය) ගැන ය. භාෂාව සහ නිශ්ශබ්දතාව ගැන ය.”*5

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
පෙර කොටස්:
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව- පළමු කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-2කොටස
- වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-3කොටස