ෂාල් බෝද්ලෙයා ප්‍රංශයේ පමණක් නොව මුළු යුරෝපය තුළම කාව්‍යකරණයේදී නූතනත්වයට අති මහත් බලපෑම් කළ පුරෝගාමී කවියෙකු ලෙස, තම කවිය තුළ ස්වකීය ලකුණ සනිටුහන් කරන්නට ගත් උත්සාහය ප්‍රශස්තය. වෙඩිවර්ධනගේ මෙම කෘතියේ බෝද්ලෙයාගේ ජීවන පරිචය තුළ ඔහුගේ නිර්මාණ කාර්යයේ පොලා පැනීම ගැන කරන කදිම හැඳින්වීම තුළ, සහෘදයාට බෝද්ලෙයා සහ ඔහු තුළින් ඔහුගේ නිර්මාණ කාර්යය විනිවිදින්නට සහ මංජුල ස්වකීය නිර්මාණ තුළින් බෝද්ලෙයා දකින ආකාරය සහෘදයාට දනවන්නට ගන්නා උත්සාහය කෙබදුද යන්න පැහැදිලිය.“බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්“ තුළින් ගෙන එන්නේ එයයි.

මංජුලට අනුව බෝද්ලෙයාගේ බොහෝමයක් කවි පාරවනසුළු, දරාගත නොහැකි ආත්මීය විඳවීම්, කඩාවැටීම් වන අතර, නාගරික ජීවිතයේ ආත්මීය බැඳීම්, මිනිස් සම්බන්ධතාවල දරා ගැනීම් සහ එවකට ප්‍රංශය තුළ ඇතිවෙමින් තිබූ නාගරීකරණයේ වෙනස්වීම්, පැරණි සමාජ ජීවිතයේ ඛණ්ඩනයන් ඔහු කවිය තුළට ගෙන එයි. ඒ අනුව ගැඹුරු දේශපාලන සමාජ පර්යායන් කවිය තුළ සුවචනය කරන්නට බෝද්ලෙයා සමත්වී ඇත්තේ තම ජීවිතය තුළින්ම බව මංජුල අපට කියන්නේ නිකම්ම නොවේ.

බෝද්ලෙයාගේ මෙම ජීවන ලාලසාව තුළ, තමන්ගෙන් පසු පරම්පරාවට පීතෘ රූපකයක් ලෙස ඔහුව හැදින්වුවාට වරදක් නැතැයි සිතිය හැක. කාව්‍යකරණයේ දැවැන්ත සෙවණැල්ලක් ලෙස බෝද්ලෙයාගේ ප්‍රකාශමාන වීම වැදගත් වන්නේ එබැවිනි.
මිනිස් ජීවිතවල විගලිතවීම්, ආත්මීයත්වය, වේදනා සහ මිනිස් සම්බන්ධතාවල පරාරෝපණයන් ගැන පළල් පරිචයක් බෝද්ලෙයා තුළින් ප්‍රකාශමාන වූ බව කෘතිය තුළ ගෙනහැරපායි. නාගරික ජීවිතයේ ආත්මීයත්වයන්ද පැරණි නාගරික ජීවිතය සහ නව නගර සැලසුම් අතරද ඇතිවන ඛණ්ඩනයන් මත තනිවී බොහිමීයානු ජීවිතයක් ගතකළ බෝද්ලෙයා සිය ජීවන පැවැත්ම තුළ ලැබූ වේදනාත්මක සතුට පෙන්වා දෙමින් බෝද්ලෙයා කියවා ගැනීමට මංජුල අපව පොළඹවාලයි.
දැන් අප බෝද්ලේයාගෙන් මඳක් ඈත්ව, සමකාලීන සමාජයේ බෝද්ලෙයාව ස්ථාන ගතකරන්නේ කුමන සංදර්භයකද යන්නත්, ඔහුගේ කාව්‍යය වෙඩිවර්ධනගේ ආශාවේ වස්තුව වුයේ ඇයිද යන්නත් විමසීම තුළ, අපට මෙහි යම් පොටක් පාදාගත හැකිය. හැදින්වීම තුළ ඔහු එය මනාව සලකුණු කර තිබේ. එනම් මෙවැනි කෘතියක් කිරීම සඳහා වෙඩිවර්ධන පොළඹවන්නේම ඔහුගේ අවිඥානික ආශාවයි. කවියට පෙම්බඳින කවීන් කීපදෙනෙකුට හෝ ඔහුගේ මෙම උත්සාහය කියවාගත හැකි වේ නම් එය ඔහුගේ ශ්‍රමයට අර්ථයක් එක්කරනු ඇත. ප්‍රශ්නය ඇත්තේ වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන මෙම ගනුදෙනුව ලාංකේය කවීය තුළ පැළ කල හැකිද යන්නය. එය එසේ කල නොහැකිවේය යන්න මගේ පෞද්ගලික අදහසයි. වෙඩිවර්ධන උත්සාහ ගනිමින් සිටින්නේ ලාංකේය බොහෝමයක් කවීන්ගේ නිර්මාණ තුළ ඇති බංකොලොත්භාවයෙන් ගලවා කවිය එය නූතනත්වය තුළ ඔසවා තැබීමට බව ඇත්තකි. ඒ සඳහා බෝද්ලෙයා ලාංකේය පොළොව මත පැළකොට, ඔහුගේ ගැඹුරු චින්තනමය දැක්ම කවිය තුළ පිහිටුවා කරන ආත්මීය ප්‍රකාශණය ලාංකීය වල් වැදුණු පොළොව මතට ගෙන ඒමයි. අප වෙනස්වන තැන බෝද්ලෙයා තුළින් විනිවිදින්නට හැකිනම් වෙඩිවර්ධනගේ උත්සාහය අපතේ නොයනු ඇත.
කුසගින්න, දරිද්‍රතාවය, වාර්ගීක අර්බුද (එහි මතුපිටින් අතගෑම්), සොබාදහම වර්ණනා කිරීම්, ස්ත්‍රීන් වස්තුකරණය කිරීම ආදියට පිටින් කවීන්ට කිසිවක් හමුනොවන්නේ ඇයි? ලාංකීය සමාජ දේහය තුළ ඇතිවූ දරුණු කැරලි දෙකත් එහි තරුණ සංහාරයත් ගැඹුරින් තම නිර්මාණ තුළට ප්‍රස්තුතවී තිබේද? උතුරේ වාර්ගික ගැටුම්, මිනිස් ජීවිතවල අහිමිවීම්, ආත්මීය සම්බන්ධතා තම නිර්මාණවලට කොතරම් ප්‍රස්තුත කරගෙන තිබේද? අප තුළ ඇති දූපත් මානසිකත්වයත්, නොයෙකුත් දේශපාලන දෘෂ්ටිවාදවල එල්බ ගැනීමත් මත කවියා අතරමං වී ඇත. බෝද්ලෙයාට අහිමි වූ පැරණි නාගරික ජීවිතයත්, නාගරීකරණයේ නූතනත්වය තුළ ඇතිවු පරාරෝපණයන් සහ ඔහුගේ ස්ත්‍රී ඇසුරුවල වේදනාත්මක අභිමුඛවීම්, හැරයාම්, කඩාවැටිම් කිසිදා අපේ කවීන්ගේ ජීවන අනුභූතීන්ට හසු නොවනු ඇත. වෙඩිවර්ධනට බෝද්ලෙයා අවශ්‍යය වන්නේ මෙන්න මේ සීමා ඉර අතික්‍රමණය කරන්නයි. එතැන් පටන් ඔහු බොද්ලෙයා මාස්ටර් හැඟවුම්කාරකය ලෙස යොදාගනිමින් තම නිර්මාණය ආරම්භ කරයි. වෙඩිවර්ධනගේ අභිප්‍රාය මත හඹායාම වෙනුවට, සමකාලීන සමාජය තුල බෝද්ලෙයාගේ ආත්මීය ප්‍රකාශනයන් සහ තමාගේ නිර්මාණයන් සහෘදයාට විඳගැනීමට සැලැස්වීම අතින් ඒවා ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී. සැත්කමකින් තුවාලයක් සූචනය කරන්නාක් මෙන් තම නිර්මාණය රසවිඳිනට ඔහු ආරාධනා කරයි.
සාම්ප්‍රදායික කලා විචාරයේදී විචාරකයින් වෙහෙසෙන්නේ කවියාගේ අභිප්‍රාය සෙවීමටය. එවිට කතුවරයා, කවියා අධිනිෂ්චය වේ. රෝලන්ඩ් බාත් කතුවරයාගේ මරණය සමග පාඨකයා නිර්මාණකරුවෙකු බවට පත්වන බව විසංයෝජනය කලේය. කවි ලිවීම ම යනු කවියා වද වේදනාවට පත්කරගැනීමයි. අපි කවිය යනුවෙන් කියවාගන්නේ කවියාගේ වේදනාවයි, නැතිනම් කවියාගේ ප්‍රමෝදයයි. එය අපට අල්ලාගත හැකිනම් එහි කෙළවර ඇත්තේ වේදනාවයි. වෙඩිවර්ධන අපට බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් කවිපොත තුළින් ආරාධනා කරන්නේ මෙන්න මේ දෙය අල්ලා ගන්නා ලෙසයි. තවද කවියා වධයට ලක්කරන්නේ භාෂාවයි. කවියෙකු යනු භාෂා මරඋගුලකට හසු වන්නෙකි. මෙම මරඋගුලේ නියාමයන් හොඳින් පුරුදු පුහුණු වූ කෙනෙකුට මෙම උගුලෙන් ලෙහෙසියෙන් ගැලවී යා හැක. භාෂාවේ වහලෙකු නොවන වෙඩිවර්ධන අපව ආශාව තුළට ගෙනැවිත් අතහරී.
වෙඩිවර්ධන තම කාව්‍යය නිර්මාණය සහෘදයාගේ කියවාගැනීම සඳහා වෙනස් ආකෘතියක බහාලයි, කාව්‍යාවකාශ, අධ්‍යයනාවකාශ, ක්ෂුද්‍රාවකාශ, ස්මරණාවකාශ ලෙස ඛණ්ඩනය කරමින් තම නිර්මාණයට ප්‍රවිශ්ට වේ.
ජාතික ශෝක ගීතයට මඳක් එමු.
කියන්නට කෙනෙක් නැත පිපාසයි ආනන්ද
ඉදින් මේ කවියටත් ක්ලාන්තයි ආනන්ද
සුනු විසුනු කර නුඹට ලැබ දුනිද කාන්සිය
ගැඹුරුතර නිකේතනයක ලැබුව ශාන්තිය
නරි නරුම නොවන්නට නයන්නක් නැහැ නපුරු
අපායක්ෂර නෙවෙද අපායක ඇති අකුරු
සිරි බරිනි වරනැගෙන සුන්දරම හීනෙක
නිදියන්න විසිපහක් තිහක් පෙති ඕනිද
ජීවිතය ඇවිලෙන්නෙ ප්‍රඥාව මත්තෙ
ඇයි කියන් ආනන්ද දිවි නසා ගත්තෙ.
ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ශාස්ත්‍රීය විනයක් තුළ සංගීතය හැදෑරූ, තම මව්රටෙහි සමාජ මෙහෙවරේ මැදිහත්කරුවෙකුට තම නිර්මාණ කාර්යය තුළ වූ ප්‍රතික්ෂේපවීම අවසානයේ සමාජ ඛේදවාචකයක් වූ අන්දම වෙඩිවර්ධන ප්‍රශ්න කරයි. සිංහල ජාතිකත්වය අධිනිශ්චය වූ සමාජ සැකැස්මක, සංස්කෘතිය මෙහෙයවන බලවේගයන් පුරුදු පුහුණු කල අයම අවසානයේ එම සමාජ බලවේගවලම ගොදුරක්ව ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම මොනතරම් අභාග්‍යයක්ද? මෙකී පුද්ගල ඛේදවාචකය උත්ප්‍රාසාත්මකව ගෙන එන විට නැවත අපට බෝද්ලෙයා අභිමුඛ වේ.
වෙඩිවර්ධනගේ කුමාරෝදය කවිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණු කවියක්. මෙය පවතින පාලනාධිකාරිය ප්‍රශ්න කිරීමක්ද, නැතහොත් මෙය සිංහල ජාතිවාදී ආගම්වාදි දෘෂ්ටිවාදී ආස්ථානයක් තුළ ලත් වර්තමාන පාලක සංස්ථාපිතයේ දෘෂ්ටිවාදයේදී බොහෝ දෙනෙකුගේ සමාජ ප්‍රාර්ථනාව තුළ කවියා අතරමං වූවාද, නැතහොත් තමන්ද මෙකී දෘෂ්ටිවාදයට අනන්‍යය වුණාද, නැත්නම් මෙකී සමාජ පරිවර්තනය ව්‍යාජයක්ද? යනාදී වශයෙන් පවත්නා සමාජ ආර්ථික කොන්දේසි තුළ මෙයට යාහැකි ගමන්මග ගැන දේශපාලනික හැඟවුමක් අපට කියවීමට සැලැස්වීමට වෙඩිවර්ධන වෙහෙසෙයි. එක පැත්තකින් සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය තුළින් එතෙරවීමේ කිසියම් විභවයක් අවංකවම වර්තමාන පාලක සංස්ථාපිතයට තිබේද යන්නත්, ගමට ප්‍රාග්ධනය නොයාම තුළ අතරමං වන මිනිස් ජීවිතවල පැවැත්මත්, ජාති ආගම් ගෝත්‍රවල ඇති අනෙකා ප්‍රතික්ෂේප කරන අවස්ථාවනුත්, තවද විප්‍රවාසීව දිවි ගෙවනමුත් සමාජ-දේශපාලන චලනයන් හමුවේ සාර්වත්‍රික නොවන සරලමතිකයින්ගේ හංසගීතය මෙය නොවේද? යන උත්ප්‍රාසයෙන් යුතුවත් කියවා ගැනීමේ අවස්ථාවක් වෙඩිවර්ධන සහෘදයාට තිළිණ කරයි.
පවතින දරුණු සමාජ කොන්දේසි ඉදිරියේ දේශපාලනය හොබවන්නන් නොයෙකුත් වාගාලාපයන් නන්දොඩවනු ලැබුවද, සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයට හිලෑවූ පාලක නඩයකට වුවද මෙකී සමාජ කොන්දේසිවල චලනයන්ගෙන් ලෙහෙසියෙන් එතෙරවීමට නොහැක. යථෝක්ත සිමා ඉරි අතික්‍රමණය කිරීමට ගොස් ජීවිතවලින් පවා වන්දිගෙවීමට සිදුවු වාර අපි ඇති පදම් දැක ඇත්තෙමු. නාගරික සහ ගැමි බයිනරියෙහි ඇති බල රටා තුළ, සාරය අහිමි වූවන්ගේ ආත්මීය ඛේදවාචකය විදාරණය කිරිමෙන් එය කොතරම් දේශපාලනිකද යන්න තේරුම් ගැනීමට ඔහු සහෘදයාට බාරදෙයි. වෙඩිවර්ධනගේ දේශපාලන ආස්ථානය කෙබඳුදැයි මම නොදනිමි. තියුණු දේශපාලන හැදෑරීමක සිටින කෙනෙකුට හැර සමකාලීන සමාජයේ චලනයන් තේරුම් ගැනීමේ විභවයක් බොහෝ දේශපාලන සරලමතිකයින්ට නොමැතිබව නම් සත්‍යයකි. මේ යුගයේ අපව පාලනය වන්නේ විනෝදය මත මිස විපර්යකාරකයන්ගේ ගිනිබෝල කරකැවීම්වලින් නම් නොවේ. බොහොමයක් දෙනා පවතින දේශපාලන දෘෂ්ටිවාදයට පක්ෂපාතීව ඉහත කවිය දෙස පුද්ගලානුබද්ධව බැලීමත්, තම දේශපාලන ප්‍රචාරකවාදීන්ගේ වාගාලාපයන්ට ලක්වූයේත් ලාංකීය දේශපාලනය කියවාගැනීමේ දිළිඳුකම මතය.
කවියේ න්‍යායික පැත්තට නාභිගත වුවහොත්, කවිය යනු කුමක්ද? යන්න නැවත වාරයක් අප තුළ හොල්මන් කරයි. කවිය යනු අන් කිසිවක් නොව හැඟවුම්කාරකයක් යැයි කියමි. එවිට නැවත ප්‍රශ්නයක් පැනනගී. එනම් හැඟවුම්කාරකයක් යනු කුමක්ද? යන්නයි. හැඟවුම්කාරකයක් යනු විෂය (subject) නැතහොත් පුද්ගලයා තවත් හැඟවුම්කාරකයක් වෙනුවෙන් නියෝජනය වන තැනයි. හැඟවුම්කාරකයක් නියෝජනය කරන්නේ තවත් එවැනි හැඟවුම්කාරකයකි. අප එය නම්කරන්නේ කතිකාව ලෙසයි. කවිය යනු මෙන්න මේ කතිකාවයි. කවියක් කියවමින්, චිත්‍රපටයක් නරඹමින් අප කරන්නේ එම කතිකාව තුළ නැවත නැවත අපව සොයාගැනීමයි. වඩාත් නිර්මාණාත්මක කවියක් යැයි අප කියන්නේ, එහි තිබෙන මෙම සෙවීමේ විභවය මතුවන විටය. දැන් ඔබට වෙඩිවර්ධන බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් තුළින් ගෙන එන කාව්‍යයමය කතිකාව කුමක්ද යන්න පැහැදිලිවනු ඇත.

Bushan Pradeep.





