රඛිත, දළඳා මාලිගාවේ පූජාවට එන ගමන් හිටියේ. මේ දවස් වල නිල්නි ලංකාවට ඇවිත් ඉන්නේ කියලා රඛිත දැනන් හිටියේ.
කාලෙකට පස්සේ නිල්නි ගේ කටහඩ අහන්න ඕන කියල රඛිත ට හිතුනා.
ඒ වුනාට ඇමතුමක් දෙන්න තරමට හිත,එකඟ කර ගන්න බැරි වුණා.
දළඳා මාලිගාවේ සවස ගිලන්පස පූජාව ඉවරවෙලා කාමරයට ආවට පස්සේ ආයෙම රඛිත ට නිල්නි ව මතක වුණා.
ඒ මොහොතේම වැඩිදුර හිතන්නේ නැතිවම රඛිත නිල්නි ට ඇමතුමක් ගත්තා.
වෙන්වෙලා බොහෝ කල් ගතවීත් ඒ ආදරේ මැරිලා නෑ. ඒ හින්දම වෙන්න ඇති, දෙවෙනි නාද වීමට පෙරම නිල්නි දුරකථන ඇමතුම ට සම්බන්ධ වුණා.
“හෙලෝ රඛිත “
එහා පැත්තෙන් කාලාන්තරයක් හුරුපුරුදු කටහඩ රඛිතට ඇසුනා.
ආගිය තොරතුරු කතා කලාමයි නිල්නි දැනගත්තේ රඛිත නුවර ඇවිදින් කියලා.

වෙලාව රෑ නවයට ආසන්න වුනත්, නිල්නි ට හිතුනා රඛිත ව දකින්න.
“රඛිත අපි තේ එකක් බොන්න යමුද? මං දැන් එන්න ද? මට ඔයාව දකින්න ඕන. දැකලා කතා කරන්න ඕන.”
නිල්නි එක දිගට කියවගෙන ගියා. ඒත් රඛිත ඒකට එකග වුනේ නෑ.
හෙට දහවල් දානයෙන් පස්සේ නුවරින් යන්නට පෙර හමුවීමේ බලාපොරොත්තුවෙන් දුරකථන සංවාදය අවසන් වුණා.
කෙනෙක් තව කෙනෙකුට ප්‍රේම කරනවාට වඩා තමන් නිල්නි ට ප්‍රේම කල වග රඛිත ට ආයෙම මතක් වුනා. හීනියට රිදුමක් එක්ක, සීතල සුසුමක් නුවර වැවෙන් හමන සිහින් සීතල හුළඟට එකතු වුනා.

නැවත මුණ ගැසීමකින් සිදුවන යහපතක් නොමැති බව රඛිත ට හා නිල්නි ට හොඳාකාරවම තේරුම් ගියත්, දෙදෙනාටම දෙදෙනා මුණ ගැසීමේ වුවමනාව ක් ඇති වෙලා තිබුණා.
රැයක් පහන් වී, බෝගම්බර වැවේ ජලතලය මත හිරුකිරණ දිගා වෙද්දී…රඛිත දැඩිව තීරණයකට එළඹියා. ඒ නිල්නි හමු නොවන්නට.
පෙරදාක දැනුණ රිදුමන් අලුත් වනවා මිස මේ හමුවීමෙන් සිදුවන වෙන යහපතක් නොවන බව තම යටි සිතට ඒත්තු ගන් වන්නට රඛිත සමත් වුණා.
ඒත්,.. හිරු අහසේ රටා වියන්නට පටන් ගත් මොහොතේ පටන්ම, නිල්නි ඇගිලි ගන්නේ කොයි මොහොතේ රඛිත ගෙන් ඇමතුමක් ඒදෝ මග බලමින්.
දහවලේ මැදත් ගෙවී යමින් පැවතියෙන්, නීල්නි ඇමතුමක් ගත්තේ රඛිත ගෙන් බලාපොරොත්තුව සිටි ඇමතුම නොලද නිසාමයි. එක වරක් නොව වරින් වර කිහිප වරක් ඇමතුම් ලබා ගන්න නිල්නි උත්සාහ කලද ඒ උත්සාහයන් ව්‍යර්තව ගීය හෙයින් නිල්නි දැඩි නොසන්සුන් තාවයකට පත් වුණා.
අවසානයට ලබා ගැනීමට ගිය ඇමතුම එක් බීප් ශබ්ද යකට පසුව “යූසර් බිසී ” කියලා තිරය මත වැටුන ම නිල්නිගේ හදවත මොහොතක ට නතර වුණා වගේ දැනුණා.
රඛිත විසින් නිල්නි ගේ ඇමතුම් අවහිර කර තිබුණා. නැවත කිසිදාක ඇයට ඔහු ඇමතීමට ඉඩක් නොතබාම .
නිල්නි දෑසින් ගැලූ කඳුලට ඔහේ ගලා යන්නට ඉඩදී ඈත වැව් ඉස්මත්තාව දෙසින් අහසට නැගෙන කොක් රංචු ව දෙසට හිතක් නැති නෙත යොමාන අරමුණක් නැතිව බලාගෙන හිටියා.
රඛිත, හීන් සුසුමක් සමග අවහිර කල දුරකථන අංකයෙන් ඇමතුමක් ආ බවට දැක්වෙන සලකුණ දෙස සිතිවිලි ඉපිද මැරෙන හදවත විවර කරන් බලාගෙන හිටියා.
ඉවර නැති ආදර කතාවක්, දෙහදවතේම ඉරි ඇඳ ඇති බව ලියන මට විතරක් තේරුණා.

දර්ශනී අබේසිංහ-Darshani Abeysinghe