වේලපු මස්

අද සුමනාවතී ගෙදර. මං හිමින් පිළිකන්න පැත්තෙන් ගෙට ගොඩ වුනේ ඒකිගෙ නවත්තන්නෙ නැති කියවිල්ලයි, හීල්ලිල්ලයි දැන් වදයකට එහා ගිය නො රිස්සුමක් වෙලා නිසා… කාමරේ මුල්ලක රෝල් කරල හාන්සි කරල තිබ්බ පං ඉරිච්ච පැදුර. මට මතකයි සුමනා කැන්දන් ආපු පළවෙනි දවසෙ අපි නිදා ගත්තෙ ඕකෙ. කිසිම සීරීමක් වත් පැදුරට වෙලා තිබ්බේ නැහැ එදා… ඒකටම අද සුමනාවතී වගේම පැදුරත් තැන තැන අබලන් වෙලා.

මං සද්ද නොකර පං පැදුර කාමරේ මැද්දේ එලා ගෙන ඇස් පියා ගත්තා. මද්දහනේ පෑවිල්ල එක්ක මහ පොළොවෙ ඔට්ටු වෙන්න මට බැහැ . ඊටත් එහා මට දැන් ඕනා කමක් නැහැ . ඔය සුමනා ගේ මුස්පේන්තු මූණෙ උලන්න වෛවාරණ ගේන්න හම්බකරන්ඩ යැයි මං? ඔය තියන කඩි කුලප්පුව තව වැඩි වෙන්න කියල, ඕකිට කන්න වේලපු මස් දවස ගානෙ ඇන්න ගෙනත් දෙන්ටයෑ? මං මොකට ඔය හැටි ඔට්ටු වෙන්ටද ?
එක්කො එහා ගමේ රං මැණිකෙලෑ දිහා අද මට යන්ට තිබ්බ. කාෂ්ඨකේ කියල නැහැ ඕං ඒකි නම් පංකාදු හතයි. ඒකි ගාව එන පුසුඹ… ලගින් ගියත් ඇති ගානයි මට එහෙක් වෙන්ට. ඒකට මේකි! ඕකිගෙ ලඟ එන්නෙම බොම්බිලි කරවල ගඳ. , හෙට දිහාට යන්ට ඕන රං මැණිකෙ ව බලල එන්ට.

වේලපු ඌර ත් අරං.මං රංට කියලම වේලුව ඌරා … ඒකි ආසම වේලපු ඌරු මස් වලට.
කල්පනාවෙන් කල්පනාවෙන් ම මට නින්ද ඇවිත්. ඇහැරෙද්දී කලුවර වැටිල තිබ්බා. සුමනා නා ගෙන ඇවිත්. අද හුඟ දවසකින් ගෑනි ලඟින් මොකක්දෝ පුසුඹකුත් ආව. ඕකි කොච්චර පුසුඹ ගා ගෙන ආවත් මං ඕකිගෙ රෙද්ද අස්සෙ රිංගන්නෙ නැතිවා. . මං හිතා ගත්ත. ඒකි හිමින් මං ගාවට එද්දි මං වෙනද විදියටම නිදි වගේ ඇස් පියා ගෙන හෙල්ලෙන්නෙ නැතිව හිටිය. ටිකකින් කොටි දෙන වගේ ගොරවන සුමනාවතී ලගින් මං ඉක්මනට නැගිටල අඩිය ඉක්මන් කරල රං මැණිකෙලෑ දිහා ගාටන්න ගත්තා. අද ඒකි මං එනව කියල දන්නෙ නැහැ . තට්ට තනියම නිදා ගන්න බැහැ කියල හැම දාම කෙඳිරි ගාන කොට මට ඒ කෙඳිරිල්ල ඇහුනෙත් කනට මී පැණි වක්කරන තරම් සනීපෙට. ඒකි මට ඒ තරම්…

ගෙදරට හීනියට කිට්ටු කරද්දී රන් මැණිකෙ කෙඳිරි ගානව.. දෙයියනේ මක් වෙලාද? අසනීපයක් වත්ද ? මට ඒ වෙලේ සිහි කල්පනාව තොලින්චි වෙලා ගියා. මගෙ රං…
මම ඒ පිම්මට පැල්කොටේ අස්සට දිව්ව. රං මැණිකෙ අප්පු සිඤ්ඤෝ එක්ක පහන් එළියවත් නිවන්නෙ නැතිව ඒ හිටිය හැටි මගේ දෑහට දැක ගත්තා. ඕකි මකබෑ වෙන්ට.. මං එවෙලෙම හැරුණ අනිත් පැත්ත. ආවට වඩා වේගෙන් ගෑටුවා මගේ සුමනාවතී ලඟට. ඒකි පව්. මං ඒකිට කොච්චර නම් වෙනස්කම් කලාද? මට එකින් එක මතක් වුනා. ආයෙ එහෙම වෙන්නෙ නැහැ සුමනෝ. මං මටම කියා ගන්න ගමන් පය ඉක්මන් කලා.

පැලේ කුප්පි ලාම්පුව නිමිලා ගිහින්. ඒකි හොඳට නිදි ඇති . මං මගෙ සුමන ලගට හිමින් හොරාට ගිහින් තුරුලු වෙනවා… ඒකිව පුදුම කරවනවා … මං හිතුව. ඔව්, මං කලුවරේ ඒකි ලඟට ගිහින් වාඩි උනා එක්කම මහා කළු සද්දන්තයෙක් නැගිටල දිව්ව පැදුරෙන්.
නිමි.

More From Author

අදටත් මගේ පරිවර්තන කෘති අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන පරිවර්තනය “බ්‍රීඩා” ය.

එදා අපි දරුවෝ!-We were Children

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348