පාවෝලෝ කොයියෝගේ “බ්‍රීඩා” නවකතාවේ පරිවර්තිකා මහේෂි බී. වීරකෝන් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වේ.

ඔබ පරිවර්තන සාහිත්‍යයට පිවිසෙන්නෙ බ්‍රසීල ලේඛක පාවුලෝ කොය්යො ( Paulo Coelho) විසින් රචිත “Brida” නවකතාව සිංහලට පරිවර්තනය කිරීමෙන්ය. ඒ පිළිබඳ විස්තර කළොත්?
ඇත්තටම මගෙ අතින් “බ්‍රීඩා” කෘතිය පරිවර්තනය වෙන්නේ ප්‍රකාශයට පත්කිරීමේ අදහසක් ඇතිව නෙමෙයි. උසස් පෙළ සිට ශාස්ත්‍රපති උපාධිය වනතුරු මගේ සියළු අධ්‍යන කටයුතු සිදු කෙරුණෙත්, මා යෙදුන රැකියාවෙදි සම්පූර්ණයෙන්ම භාවිතා උනෙත් ඉංග්‍රීසි භාෂාව. ඒ මුළු කාලය පුරාම ශාස්ත්‍රීයව මෙන්ම ඉන් පරිබාහිරවත් මම ඇසුරු කළේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු කෘති. පොඩිකාලේදි සිංහලෙන් ලියුවත් කියෙව්වත් අර කාලය තුළ සිංහල භාෂාවෙන් ලිවීම සහ කියවීම මුළුමනින්ම මට මඟ ඇරුණා. ඒ වගේ කාලයකින් පස්සේ “බ්‍රීඩා” පරිවර්තන කෙරුණේ මට ආයෙමත් සිංහල භාෂාවට සමීප වෙන්න තිබුනු ආසාවට, මගේ තෘප්තිය වෙනුවෙන්. ඒත්, සැලසුමක් නැතුවම, අහම්බයකින් වගේ ඒක ප්‍රකාශකයෙක් අතට පත් උනා. ඔහු පරිවර්තනයට හුඟක් කැමති වෙලා ඒක ප්‍රකාශයට පත් කළා. පාවුලෝ කොයියෝ කියන්නෙ ලංකාවේ පාඨකයින් අතර ඉමහත් ආදරයට පාත්‍ර උන ලේඛකයෙක්නේ. ඉතින් “බ්‍රීඩා” පරිවර්තනයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් මගේ පරිවර්තන අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන පරිවර්තනයක් “බ්‍රීඩා”.

ඔබ පරිවර්තනය කර ඇති අනෙකුත් කෘතීන් පිළිබඳ සදහන් කළොත්?
බ්රීඩාගෙන් පසුව ඇල්බෙයා කැමූගේ The Plague (මහාමාරිය) පරිවර්තනය කෙරුණා. ඒ කොවිඩ් වසංගත කාලයේ. ඉන්පස්සේ යොකෝ7 ඔගාවාගේ The Housekeeper and the Professor(ඉලක්කමට පෙම් බැඳි මිනිසා), ගාර්සියා මාර්කේස්ගේ ස්වයං චරිතාපදානය වන Living to Tell the Tale (කියනු වස් පවතිමි), ස්විස් ජාතික මාර්ටින් සූටර්ගේ Small World (පුංචි ලෝකේ), ගාර්සියා මාර්කේස්ගේ පුතා වන රොද්‍රිගෝ ගාර්සියාගේ Farewell Gabo, Mercedes (සුබ ගමන් ගාබෝ, මර්සිදීස්), කොරියානු ජාතික ලේඛිකාවක් වන වොන් ප්යුං-සොන් ගේ Almond (ආමන්ඩ්) නැවතත් පාවුලෝ කොයෙයෝගේ Like the Flowing River (ගලා යන නදිය සේ) සහ ඇල්බෙයා කැමූගේ Personal Writings (කැමූ සිතුවිලි) යන කෘති මගෙ අතින් පරිවර්තනය කෙරුණා.





මේ හැම එකක්ම එකිනෙකට වෙනස් තේමාවන්, භුගෝලීය කලාප සහ සංස්කෘතික කලාප නියෝජනය කරන, මගෙ හදවතට හුඟක් දැනුණු නිර්මාණ.
වර්තමාන සාහිත්‍ය නිර්මාණ ගැන ඔබේ ඇගයීම කෙබඳුද?
හැමෝම වගේ ලියන නිසා විවිධ ආකාරයේ හුඟක් පොත් ලියවෙනවා. පළවෙනවා. ඒවා නොයෙක් ආකාරයෙන් මාර්කට් කෙරෙනවා. ඒ තත්වය හොඳද නරකද, පළවෙන පොත් වටිනාකමෙන් යුතුද නැතිද කියන එක ගැන මට අදහසක් නැහැ. මම ඒ දේවල් පිළිබඳව උනන්දුත් නැහැ. කොහොම උනත් පාඨකයන්ට ලොකු තෝරාගැනීමක් තියනවා. නිර්මාණයක වටිනාකම තීරණය වෙන එක සාධකයක් වෙන්නේ ඒක කාලයත් සමඟ අවලංගු නොවීම. ඉතින් solid නිර්මාණයක් නම් එය කාලය විසින් තීරණය වෙයි කියලා මම හිතනවා.
වර්තමානයේ ඔබ විදේශ රටක වාසය කරමින් කාර්යබහුලව සිටින කෙනෙකු ලෙස, ඒ සමගම විවිධ නිර්මාණ කටයුතු වලටත් යෙදෙනවා. දෛනිකව මේ හැමදෙයක්ම සැලසුම් කර ගන්නේ කොහොමද?
මගේ කාලයෙන් ලොකු කොටසක් යෙදවෙන්නේ ලිවීමේ කටයුතු වෙනුවෙන්. ඒ ඇරුණහම අනෙක් දේවල් එක්ක මගේ ජීවිතයේ ලොකු කාර්යබහුල බවක් නැහැ. ඒ නිසා හැමදේකටම අවශ්‍ය කාලය, නිදහස සහ පහසුව මට ඇති තරම් තියෙනවා.
ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ විස්තර කළොහොත්?
පරිවර්තනය කරලා අවසන් උන කෘති කීපයක්ම තියනවා. ඒවා මතකාවර්ජන, එරෝටිකා, නවකථා වගේ විවිධ ශානර වලට අයිති නිර්මාණ. ඒ වගේම තවත් පොත් කීපයක් පරිවර්තනය වෙමිනුත් පවතිනවා. ඒ අතරම ස්වතන්ත්‍ර කෘති පිලිබඳවත් හිතමින් ඉන්නවා. ඉදිරියේදී හෙමි හෙමින් ඒ හැමදේම ප්‍රකාශයට පත්වේවි.
සංවාද සටහන: චන්දිම
“බ්‍රීඩා” සහ අනෙකුත් කෘති පිළිබඳ [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





