ප්‍රියානාත් විදානපතිරණගේ නවතම කෘතිය මගේ පෙම්වතුන් එකොළහ කියවා මෙය ලිවීමට පෙර ඔහු සමගින් මුහුණට මුහුණ විවාදයකදි මා මෙම අදහස ඔහුගේ මුහුණටම දමා ගැසුවෙමි. එසේ දමා ගැසුවේ ආයේ අමුතුවෙන් සටහනක් තබන්නට අවැසි නැති නිසායි. නමුත් හේතු කිහිපයක් නිසාවෙන් මෙය ලියා තබන්නට සිතුවෙමි. එක, තමන් දන්නා කියන එකෙක්ගේ නිර්මාණයක් කොයි තරං අවුල් වුනත් ෂා මරු කියා හැමෝම වර්ණනා ලියා ඌව ගහේ මුදුනටම නංවන නිසාත්, මාහට නොදැනෙන මානයක් ප්‍රියනාත් මේ කතාවේ සගවාගෙන තිබෙන නිසාත්ය, එය ඔහු ලේඛකයා ලෙස සගවා තබාගෙන සිටින අතර අපිට හැකිනන් හොයා ගනිල්ලා ලෙස ප්‍රෙහේලිකාවක්ද තබා ඇත.

මුලින්ම මෙය නවකතාවක් වන නිසා එහි සුභාවිගේ ජීවන ගමන් මග නැමැති දීර්ඝ චාරිකාව සමගින් අපව කැදවාගෙන යාමට කතුවරයා දුම්රියක අපව නග්ගවයි. ඒ දුම්රියට ගොඩ වෙන අපි එතැන් පටන් කතුවරයාගේ අභිලාෂය අනුව දුම්රිය නවත්තවන නවාතැන්පොළ අසල නැවති කතුවරයාට ඇති වෙනකම්ම එතැන නතර වී සිටින්නට සිදුවෙයි. ඕනෑම නිර්මාණයක කතුවරයාගේ චාරිකාවේ අභිලාෂයට පාඨකයා යටත්ය. එම අභිලාෂය නිසාවෙන් සුභාවිගේ පාසල් කාලයේ පෙම්වතුන් පස්දෙනෙකුගේ ඒකාකාරි පෙම්හුටපටයන් දෙස බලමින් පළමු දුම්රිය නවාතැන්පොළ අසල සෑහෙන වේලාවක් කල් මරන්නට වීම නම් මට මහා හිසරදයක්ම වුයේ ඒ ලියුම් කඩදාහි පහම ස්‍රීඝ්‍රගාමි දුම්රියක වේගයෙන් ගියා නම් කොතරම් අගනේද යන සිතුවිල්ලත් සමගිනි.
සුභාවිගේ පාසල් පෙම් හුටපට අතරින් මාහට නැවති රසවිදිය හැකි මට්ටමේ කතාවක් වූයේ කැලූම් අක්කාගේ ප්‍රේමය පමණි. ඒ නවාතැන්පොළේ කතුවරයා අපිව මෙතෙක් රදවාගෙන සිටි ඒකාකාරි වෙහෙසින් මුදවා යම්කිසි උත්තේජනයක් ලබා දෙනමුත් මා කලින් කීවා සේ උඹලට කැමති නං මේ කතාවේ අභ්‍යන්තරයේ හොයාගෙන පලයල්ලා යන ප්‍රෙහේලිකාව අප වෙත තබා ඉතා ඉක්මනින්ම ඊළග නැවතුමට ඔහු දුම්රිය ධාවනය කරවයි.
මෙසේ සුභාවිගේ ජීවිතය නැමැති දුම්රිය ගමනේ නවාතැන්පොළ කිහිපයකටම කතුවරයා අපව රැගෙන යන අතර එහි ඔහුට මෙතන අකමැත්තෙන් හෝ හිටපල්ලා යැයි අපව විවිධ නවාතැන්පොළ අසල අනවශ්‍ය රදවා ගැනීම් කිහිපයක්ම කරනු ලබයි. එය කතාව කියවාගෙන යද්දි මාහට දැනුනේ වෙහෙසකි. එසේම මෙහි විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයාගේ සිය දිවි නසා ගැනීමත් ඔහු සහ සුභාවි අතර ඇති වූ ප්‍රේමයේ අභ්‍යන්තරික මනෝභාවයන් ගැනත් කතුවරයා උඩින් පල්ලෙන් දමා ගසා ඇති බව මාගේ වැටහීමයි. එම සබදතාවය මෙම කතාවේ සංකීර්ණතම සබදතාවය ලෙසින් මා හට පෙනී ගිය අතර කතුවරයා මාගේ මිත්‍රයකු වන බැවින් ඒ සම්බන්ධයෙන් ඔහු සමග ඇති වූ සංවාදයේදි ඔහු මතු කරන ලද ඒ සංකීර්ණ මිනිස් බැදීම කතාවේදි මාහට නොපෙනීමද? නොදැකීමද? නොතීබීමද? නොතේරීමද? අවාසනාවකි.
ඉන්අනතුරුව කතා නායිකාව සිය සැමියා සමගින් වූ ඒ ප්‍රේමනීය බැදීමත් එහි ඉරිතැළුම් ඇති වීමත් කෙරෙහි කතුවරයා විසින් ලබා දී තිබෙන ඉඩ පිළිබදව මා තුල ඇත්තේ නොසතුටකි. එසේම වංගීස නම් කතාවේ සිටිනා නවකතාකරු සමගින් සුභාවිගේ ඇති වන ප්‍රේමය නම් තරමක් දැනෙන ලෙසින් පෙළගස්සවා ඇතිමුත් පෙර කිව්වා සේ කතුවරයා තම කතා නායිකාව සුභාවිගේ ඒ අපූර්ව පෙම්වතා වංගීසගේ නවාතැන්පොළ අසලත් දුම්රිය වැඩි වේලාවක් නතර කර නොතිබීම ඉතාමත් අපූරු ඉසව් කෙරෙහි අපව ගෙන යන්නට තිබු අවස්ථාවක් අහිමි කරවාලීමකි.
මේ ලියැවුම පුරාම කිව් පරිදි ප්‍රියනාත් විදානපතිරණගේ මගේ පෙම්වතුන් එකොළහ නම් වු සුභාවිගේ ජීවන දුම්රිය චාරිකාවේ එම ආදර කෝච්චිය අනවශ්‍ය ස්ටේෂන්වල ඕනාවටත් වඩා නවත්තාගෙන ඉන්නාවා සේම අවශ්‍යයි කියා හැගෙන ස්ටේෂන් අසල නවත්තාගෙන ඉන්නේ පොඩි වේලාවකි. එසේම සුභාවිගේ ජීවිතයේ ප්‍රථම හාදුව නැමැති ස්ටේෂමේ අපිට එපා වෙනකන් කෝච්චිය නවත්තාගෙන සිටින කතුවරයා සුභාවිගේ ප්‍රථම කායික එක්වීමේ ස්ටේෂමේ අඩු තරමින් කොච්චිය නවත්වන්නේවත් නැත. මේ කතාවට අනූකූලව සුභාවිගේ ජීවන චාරිකාවේ එම සිද්ධියත් ඉතාම වැදගත් සංදිස්ථානයක් බව කිව යුතුය.
කෙසේ නමුත් ප්‍රියනාත් විදානපතිරණගේ මෙම කෘතියේ අනූභූතිය මතුපිට සරළ පෙම්කතාවට ඔබ්බෙන් ගිය ස්ත්‍රීයත් ඇය සොයනා සතුටත්, එම සතුටේ ඇය වින්දනය කරනු ලබන උපරිම සීමාව අසීමිතය යන්න බවත් ඇගවෙන ඒ අභ්‍යන්තරික අති සංකීර්ණ මනෝභාවයට මා ඉතා ලැදිය. එනමුත් කතුවරයාට එම සංකීර්ණ ස්ත්‍රී පුරුෂ මනොභාවයන්ගේ අභ්‍යන්තරික දේශපාලනය හසු කර ගැනීමට නොහැකි වීම කෙරෙහි මා තුළ ඇත්තේ නොසතුටකි.
ප්‍රියා.., ඔබේ මේ උත්සහය මට සතුටකි. ඒත් මට මේක සීයෙන් හතලිහකි.

නිලංක ඇලෙක්සැන්ඩර් – Nilanka Alexander(Alex)





