
මහා ජර්මානු සංගීතඥ රිචඩ් වාග්නර් 1849 ලියන ලද ‘කලාව සහ විප්ලවය’ (Art and Revolution) රචනාවේ දී නූතන යුරෝපයේ මහජන කලාව සහ පුරාතන ග්‍රීකයින්ගේ මහජන කලාව අතර වෙනස පෙන්වා දෙයි. එය කුමක් දැයි විමසන්නට පෙර, ග්‍රීකයින් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රතිමා කලාව පවා අනුකරණය පාදක කර ගත් ව්‍යවහාරික ශිල්පයක් විනා පරිකල්පනයට මුල් තැන දීමේ නිසා කලාවක් බවට පත්වන සාහිත්‍යය සමඟ සම තැන නොතබන ලද බවත්, ප්ලේටෝ ස්වකීය පරමරාජ්‍යයෙන් පිටුවහල් කළේ කවියන් විනා ප්‍රතිමා ශිල්පීන් නොවන බවත් සිහිපත් කළ මනා ය.
සාහිත්‍යය පිළිබඳව අද අප රටේ පවතින ව්‍යවහාරික මතය අවබෝධ කර ගැනීම සඳහා නැවත යට කී මුල් කාරණය කරා, එනම් සංගීතඥ වාග්නර් පෙන්වා දෙන නූතන යුරෝපයේ මහජන කලාව සහ පුරාතන ග්‍රීකයින්ගේ මහජන කලාව අතර වෙනස පිළිබඳ කාරණයට එළඹෙමු.
“ග්‍රීකයින්ගේ කලාව ‘පොදු මහජන විඥානය’ (public consciousness) තුළ පැවතුණු අතර අද දවසේ කලාව ‘පුද්ගලයාගේ විඥානය’ (consciousness of the individual) තුළ පමණක් පවතියි. පොදු මහජනතාව (general public) කලාව ගැන සවිඥානක නැත. ඒ නිසා මහත් විභූතියකින් වැජඹුණු කාලයේ කලාව, එනම් ග්‍රීකයින්ගේ කලාව සම්මතවාදී හෙවත් ‘කන්සර්වටිව්’ (conservative) විය.
කලාව මහජන විඥානය තුළ වලංගු හා උචිත ප්‍රකාශනයක් විය යුතු නිසා එසේ විය. අප සම්බන්ධයෙන් ගත් කල්හි සැබෑ කලාව විප්ලවීය (revolutionary) වන අතර එහි මූලික පැවැත්ම පවා මිනිස් වංශය තුළ රජ කරන්නා වූ පොදු බවට නොගැලපෙන නිසා එසේ සිදු වේ.”*1
*1. Dieter Borchmeyer, The Ideal Audience: The Greeks and The Art Work of the Future in Richard Wagner – Theory and Theatre, Clarendon Press – Oxford, 1991, p. 59
21 සියවසේ බංකොලොත් ජාතික රාජ්‍යයක් ලෙස පවතින අප දිවයින තුළ සාහිත්‍යය ඇතුළු කලාව හා කලාකරුවන් සම්බන්ධයෙන් අලුත් ප්‍රවණතාවක් ලෙස නැඟී එන්නේ ජනකාන්තභාවයට මුල් තැන දෙන ජනමාධ්‍ය ඇණවුම් මුල් කර ගත් මහජන විඥානය තුළ ඊට වලංගු හා උචිත ප්‍රකාශනයක් ලෙස බාල හා ජනප්‍රිය වෙමින් පවතින්නට උත්සාහ කිරීමකි.
2024 කොළඹ පැවැත්වුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එහි ප්‍රකාශනයක් විය. එය නූතන යුරෝපය තුළ මහජන කලාව පවතින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකි.
අද මෙරට සාහිත්‍ය කලාව විනෝදකාමී වෙමින් හා විනෝද කර්මාන්තයේ සුරතලා වෙමින් මහජන විඥානයේ සාලයට පැමිණෙන්නට උත්සාහ කරයි. එය එක පැත්තකින් ජනතාවාදී වෙන්නට කැමති අතර ඒ ජනතා රූපය අද ‘කැරිස්මැටික ජනකාන්ත අනෙකා’ බවට පත් වෙමින් තිබේ.
වාග්නර්ගේ අර්ථයෙන් අපගේ සැබෑ සාහිත්‍ය කලාව විප්ලවීය වීමට නම් එහි මූලික පැවැත්මේ දී, සමකාලීන ජනමාධ්‍යමය සරල මිනිස් සමාජය තුළ රජ කරන්නා වූ ‘ඩොක්සාවට’ හෙවත් පොදු බවට නොගැලපෙන අයුරින් පවතින්නට සිදු වේ.
ඒ අනුව අද සාහිත්‍යකරුවකු ජීවත්විය යුත්තේ විකිණෙන්නෙකු, සමාජ ජාලා ඇසුරේ ජනකාන්ත වන්නට උපායශීලී වන්නා වූ ‘කැලිබන් රකුසකු’ ලෙස නොව තමන්ගේ සාහිත්‍යය වෙනුවෙන් දුෂ්කර දිවි පෙවතක් තොරා ගත්

නුට් හැම්සන්ගේ ‘සාගින්න’ නවකතාවේ මැවෙන මුඛ්‍ය චරිතය ලෙසට ය. වර්තමාන කොළඹ හෝ ප්‍රත්‍යන්තය හෝ ගම හෝ ඇයගේ සහ ඔහුගේ පරමාදර්ශී ‘ක්‍රිස්ටියානාව’ විය යුතුය.
ඒ අනුව පළමුකොට ම සාහිත්‍යමය ලිවීමේ මානුෂික සාරය සොයා ගන්නට ඇයට හෝ ඔහුට සිදු වේ. එනමුත් අද සාහිත්‍යකරුවන්ගේ මානුෂික රූපය වී තිබෙන්නේ වෙනකකි. වසළ සල්පිල් නැමියාව, සාහිත්‍ය කලා ශාස්ත්‍රෝන්නතිය නොඉවසීම, විනෝද කර්මාන්තයේ ධාවක පටියක් බවට සිංහල සාහිත්‍යය පත් කිරීම, ජනකාන්ත මාධ්‍ය අවතාර කර්තෘ වෙස් ගැනීම, මහා කලා ශානර මස්සබාල්දු කිරීම යන අඳුරු බියකරු සමකාලීන අවස්ථාවාදය අද සාහිත්‍යයේ සංස්කෘතිය හා දේශපාලනය බවට පෙරළෙමින් ඇත.
සමාජ ආර්ථික ඵලප්‍රයෝජනය හා ශුද්ධ ඥාන පිපාසාව අතර මෙරට අධ්‍යාපනය ධ්‍රැවීකරණය වී හමාර ය.
අද ඊට යෝග්‍ය සාහිත්‍ය සමාජයක් බිහි වෙමින් තිබෙන බව නොරහසකි. රසිකයා විටක මුහුණුපොතේ ඇලී ගැලී දෛනික සාහිත්‍ය පුවත් හුවමාරු තණ්හාවේ හා සරල ප්‍රශංසාවේ ගැලෙයි. ඉඳහිටි කෑදරවන ලේඛකයෝ, රසිකයෝ හා විචාරකයෝ පුළුටු පිඟන් හා රටබීම සමඟ එහි විද්‍යාමාන වෙති. තව තැනක ගීතයට ප්‍රේක්ෂාමය – අර්ථකථන (interpretation as spectacle) සැපයේ. ඒ අතරේ අපාර ටෙලි ප්‍රබන්ධ – යථාර්ථ සාගරයේ පිහිනමින් යාවත්කාලීන වන්නා වූ රසිකයෝ, විනෝද රාත්‍රිය විනා දිවා කාලයක් නැති අද්භූත දේශයක වෙසෙන්නා මෙන්, ධවල රාත්‍රි සහිත විනෝද සෘතුවෙන් සෘතුවට රියැලිටි වීරයින් දකිති.
කලා විනිසුරුවෝ නොසිතූ විරූ තන්හි ‘ප්‍රතිභාව’ හෙවත් ‘ටැලන්ට්’ සොයා දෙති. කලාකරුවන් නැති ඒ අවකාශයෙහි කලාව ජනකාන්ත වන අතරේ,ප්‍රතිභාව විනා කලාකරුවන් නැති ජෝර්ජ් ඕවල්ගේ 1984 පන්නයේ බිහිසුණු ‘ ‘කිච්’ (kitsch) හෙවත් සරුවපිත්තල කලාව යථාර්ථයක් එළි දකිමින් ඇත.
මේ සියල්ලට එරෙහි සමාජ අරගලය අප යුගයේ නොනිමෙන සංස්කෘතික – දේශපාලන වගකීම ලෙස සලකන්නට පුළුවන. සාහිත්‍යය හා සාහිත්‍යකරුවා පිහිටන සමාජ සන්දර්භය හා එහි ‘පැරඩොක්සය’ තේරුම් ගැනීමට අපට පුළුවන් වන්නේත්, ප්‍රශස්ත කලාවේ නිදහස් අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන් වන්නේත් සාහිත්‍යකරුවාගේ සමාජ රූපය වටහා ගැනීමෙන් පමණි. බංකොලොත් ආර්ථිකයක දිග හැරෙන කලා විරෝධී ආර්ථිකවාදයෙන්, ජනතාවාදී කලාවක් ඉල්ලා සිටින ජනතාවාදයෙන් හා දෛනික විනෝදය ඉල්ලා සිටින විනෝද කර්මාන්තවාදයෙන් ලබා ගන්නා ඇණවුම් අනුව සමකාලීන සාහිත්‍යයේ වලංගුතාව හා අදාළත්වය පිළිබඳ ප්‍රශ්න හිතුමතේ වරනැඟීම ඉතාමත් පසුගාමී කටයුත්තකි. ඒ බව පෙනෙන්නේ ප්‍රංශ විප්ලවය හා රුසියානු බොල්ෂෙවික් විප්ලවය ජනතාවාදී කලා පෙරමුණකින් නොව සම්භාව්‍ය මට්ටමේ කලා පෙරමුණකින් හා නූතනවාදී විදාරණයකින් යුතුව තිබූ බව තේරුම් ගන්නා විට ය.
ප්‍රංශ විප්ලවයේ අවජාත දරුවා බව කියන නැපෝලියන් බොනපාට්ගේ යුරෝපය ද විදග්ධ කලාවකට ප්‍රභවය ලබා දුන්නේ ය. සිවිල් යුද්ධයෙන් පසු ඇමරිකාව පවා කලාත්මක උත්කර්ෂණයේ ප්‍රභවයක් විය. මෙය ඉන්දියානු නිදහස් සටනට ද අදාළ කාරණයකි.
එනමුත් ඒ කාරණයේ දී අප ඉන්දියානු සාහිත්‍යය සම්බන්ධයෙන් ස්වාධීන විය යුතු අතර, ඉන්දියානු ජාතික සාහිත්‍ය මතයට ද හිස නැමිය යුතු නැත.
අපි ඉන්දියානු සාහිත්‍යය හා සිනමාව හුදෙක් රවීන්ද්‍රනාත් තාගෝර්ට හෝ සත්‍යාජිත් රායිට පමණක් සීමා නොකරමු. ඉන්දියාව බෙදීම බහුගුණ වුණු මහා ඉන්දියානු අර්ධද්වීපය නැගෙනහිර හා බටහිර දෙකෙළවරේ එනම්, නැවත නැවත බෙදුණු බෙංගාලයේ රිත්වික් ඝටක් සිනමාකරුවා ද, දේශසීමා සටන් තවම නොනිමි කාශ්මිරයේ සාදත් හසන් මන්ටො නම් සාහිත්‍යකරුවා ද බිහි විය.
ඉන්දියාව බෙදීමේ ඛේදවාචකය තේමාව කර ගත් කුෂ්වාන්ත් සිංගේ ‘අන්තිම දුම්රිය’ සරසවියක නිෂ්දිෂ්ට ග්‍රන්ථයකි. එය සිංහල නවකතාකරුවකු පරිවර්තනය කර තිබීම මඟින් ද මෙරට ස්වාධීන සාහිත්‍ය මතයක බිහි වීම පෙන්නුම් කරයි. උර්දු ලේඛක සාදත් හසන් මන්ටො පිළිබඳ විචාර කෘති, පරිවර්තන ආදිය බිහි වී ඒවා පිළිබඳ සාහිත්‍ය සම්මන්ත්‍රණ පවත්වා ඇත.
ජනකාන්ත කලාව ඉදිරියේ සාහිත්‍යයේ ඉරණම ඉතා වේදනාකාරී එකක් බව කිය යුතු ය.

ප්‍රංශ දාර්ශනික ජිල් ඩිලූස්ගේ අර්ථයෙන් ඒවා අයත් වන්නේ බහුතරයේ කලාවට නොව සුළුතරයේ කලාවට ය (Minor literature and art). සාහිත්‍යකරුවකුගේ සමාජ භූමිකාව තුළ ඒ තැනැත්තා කතුවරයකු ලෙස බහුතරයක සන්තෘෂ්ටිය වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොවේ; සුළුතරයක වේදනාව වෙනුවෙන් පෙනී සිටින්නෙකි.
ජනමාධ්‍ය සමාජය තුළ ලේඛකයාගේ සමාජ භූමිකාව නිර්ණය වන්නේ සුපිරි තරුවට, සුපිරි විනිසුරුට, නිවේදකයාට, චැට්ෂෝකාරයාට වෙනස් වන්නා වූ වෛෂයික හා ආත්මීය පදනමක් මඟිනි.
සාහිත්‍යකරුවා විනෝද පිරිමියාට හෝ විනෝද ස්ත්‍රියට වෙනස් පුද්ගලයෙකි.
සාහිත්‍යකරුවා ආගමික භූමිකාව යෙදෙන්නකු ද නොවේ. සාහිත්‍යකරුවාගේ නිමැවුම විනෝද නිපැයුමකට හා ආගමික නිමැවුමකට වඩා හාත්පසින් වෙනස් එකකි.
නවකතා හා කෙටිකතා සාහිත්‍යයේ පවුරු පදනම් විනෝද සාහිත්‍යයේ පවුරු පදනම් නොවේ. ජනප්‍රිය ටෙලි නාට්‍ය පිටපත් ඇතුළු විනෝද සාහිත්‍යයේ දී, චරිතයක දෛවය විනෝද කර්මාන්තයේ වුවමනාව වෙනුවෙන් පූර්ව-නිශ්චිත වූවක් වන අතරේ, නවකතා හා කෙටිකතා සාහිත්‍යයේ මැවෙන චරිතයක දෛවය හා අනාගතය සුවිශේෂ ප්‍රබන්ධාත්මක සන්දර්භයක් තුළ අවලම්නය වෙමින් පවතින්නකි.
ආගමික සාහිත්‍යයේ දී චරිතයක දෛවය ආගමික වුවමනාව වෙනුවෙන් පූර්ව-නිශ්චිත වූවක් වන අතරේ නවකථා සාහිත්‍යයේ චරිතයක දෛවය හා අනාගතය ප්‍රබන්ධාත්මක සන්දර්භය තුළ අවලම්නය වෙමින්, කොහි යා දැයි නොහැඟෙන අයුරින් පවතියි.
එලෙසින් සංශයවාදී අවලම්භනය ඔස්සේ දිනා ගෙන ඇති වටිනාකම් ඓතිහාසික වශයෙන් නවකතා කලාව තුළ ඇත. නවකතා කලාවේ (art of novel) ස්වභාවය ඉන් තීරණය වී තිබේ. එමඟින් ජීවිතය හා මරණය දකිනු ලබන්නේ විනෝද සාහිත්‍යය හෝ ආගමික සාහිත්‍යය හෝ ඒ කාරණා දෙක දකින අයුරින් නොවේ.
සාහිත්‍යයේ සාරාර්ථය සොයන සද්භාවවේදී (Ontology) විචාරයේ දී ‘මානවීයත්වය’ යන වැදගත් සාධකය මඟින් මිනිස් ජීවිතය හා මරණය දක්නා ආකාරය වෙනස් බව ශ්‍රේෂ්ඨ ජර්මානු කලා චින්තකයකු වූ වෝල්ටර් බෙන්ජමින් ‘කථා කියන්නා’ (The Storyteller) නම් ලිපියේ පෙන්වා දෙයි.

*2
*2. The Storyteller, Reflections on the Works of Nikolai Leskov in Illuminations, Walter Benjamin, Essays and Reflections, edited by Hannah Arendt, Schocken Books, New York, 1969, pp. 83-109
නවකතා සහ කෙටිකතා සාහිත්‍යය ආගමික සාහිත්‍යය මෙන් මරණය මිනිස් දිවියේ එළිපතේ පැවතුණු යුගයක බිහි වූවක් නොවේ; මරණය යම් ප්‍රමාණයකින් ජය ගත හැකි වුණු යුගයක බිහි වූවකි. එහි දෛවයාගේ එළඹුම කල් දැමේ; ජීවිතය අල්ලා ගැනේ. ස්වකීය සද්භාවී තත්ත්වය හා ව්‍යුහමය ගොඩනැගීම තුළ ජීවිතයට මේ තරම් ආසක්ත වන්නා වූ තවත් මාධ්‍යයක් නොමැති තරම් ය. සමාජ තත්ත්වයන් හා පුද්ගලික ආත්මභාවයන් තුළ ජීවිතය අපායක් වුණු කල්හි පවා නවකතාව හා කෙටිකතාව ජීවිතය විනා අන් කිසිවක් ඉල්ලා නොසිටියි.
ඒ අනුව අපට පෙනී යන්නේ සාහිත්‍යකරුවාගේ භූමිකාව නූතන එකක් බව ය. දොස්තොයෙව්ස්කිගේ නවකතා සහ ගුන්ටර් ග්‍රාස්ගේ නවකතා බොහොමයක් ඊට සාක්ෂි දරයි. ජීවිතයට අනුපූරකයක් හෙවත් ව්‍යතිරේකයක් ලෙස මරණය ද නවකතාවක නිරූපණය වන විට එය ද ජීවිත විවරණයේ ම කොටසක් වේ. සිංහල නවකතා අතර මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ සහ ගුණදාස අමරසේකරගේ ‘අසත්‍ය කතාවක්’ ඊට නිදසුන් සපයයි.

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi
2 thoughts on “වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව- පළමු කොටස ”