සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (අවසාන කොටස)

[කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරුණු “නුතන සිංහල ප්‍රබන්ධ කලාව” යන මැයෙන් පැවැති සමිමන්ත්‍රනයේදී ප්‍රවීණ සාහිත්‍යවේදී එරික් ඉලයප්ආරච්චි විසින් පවත්වන ලද දේශනයේ සම්පුර්ණ පිටපත.]

ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස්ගේ සාහිත්‍යය කියවූ ජේ. එම්. කොයේට්සි ඒ ලේඛකයා පිළිබඳ වඑළඹෙන්නේ, මෙරට මාකේස් කියවන ලද හෝ නො කියවා අමන – මැජික් මත පළ කරන බොහෝ දෙනෙකු විපිළිසර කරන නිගමනයකට ය.

J. M. Coetzee

ඔහුට එල්ලා ඇති ‘මැජික් රියලිස්ට්’ ටැග් එක තිබුණත් ගාබි්‍රයෙල් ගාර්සියා මාකේස්ගේ කෘති, පුද්ගල මනසේ ක්‍රියාකාරිත්වය ග්‍රහණයට ගත හැකි තර්කණයක් පවතින්නේ ය යන උපකල්පනය සහිත මනෝවිද්‍යාත්මක යථාර්ථවාදයට දැඩි ලෙසින් ඇතුළු වේ. ඔහු ම කියා ඇති පරිද්දෙන් සරල ලෙස ම ඔහුගේ ඊනියා මැජික් යථාර්ථවාදය, ඇදැහිය නොහැකි කතාන්දර කෙළින් මුහුණ බලාගෙන කීමක් වන අතර, ඔහු එය උගත්තේ කාටිහෙනාවේ හිටපු ආච්ච්ගෙනි. තව ද විශ්වාස කරන්නට බැරි බව බාහිර ලෝකයා සිතන කතාන්දර ලතින් ඇමරිකාවේ යථාර්ථයෙහි ඉතා සාමාන්‍ය දේවල් ය.2

ජනමාධ්‍ය සමාජය මඟින් හකුළුවා තිබෙන සිංහල පාඨක ලෝකය තූෂ්ණීම්භූත කරමින් පාඨක පෝලිම් නිර්මාණය කරන පොත් ප්‍රදර්ශන සාහිත්‍යය විසින් කාම සාහිත්‍යය හා ලිංගිකක්වය වෙත ද දක්වනු ලබන්නේ මහත් ප්‍රහර්ෂයකි. ඒ පිළිබඳ අපගේ විචාරය හුදෙක් ආචාරවාදයේ දිය නො කරමින් පවත්වා ගැනීම පිණිස ඒ පිළිබඳ දියත් වන්නා වූ යුරෝපීය සාහිත්‍ය විචාර කතිකාව තුළ දී ප්‍රකට ලේඛකයකු වෙත එල්ල කරන ලද ප්‍රශ්න මාලාව හා ඒ සම්බන්ධයෙන් ලේඛකයා ලබා දුන් පිළිතුරු කෙරෙහි විචාරාක්ෂිය යොමු කිරීම ප්‍රඥාගෝචර බව පෙනේ. ඒ ලේඛකයා නොයෙකුත් විචක්ෂණ පරිවර්තන ඔස්සේ සිංහල පාඨකයා හොඳින් හඳුනා ගෙන සිටින ඉතාලි ලේඛක අයිතාලෝ කැල්වීනෝ ය.

Italo Calvino

කාම සාහිත්‍යයේ නිර්මාණ හෝ ලිංගික ප්‍රශ්න ගැන උනන්දු ප්‍රබන්ධ කලාව ආචාරවාදයේ දිය වී යාමක් ලෙස ඔබ සිතනවා ද? සදාචාරවාදය කියා මෙලෝ දෙයක් නැති බව ඔබ සිතනවා ද? එසේ නැති නම් එය එහි තිබෙන බව ඔබ සිතනවා ද? වෙනත් ප්‍රශ්නවලින් අසනවා නම් එය ඇලෙක්සැන්ඩ්‍රියානුවාදයකට (Alexanderism), එනම් කල් පවත්නා ඓතිහාසික හා සංස්කෘතික අත්දැකීමකට සමාන කළ හැකි ද? එසේ නැති නම් එය බලහත්කාරයෙන් රැඳී

J. M. Coetzee, Inner Workings, Essays 2000-2005, Vintage, 2008

සිටින්නට උත්සාහ කරන දෙයක් ද? එසේත් නැති නම්ඩාන්ටේගේ යුගය හෝ ප්‍රබුද්ධනයේ Enlightenment යුගය මෙන් කිසියම් කාලයකට ලඝු වූ ප්‍රපංචයක් ද?

කැල්විනෝ ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙයි. ඒ මෙසේ ය.

පසුගිය අර්ධ ශතවර්ෂය තුළ ශ්‍රේෂ්ඨ යුග දෙකක් විය. එනම් ඇවන්ගාර්ඩ් හෙවත් පෙරටුගාමී සාහිත්‍ය යුගය හා කැපවුණු සාහිත්‍ය යුගයයි (Avant-garde and Engagement). මේ දෙක ම බොහෝ කලක සිට අර්බුදයෙහි ගිලී තිබේ. එනමුත් පෙරටුගාමී සාහිත්‍යය මියගොස් ඇති බව කීම කුහක පිලිස්තීනු සුලබ කයිවාරුවක් පමණි. අනෙක් අතට දෘශ්‍ය කලා තුළින් සදාතනික පෙරටුගාමී කලාවකට සහාය ලැබී තිබේ. එයත් සිත කරදරයට පත් කරයි. කැපවුණු සාහිත්‍යයෙන් සියයට අනූවක නිර්මාණ අර්බුදයක පවතින බව කීම තකතීරු ගොන් කතාවකි. අනෙක් අතට ආසන්න දේශපාලන කෘතියක් කියවන්නට නොදන්නා මිනිස්සු ද වෙති. දැවැන්ත හා බිහිසුණු ඓතිහාසික සිද්ධි හමුවේ සාහිත්‍යය ප්‍රතිනිර්මාණය නොවේ යැයි සිතීම මුග්ධ ය. ඇවන්ගාර්ඩ් ලේඛකයා සිය ශරීරය සහ ආත්මය යන
දෙක භාෂාව ප්‍රතිරචනය කිරීම වෙනුවෙන් යොදවයි. ඔහු විශ්වාස කරන්නේ එමඟින් මනුෂ්‍යයාගේ සමස්තය පුනර්ජීවනය කළ හැකි බවයි. එවැන්නක් විශ්වාස නො කරයි නම් ඇවන්ගාර්ඩ් සාහිත්‍යයක් නැත. ඇවන්ගාර්ඩ් සාහිත්‍යය වූ කලී සෞන්දර්යවේදයේ දියණිය යි (daughter of aestheticism). එහි ඇති දුර්වලතාව නම් එහි සීයා වූ රොමෑන්ටික්වාදයේ ලක්ෂණ පුනරුච්චාරණය කිරීම ය. දියණිය වීමේ ශක්තිය පෙන්වීම සහ සීයා සේ කතා කිරීම දෙකකි. කැපවුණු සාහිත්‍යය පෙරටුගාමී සාහිත්‍ය ආකෘතිය හා සදාචාරවාදී කැරැල්ල යන දෙක දේශපාලනය හා ලොව විප්ලවවාදී අරගලය සමඟ එකතු කරයි. එහි ලා කැපවුණු සාහිත්‍යය පෙරටුගාමී සාහිත්‍යයේ දියණිය නො ව සහෝදරියයි.

එහෙත් එය ස්වාභාවිකවාදයට (Naturalism) සමාන වීම හේතුවෙන් එහි මහලු මාමා සොයා යාමකි සිදු වන්නේ. එහි හොඳ ම අවස්ථාව බිහි වූයේ චීනය තුළ මර්දනය හා ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ඇති වූ තිස් ගණන්වල ය. ඊට සමාන කර බලන විට දෙවෙනි ලෝක යුද්ධ සමයට පසු කාලයේ ඊට එකතු වූ දෙයක් නැති තරම් ය. කැපවුණු සාහිත්‍යයෙහි කතාන්දරය කියවෙන්නේ සිද්ධි හා ප්‍රශ්න වාර්තා කිරීමෙන් නො වේ. අපේ යුගයේ මිනිසා නිර්වචනය කිරීමේ භාරදූර කටයුත්ත මඟිනි. ආන්ද්‍ර මල්රයූ, අර්නස්ට් හෙමින්වේ, පැබ්ලෝ පිකාසෝ, ශොන් පෝල් සාත්‍ර, ඇල්බෙයා කැමූ, විට්ටෝරින්, පවීසෝ එය කළෝ ය. සෝවියට් සාහිත්‍යය කැපවුණු සාහිත්‍යයට සමාන වන්නේ කොතැන ද, වෙනස් වන්නේ කොතැන ද යන්න ගැන, එනම් සෝවියට් දේශය තුළ සමාජවාදී යථාර්ථවාදය නිර්වචනය වූ ආකාරය ගැන වෙන ම කතිකාවක් වුවමනා ය. කාමවාදී සාහිත්‍යය ගැන කියනවා නම් එවැනි කෘති පළ වෙයි. මම ඊට විරුද්ධ වෙමි. දැන් වන විට සෙක්ස් ගැන ලියන්නට පුළුවන් නරක විදිහට ය. එය එපා වී හා ජුගුප්සාවෙන් ලියන විට පමණක් සෙක්ස් ගැන දක්ෂ ලෙස ලියන්නට පුළුවන. යමෙකු එහි හොඳක් දකින විට වුණත් ඒ ගැන ලියන්නට නුපුළුවන. කාමවාදී සාහිත්‍යය විශේෂයෙන් නරකට ම ලියන්නේ ඉතාලි ජාතිකයන් ය. අලුත් දෙයක් කියන්නට නැති බැවින් මගේ අදහසේ හැටියට තව අවුරුදු තිහකට ඒ ගැන නොලිය යුතු ය. සෝවියට්කාරයන් සෙක්ස් ගැන ලියන්නට පටන් ගත හොත් අවසානයේ දී නව සාහිත්‍යයක් උපදින්නට පුළුවන.3

අවසාන වශයෙන් යථාර්ථවාදී සාහිත්‍යය වෙත අනිසි බලපෑමක් එල්ල කරන නරෝදිනික සාහිත්‍යය, ජනතාවාදී සාහිත්‍යය හා දේශප්‍රේමී සාහිත්‍යය ගැන ද විභාග කිරීම මැනවි. රුසියානු සම්භාව්‍ය මාක්ස්වාදී විචාරක ප්ලෙකානොව් විසින් අයි. උස්පෙන්ස්කි නම් ලේඛකයා නිදසුන් කර ගනිමින් නරෝද්නික

3 Italo Calvino, Written Word and Unwritten World, Penguin Modern Classics, 2023, p.20-21

සාහිත්‍යයේ හා සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ වෙනස දීර්ඝ ව අපට පෙන්වා දී ඇත. නරොද්නික සාහිත්‍යයේ දී අපට
ලෙමන්තොව් කෙනකු හෝ තුර්ගිනිව් කෙනකු හමු නොවන බව ප්ලෙකානොව් කියයි. අප දොස්තොයෙව්ස්කි හෝ තොල්ස්තෝයි වෙත ආකර්ෂණය කරන්නා වූ ‘ලාලසාවන්ගේ ජවනිකා’ (scenes of passions) හමු නොවන බවත්, මහජනතාවගේ සමාජ ජීවිතය (social life of masses ) විනා පුද්ගලයන්ගේ චරිත හෝ පුද්ගලයන්ගේ හැඟීම් හෝ එහි නැති බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි.

Georgi Plekhanov

නරොද්නික් ප්‍රබන්ධකරුවන්ගේ ඇස දකින්නේ විචිත්‍ර කලාත්මක රූපාකාර නො වේ. ඒ ඇස දකින්නේ රසසුන් නමුත් කාලීන වූ ජාතික ආර්ථිකයේ ගැටලු ය.4

පාඨකයකු සෝවියට් සාහිත්‍යය කියවිය යුත්තේ සෝවියට් රුසියාව තුළ යථාර්ථවාදය අර්ථකථනය වූ ආකාරය පිළිබඳ අවබෝධයකිනි. පළවෙනි ගුරුවරයා නම් නොවෙල්ලාව සම්බන්ධයෙන් ද මෙය අදාළ කාරණයකි. ස්ටැලින්වාදය පිළිබඳ අදහසකින් තොර ව සෝවියට්සාහිත්‍යයේ මිණිකැට සෙවීම ද ගැටලු සහගත සාහිත්‍ය ප්‍රවණතාවකි. පෙරටුගාමී සාහිත්‍යයට හෝ නූතනවාදී සාහිත්‍යයට හෝ වාරණය හා පරිහානිගත කලා ලෙස ලේබලය ඇලවීම විනා අනුකූලතාවක් ස්ටැලින්වාදයට නො වී ය.

ලෙනාර්ඩ් වුල්ෆ් ද සාමාජිකයකු ව සිටි ලන්ඩනයේ බ්ලූම්ස්බරි කවයේ අනුප්‍රාප්තික කෝරි බෙල් නම් ඉංග්‍රීසි විචාරකයා ජෝශප් ස්ටාලින්ගේ සාහිත්‍ය වාරණ භූමිකාව පැහැදිලි කරන්නේ මෙලෙසිනි.

මහ සෙනඟ සමඟ සෙල්ලම් කළා සේ ඔහු කවියන් සමඟ ද සෙල්ලම් කළේ ය. මෙන්ඩල්ස්ටාම් කවියා ගැන සිතන්නේ කුමක් දැයි විමසන්නට ස්ටාලින් විසින් බෝරිස් පස්ටර්නාක්ට ටෙලිෆෝන් කෝල් එකක් දෙන ලද්දේ ය. තරු පෙනුණු බෝරිස් පස්ටර්නාක් අහිංසක ලෙස ඒ වචන ටික පුනරුච්චාරණය කර ගත්තේ මෙලෙසිනි. ‘මගේ

4 George Plekhanov, Selected Philosophical Works, Volume V, Proress Publishers, 1981, p.41

යාළුවන්ට මට ඊට වඩා හොඳින් සලකන්නට තිබුණා’ ස්ටාලින් එහෙම කිව්වේ මෙන්ඩල්ස්ටාම් කවියා ඒ වන විට ද සයිබීරියාවට පිටත් කරමිනි.5

අප විදග්ධ සාහිත්‍ය පරිවර්තක ආනන්ද අමරසිරි සාගින්දර හා අභිරහස් නමින් පරිවර්තනය කරන ලද නෝවිජියානු නවකතාවල කර්තෘ, නුට් හැම්සන් සමාජවාදියකු නොවූවා පමණක් නො ව යුරෝපා ෆැසිස්ට්වාදයට පවා එක් කලෙක නැඹුරු වූ හුදකලා ලේඛකයෙක් විය. සමහර සිංහල පාඨකයන් හුදෙක් අම්මා නවකතාවේ කර්තෘ හා සෝවියට් ජනතා සාහිත්‍යයේ ආදිකර්තෘ ලෙස පමණක් හැඳිනගෙන සිටින මැක්සිම් ගෝර්කි තම සාහිත්‍ය කර්තව්‍යයන් ගැන පවා ස්වයංවිවේචනාත්මක වෙමින්, අවසාන කාලයේ දී පවා ඔහු අගය කළ අවංක මතකය, ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි නම් ප්‍රකට සෝවියට් විචාරකයා මෙසේ සටහන් කරයි.

‘හැම්සන් දෙස බලන්න,’ ගෝර්කි නො කඩවා වැලපුණි. පොළොවේ යුෂ කෘතියෙන් පටන් ගෙන ඔහු ලියා ඇති සෑම දෙයක් ම විස්මිතයි. ඔවුන් කියන්නේ ඔහු රෑට අන්ධකාරයේ ගිනි නැති ව ලියන බවයි. එසේ ලියූ දේවල් ඔහු ඊට පහුවෙනි දා සකස් කරනවා. සෑම දවසක ම ඔහු‘කොඤැක්’ මත්පැන් බෝතලයක් බොනවා. ඔහුට වයස දැන් හැත්තෑවටත් වැඩියි. මම ඔහුට ඊර්ෂ්‍යා කරනවා. ඒ කොහොම වුණත් ඔයා ‘ක්ලිම් සම්ගින්’ තුන් වෙනි වෙළුම කියෙව්වා ද? අපොයි තාමත් කියෙව්වේ නැද්ද? මම ඔබට ආයාචනා කරනවා ඒක කියවන්න කියලා. එහි ඉන්නවා මරිනා කියලා ස්ත්‍රියක්. මම දැන ගන්න කැමතියි ඔබ මොනව ද ඇය ගැන හිතන්නේ කියලා. ඇය සිත් ගන්නා ගැහැනියක්.6

5 Cory Bell, Literature, A Crash Course, Watson-Guptill Publications, 1999, p.97 6 Alexander Konstantinovich Voronsky, The Art of Seeing the World
in Art as Cognition of Life, Selected Writings 1911-1936, Mehring Books, 1998, p. 423.

ජාතික චින්තනය හා දේශප්‍රේමය ද සාහිත්‍යයේ සාරය අහෝසි කරයි. ප්‍රංශ-ඇල්ජීරියානු ලේඛක ඇල්බෙයා කැමූ ප්‍රංශ දේශප්‍රේමය ගැන කතා කරමින් එය තත්කාලීන ජර්මන් මිතුරකුගේ ජර්මානු ෆැසිස්ට් දේශප්‍රේමයට වෙනස් වන අයුරු පැහැදිලි කරයි.

දෙදෙනා සටන් කරන්නේ එකිනෙකට හාත්පසින් වෙනස් දේශප්‍රේමී කඳවුරු දෙකක ය. ඔහු තම මිතුරා ජර්මානු දේශප්‍රේමය ගැන කියූවක් උපුටයි.

සියලු දෑ අර්ථශුන්‍ය වූ ලෝකයක, අප වැනි තරුණජර්මානුවෝ, සකල සියලු දේ කැප කළ යුතු අපගේ දේශයේ දෛවය තුළ අර්ථයක් සොයා ගන්නට තරම් වාසනාවන්ත වූහ.

ඊට කැමූ මෙසේ පිළිතුරු දෙයි.

නෑ. තනි අරමුණකට සෑම දෙයක් ම යටත් කළ යුතු බව මට විශ්වාස කළ නොහැකි යි.

තවත් ලිපියක කැමූ මෙසේ කියයි.

මගේ රට වෙනුවෙන් ආදරය කරන්නට මට හැකි විය යුතු වූවත් එවිට ද මම යුක්තියට ආදරය කරමි.’

කිසිදු ජාතියක හතුරකු වන්නට ප්‍රංශ ලේඛකයකුට නොහැකි බවත් ය, ජාතිකවාදියකු වීමට නොහැකි තරමට තමන්ගේ රටට ආදරය කරන බවත්(I love my country too much to be a nationalist) ය, යුක්තිය විරහිත දේශප්‍රේමයක් නැති බවත් ය, කැමූ කියන්නේ.

ප්‍රංශ මිතුරාගේ දේශප්‍රේමය ෆැසිස්ට් ජර්මානුවාගේ දේශප්‍රේමයට වෙනස් වන සැටිත්, දෙදෙනා දෙයාකාරයකට ෆෙඩ්රික් නීෂේ කියවන සැටිත් කැමූ පෙන්වා දෙයි. දෘඪ දෘෂ්ටිවාද කෙරෙහි අවිශ්වාසය හා මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳ ලාලසාව ඉන් පෙනේ. ඔහු නොබෙල් කතාවල දී පවසන්නේ අද ලිවීම වූ කලී අනතුරුදායක ලෙස ලිවීමක් ( Writing Dangerously) බව ය.

Friedrich Nietzsche

ඇල්බෙයා කැමූ ලේඛකයන්ගේ ස්වයංතෘප්තභාවය හා ඊනියා ස්වයංජනක සංකීර්ණය හෙවත් තමා මහත් කර ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු බලහත්කාරයට නතු කර ගැනීමේ වියුක්තයන් (coercive abstractions) සහ මිනීමරු දෘෂ්ටිවාදයන් ද සපුරා ප්‍රතික්ෂේප කළේ ය. තමා ලියූ දේවල් ගැන ස්වයංතෘප්ත ව තමා විකුණා ගැනීම ඔහුට අරුචි විය. ස්වයංජනක සංකීර්ණය වූ කලී සියල්ල තමාගෙන් ම ජනනය වන්නේ ය යන ලේඛක මහන්තත්වය විය යුතු ය. අනෙකා සමඟ සහෝදරත්වයෙන් සහ පරිපූර්ණ සහානුභූතියකින් කැමූ සත්‍යය සහ විමුක්තිය සොයා ගිය බව ඇලිස් කැප්ලාන් කියයි. ඔහුගේ ඒ හැඟීම මහාමාරිය නවකතාවේ වසංගතය මැද නිහඬ දරා ගැනීමකින් (silent endurance) කටයුතු කරන මහජන සෞඛ්‍ය භටකණ්ඩායමෙන් පෙනේ. එය අන්ධ කැපවීමකි.7

එය පසුගිය කෝවිඩ් වසංගතය තුළ ද ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍ය භට කණ්ඩායම්වල නිහඬ දරා ගැනීම හා අන්ධ කැපවීම සමඟ අද අපට සසඳන්නට වූවත් පුළුවන. ගාසා තීරය තුළ තත්ත්වය ද ඊට සමාන ය. එය විනාශය පවා දරා ගැනීමේ සර්ව ශුභවාදයකි. සදාචාරාත්මක ව හා කායික ව අන්ධ කැපවීමකි.

7 Albert Camus, Committed Writings, Forward by Alice Kaplan, Penguin MModern Classics, 2020, p.xviii

පෙර කොටස:

More From Author

නොවැම්බර් 03 වන දිනට යෙදෙන හෙළයේ මහානර්ඝ ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නමවන ගුණානුස්මරණය නිමිත්තෙනි.

පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (දෙවැනි කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348