පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (දෙවැනි කොටස)

[ජ්‍යෙශ්ඨ කථිකාචාරිනී සංජීවනී රූපසිංහගේ ආකාශ ගංගාවරෝහණ කෘතිය එලිදැක්වීම නිමිත්තෙන් 2025 ඔක්තෝබර් 13 දා කැලනිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා පීඨයේ දී පවත්වන ලද දේශනයේ සම්පූර්න පිටපත]

ඊලඟට එනවා ලෝක ප්‍රකට පර්යටකයෝ දෙන්නෙක්: මාර්කෝ පෝලෝ සහ ඉබන් බතූතා. පෝලෝ වැනීසියේ වෙලෙන්දෙක්, බතූතා මොරොක්කෝ නීතිවේදියෙක්. පෝලෝගේ ලෝක චාරිකා අතිශයොක්ති බව කවුරුත් දන්නවා. ඒත්, ඔහු දහතුන්වෙනි සියවසේ ඉන්දියානු සමාජය ගැන සිත් කාවදින චිත්‍රයක් අඳිනවා [The Travels of Marco Polo, ක්‍රි.ව. 1300]:

සිහ-කොටි සරන වන
සිඳු කුස විසල් මුතු පර
ගහවැල වසා මල් පල
පස යට අනගි මිනි කැට

නිල් ගිරා නෙත්කලු
පිල් විදා ගත් මොනරු
වඳුරන් පවා පියකරු
මිනිසුනැයි රැවටෙනසුලු!

වමතිනි කිලිටි වැඩ
දකුනත පමනි මුවගට
නොතබති දෙතොල
අනුන්ගේ පැන් ඔඩමට

මහ රෑක වුව
පැලඳ රන් අබරන
නැතිව බියසැක
අඟනු යති මඟ බැස

පුරයක් ඉසුරුබර
මෙවන් දසුනක් පෙර
ඇවිද්දත් දස දෙස
නොදිටිමි අන් තැනෙක

තාර බර ඇරියා ම මේකේ වැදගත් කාරනාවක් ගැබ් වෙනවා. ඒ තමයි, ඉන්දියානුන්ට තමුන්ගේ ම කෝප්පයක් තිබුනා කියන කතාව. මධ්‍යතන ඉන්දියාවේ පැවතුන පුද්ගල සනීපාරක්ශාව ගැන කදිම ඉඟියක් ඒක. මේක දැකලා පෝලෝ පුදුම වෙන්නේ ඇයි? ඉතිහාසය පිරික්සන කොට අපිට වැටහෙනවා කාරනේ. අදාල යුගයේ යුරෝපයේ සමෘධිමත් ම පුරය වැනීසිය. ඒ කාලේ වැනීසිය පිඟන් මැටි සහ වීදුරු කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවා. ඒත්, කෝප්පය පොදු දේපලක්. කෝප්පය විතරක් නෙවෙයි, වැසිකිලිය ඇතුලේ කෝටුවක සවි කරපු අධෝමුඛය පිසින මූදු ස්පොන්ජියත් පොදු යි!

වැනීසියේ වැසිකිලි තුල පරිහරනය කෙරුනු මූදු ස්පොන්ජිය

හැබැයි, පාවිච්චියෙන් පස්සේ ඒක විනාකිරෙන් පිරිසිදු කරපු බවත් කියන්න ඕනැ. අනික් අතට, ඉන්දියාවේ සුවිශේශයන් නොතිබුනා ම නෙවෙයි. සමකාලික චීන ඉතිහාසඥ චෞ ජු-ක්වා කොචින් රජවාසලේ පිලිකුල්සහගත සිරිතක් ගැන කියනවා [Records of Foreign Nations, ක්‍රි.ව. 1211-25]:

නායර් රජු
බුදිත රස මසවුලු
අසල ම තුලු
බත්ගෙයි මුලුදෙටු

එත කඩුත්තු
නොදිරවා සරක්කු
දිවගා රජ වසුරු
කියයි හේ සුදුසු ඔසු!

අපි කතා කරමින් හිටියේ පෝලෝ ගැන. ඔහු යනවා පාන්ඩ්‍ය රජ්ජුරුවෝ බැහැදකින්න. ඇමති මන්ඩලේ සමඟ රජා වැලි පොලොවෙ වාඩි වෙලා බර සාකච්ඡාවක. මොහු පලමුවෙනි මාරවර්මන් කුලසේකර පාන්ඩියන් [වැ. 1268-1308] වෙන්න ඕනැ. පෝලෝ අහනවා: “රජතුමනි, ගරුසරු පිට රාජාසනේ වැඩ ඉන්නේ නැතිව මොකද බිම ඉඳගෙන? රජා කියනවා: “අපි උපදින්නේත් මහ පොලොවෙන්, මැරුනා ම යන්නේත් මහ පොලොවට, ඉතින්, වැලි පිට ඉඳගන්න එක ආඩම්බරයක් නෙවෙයි ද?”

බතූතා ඉන්දියාවට එන්නේ රැකියාවක් හොයාගෙන. සුල්තාන් මොහොමඩ් බින් තුග්ලුක් ඔහුට දිල්ලි නඩුකාර පදවියත් මහ මැඳුරකුත් සිටු කුමාරියකුත් පිරිනමනවා. මගේ වැටහීමේ හැටියට, තුග්ලුක් තරම් කෲර රජෙක් මෑත ඉන්දියානු ඉතිහාසයේ නෑ. බතූතාගේ රිහ්ලා [A Gift to Those Who Contemplate the Wonders of Cities and the Marvels of Traveling, ක්‍රි.ව. 1355] කෘතිය මේකට සාක්ශි දරනවා:

කුමට වරදක්
බැල්ම ම උදහසක්
පිරිසක් පිලිමල්
වින්දෝ වද දෙතිස්

දිවස් හුල හිඳුවන
අලියා ලවා පාගන
කෝටු මස් කරන
උඩ දමා කඩුගාන…

ගසා හම පනපිටින්
අකිංකර සෙනෙවිරත්
පිසූ මස, නඟන දුම්
වෙත යැවී සුතන’ඹුන්

පන්ජාබයේ දී, තරුන වැන්දඹුවෝ තුන් දෙනෙක් සැමියාගේ චිතකයට පනිනවා දැකලා බතූතා ක්ලාන්ත වෙලා අස්සයා පිටෙන් වැටෙනවා! සති පූජාව ගැන ඇඟ කිලිපොලායන මේ වගේ විස්තර පර්යටන සාහිත්‍යයේ එමට යි. විජයනගර රාජාගේ සොහොනට පැනපු බිරින්දෑවරු ගනන හාරපන්සීයක් බව මැගලන්ගේ මස්සිනා බර්බෝසා සඳහන් කරනවා! [The Book of Duarte Barbosa, ක්‍රි.ව. 1518]. දස හැවිරිදි වැන්දඹුවකගේ තනියට සොහොනේ තැන්පත් කෙරිලා තිබුනේ යුද්දෙට ගිය සැමියාගේ නිල ඇඳුම විතරක් බව ඉංග්‍රීසි ඊස්ට් ඉන්ඩියා සමාගමේ සේවක නිකලස් විතිංටන් කියනවා [“A Brief Discovery of some Things best worth noting in the Travels Withington,…”, 1612-16]. වේල්ස් ලේඛිකා ෆැනී පාර්ක්ස් දැකපු සිද්ධිය ඒ සියල්ලට ම වඩා සිත් සසලකරවනසුලු යි (Wanderings of a Pilgrim in Search of the Picturesque, වෙලුම I, 1850):

ගසා අත් ලෙහි
නැසෙමි හිමි මත්තෙහි
දිව්රා කී ඇඹෙනි
ගිය ද සෑ වෙත පා එඩි,

බුරබුරා ගිනි
ඇවිලෙනා සඳ පිලි
නැඟී සෑයෙනි
දිවී ගඟ වෙත වැටිවැටි

භටයන් පොලිසි
නොවී නම් විපරමිනි
තලා බට පතුරිනි
ගින්නට ම පිදෙනු ඇති!

බ්‍රාහ්මන සමාජයේ ස්ත්‍රිය මුහුනදීපු මේ ශෝචනීය ඉරනමට එරෙහිව පර්යටන සාහිත්‍යය හරහා ලෝක පරිමාන ජනමතයක් ගොඩනැඟුනා. මේ තිරශ්චීන චාරිත්‍රය අහෝසි කරන්න ඒක බොහෝසෙයින් දායක වෙලා තියෙනවා.

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඉන්දියාව කියලා හිතාගෙන උතුරු අත්ලන්තික් සාගරේ දූපතකට ගොඩබහිනවාත් සමඟ “සෙවිල්ලේ යුගය” උදා වුනා. එදා පටන්, දේශ ගවේශනයට මුවා වෙලා දුර්වල රටවල් ආක්‍රමනය කිරීම ඇරඹුනා. වස්කෝ ද ගාමා ඉන්දියාවට සේන්දු වුන මාස දහයක මූදු ගමන ගැන නැවියෝ දෙන්නෙක් ලියපු ප්‍රථම යාත්‍රා දිනපොත [ජාඕ ඩි සා සහ අල්වාරෝ වෙල්හෝ, A Journal of the First Voyage of Vasco Da Gama, 1497-9] පලමුවෙනි පෘතුගීසි සැරුම්ලකර ලෙස ඉතිහාසගත වෙනවා. එතැන් පටන්, වසරක් පාසා ලිස්බන් වරායෙන් වෙලෙඳ යාත්‍රා දියත් වුනා. නැවියන් අතර වැඩිපුර හිටියේ පලපුරුද්දක් නැති හිරකාරයෝ. රුවල් නැව් සුලි කුනාටුවලටත් උදම් රැලිවලටත් මැදි වුනා. නැවියෝ තුනෙන් පංගුවක් ලෙඩරෝගවලින් මැරුනා. ගෝවේ ආදිපාද ලේකම් ගැස්පර් කොරෙයා පවසන විදිහට, ආපහු හැරෙමු කියලා කැරලි ගහපු නැවියන්ට ගාමා විලංගු දැම්මා [Legends of India,16 සියවස]. අද්මිරාල් ඇල්බුක්වාර්ක් කියනවා නැව ඇතුලට නොකඩවා වතුර කාන්දු වෙනකොට නැවියෝ පොම්පය අතාරින්නේ නැතුව ම කන්‍යාමරියාට යාඥා කෙරුවා කියලා [Cartas de Affonso de Albuquerque, 1508-15].

ලුවී ඩි කැමෝස්ගේ ලුසිතානුවෝ [The Lusiads, 1572] හෙවත් ‘පුරුතුගීසිකාරයෝ’ ලියැවුනේ මලබාරයේ දී. ඔහු කවියෙක් වගේ ම පෘතුගීසි හමුදාවේ සෙබලෙක්. මේ වීර කාව්‍යයේ අන්තර්ගතය පෘතුගීසීන්ගේ ඉන්දියානු ආක්‍රමනය සහ විජයග්‍රහනය:

ඉරනමකි, පැවරුන කලෙකට පෙර ම:
දියත් කල යුත ලුසිතානුන, පලවත් සටන
දිනා ගති ඉන්දු බිම, පුලපුලා සිටී දියදද
හින්දු වැසියන අදින අතරේ වේල් කරත්ත!

කැමෝස් පෘතුගාලයේ ජාතික කවියා බවට පත් වෙනවා. පෘතුගීසි භාශාව ඇඳින්වෙන්නේ කැමෝස්ගේ භාශාව කියලා. ඔහු සැසඳෙන්නේ ශේක්ස්පියර් සමඟ. ඔහු මිය ගිය දිනය පෘතුගාලයේ ජාතික දිනය යි. ලුසිතානුවෝ ඇරැඹෙන්නේ කුරුඳු වගාව බහුල ලංකාවේ වෙරලබඩ ගමකින්:

සාර ලවඟු
රුචිර පුසුඹින් යුතු
නැමි නැමී අතු
වඳී ධජයට ලුසිතානු!

ඇත්ත වසයෙන් ම, ලුසිතානුවෝ රමනීය බසින් පද බැඳුන කාව්‍යයක්. නමුත්, වෙන් කර ගන්න බැරි තරමට කලාත්මක සංඝටකය ප්‍රතිගාමී දෘශ්ටිවාදය සමඟ කැලතිලා තියෙනවා. වෙන විදිහකට කිව්වොත්, දෘශ්ටිවාදය ම කවිය බවට හැරිලා!

කතෝලික මිශනාරිවරු ගෝවේ ධර්මාධිකරනය පිහිටුවාගෙන කෝවිල් සහ මුස්ලිම් පල්ලි විනාශ කරපු හැටිත් පොත්පත් ගිනි තියපු හැටිත් ඉතාලි වෙලෙන්දා ෆිලිප්පෝ සසෙට්ටි විස්තර කරනවා [Lettere da vari paesi, ක්‍රි.ව. 1570-88] සංස්කෘත භාශාව හදාරපු මුල් ම අපරදිගුවා වගේ ම සංස්කෘත සහ ඉතාලි භාශාව අතර සමානකම් අඳුනා ගත්තු පලමුවැන්නා සසෙට්ටි. සාහිත්‍යය දැවෙනවා දකින කොට ඔහුට ඇති වුන වේදනාව අපිට තේරුම් ගන්න පුලුවන්. ලංකාවේත් මේවා සිද්ධ වුනා. දාසකමේ යොදවපු ගම්වැසියන්ට පෘතුගීසි ජනපදිකයෝ අමානුශික විදිහට සලකපු හැටි ප්‍රංශ ඇපොතිකරි ශෝන් මොකේ කියනවා [Voyages en Afrique, Asie, Indies Orientales et Occidentales, ක්‍රි.ව. 1617]:

තලති තුන්යමෙහි
ඔබා සේකඩ මුවෙහි
උලති දියරය කාඩි
පලා අත පය සැතිනි

ඉතිහාසකරනය වගේ නෙවෙයි, පර්යටන සාහිත්‍යයට පුරානෝක්ති, ජනප්‍රවාද සහ මිථ්‍යා සංකල්ප මුහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි යි. යම්කිසි පුවතක් මුසාවක් බව “වහෙන් ඔරෝ” බාසාවෙන් කියන “Traveller’s tale” යන ඉංග්‍රීසි වාක්‍යාංශය තැනුනේ නිකම් ම නෙවෙයි. කර්නාටක ප්‍රාන්තයේ බිජාපුර් නුවර ප්‍රදර්ශනය කෙරෙනවා ලෝකයේ ලොකු ම ගිනි අවිය, මලික්-ඉ-මයිදාන්.

සීනු ලෝහයෙන් වාත්තු කල මලික්-ඉ-මයිදාන් කාලතුවක්කුව

මේකේ තේරුම “තැනිබිමේ දෙවියා”. මේ කාලතුවක්කුව මීටර් අටක් දිග යි, ටොන් පනහක් විතර බර යි, වරකට වෙඩිබේත් රාත්තල් 540ක් උවමනා යි. අහමඩ්නගර් පාලකයා වෙනුවෙන් 1549 දී මේක වාත්තු කෙරුවේ තුර්කි ලෝකුරුවෙක්. ජර්මානු දේශගවේශක යොහාන් මැන්ඩෙල්ස්ලෝ සටහන් කරනවා ලෝකුරුවා තමුන්ගේ අතිජාත පුත්‍රයා ඝාතනය කරලා දරුවාගේ රුධිරයෙන් ආයුධය ‘බෞතීස්ම’ කරපු හැටි! [The voyages and travels of the ambassadors sent by Frederick, Duke of Holstein,…, ක්‍රි.ව. 1633-9]. මැන්ඩෙල්ස්ලෝ එනකොට තුවක්කුව හදලා අවුරුදු සීයක්වත් නැති නිසා මේ කටකතාව ඇත්ත වෙන්නත් පුලුවන්. ඒත්, ඉතිහාසඥයෝ මේක සනාථ කරලා නෑ. කොයිහැටි වෙතත්, මේ වර්ගයේ ජනප්‍රවාද රාවනා මිථ්‍යාව තරම් හානිකර නෑ.

සංචාරය ප්‍රත්‍යාවර්තී කටයුත්තක්. සංචාරකයා සංස්කෘතියක් අරගෙන එනවා වගේ ම ඔහු සංස්කෘතියක් අරගෙනත් යනවා. පර්සියානු ගෑරප්පුව ඉතාලියට ගෙනාවේ අරාබි වෙලෙන්දෝ. දාහත්වෙනි සියවස වෙන තුරු බ්‍රි‍තාන්‍යයේ මිනිස්සු ගෑරප්පුව ගැන අහලාවත් තිබුනේ නෑ.

පැරනිතම ලෝකඩ ගෑරප්පු, පර්සියාව (08-09 සියවස්)

ඒක ඉතාලියෙන් බ්‍රිතාන්‍යයට අරගෙන ගියේ තෝමස් කොරියාට්. Lonely Planet සංචාරක මාර්ගෝපදේශ පොත් පෙලේ ආදිකර්තෘ ටෝනි වීලර්ට අනුව, නිදහස් සංචාරයේ පීතෘ කොරියාට්. ඔහු සංචාරය කෙරුවේ වෘත්තීය, ආගමික, දේශපාලනික නැතිනම් වෙනත් කිසි ම යටි අරමුනකින් තොරව. යුරෝපා සවාරියෙන් පස්සේ ඔහු ග්‍රීසියටත් මධ්‍යම ආසියාවටත් ඊලඟට ඉන්දියාවටත් ආවා. කොරියාට්ගේ චාරිකා සටහන් හාස්‍ය රසයෙන් අනූන යි. ඔහු තමුන් අඳුන්වා ගත්තේ “ඉංග්‍රීසි හාස ගමික” හැටියට. ඇත්ත වසයෙන් ම, ත්‍රාසය ඇරුනා ම පර්යටන සාහිත්‍යයේ ජීවය රැඳිලා තියෙන්නේ හාස්‍යය සහ උත්ප්‍රාසය මත යි. කොරියාට් ජහන්ජිර් ඛාන් අධිරාජයා බැහැදැක්කේ තමුන්ගේ මව්බිමටත් ඉන්දියාවටත් සම සේ ගෞරවය පුද කරමින් [Greetings from the Court of the Great Mogul, 1616]:

තෝමස් කොරියාට්ගේ පාවහන් සඟලේ අනුරුව, ශා. පීටර් හා ශා. පෝල් දේවස්ථානය, සමර්සෙට්

වැසියෙක්මි
සකල දූවනට රාජිනි
දැකුමට ආයෙමි
සකල නදීනට රාජිනි

“සකල දූවනට රාජිනි” කිව්වේ මහා බ්‍රිතාන්‍යයට; “සකල නදීනට රාජිනි” කිව්වේ ගංගා නම් ගඟට. කොරියාට් හින්දි, පාර්සි සහ තුර්කි භාශා හැදෑරුවා, වේට්ටිය යි, කුර්තාව යි ඇන්දා, ගුජරාටයේ දී විජලනයෙන් මිය ගියා. ඔහුගේ සැරුම්ලකර මරනාපරව යි පල වුනේ. නූතන පර්යටන සාහිත්‍යයේ පීතෘ තෝමස් කොරියාට් බව මම වගකීමෙන් කියනවා.

ඉන්දියාව ගැන සැරුම්ලකර සම්පාදනය කරපු ප්‍රංස සහ ඕලන්ද ගමිකයෝ අතර ෆ්‍රංශුවා බර්නියර්, වික්ටර් ජැකුමොන්ට් සහ ජර්මානු සම්භවයක් සහිත යාකොබ් හාෆ්නර් කැපිලා පේනවා. හාෆ්නර් සුවිශේශ යි. ඔහුට අනුව, සංචාරය කියන්නේ දුස්සාධ්‍ය මනදොලක් [Travels on Foot Through the Island of Ceylon, 1810]. ගැටවර වයසේ ඔහු ඉන්දියාවට එන්නේ වී. ඕ. සී. සමාගමේ සේවකයෙක් හැටියට. නමුත්, අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙලා ඔහු රැකියාවෙන් අස් වෙනවා. බටහිර පූජකවරු ඇතුලු සියලු අධිරාජ්‍යවාදියෝ යටත් විජිතවලින් පිට වී යා යුතු යි කියලා ඔහු හඬ නැඟුවා [“Examination of the Usefulness of the Missionaries and Missionary Societies”, 1807]. හාෆ්නර් භාශා කීපයක් ඉගෙන ගත්තා: සංස්කෘත, හින්දි, උර්දු, දෙමල, තෙලිඟු. චිත්‍ර ඇඳීමේ කුසලතාව ඔහුට අමතර වාසියක්. දකුනු අප්‍රිකාවේ සහ ඉන්දුනීසියාවේ ඇවිදලා පලපුරුද්දක් තිබුන හාෆ්නර් තමිල්නාඩුවේ ඉඳලා බෙංගාලයට කිලෝමීටර් දාහක් දෝලාවෙන් ගියා.

මේ ගමන අතරතුර ඔහු දුගී දේවදාසියක සමඟ ප්‍රේමයෙන් බැඳුනා [Travels in a Palanquin,1808]. ඇගේ අකල් මරනයෙන් පස්සේ ඔහු පෙරලා සියරට ගිහින් රාමායන කවි ලන්දේසි භාශාවට නැඟුවා. ස්වදේශිකයන්ට සමතැන දීම නිසා ඕලන්දක්කාරයෝ අතින් කරෑඹීමට පවා ලක් වුන හාෆ්නර් ඉතා පොහොසත් පර්යටන සාහිත්‍යයක් ලොවට දායාද කෙරුවා.

පරංගි පලවා හරින්න උදව් කෙරුවොත් වෙලෙඳ ඒකාධිකාරය පවරා දෙන බවට මහනුවර සෙනරත් ඩෙන්මාර්ක රජුට පනිවුඩයක් යැව්වා. ඩෙන්මාර්ක නැවියන්ට ත්‍රිකුනාමලයට ලඟා වෙන්න අවුරුදු දෙකක් ගත වුනා. මේ කාලය අතරතුර සෙනරත් රජු සමඟ පරංගි මිත්‍ර වෙලා තිබුනා. ඔත්තු බලපු ඩෙන්මාර්ක නැව පෘතුගීසීන්ට අහු වුනා. ඔවුන් නැවියන් දෙන්නෙක් ඝාතනය කරලා ඔලුගෙඩි වෙරලේ ඇනපු යගදා මත ප්‍රදර්ශනයට තැබුවා. මේ ත්‍රාසජනක කතාව අපිට කියන්නේ අයිස්ලන්ත කාලතුවක්කුකරු යොන් ඔලෆ්සන් [The Life of the Icelander Jon Olafsson: Traveller to India, 1661]. ඉන්දියාවට පලාගිය ඉතිරි ඩෙන්මාර්ක නැවියෝ තරංගම්බාඩි [ට්‍රැන්කුබාර්] වෙරල අද්දර ඩාන්ස්බෝර්ග් බලකොටුව තැනුවා. ඔලෆ්සන් සියරට ගියා ම ඔහුට ‘ඉන්ඩියාෆාරි’ හෙවත් ඉන්දු ගමික යන නම පටබැඳුනා.

යටත් විජිත යුගයේ, යුරෝපීය පර්යටකයෝ විතරක් නෙවෙයි, ෆ්ලොබෙයාගේ මට්ටමේ කලාකාරයෝ පවා යැපුනේ පෙරදිග පිලිබඳව බටහිර විද්‍යාර්ථියෝ සංජානනය කර ගත්තු යුරෝ-කේන්ද්‍රීය ඉතිහාසයක් මත බව එඩ්වඩ් සෙයිද් පෙන්වා දුන්නා [Orientalism, 1978]. බ්‍රිතාන්‍ය පර්යටකයෝ විජිතවාදය සාධාරනීකරනය සඳහා යොදා ගත්තු ප්‍රබල කාරනා දෙකක් තියෙනවා. එකක්, ආර්ය සංකල්පය යි. සංස්කෘත භාශාව, වෛදික සාහිත්‍යය, ඉන්දියාවේ ප්‍රධාන ආගම් තුන විතරක් නෙවෙයි, රසවාදය වර්ධනය කරපු කාශ්මීර පඬිවරු පවා යුරල් ගඟබඩ ආරිය ගිනුමට බැර වුනා.

මේක වර්ගවාදයටත් තුඩු දුන්නා. ඉතිහාසඥයෝ රෑනක් මඟ දිගේ ඇදගෙන ආපු රතු හුරුල්ලෙකුට උපමා කරමින් රොමිලා තාපර් අභියෝග කරන තුරු [Ancient Indian Social History: Some Interpretations, 1969] ආර්ය මිථ්‍යාව රජ කෙරුවා. ලංකාවේ අනගාරික ධර්මපාල සහ එස්. ඩබ්. ආර්. ඩී.] බන්ඩාරනායක උන්නැහේ මේක කරගහගෙන ගියා. අනික් කාරනාව තමයි යටත් වැසියෝ වැදගැම්මකට නැති මිනිස්සු කියන එක. ඔවුන් ම්ලේච්ඡයන් බව අඟවන්න අධිරාජ්‍යවාදියෝ යොදා ගත්තේ පර්යටකයන්ගෙන් නයට ගත්තු මිනීමස් අනුභවය පිලිබඳ කතන්දර. සමහරු දකුනු අමෙරිකාවේ ‘කැරිබ්’ ජනයා සමඟ ‘cannibal’ යන නම අහේතුකව සැසඳුවා. පැසිෆික් කලාපයේ මිනීමස් අනුභවය පිලිබඳ මේ භීතිකාව තනිකර ම නැවියෝ ගොතාපු කෙප්පයක් බව ගනනාථ ඔබේසේකරගේ පෝරිසාද කතාව පොතේ [Cannibal Talk: The man-eating myth and human sacrifice in the South Seas, 2005] පැහැදිලි කෙරෙනවා. වෛදික සාහිත්‍යයේ එන පුරුශමේධ යාගය සහ හින්දු අඝෝරි නිකායේ මලමිනී කටගාන චාරිත්‍රය සමඟ නරමාංශ භක්ශනය පටලවා ගන්න එක වැරදි යි. යුරෝපීය නැවියෝ අන්දමන් දූපත් ජනයා පෝරිසාදයෝ බවට හංවඩු ගැහුවා; විජිතවාදී පර්යටන සාහිත්‍යයේ අහිතකර බලපෑම කොයි තරම් ද කියනවා නම්, අහිකුන්ඨික ඉරුලාර් ගෝත්‍රිකයන්ට දැනටත් මේ චෝදනාව නිස්කාරනේ එල්ල කෙරෙන බව ආකාශ ගංගාවරෝහණ පොතේ සඳහන් වෙනවා.

විජිත යුගයේ අන්දමන් දූපත් වාසීන්

අනික් අතට, නැව් මූදුබත් වුනා ම යුරෝපා ජාතිකයෝත් මිනීමසින් යැපුන අවස්ථා තියෙනවා. ඔවුන් වින්දිතයෙක් තෝරා ගත්තේ “මූදු නීතියට” අනුව – ඒ කියන්නේ කුසපත් ඇදලා! [“එවර්ට්සෙන් නෞකා වාර්තාව”, 1636, උ.ගැ. නිකොලස් ටුල්ප්, Observations Medicae, 1641] නමුත්, නිතර ම තුන්ඩු ගන්න සිද්ධ වුනේ ගැටවර දාසයන්ට [cabin boys] යි! දරුනු සාගත කාලවල දී ඉන්දියාවේත් මිනීමස් අනුභවය සිද්ධ වුනා. සාජෙහාන් රජ සමයේ, ඩෙකාන දුර්භික්ශය උහුලන්න බැරි තැන ජනයා මිනීමස් කෑ හැටි ප්‍රංස රාජදූත යොහාන් ට්විස්ට් සටහන් කෙරුවා [General Description of India, 1637] . මිනිස් ජීවිත කෝටියක් බිලි ගත්තු බෙංගාල මහා සාගතයේ [1769-70] දීත් මේක සිද්ධ වුන බවට සාක්ශි තියෙනවා [විලියම් හන්ටර්, The Annals of Rural Bengal, 1868]. නමුත්, සාගතයෙන් බැට කාපු ගම් දනව්වල ඇවිදපු විලියම් හොජස් ඒ කතා නෑසුනා වගේ හිටියා [Travels in India During the Years 1780-83, 1793]. ඇයි? ඒක ඉංග්‍රීසි ඊස්ට් ඉන්ඩියා කොම්පැනිය හිතාමතා නිර්මානය කරපු කෘත්‍රිම සාගතයක්. කොම්පැනිය පිටිපස්සේ හිටියේ බ්‍රි‍තාන්‍ය රාජාන්ඩුව. නමුත්, ඉන්දියානු සැරුම්ලකර කීපයක් රචනා කරපු, මෝගල් ඉන්දියාව ගැන ‘ප්‍රාමානික’ විලියම් ඩැල්රිම්පල් ලඟ දී ගාර්ඩියන් සඟරාවට ලියපු ලිපියක සියලු වැරදි රොබට් ක්ලයිව් සහ කොම්පැනිය පිට පටවලා රාජාන්ඩුවේ කිලුටු හෝදනවා [“East India Company: The Original Corporate Raiders”, The Guardian, 2015.03.04].

1877 මදුරාසි සාගතය සමයේ පෝරිසාදයන්ගෙන් සිය පවුල ආරක්ශා කරන ගෘහමූලිකයෙක්

එලිෆන්ටා, අජන්තා, එල්ලෝරා, බෙලූර් සහ මහාබලිපුරම් යන සිද්ධස්ථාන අද යුනෙස්කෝ ලෝක උරුම හැටියට නම් කෙරිලා තියෙනවා. මේ විස්වකර්ම වාස්තු ශිල්ප සහ ගල් කැටයම් දැකලා එදා යුරෝපීය පර්යටකයන්ට දෑස් අදහාගන්න බැරි වුනා. මයිකල්ඇන්ජිලෝ ඔවුන්ට උගන්වලා තිබුනේ ඉතාලි කලාව තරම් අනර්ඝ කලාවක් නෑ කියලා [උ.ගැ. එෆ්. හොලැන්ඩා, Da Pintura Antiga, වෙලුම II: Dialogos de Roma,1548 වැනීසි වෙලෙන්දා ගැස්පරෝ බෝල්බි එලිෆන්ටා ගුහා සංකීර්නයේ යෝධ මූර්ති මහා ඇලෙක්සැන්ඩර්ගේ වැඩක් බව පැවසුවා [Voyage to the Original Indies, 1590]. මැනික් වෙලෙන්දා ශෝන් ටැවෙනියර් ප්‍රංස සැට්ටරෙකුගේ නමට ටජ්මහල බැර කෙරුවා [Six Voyages through Turkey into Persia and the East Indies, 1678]. මේ සැකසාංකාවලට හොඳ ම පිලිතුර දුන්නේ ඇලෙක්සේයි සල්ටිකොව්. ‘ඉන්දියානුවා’ යන විකට නම පටබැඳුනු ඔහු රුසියානු රාජ කුමාරයෙක් වගේ ම නමගිය සිත්තරෙක්.

ත්‍රිමූර්ති : එලිෆන්ටා ගුහා සංකීර්නය, මහාරාශ්ට්‍ර (05-07 සියවස්)

අවුරුදු හයක් ඉන්දියාවේ සැරිසරපු සල්ටිකොව්ගේ නිගමනය වුනේ, ඉන්දියාවේ පහල ම පංතිවල වැසියෝ පවා ඉතාලි ජනයාට වඩා ඉසියුම් සහ නිපුන බව යි [Letters from India, 184344]. ඉන්දියාව තුල බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව කාල් මාක්ස් මේ කියමන ප්‍රතිරාවය කෙරුවා[“The Future Results of British Rule in India], The New – York Daily Tribune, 1853.08.08].

මතු සම්බන්ධ යි

පෙර කොටස:

(අක්ශර වින්‍යාසය දේශකයාගේ අභිමතය පරිදි ය.)

More From Author

සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (අවසාන කොටස)

සමාජයේ නොයෙකුත් තරාතිරම් වල ඇතැමුන් අත්විඳින කටුක මෙන්ම ආදර්ශයක් ලබාදීමට හැකි ඇතැම් සංසිද්ධි ඔස්සේ තමයි මෙම කෘතිය ලියා තිබෙන්නේ…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348