දර්ශන මේදිස්:
[ජ්‍යෙශ්ඨ කථිකාචාරිනී සංජීවනී රූපසිංහගේ ආකාශ ගංගාවරෝහණ කෘතිය එලිදැක්වීම නිමිත්තෙන් 2025 ඔක්තෝබර් 13 දා කැලනිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා පීඨයේ දී පවත්වන ලද දේශනයේ සම්පූර්න පිටපත]

මේ කෘතියේ සංග්‍රහ කෙරිලා තියෙන්නේ කතුවරීගේ දකුණු ඉන්දියානු සංචාරක සටහන් සමුච්චයක්. මගේ සංචාරක වීරයා මාර්ක් ට්වේන්. ඔහුගේ ශ්‍රී නාමයට මේ දේශනය කැප කරන්න මම කැමති යි. දුම් බෝට්ටුවක නැඟිලා යුරෝපයට ගිය කුලුඳුල් විදේශ ගමන අරඹමින් ඔහු කියනවා: “පර්යටනය අගතිගාමිත්වයට, ආධානග්‍රාහයට හා අල්පමතික බවට මාරාන්තික ය…

යමෙකුගේ මුලු ජීවිත කාලය ම පෘථිවියේ කුඩා කොනක පැලපදියම් වී සිටීමෙන් මිනිසුන් හා දේවල් පිලිබඳව පුලුල්, හිතකර හා පරිත්‍යාගශීලී අදහස් සාක්ශාත් කර ගත නොහැකි ය [The Innocents Abroad, Or The New Pilgrim’s Progress, 1869]. පර්යටන සාහිත්‍යයේ චිරාගත සශ්‍රීක තෝතැන්න භාරතය යි. ඉතිහාසය මුලුල්ලේ දැවැන්ත පරිමාවක පර්යටන සාහිත්‍යයකට ඉන්දියාව විශය වෙලා තියෙනවා. සංයුක්ත නියැදියක් නොවෙන බව දැනදැන ම ඒ මහා සාගරයෙන් දිය දෝතක් ගන්න යි මේ සන්ධ්‍යාවේ මගේ වෑයම.

පර්යටකයන්ගෙන් උපුටා ගත්තු සමහර සටහන් කවි බසින් ඉදිරිපත් කරන්න මට අවසර දෙන්න.
සංචාරක තොරතුරු සහ අත්දැකීම් අඩංගු කෘති අයිති වෙන්නේ පර්යටන සාහිත්‍යයට. මුලින් ම අපේ මතකයට නැඟෙනවා සිංහල ජනකවි සම්ප්‍රදායයේ එන ගැල් කවි සහ පාරු කවි. පර්යටන සාහිත්‍යය පුලුල් විශය පරාසයක්. පුද්ගලික ලියුම්, දින සටහන්, දේශාටන විත්ති, අනුස්මෘති, ගුරුපොත්, සමහර ඉතිහාස ග්‍රන්ථ, වාර්තා චිත්‍රපට, මනඃසෘශ්ටික නවකථා ආදියත් ඒකට ඇතුලත්. මහාචාර්ය සුචරිත ගම්ලත් ‘travelogue’ යන ඉංග්‍රීසි වචනයට අරුත් දෙන්නේ ‘දසුන්විතර’ නැතිනම් ‘දසුන්ලකර’ කියලා. මම යෝජනා කරනවා ‘සැරුම්ලකර’ යන පර්යාය වදන
මනුශ්‍යයාට දෙපයක් ලැබුනේ ඇවිදින්න. මිනිසා ස්වභාවයෙන් ම සමාජ සත්වයෙක් බව ඇරිස්ටෝටල් කිව්වා. බාහිර ලෝකය සමඟ සබඳතා ගොඩනඟා ගන්නත් ඒවා ඵලදායී අන්දමින් පවත්වාගෙන යන්නත් අපිට සංචරනය අත්‍යවශ්‍ය යි.

මම දැක්කා පහුගිය මාසේ Ecology සඟරාවේ පල වු පුවතක්. ස්පාඤ්ඤයේ කඳුකර ගුහාවක ගිජුලිහිනි කූඩුවකින් අවුරුදු හත්සීයක් පරන පන් සෙරෙප්පුවක් හම්බ වෙලා තියෙනවා. මේකේ අයිතිකාරයා භයංකර ඉරනමකට ගොදුරු වුන සංචාරකයෙක් වෙන්න පුලුවන්. එවරස්ට් තරනය කරපු පලමුවෙනියා බවට ඉතිහාසගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී, බි්‍රතාන්‍ය ගිරිචාරියා ජෝර්ජ් මැලෝරි අතුරුදහන් වුනා. ඇල්බෙයා කැමූට අනුව, සංචාරයට වටිනාකමක් ලැබෙන්නේ විනෝදය නිසා නෙවෙයි, සන්ත්‍රාසය නිසා [Note Books 1935-51].ච හැබැයි, පුරාන දේශාටකයා [traveler] මුහුනදීපු බිහිසුනු අත්දැකීම් සමඟ සසඳන කොට නූතන සංචාරකයා [tourist] බයගුල්ලෙක්.

“ඇවිද්ද පය දහස් වටී!” කියනවානේ. මුල්කාලීන අපරදිග පාදගමිකයෝ ඉන්දියාවට ආවේ කොකේසස් කඳුකරය හරහා. පයිතගෝරස් භාරත ඉසිවරයෙකුගෙන් ඉගෙන ගත්තු බවට ග්‍රීක මූලාශ්‍රයක් [ෆිලොස්ට්‍රේටස්, Life of Apollonius of Tyana, ක්‍රි.ව. 220] තියෙනවා. භාරතය ගනිතයට නමගිය රටක් නූනා නම් ඔහු ඒ තරම් දුරක් යාවි ද? කියලා වෝල්ටෙයාර් අහනවා [“—Letters sur l’origine des sciences et sur celle des peuples de l’Asie”, 1775.12.15]. අවුරුදු තුනක් මඟ ගෙවාගෙන ෆාහියන් ඉන්දියාවට එන්නේත් පයින්. උශ්නාධික ගෝබි කාන්තාරය මැද්දෙන් ඇවිදගෙන එන්න කෙනෙකුට හිතන්නවත් පුලුවන් ද? හැතැක්ම දාහක් යුරෝපයේ ඇවිදපු ඉංග්‍රීසි පාදයාත්‍රික තෝමස් කොරියාට් ආපහු සියරට ඇවිත් හම්පඩ සපත්තු දෙක ගමේ පල්ලියේ බිත්තියක එල්ලුවා. ඒක වෙන්දේසි කෙරුවා නම් පවුම් ලක්ශයක ලන්සුවක් නිසැක යි. මේ කැන්වස් කුට්ටමේ අනුරුවක් සමර්සෙට් පලාතේ පීටර් සහ පෝල් පල්ලියේ අදටත් බුහුමන් ලබනවා. බෙල්ජියානු ඔපෙරා ගායිකා ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ්-නීල් විජාතිකයන්ට තහනම් බිමක් හැටියට පැවතුන ටිබෙටයට පයින් ගියේ මහලු යාචකයෙක් විදිහට වෙස්වලාගෙන!

සංචාරකයෙකුට ඉන්දියාව තරම් අභියෝගාත්මක දේශයක් මිහිපිට නෑ කිව්වොත් අතිශයොක්තියක් නෙවෙයි. ඓතිහාසික, සාමාජික සහ පාරිසරික වසයෙන් ඉන්දියාව මවන්නේ වෛවර්න බහුරූපේක්ශ [kaleidoscopic] දර්ශනයක්. සමස්ත ඉන්දියාව පුරාවස්තු බහුල නිධානයක්, කෝශ්ඨාගාරයක්. මේ දැවැන්ත රාජ්‍යය හිතේ හැටියට නරඹන්න කෙනෙකුගේ ජීවිත කාලය මදි වෙන්න පුලුවනි. නරඹනවා කියන්නේ දෑසින් දැකීම විතරක් නෙවෙයි. ඉන්දියාව ඉවසීමෙන් භුක්ති විඳිය යුතු රසවත් ආහාරයක්. ඉන්දියාව තුල කිසිදු මගියෙක් කාංසිය වැලඳී මිය යන්නේ නෑ කියලා රස්කින් බොන්ඩ් පැවසුවා [The New Indian Express, බංගලූරු, 2012.06.07]. කෝඩුකාරයෙකුට මම නිර්දේශ කරන්නේ ඉන්දියාව. ඉන්දියාවේ එක දවසක් ගැවසුන කෙනෙකුට ලෝකේ ඕනැ ම රටක සැරිසරන එක කජු කන වැඩක්.
ප්‍රාග් ඓතිහාසික අප්‍රිකානුවාගේ ගෝලීය සංක්‍රමනය ගැන ඔබ දන්නවා. හෝමෝ ඉරෙක්තුස් මානවාහයා [hominid] භාවිතා කරපු, වසර මිලියන එකහමාරක් පරන ඇකිලියානු ගල් අවි මදුරාසියෙන් හම්බ වුනා. සුමාත්‍රාවේ ගිනිකඳු පිපිරීමක විපාකයක් හැටියට මේ ජනගහනය වඳ වෙලා ගිය බවට සැලකෙනවා. හෝමෝ සේපියන් මානවයා ඉන්දියාවට ආවේ අවුරුදු හැට පන්දාහකට කලින්. ඉන්දු නිම්න ශිශ්ටාචාරය අග දී, යුරේසියාවෙන් උතුරු ඉන්දියාවට වරින් වර සංක්‍රමනය වුනා එඬේර ගෝත්‍ර. ඔවුන් ආර්යවර්ත නමින් ජනපදයක් පිහිටුවපු බව බ්‍රාහ්මන ධර්මශාස්ත්‍ර ග්‍රන්ථවල කියැවෙනවා. ආර්යයෝ ආවේ අස්සයෝ පිටේ. නමුත්, ඔවුන්ගේ සංචාරක අත්දැකීම් වෛදික සාහිත්‍යයේ නෑ.
දෘශ්ටි කෞතුකාගාරයක් හැටියටත් ආර්ථික මධ්‍යස්ථානයක් හැටියටත් සංචාරක පාරාදීසයක් හැටියටත් චිරාත් කාලයක් තිස්සේ ඉන්දියාවට ප්‍රමුඛස්ථානය හිමි වෙලා තිබුනා. ගොඩබිමින් සේද මාවතත් මූදෙන් කුරුඳු මඟත් වැටිලා තිබීම මේකට විශාල රුකුලක් වුනා. වර්තමාන පාකිස්ථානය සහ මධ්‍යම ආසියාව යා කරන කිලෝ මීටර් තුන්දාස් පන්සීය ඉක්මවන සේද මාවත හෙවත් උත්තරාපථයට අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් තියෙනවා. බශාම් අසිරිමත් වූ ඉන්දියාව [ඒ. එල්. බශාම්, The Wonder That Was India] කිව්වේ ඒ පුරාන භාරතයට.

පර්යටන සාහිත්‍යයේ මූලබීජ අවුරුදු හාරදහසක් පරන මෙසපොතේමියානු ගිල්ගමේශ් වීර කාව්‍යය දක්වා ඈතට යනවා. ගිල්ගමේශ් රජ්ජුරුවෝ මිතුරෙක් සමඟ අමරනීයත්වය හොයාගෙන ගිය මනඃකල්පිත ගමනක් ඒක. හෝමර්ගේ ඔඩිසි, වර්ජිල්ගේ එනියඩ්, ඩාන්ටේගේ දිව්‍ය ප්‍රහසනය, ස්විෆ්ට්ගේ ගලිවරායනය සහ ජූල්ස් වර්න්ගේ ලෝ වටා දින අසූවකින් තවත් උදාහරන. තෝමස් මුවර්ගේ ලල්ලා රූක් [Lalla Rookh, 1817] 10 තරමක් අප්‍රකට යි. මෝගල් අධිරාජ ඖරංසෙබ්ගේ දියනිය ලල්ලා රූක් දිල්ලියේ සිට කාශ්මීරයට දීගෙක යන විචිත්‍ර මංගල චාරිකාවක් ඒක. මුවර් ඉන්දියාව දැකලා නෑ. සෙබ්ගේ දුව දීගෙක ගියෙත් නෑ. මේ වගේ කල්පිත සැරුම් පැදි දැනටත් ලියැවෙනවා. මේ වෙලාවේ මගේ අවධානය යොමු වෙන්නේ තථ්‍ය සංචාරක සටහන් වෙත යි.
ග්‍රීක පඬිවර ටෙසියාස් ඉන්දියාව ගැන පොතක් ලිව්වා [Indica, ක්‍රි.පූ. 05 සියවස]. මේ කෘතිය ලෝකයේ මුල් ම ගද්‍යමය සැරුම්ලකර හැටියට සැලකෙනවා. මේකේ අඩංගු වෙන්නේ අනුන්ගෙන් දැනකියා ගත්තු විස්තර. කතා කරන ගිරව් ගැනත් කඟවේනා [unicorn] ගැනත් ඔහු සඳහන් කරනවා. මේ සතා ඉන්දියාවට ආවේනික තනි අඟේ රයිනෝසිරසා බවට අනුමාන කලෑකි. ටෙසියාස් අරාබි බොරුත් ගෙඩිපිටින් ගිල දැම්මා. තනි කකුලේ මනුශ්‍ය වර්ගයක් ගැන ඔහු කියනවා. ඔවුන්ට බිම වැතිරිලා කුඩයක් වගේ කකුල අව්වට වැස්සට ඉහලන්නත් පුලුවන්!

වඩා විශ්වාසදායී සංචාරක සටහන් අපිට මුලින් ම මුන ගැහෙන්නේ හෙරඩෝටස්ගේ ඉතිහාස ග්‍රන්ථය [Histories, ක්‍රි.පූ. 425] තුල යි. ඔහුත් මේ පොතට වටින්ගොඩින් අහපු විස්තර ඇතුලු කෙරුවා. නමුත්, හැබැහින් දැක්කේ නැති දේට තමුන් වග නොකියන බව පවසමින් හෙරඩෝටස් ආත්ම ගෞරවය රැක ගත්තා. වාර්තාගත ඉතිහාසයේ ඉන්දියාවට පය ගහපු පලමුවෙනි නාවිකයා කැරියන්ඩාවේ සයිලැක්ස්. ඔහුගේ සාර්ථක මූදු සංචාරය ගැන හෙරඩෝටස් විස්තර කරනවා. ඉන්දියාවේ ජීවත් වෙන රත්තරන් ගොඩදාන යෝධ කූඹි විශේශයක් ගැනත් ඔහු කියනවා. මේ සතා හිම නිද්‍රාව සඳහා ගැඹුරු ගුල් හාරන හිමාල ඌරා හෙවත් මාමොට් බව ප්‍රංශ මානව විද්‍යාඥයෙක් මෑත දී හොයා ගත්තා [මයිකල් පීසෙල්, The Ants’ Gold: The Discovery of the Greek El Dorado in the Himalayas, 1984]. උන් ගොඩදාන රන් ධූලිලඩාක් ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා අදත් එකතු කරනවා.

පන්ජාබයට ආපු මහා ඇලෙක්සැන්ඩර්ට තක්ශිලා නුවර දන්ඩි [ඩැන්ඩමිස්] සන්නාසි ගැන ආරංචි වෙලා ඔහු දූතයෙක් පිටත් කර යැව්වා. තැප්‍රොබේන් දූපත ගැන මුල් වරට බටහිර ලෝකය දැනුවත් කරපු ඔනිසික්‍රීටස් තමයි, මේ රාජදූතයා. ඔහු සන්නාසියා මුන ගැහිලා කියනවා [අස්ථානගත ඉන්ඩිකා, උ.ගැ. ප්ලූටාර්ක්, Parallel Lives, ක්‍රි.ව. 105-115]:
ඇරියුම ඔබට
බැහැදකින ලෙස
මහා අලිසන්දර
සියුස් දෙවියා පුත
ලැබෙනු ඇත
තැලිපිලි ද සොඳ
සිඳිනු ඇත ගිව
නාවොත් මා සමඟ
මේ තර්ජනයට දන්ඩි සන්නාසි බොහොම සන්සුන්ව උත්තර දෙනවා:
රජෙකුට මිනීමරු
කිව්වැකි ද? දෙව්පුතු
සිත්විජය මිස මුදු
දිග්විජය නොවේ යුතු
කියන්! නුඹ රජුට
දන්ඩි ය! දෙවියා පුත
නොයමි තුලු වෙත
එනු යෙහෙකි මා වෙත
ඇලෙක්සැන්ඩර් විමතියට පත් වෙනවා මේ පිලිතුරෙන්. නිසැකව ම, ඔහුට දියෝජිනිස් මතක් වෙන්න ඇති! ඔහු යනවා සන්නාසියා ලඟට. මේ කතාවෙන් ගම්‍ය වෙන්නේ බලසම්පන්න රජවරුන්ට අභියෝග කරපු දියෝජිනිස්ලා ඉන්දියාවේත් හිටපු බව යි. චන්ද්‍රගුප්ත මෞර්ය වාසලේ ග්‍රීක රාජදූතයෝ තුන් දෙනෙක් හිටියා. මේ අතරින් ප්‍රමුඛයා මැගස්තීන්ස්. ඇලෙක්සැන්ඩර්ට කලින් ඩියෝනිසස් දෙවියා ඉන්දියාව යටත් කර ගත්තු බව ඔහු කියනවා! [අස්ථානගත ඉන්ඩිකා, උ.ගැ. ෆ්ලේවියස් ඒරියන්, Indica, ක්‍රි.ව. 02 සියවස] මේ වර්ගයේ අභූත අඩංගු වුනත් විධිමත් පර්යටන සාහිත්‍යයකට මුලපිරෙන්නේ ඔහුගේ කෘතියෙන්.
මේ කාලේ ග්‍රීසියේ හිටියා දාර්ශනිකයෙක් එපික්‍යුරස් කියලා. ඔහු එක්තරා දුරකට අදේවවාදියෙක්. ඔහු කිව්වා ආත්මය කියන්නේ ශරීරය වගේ ම ධාතුවෙන් හැදිච්ච දෙයක්, මරනයෙන් පස්සේ ආත්මයට පැවැත්මක් නෑ කියලා [“Letter to Herodotus˜ (මොහු ප්‍රකට ඉතිහාසඥයා නොවේ.), ක්‍රි.පූ. 306-270]. ඔබ දන්නවා මේ මතය මුලින් ඉස්මතු කෙරුවේ ඉන්දියාවේ චාර්වාක හෙවත් ලෝකායත ගුරුකුලය. එපික්‍යුරියානුවාදය සමඟ ලෝකායතවාදය සසඳන ශාස්ත්‍රීය නිබන්ධ තිබුනත් මේ දැනුම් හුවමාරුවේ වාහකයා ගැන කාටවත් නිශ්චිත අදහසක් නෑ. මැගස්තීන්ස් විතරක් නෙවෙයි, මහා ඇලෙක්සැන්ඩර් සමඟ ඉන්දියාවට ඇවිත් භාරත චින්තනය උකහා ගත්තු පයිරෝත් එපික්‍යුරස්ගේ සමකාලිකයෙක්. නිගන්ඨ දාර්ශනික [gymnosophist] පයිරෝ තමයි ග්‍රීක සංශයවාදයේ පීතෘ. චාර්වාකයෝ ගැන පයිරෝ නොදැන හිටියා වෙන්න බෑ. එහෙම නම්, ලෝකායතවාදී අදහස් පයිරෝ හරහා එපික්‍යුරස් වෙත සම්ප්‍රේශනය වුනා ද? මේ ප්‍රශ්නය මම රාම්ක්‍රිශ්නා භට්ටාචාර්යයන්ට යොමු කෙරුවා. මහාචාර්ය භට්ටාචාර්ය ඉන්දියානු මූල-භෞතිකවාදයේ අක්මුල් රාශියක් පාදා ගත්තු මාක්ස්වාදී විද්‍යාර්ථියෙක්. නමුත්, අවාසනාවකට, එතුමා ලඟ දී මිය ගියා.

ග්‍රීක වෙලෙඳ නැවක කප්පිත්තෙක් නිරිතදිග මෝසම අඳුනා ගන්නවා. “වානිජ සුලඟ” නැතිනම් “හිපාලස්ගේ සුලඟ” නමින් ඒක ප්‍රකට යි. හිපාලස්ගේ යුගකාරක නිරීක්ශනය නිසා රතු මුහුදේ ඉඳලා ඉන්දියානු සාගරයට සෘජු මූදු පථයක් විවෘත වෙනවා. ඒ හරහා ඉන්දියාව සමඟ ගනුදෙනු කරන්න මඟ පෑදුන ග්‍රීක-රෝමානු වෙලෙඳ සිතියමක් [The Periplus of the Erythraean Sea, ක්‍රි.ව. 01 සියවස] නිර්මානය වුනා. ඒ සමඟ ම, ටියානාවේ ඇපලෝනියස් තාපසයා ඉන්දියාවට එනවා. ගොවියෝ වඳුරන් ලවා ගම්මිරිස් අස්වැන්න නෙලපු හැටි ඔහුගේ භාරත විත්ති [අස්ථානගත යි. උ.ගැ. පෙර කී Life of Apollonius of Tyana] පොතේ විස්තර කෙරෙනවා. තොප්පි වෙලෙන්දාගේ කතාව අහලා පුරුදු අපිට ඒක විශ්වාස කරන්න බැරිකමක් නෑ.

ලතින් ව්‍යාකරනඥ ගේයස් සෝලිනස්ගේ අරුමැසි ලෝකය [De Mirabilibus Mundi: The Chronicon of Julius Solinus, ක්‍රි.ව. 03 සියවස] පොතේ සඳහන් වෙනවා, ඉන්දියාවේ වැඩිහිටියන් නැසීමේ සිරිතක් ගැන. ජරන්ත ඝාතනය රටවල් ගනනාවක ම ගෝත්‍රික ජනයා අතර පැවතුන චාරිත්‍රයක්. කෲර බව හුවා දක්වමින් ප්‍රාකෘතික කොමියුනිස්ට් සමාජයට පහර දෙන්න ධනේශ්වර විද්‍යාර්ථියෝ මේක යොදා ගත්තා. වැඩිහිටියෝ විතරක් නෙවෙයි, දරුවන් පවා ඝාතනය කරන්න ප්‍රාග්තන මිනිසා මෙහෙයවුනේ තමුන්ගේ දිවිපැවැත්ම උදෙසා ගෙන යා යුතුව තිබුන අරගලයේ කොන්දේසි මගින් බව රුසියානු මාක්ස්වාදියා ජෝර්ජි ප්ලෙහානොව් පැහැදිලි කෙරුවා.

නිසරු සමාජිකයන් වඳ කිරීම සදාචාරමය සමාජ වගකීමක් බවට පත් වෙලා තිබුන හැටිත් රෝගී වැඩිහිටියෝ තමුන් ඝාතනය කරන මෙන් ඉල්ලා හිටපු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා [“දෙවැනි ලියුම”, Unaddressed Letters,1904]. සෝලිනස්ට අනුව, ඉන්දියාවේ දෙගුරුන් නැසීම සිද්ධ කෙරුනේ ධාර්මික අරමුනින්. ප්ලෙහානොව්ගේ දීර්ඝ මූලාශ්‍ර ලැයිස්තුවට මම සෝලිනස්ගේ නමත් එකතු කරනවා. මේ තලෛයිකූතාල් සිරිත තමිල්නාඩුවේ දැනුත් ඉඳහිට ක්‍රියාත්මක වෙනවා. හැබැයි, සංගම් යුගයේ වගේ නෙවෙයි, අද මේක කෙරෙන්නේ හොර රහසේ, නීති විරෝධීව, ඉක්මනින් දේපල අයිති කර ගන්නා අදහසින්!
ඊලඟට, අපිට හමු වෙනවා චීන පැවිද්දෝ තුන් දෙන්නෙක්: ෆාහියන්, සුවංසෑං සහ යී-ජිං. හැට හැවිරිදි ෆාහියන් ඉන්දියාවට ආවේ විනය පිටකය හොයාගෙන. අතරමග දී, ගමන් සගයෙක් තෙහෙට්ටුවෙන් මැරෙනවා. නමුත්, ඔහු ආපහු හැරෙන්නේ නෑ. අවුරුදු දහයක් ඉන්දියාවේ ගත කරලා ලංකාවට ආවා ම චීන වටාපතක් දැකලා ඔහුට ඇඬෙනවා. ආපහු යන මූදු ගමනේ දී, ඔහු දරුනු කුනාටු දෙකකට මැදි වෙනවා. ෆාහියන්ගේ හොඳ ම සටහන හැටියට මම දකින්නේ පාඨලීපුත්‍ර නුවර අසෝකාගේ සුවිසාල මාලිගාව ගැන කරන විග්‍රහය යි [A Record of Buddhistic Kingdoms,04 සියවස]:
බූගන ව ද?
තැනුවේ සිලා බිත
සිලිටි සෙල්කම
හැකි ද? මනු අතකට
අද නටබුන් හැටියට පවතින, හෙලනික ආභාසය සහිත මේ මාලිගාව තමයි, ඉන්දියාවේ මුල් ම ගල්පාය. මිනිසුන්ගේ ඔලුගෙඩි මත උකු ලෝදිය හලපු අසෝකාගේ වධකාගාරය හෙලා දකින්නත් ෆාහියන් පහුබට වෙන්නෙ නෑ. සුවංසෑං ඉන්දියාවට එන්නේ ටැං රාජාන්ඩුවේ තහනම් නියෝගය නොතකා. අවුරුදු දාහතක් තිස්සේ ඔහු ඉන්දියාවේ සැරිසැරුවා. දෙපාරක් මංකොල්ලකරුවන්ට අහු වුනා. අවුරුදු පහක් නාලන්දා පිරිවෙනේ ගත කරපු සුවංසෑං ඒ විශාල සරසවිය වර්නනා කරන්නේ මෙහෙම [Great Tang Records on the Western Regions, ක්‍රි.ව. 646](
සදිසි ගිරි හිස්
වලාකැටි ඉහලින්
නිල’ඹර සිඹිත්
අට්ටසාලා කොත්
මේ ශාලා අටෙන් තුනක් ම පොත්ගුල්. රත්න සාගර නමින් ඇඳින්වුන ප්‍රධාන පුස්තකාලය තට්ටු නවයක් උස බව ටිබෙට් ඉතිහාසඥ තාරානාථ කියනවා [History of Buddhism in India, 1608]: පුරාන ඉන්දියාව ශාස්ත්‍ර අධ්‍යයනයට දීලා තිබුන තැන මේකෙන් පැහැදිලි යි. සුවංසෑං දකුනු ඉන්දියාවට එනකොට ඔහුගේ සම්ප්‍රාප්තිය ගෞරවයක් හැටියට සලකලා හින්දු රාජා දෙවැනි නන්දිවර්මන් ඔහුගේ පිලිරුවක් තැනෙව්වා වැලිගලෙන්. පහුකාලීන චෝල රජවරු පවා මේක විනාශ කෙරුවේ නෑ. කාංචිපුරම් නුවර වයිකුන්ත පෙරුමාල් කෝවිලේ බිත්තියක මේ පිලිරුව අදත් දැක ගන්න පුලුවන්. නාලන්දාවේ අධ්‍යාපනය හදාරපු යී-ජිං සියවස් කාර්තුවක් ඉන්දියාවේ ගත කරනවා. ඉන්දියාවත් චීනයත් අතර පැවතුන මිත්‍ර සන්ථවය යනයන හැම තැනක දී ම ඔහු දැක්කා [A Record of the Buddhist Religions as Practiced in India and the Malay Archipelago, ක්‍රි.ව. 695].ත අද මොකද වෙලා තියෙන්නේ? කවුද ඒකට වග කියන්න ඕනැ? චීන භික්ශූන්ගේ පර්යටන සටහන් මධ්‍යතන යුගයේ බෞද්ධ ඉන්දියාව ගැන ඉතා වටිනා මූලාශ්‍ර. නූතන මිනුම් දඬු අනුව, ඒවායේ රචනා ශෛලිය රසබර නෑ. ඔවුන්ගේ අරමුන වුනේ ආගමික තතු වාර්තා කිරීම මිසක් චිත්තාකර්ශනීය සැරුම්ලකර සම්පාදනය කිරීම නෙවෙයි.
ක්‍රිස්තියානි තාපසයෙක් බවට හැරුන ඊජිප්තු වෙලෙන්දා කොස්මාස් කීප වතාවක් ඉන්දියාවට ආපු නිසා ‘ඉන්ඩිකොප්ලෙවුස්ටස්’ හෙවත් ඉන්දු යාත්‍රික කියන වාසගම ඔහුගේ නමට ඈඳුනා. මලබාරයේ සිරියානු ක්‍රිස්තියානි ප්‍රජාව ගැන මුල් වරට සඳහන් වෙන්නේ ඔහු ලියපු කිතුනු බිම් බෙදුම පොතේ. කොස්මාස් ලංකාවටත් ආවා. මලබාරයෙන් සංක්‍රමනය වුන පර්සියානු ප්‍රජාව සඳහා තැප්‍රොබේනයේ නෙස්ටෝරියානු පල්ලියක් තියෙන බව ඔහු කියනවා [Christian Topography, ක්‍රි.ව. 547-550]. අපේ වංසකතාවල මේ තොරතුර නෑ. 1912 කැනීම්වල දී හම්බ වුන “අනුරාධපුර කුරුසියෙන්” ඒක සත්‍යයක් බව තහවුරු වුනා.

දසවෙනි සියවස මුල දී, “අරාබි හෙරඩෝටස්” හෙවත් අල්-මසූඩිගෙන් පටන් ගත්තා ම මුස්ලිම් ගමිකයෝ කීපදෙනෙක් ඉන්දියාව ගැන අගනා සැරුම්ලකර ලිව්වා. ඒ අතරින්, ඉන්දුවේදයේ පීතෘ අල්-බිරූනි ඉතා වැදගත්. ඔහු භාරත ගනිතයත් නක්ශත්‍රයත් අරාබි ලෝකයට අඳුන්වා දුන්නා [Alberuni’s India, ක්‍රි.ව. 1030]; බ්‍රහ්මගුප්ත සිද්ධාන්ත සහ පතංජලීගේ යෝග සූත්‍ර පර්සියානු බසට පරිවර්තනය කෙරුවා. දිල්ලි සුල්තාන්ගේ මිලිටරි ජනරාල් නාලන්දාවට එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරය හැබැහින් දැකපු එක ම සාක්ශිය පර්සියානු ඉතිහාසඥ මිනාජ් අල්-සිරාජ්ගේ නසීර් පරපුර [Tabaqat-I Nasiri, ක්‍රි.ව. 1260]. පැවිද්දෝ රාශියක් පනපිටින් ගිනිබත් වුන බවත් කඳු මතින් ගලා හැලෙන ඝන මීදුමක් වගේ පොත්පත් දැවිදැවී නැඟෙන දුමාරය සති ගනන් පැවතුන බවත් ඔහු කියනවා.
මතු සම්බන්ධ යි

දර්ශන මේදිස්-Darshana Medis
(අක්ශර වින්‍යාසය දේශකයාගේ අභිමතය පරිදි ය.)





