“ලිලිත්ව” මට මුණගැහෙන්නෙ සුමුදු ගුරුගේ සහෝදරයා පහුගිය වසරෙ ප්‍රකාශයට පත් කළ “The bible of male inferiority” කියන පර්යේෂණ කෘතියෙන්…

“ලිලිත්ලා” කෙටිකතා සංග්‍රහයේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා ගයනි ගුරුගේ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ගයනි ගුරුගේ -Gayani Guruge

ප්‍රශ්නය : ඉදිරියේදී ජනගත කිරීමට නියමිත ‘ලිලිත්ලා’ කෙටිකතා සංග්‍රහය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ හැකිද?

පිළිතුර : ‘ලිලිත්ලා’ පොතේ  සහ ඒ කෙටිකතාවේ නාමකරණයට බලපෑ හේතුවෙන්ම මම පොත ගැන හැඳින්වීම ආරම්භ කරන්නම්. ලිලිත්ව මට මුණගැහෙන්නෙ සුමුදු ගුරුගේ සහෝදරයා පහුගිය වසරෙ ප්‍රකාශයට පත් කළ The Bible of Male Inferiority කියන පර්යේෂණ කෘතියෙ පළමු පරිච්ඡේදයෙන්. ඇය ගැන වැඩිදුර හොයන්න මං පෙළැඹෙන්නෙ ඒ පරිච්ඡේදය කියවගෙන යද්දි. ඒ සෙවීම් අතරෙ මට හමුවුණු, ලෝකයේ ප්‍රථම ස්ත්‍රී චරිතය ලෙස පුරාවෘතගත වුණු ලිලිත් ගැන මං වඩාත් සංවේදී වෙනවා. (ඒ කියන්නෙ ඈ ගැන හොයාබලද්දි මට ඇඬෙනවා කියලා නෙවෙයි.) ඒ සංවේදීතාවය නිසා තමයි මගේ එක කෙටිකතාවක සම්මුඛ සාකච්ඡාවකට මං ඇයට ආරාධනා කරන්නෙ. එතැනදි ඒ සාකච්ඡාව මෙහෙයවන්නෙ, ඓතිහාසික පුරාවෘතවලින් ලංකාවෙ ප්‍රථම ස්ත්‍රී චරිතය විදියට අපි හඳුනන කුවේණි.

‘ලිලිත්ලා’  කෙටිකතාවට අමතරව මගෙ මේ කෙටිකතා සංග්‍රහයෙ තව කතා හතක් ඇතුළත් වෙනවා. ඒවායෙන් බහුතරයක් මං ලියන්නෙ, ඒ තෝරගත්තු ප්‍රධාන චරිත මට ආරෝපණය කරගෙන. ඒකට හේතුව මං කියන්නම්. මට හිතෙන හැටියට අපිට අපේ මේ මසැසට පේන සීමාව හරිම පැතලියි. නමුත් අපේ මනැසට එබුණාම අපිට පුළුවන් අපේ අභ්‍යන්තරයෙ ක්ෂුද්‍ර නමුත් විශ්වීය අවකාශයක් බහුමානීයව දැකගන්න. ඉතිං මං වැඩිපුරම කැමති මනැසට පේන සීමාකාරී භෞතික පරිසරයක් දැකීම සහ ඒ පරිසරය තුල සැරිසැරීමට වඩා චිත්තාභ්‍යන්තරයෙ ස්වභාවය දකින්න, ඒ ස්වභාවයත් එක්ක ගනුදෙනු කරන්න.

ඔය කියන විදියට මගෙ ලිවීම් දිහා බලද්දි, මගෙ ‘පලා යමි – එන්න එළියට’ නවකතාවෙත් මේ කෙටිකතා සංග්‍රහයෙත් මං භාවිතා කරලා තියෙන ලේඛන ශෛලියෙ සහ අන්තර්ගතයෙ අතිපිහිතවීම් මුණගැහෙනවාද කියලා කෙනෙකුට හිතෙන්න බැරි නෑ. රටාවෙ යම්කිසි සමානතාවයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට පොත් දෙක එකම ලිඳකින් ගත්තු වතුර බාල්දි දෙකක් විදියට දැනෙන්න විදියක් නෑ. නමුත් මේ ලියැවිලිවලින් එක්තරා සමාන අරමුණක් පේන්න පුළුවන්. ඒ අපි මේ ලෝකෙ දකින සහ දැකිය යුතු විදිය මොන වගේද, එකිනෙකා තම තමාට සාපේක්ෂකව ලෝකෙ දිහා බලද්දි ඒ එක් එක් පුද්ගලයින්ට මොන තරම් වෙන වෙනස් විදිවලටද ලෝකය පේන්නෙ කියන කාරණාව තමයි මගෙ ලිවීම තුලින් හොයාගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් ‘ලිලිත්ලා’ කෙටිකතා සංග්‍රහය ඔය කියන කෝණයෙන්, ඔය කියන මානයෙන් මට පේන, මම දකින අවකාශයක් තමයි අකුරු සහ වචනවලින් මං ඉදිරිපත් කරලා තියෙන්නෙ.

ප්‍රශ්නය : ඔබගේ පෙර ප්‍රකාශිත කෘති සම්බන්ධව විස්තර කළොත්?

පිළිතුර: මගේ ලිවීම ඇරඹෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ළමා කතන්දර පොත් සිංහලයට ගෙන එමින්. රුසියානු ළමා ප්‍රබන්ධකරණයේ නොමැකෙන සළකුණක් තැබූ නිකොලායි නෙසොව් ලේඛකයාගෙ The adventures of Dunno and his friends කියන, මතුපිටින් හාස්‍යජනක, නමුත් ගැඹුරු තේරුම් සහිත ළමා නවකතාව තමයි ‘මල් නගරයේ පොඩ්ඩෝ’ නමින් සිංහලයට නැඟෙන්නෙ.

ඒ ගැන මට තව ටිකක් කියන්න දෙන්න. ඔය ඉංග්‍රීසි නවකතා පොත මමත්, මගෙ පුතාත් එක්ව රසවිඳි එකක්. ඒ කාලෙ පුතා පුංචියි. එයා ඒ පොත කියවමින් හිනාවෙන, සතුටුවෙන විදිය දැක්කාම මට දැනුණ දෙයක් තමයි ඉංග්‍රීසි පොත් පරිහරණය නොකරන අපේ දරුවන්ට මේ ලෝකෙ තියෙන රසමුසු පොතපත මුණ නොගැහීම අපරාධයක් කියලා. ඒ නිසාමයි මං ලේඛනයට පිවිසෙන්නෙ. 2018දි මගෙ මුල්ම පරිවර්තිත ළමා නවකතා දෙක ‘මල් නගරයේ පොඩ්ඩෝ’ සහ ‘සතුටු පවුල’ (The jolly family by Nikolai Nosov) අපේ දරුවන් අතට පත් වෙනවා.

එතැනින් එහාට පොඩි නිහඬ කාලයකට පස්සෙ 2024දි මගෙ පොත් කීපයක් එකවර ප්‍රකාශයට පත් වෙනවා පුදුම ලන්තෑරුම (එල්. වොරොන්කෝවා), තර තුන්කට්ටුව (යූරි ඔලේෂා), නගරයෙන් ආ දැරිය (එල්. වොරොන්කෝවා), ලයන්හාට් සහෝදරයෝ (ඇස්ට්‍රිඩ් ලින්ග්‍රෙන්) කියන ළමා නවකතා විදියට.

ඊට අමතරව පහුගිය වසරේම වැඩිහිටියන් වෙනුවෙන් කැලෑ මල සහ තවත් කතා නමින් කෙටිකතා පොතක් (ඉන්දියානු ලේඛක ලේඛිකාවන් කීපදෙනෙකුගෙ කෙටිකතා ඇතුළත්) සහ බන්කිම් චන්ද්‍ර චැටර්ජි කියන ඉන්දියානු ලේඛකයාගෙ (ඉන්දියානු ලේඛකයෙක් ඉංග්‍රීසි බසින් ලියූ ප්‍රථම නවකතාව – Rajmohan’s wife – 1864- ) ‘මාතංගිනී – රාජ්මෝහන්ගේ බිරිඳ’ නමින් නවකතාවක් ප්‍රකාශයට පත් කළා.

වැගබොන්ඩියක් නමින්  ප්‍රකාශයට පත් වුණේ කාව්‍ය සංග්‍රහයක්. ඊට අමතරව මගේ මුල්ම ස්වතන්ත්‍ර නවකතාව පලා යමි – එන්න එළියට ප්‍රකාශයට පත් වුණේත් පහුගිය වසරේ.

මේ වසරේ දැනට කාමරකාරියෝ (උර්සුලා නෝඩ්ස්ට්‍රොම්), කතන්දරකාරයෝ (නිකොලායි නොසොව්), කිඹුල් ජීනි සහ මිතුරෝ (එඩ්වඩ් උස්පෙන්ස්කි) කියන ළමා නවකතා කීපය ප්‍රකාශයට පත් වෙලාතියනවා​.

අඹ පාරේ ගෙදර (සැන්ඩ්‍රා සිස්නෙරොස්) ස්ත්‍රීවාදී ඇමෙරිකානු නවකතාව මේ වසරේ ප්‍රකාශයට පත් වූ පොත් අතරේ තියෙනවා.

ආතම්මගෙ කුස්සිය නමින් ස්වතන්ත්‍ර ළමා කතාවකුත් ප්‍රකාශයට පත් වුණා. ඒ කතාව වචනයක් ගානෙ කියවලා, රසවිඳලා, කතාවෙ තිබුණු තොරතුරු හරි ලස්සනට චිත්‍රයට නැඟුවෙ විහංගි ලසන්යා විජේනායක කියන පුංචි චිත්‍ර ශිල්පිනිය. ඇය පාසැලේ හතර වසරෙ ඉගෙන ගන්නා කාලෙදියි මේ පොතේ චිත්‍ර ඇන්දෙ. ‘ආතම්මාගෙ කුස්සිය’ ගැන අපිට එළැඹෙන හය වෙනිදා වැඩිදුර කතා කරන්න පුළුවන්.

ලිලිත්ලා කෙටිකතා සංග්‍රහය ඉදිරියේදි ප්‍රකාශයට පත් වෙනවා.

ප්‍රශ්නය : මෙම කෘති සඳහා ඔබට හිමිවූ සම්මාන පිළිබඳව කෙටි විස්තරයක් ලබා දිය හැකිද?

පිළිතුර: ඔවු. මගෙ මුල්ම නවකතාව, ‘පලා යමි එන්න එළියට’ 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාග අවසන් වටයට නිර්දේශ වුණා. ඊළඟට, ඒ නවකතාව මේ වසරෙ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහාත් නිර්දේශ වුණා.

ඒ අතර පහුගිය වසරෙ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ  ජාතික සාහිත්‍ය උලෙළට අදාල ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටම්වලින් මගේ ‘කලුසිගෙ සවාරිය’ ළමා කතාවට ප්‍රථම ස්ථාන හිමි වුණා. ඒ කතන්දරය ජාතික මට්ටමේ දෙවැනි ස්ථානය ලබා ගත්තා.

වැගබොන්ඩියක් කාව්‍ය සංග්‍රහයට 2025 ‘සබුද්ධියන් කාව්‍ය රන් සම්මානය’ හිමි වුණා.

මේ වසරෙ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සාහිත්‍ය උලෙළට සිංහල මාධ්‍යයෙන්  මා ඉදිරිපත් කළ ‘ඉර ලෝකෙන් තෑග්ගක්’ ළමා කතන්දරය සහ ‘The sun’s surprise’ ඉංග්‍රීසි ළමා කතන්දරය ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රථම ස්ථාන දිනා ගත්තා. එහි දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ප්‍රතිඵල තවම නිකුත් වී නැහැ.

ප්‍රශ්නය : 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වීම ඔබගේ සාහිත්‍යමය ගමනට ඇති වැදගත්කම පිළිබඳව ඔබ කෙසේ සිතන්නේද?

පිළිතුර: ‘පලා යමි එන්න එළියට’ මගේ මුල්ම ස්වතන්ත්‍ර නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වීම මගේ ජීවිතයට හැරවුම් ලක්ෂ්‍යයක් වුණා කියන්න පුළුවන්. මොකද මුල්ම ස්වතන්ත්‍ර නවකතාවට එවැනි ඇගයීමක් ලැබීම නවක ලේඛිකාවක් විදියට මට ලැබුණු ඉතා විශාල වටිනාකමක්. ඒ වගේම, ඒ නවකතාව පහුගිය වසරෙ විදර්ශන සාහිත්‍ය ත්‍යාග සඳහා නිර්දේශ වීමත් මට ගෙනාවෙ එවැනිම හැඟීමක්. ඒ ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් මට තියෙනවා. ඒත් ඒ පසුපස්සෙන් එන්නෙ මට මා එක්කම තියෙන අභියෝගයක්. පලා යමි එන්න එළියට නවකතාව මම ලීවෙ කෙටි කාලයක් තුල, ඉතා ඉක්මනින්. ඒත් දෙවැනුවට නවකතාවක් ලියද්දි මට ඒ තරම් ඉක්මනින් සහ සැහැල්ලුවකින් ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඉතිං ඒ නිර්දේශ වීම ලිවීමට උද්දීපනයක් සහ උද්යෝගයක් තමයි, ඒත් ඒ පසුපස්සෙන්  බරක් ගැටගැහිලා තියෙනවා.

ප්‍රශ්නය : වර්තමාන සාහිත්‍ය නිර්මාණ ගැන ඔබේ ඇගයීම කෙබඳුද?

පිළිතුර: මම ලේඛනයට අවතීර්ණ වෙලා වැඩි කාලයක් ගත වෙලා නෑ. ඉතින් නවක ලේඛිකාවක් විදියට මං හිතන්නෙ, මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න නම් මම තව වැඩ ගොඩක් කරලා ඉන්න ඕන කියලයි.

ප්‍රශ්නය : ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට සුවිශාල දායකත්වයක් ලබා දී ඇති ලේඛිකාවක් ලෙස, ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳව විස්තර කළොත්?

පිළිතුර: මං මුලිනුත් කීවා වගේ, මම ලේඛනයට පිවිසිලා වැඩි කාලයක් ගත වෙලා නෑ. මේ වසර කීපය තුල මම වඩා වැඩි අවධානයක් යොමු කළේ විදෙස් ළමා කතන්දර සිංහලයට පරිවර්තනය කිරීමට. ඊළඟට මගේ වැඩි නැඹුරුවක් තියෙන්නෙ ස්ත්‍රී පුරුෂ සමානභාවය පිළිබඳව කතා කෙරෙන මාතෘකා සහිත කතා පරිවර්තනයට. ඉතින්, දැනට එවැනි පරිවර්තන කීපයක් ප්‍රකාශයට පත් කරන්න තමයි මම සූදානමින් ඉන්නෙ.

ඉන් එහාට උදාවෙන ඉදිරියකදිත් මගේ අවධානය මේ අංශවලට වැඩිපුර යොමුවෙලා තියේවිද කියන්න මං දන්නෙ නෑ. අපේ අවධානය යොමු වෙන්නෙ අපි අවට පරිසරයෙ තියෙන දේවලට නෙ. බාගදා පරිසරය වෙනස් වෙනකොට අපේ අවධානය ඒ වෙනස් පරිසරවල  තියෙන වෙන වෙනස් දේවල් දිහාට යොමු වේවි.

ඇමෙරිකානු ලේඛිකා චාර්ලට් පර්කින්ස් ගිල්මන් ලියූ The yallow wallpaper නම් ස්ත්‍රීවාදී ඇමෙරිකානු කෙටි නවකතාව ‘පඬු බිතු විනිවිද’ නමින් අද හෙටම ඔබ අතට පත්වෙනවා. ඊට අමතරව ඉන්දියානු ලේඛක බන්කිම් චන්ද්‍ර චැටර්ජි ගෙ The poison tree  නම් නවකතාව ‘විස තුර’ නමින් ඔබ අතට පත්වීමට සූදානමින් ඉන්නවා. 

ඊළඟට මගේ ලැයිස්තුවෙ ලඟදීම ප්‍රකාශයට පත් වෙන්න නියමිත පොත් අතරෙ මී මැස්සෝ (නිකොලායි නොසොව්) ළමා නවකතාව, ඇමෙරිකානු ලේඛිකා සිල්වියා ප්ලාත් ලියූ ළමා කතාවක් ඇතුළු තවත් පරිවර්තන කීපයක් මුද්‍රණයට සූදානම් වෙමින් තියෙනවා.

ඒ අතරෙ පහුගිය වසරේ සහ මේ වසරේ ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික සාහිත්‍ය තරඟ සඳහා ඉදිරිපත් කළ (ජයග්‍රහණ ලබාගත්) සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ළමා කතන්දර පොත් තුනක් ඇතුළු තවත් ස්වතන්ත්‍ර ළමා කතා කීපයක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

ඊට අමතරව දැනට මා කැමති ශානරවලට අයත් පොත් කීපයක් පරිවර්තන ලැයිස්තුවට වෙලා ඉන්නවා, මම ඊළඟට කාවද තෝරගන්නෙ කියලා බලාගෙන. 

ප්‍රශ්නය : ලේඛනයේදී ඔබ දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයි?

පිළිතුර: දැනටමත් මේ නව තාක්ෂණික උපකරණ සහ අධ්‍යාපන රටාව එකතු වෙලා සාහිත්‍යයෙන් හරි හරියට  දරුවාව ඈත්කර දමලා ඉවරයි. ඉතින් ලේඛක ලේඛිකාවො මොන තරම් නවකතා, කෙටිකතා, පරිවර්තන කළා වුණත් තව අවුරුදු දහය පහළොවක් යද්දි අපි ලිවුව ඒ පොත් කියවන්න පාඨක පිරිසක් එකතු වෙන්නෙ නෑ.

ඒ එක්කම හුඟක් සාහිත්‍ය කෘතිවලින් මිනිස් හිතට කාවද්දන සහකම්පනය, සංවේදී බව පොත පත පරිශීලනය නොකරන දරුවෙකුට පිටතින් එන්නත් කරන්න අපිට බැහැනෙ. හොඳ අස්වැන්නක් දෙන වගාවක් බලාපොරොත්තුවන ගොවියෙක් මුලින්ම දිරිය ඇති තවානක් පිළියෙල කරන්නා වගේම, අනෙකා කෙරෙහි වඩාත් යහපත්ව සංවේදී වන සමාජක්  ගොඩ නඟන්න නම් අපි අපේ දරුවන්ගෙ හිත් මානුෂීය හැඟීම්වලින් පුරවන්න ඕන. ඒක පාඩම් පොතෙන්වත්, ස්මාර්ට් ෆෝන් එකෙන්වත් ලැබෙන්නෙ නෑ. සහෝදරත්වයෙන් සාමූහිකව ක්‍රියා කරන්න පොඩි කාලෙ ඉඳලා නොදන්න දරුවෙකුගෙන් ලොකු වුණාම යහපත් මානව අන්තර්සබඳතා පවත්වන්න පුළුවන් තරුණයෙක් /තරුණියක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ළමා සාහිත්‍ය පොතපත අතපත ගාන දරුවෙකුට ඔය කියන සාමුහිකත්වය, සහෝදරත්වය, එක්ව ගොඩනැගෙන විට තියෙන වාසි වගේ තවත් හුඟක් දේ දැන අඳුරගන්න ලැබෙනවා. මං ඒ කිවුවෙ මම පොඩි කාලෙ කියවපු පොත්වලිනුත්, මම පරිවර්තනය කළ සහ මගේම ළමා කතා පොත්වලිනුත් මට දැනුණු දේවල්.

තනියෙන් පාඩම් කරලා, කාටත් හොරෙන් ටියුෂන් පන්තිවලට ගිහින්, එහා පැත්තෙ යාලුවාට වඩා ළකුණු ගන්න උත්සාහ කරන අද කාලෙ දරුවන්ට ඉස්සර කාලෙ අඩු ළකුණු ගත්තු යාලුවෙකුට අනිත් යාලුවො සේරම එකතු වෙලා පාඩම් කියා දෙන ජාතියෙ දරුවො මුණගස්සන්න පුළුවන් වෙන්නෙ සාහිත්‍යය හරහා. ඒ වගේම තමයි, තමන්ගෙ දරුවා විතරක් සාහිත්‍ය එක්ක ගනුදෙනු කරන දරුවෙක් කරවලා ගුණ යහපත් දරුවෙක් ලෝකෙට මුදාහරින එක තේරුමක් නෑ කියලා දෙමවුපියන්ට කල්පනා වෙන්නෙ නෑ. ඔවුන් උත්සාහ කරන්නෙ තමන්ගෙ දරුවාට හොඳට උගන්වලා, ඉහළට යවලා, ඉහළ පෙළේ රස්සාවක් ලැබුණාම සතුටු වෙන්න. ඒත් අපිට එහෙම සතුටු වෙන්න බෑ කියලා ඒ දෙමවුපියන්ට තේරුම් යන්නෙ නෑ. අපි බය වෙන්න ඕන කාරණාව තමයි අපේ දරුවාගෙ පරම්පරාවෙ අනිත් දරුවො සහකම්පනය නාඳුනන, ආත්මාර්ථකාමී, අසංවේදී පිරිසක් වුණාම අපේ දරුවා විතරක් ගුණ යහපත් දරුවෙක් කරවපු එකේ තේරුමක් තියෙනවාද කියලා. අඩු තරමෙ අපි එහෙම හිතලා හරි සමස්ථ දරු පරපුර ගැන කල්පනා කරන්න ඕන. ඒ වගේ තරුණ පරම්පරාවක් අතරේ අපේ ජීවිතවල අවසාන කාලය ගත කරන්න වීම ගැනවත් අඩු තරමේ අපි බයට පත් වෙන්න ඕන. ඒ ආත්මාර්ථකාමී හැඟීමෙන් හරි අපි පරාර්ථකාමී වෙන්න ඕන. ලස්සන මානව සබඳතා පිරුණ අනාගතයක් ගොඩනඟන්න නම් ලස්සන දරු පරපුරක් හදන ඕනකම ඇතිකරගන්න ඕන.  ඔය කියන විදියට දරුවො කියන්නෙ අනාගතේ ජීවය නිසයි මං දරුවො ගැන වැඩිපුර අවධානය යොමු කරන්නෙ.

සාහිත්‍ය හරහා විතරක් නෙවෙයි මට දරුවො ගැන කල්පනා වෙන්නෙ. කොවිඩ් කාලෙ ගෙවල්වලට කොටුවෙලා හිටි, ආර්ථික ශක්තියක් නැති දරුවො (සහ ආර්ථික අපහසුතා නොතිබුණු,  නමුත් මානසික පහසුවක් උවමනා කළ දරුවො) වෙනුවෙන් අවුරුද්දක විතර කාලයක් මං නොමිලේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි පාඩම් කියා දෙන පොඩි මාර්ගගත වැඩක් කළා. අනුරාධපුර සහ අම්පාර ප්‍රදේශවල දරුවො පණහකට ආසන්න ගණනක් මං එක්ක සම්බන්ධ වුණා.ShambalaKids පාඩම් වලට අමතරව ඒ දරුවන්ව තවත් හුඟක් අමතර ක්‍රියාකාරකම්වවලටත් මම යොමු කළා. ඒ අතර සතිමත්බව පුහුණු කිරීම, ගෙවත්තක් නඩත්තු කිරීම, ඖෂධ පැල අධ්‍යයනය, කවි ගී නැටුම්, කතන්දර පොත් කියවීම, ගෙදර ආර්ථිකයට දායක වෙන්න උදවු දීම, කතා ලිවීම, චිත්‍ර ඇඳීම වගේ ව්‍යාපෘති ගණනාවකට ඒ දරුවන්ව සහභාගී කරගත්තා. (ඒ සඳහා රුෂිකා ගුරුගේ සහෝදරියත් සම්බන්ධ වීමට නියමිතව තිබුණා. නමුත් කොවිඩ් කාලය ඊට කලින් නිමා වුණා.) ඒ ක්‍රියාවලිය කිසිදු ආර්ථික ලාභයක් අපේක්ෂා නොකර, හුදෙක් මගේ මානසික සුවතාවය විතරක් බලාගෙන මම කළ වැඩක්. ඉතිං ලේඛනයේදිත්  දරුවන් ගැන මගේ වැඩි අවධානයක් යොමු වීම අරුමයක් නෙවෙයි.

ප්‍රශ්නය : අවසාන වශයෙන් ඔබ හා ලේඛිකා රුෂිකා ගුරුගේ එක්ව පවත්වන්නට සැලසුම් කර ඇති වලපනේ දරුවන් සඳහා වූ වැඩමුළුව පිලිබඳ කෙටි විස්තරයක් ලබා දිය හැකිද?

පිළිතුර: ඇත්තටම මේ වැඩමුළුවට මං සම්බන්ධ වෙන්නෙ අතරමඟදි. මුලින් කිවුවා වගේ දරුවන් වෙනුවෙන් යමක් කළ යුතු බව හිතලා වසර කීපයකට කලින් මම තැබුව පියවරක් තිබුණා. ලෝකයේ වෙන වෙනස් තැන්වල හිඳිමින්  වුණත් එකම අරමුණක් ඇති දිශාවකට පියවර තබන අය අතරමඟ කොතැනකදී හරි මුණගැහෙනවා. ඒ අතර එකම කලාපයක ජීවත්වන උදය ආර්. තෙන්නකෝන් සහෝදරයා සහ රුෂිකා ගුරුගේ මගෙ සහෝදරිය මේ වැඩමුළුව සංවිධානය කරමින් හිඳින අතරේදියි විහංගි ලසන්යා විජේනායක දියණියගෙ සිතුවමින් හැඩ වුණ මගේ ‘ආතම්මාගෙ කුස්සිය’ ළමා කතාව වලපනේ දරුවන් එක්ක බෙදාගන්න මට අවස්ථාව සැලසෙන්නෙ.

සාකල්‍යවිශ්වයට මොහොතක්‘ නමින් පුළුල් වැඩ පිළිවෙලක් හරහා දරුවන් අතරට යන්නටත්, දරුවන්ට වඩාත් ශක්තිමත්ව, නිර්මාණශීලීව සහ ඉතා විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ අනාගතය වෙත පිය නඟන්නට හැකි මාවතක් තනන්නටත් ගන්නා වෙනස් ආකාරයක උත්සාහයක් මේ.

සංවාද සටහන: සුභාෂ්

ලිලිත්ලා| Lilithla [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

More From Author

පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (පළමු කොටස)

වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348