නොවැම්බර් 03 වන දිනට යෙදෙන හෙළයේ මහානර්ඝ ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නමවන ගුණානුස්මරණය නිමිත්තෙනි.

තුමුල වාගැබ ගිගුම් දෙවමින මියුරු සත්සර නාද සුගැයිණ

බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ‘අමරදේව’ යන නාමය, එම නමින් ප්‍රචලිත පුද්ගලයාගේ කටහඬ මෙන් ම, හොඳින් දන්නා හඳුනන නාමයකි. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් යනු අපට මතක ඇති කාලයක පටන්, ශ්‍රී ලංකා සංගීතයේ සංකේතාත්මක හඬ සුගායනය වී ය. ඊට අමතරව ඔහු සංගීත නිර්මාපකයකු සහ වාද්‍ය ශිල්පියකු ලෙස අප හදවත් කුල්මත් කළ මියුරු නද මිහිරියාව ද වී ය. එසේ ම, ඔහු සිංහල සුභාවිත සංගීතයට නව ආරක සංගීත සම්ප්‍රදායක් බිහිකළ පුරෝගාමියා ද වේ.

ගෙවීගිය ඒ වසර නවය පුරා ම ඔහු නැති අඩුව අපි අත්විඳිමින් සිටිමු. තවත් චිරාත් කාලයක් යනතෙක් ඒ අඩුව සපුරන්නට හැකි එවන් කෘතහස්ත ගාන්ධර්වයකු අපට මුණ නොගැසෙනු ඇත. අප එසේ පවසන්නේ, එවන් උතුම් ගාන්ධර්වයකු බිහිවන්නට අවැසි විෂයමූල හා මනෝමූල තත්ත්වයන් අද්‍යතන සමාජ දේහය තුළින් දිනෙන්-දින ගිලිහී යමින් තිබෙන හෙයිනි.

මේ තත්ත්වය වඩාත් හොඳින් අපට අවබෝධ කොට ගත හැක්කේ අමරදේව සූරීන්ගේ නිර්මාණ දිවිය විකසිත වූ ඒ සමාජ වටපිටාව පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පමණි. අද අපට අත්විඳින්නට සිදුව තිබෙන හරසුන්, නිසරු සංගීත ආරකට වඩා සෑම අතින් ම උසස් සංගීතයක් රසවිඳින්නට එදා විසූ සරල ගතිපැවතුම්වලින් හෙබි ජනී ජනයාට අවස්ථාව ලැබුණු බව එකල ජීවත් වූ බොහෝදෙනකු දන්නා කරුණකි.

1927 දෙසැම්බර් මස 05 වැනි දින උපත ලද පළමු නමින් ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා නම් වූ අමරදේවයන්ගේ දිවිසැරියෙන් ම ඒ සඳහා ඕනෑතරම් උදාහරණ උපයා සපයා ගත හැකි ය. වඩුකාර්මිකයකු වූ තම පියා වෙත ප්‍රදේශයේ සංගීත ශිල්පීන් විසින් අලුත්වැඩියාව පිණිස ලබාදෙන ලද වයලීනවල තත් පිරිමැදීමෙන් ස්වෝත්සාහයෙන් සංගීත ශාස්ත්‍රයේ අත්පොත් තැබූ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත චාරිකාව පළමුවරට පෝෂණය වන්නේ, තම මව ගයන ක්‍රිස්තියානි ගීතිකා ඇසීමෙනි.

පණ්ඩිත් අමරදේවයන්ට උපතින් ම උරුමව තිබූ මධුර ස්වරය පන්සලේ දොරකඩ අස්න ගායනා කිරීමටත්, පල්ලියේ කැරොල් කණ්ඩායමේ කැරොල් ගී ගායනා කිරීමටත් මග පෑදුවේ ය. එසේ ම, කුඩා අමරදේවගේ රසාලිප්ත සිත රසාස්වාදයෙන් වඩ-වඩාත් අවදි කරන්නට කු.ජ. ප්‍රනාන්දු නමැති එතුමාගේ මුල් ගුරුවරයාත් හෙළ හවුලේ නිර්මාතෘ කුමාරතුංග මුණිදාසයනුත් බෙහෙවින් මහෝපකාරී වී තිබේ. බොහෝ සන්ධ්‍යා කාලවල තම මුල් ගුරුවරයා සමඟ කුමාරතුංග මුණිදාසයන්ගේ ‘හෙවණ’ නමැති නිවසේ ගත කරන කුඩා අමරදේවයන් ඔවුන් දෙදෙනාගේ අර්ථ රසයෙන් පිරි කතා බහ අසා සිටියේ ය. විටෙක ඔවුහු ගැයුමෙහි හපන් අමරදේවයන් ද සහභාගි කරගනිමින් කව් ගී ගායනා කළෝ ය.

එම මහානර්ඝ ඇසුර අමරදේවයන්ගේ රස මනස පුබුදු කළා පමණක් නොව, භාෂා ඥාණය ද දිනෙන්-දින වර්ධනය කළේ ය. සංගීත ඥාණයෙන් මෙන් ම, භාෂා ඥාණයෙන් ද පිරිපුන් විද්වතකු ලෙස තම දිවිසැරිය පුරා අනෙක් සියලු ගායනවේදීන්ට හා සංගීතවේදීන්ට වඩා ඉදිරියෙන් ම සිටින්නට එම ඇසුර සහ එම ඇසුරෙන් ලත් භාෂා ඥානය එතුමන්ට කෙතරම් මහෝපකාරී වී ද?

පණ්ඩිත් අමරදේවයන් උපත ලබන්නේ දුහුනකුගේ ප්‍රතිභාව දුටු තැන ඊට නිර්දය ලෙස පහරදෙමින් උපන්ගෙයි ම එය නසා දමනු වෙනුවට සෙනෙහසින් ගුරුහරුකම් දෙමින් එම ප්‍රතිභාව දිනෙන්-දින වැඩි වර්ධනය කරන්නට කැපවුණු වියතුන් විසූ යුගයක ය. ඇම්.ජී. පෙරේරා, ඩබ්ලිව්.ජී. ප්‍රනාන්දු, මුණිදාස කුමාරතුංග, මොහමඩ් ගවුස්, ලයනල් එදිරිසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ඩී.බී. ධනපාල යන දේශීය විද්වතුන් ඔවුන්ගෙන් සමහරෙකි.

සංගීතඥ ලයනල් එදිරිසිංහයන් සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පුරෝගාමීත්වයෙන් එවකට ලංකාදීප ප්‍රධාන කර්තෘ ඩී.බී. ධනපාල සූරීන් විසින් ‘ඇල්බට් පෙරේරා’ නමින් ආරම්භ කරන ලද අරමුදලට පින්සිදුවන්නට එතුමා ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨය වෙත ගියේ, ‘ඇල්බට් පෙරේරා’ යන නම වෙනුවට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ලබාදුන් ‘අමරදේව’ යන රමණීය නාමය ද රැගෙන ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයට ඇතුළත් වූ අමරදේවයන්ට ශ්‍රේෂ්ඨ සංගීතඥයන් රැසක් අතහිත දුන් අතර, ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලි ඛාන්, ජී.ඇන්. නාතු, විනායක් මුකුන්ද් ලෙලේ, කදම්බජී රංගරාවෝ යන සංගීතඥයෝ ඒ අතර ප්‍රධාන තැනක් ගනිති.

සාමාන්‍යයෙන් ගායකයකුට හෝ ගායිකාවකට චිත්‍රපට පසුබිම් ගායනා සඳහා වරම් ලැබෙන්නේ ඔහු හෝ ඇය ගායන ක්ෂෙත්‍රයේ නමක් හදාගැනීමෙන් පසුව ය. එහෙත්, පණ්ඩිත් අමරදේවයන් සංගීතඥයකු, ගායකයකු සහ නළුවකු ලෙස ක්ෂෙත්‍රයට පිවිසෙන්නේ ම සිනමාපටයකින් වීම විශේෂත්වයකි. ඒ, සිංහල සිනමා ඉතිහාසයේ දෙවන සිංහල සිනමාපටය ලෙස 1947 අප්‍රේල් 09 වැනි දින තිරගත වූ ‘අශෝකමාලා’ චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා, පසුබිම් ගායකයා සහ එහි ‘තාපසයා’ගේ චරිතය නිරූපනය කරමිනි. පණ්ඩිත් අමරදේවයන් ග්‍රැමෆෝන් තැටියකට තම පළමුග දායකත්වය සපයන්නේ යූ.ඩී. පෙරේරා විසින් රචිත ‘රසයි කිරි – නෑ දියාරු’ ගීතය ගැයීමෙනි.

තරුණ අමරදේවයන්ගේ ගායන, වාදන හා සංගීත නිර්මාණ කුසලතා ක්ෂෙත්‍ර ගණනාවක් පුරා පැතිරගොස් තිබේ. වේදිකා නාට්‍ය සඳහා එතුමාගේ දායකත්වය වැඩි වශයෙන් ලබාගත්තේ මහාචාර්යග එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ වේදිකා නාට්‍යයට සංගීතය නිර්මාණය කරමින් ගීත ගායනයෙන් ද එක්වූ පණ්ඩිත් අමරදේවයන් ඉන්පසු සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මොලොව ආවා’, ‘වෙස්සන්තර’, ‘ලෝමහංස’ යන වේදකා නාට්‍යවලට ද සංගීතයෙන් දායක වූවේ ය.

චිත්‍රසේනයන්ගේ ‘චණ්ඩාලි’, ‘කරදිය’, ‘නල දමයන්ති’, ප්‍රේමකුමාරයන්ගේ ‘සැලළිහිණි සංදේශය’,‘තිත්ත බත’ සහ ශේෂා පළිහක්කාරගේ ‘පුෂ්ප ශෘංගාර’ යන මුද්‍රා නාට්‍යවලට සංගීතය සැපයූ පණ්ඩිත්ගඅමරදේවයන් සිනමා කෘති සඳහා ගීත ගායනයෙන් සහ සංගීත නිර්මාණයෙන් දැක්වූ දායකත්වය ද සුළුපටු නොවේ.

කරදිය මුද්‍රා නාට්‍ය

මයික් විල්සන්ගේ ‘රන්මුතු දූව’, තිස්ස ලියනසූරියගේ ‘ගැටවරයෝ’ සහ ‘සාරවිට’, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’, ‘දෙලොවක් අතර’, ‘මඩොල්දූව’, ‘අක්කර පහ’, ‘රන්සළු’, ශේෂා පළිහක්කාරගේ ‘ලක්සෙට කොඩිය’, ආනන්ද ජයරත්නගේ ‘ආදරයයි කරුණාවයි’, සුනිල් ආරියරත්නයන්ගේ ‘කිඳුරු කුමාරි’ සහ ‘අහස් මාළිගා’, සුමිත්‍රා පීරිස්ගේ ‘සාගර ජලය’, විමල් වෛද්‍යසේකරගේ ‘තරංගා’, මහගම සේකරයන්ගේ ‘තුංමං හන්දිය’, එම්. මස්තාන්ගේ ‘අදට වැඩිය හෙට
හොඳයි’, ඩී.සී.ඇල්. අමරසිංහගේ ‘වෙසතුරු සිරිත’, රෙජී පෙරේරාගේ ‘සැඩොල් කඳුළු’ සහ එස්. රාමනාදන්ගේ ‘ළා දළු’ ඉන් සිනමා නිර්මාණ කිහිපයකි.
දේශීය සංගීතයේ පුරෝගාමියාග පනහේ දසකය අගබාගය වනවිට අප රටේ පැතිර යමින් තිබුණේ හින්දි, දමිළ සහ ඉංග්‍රීසි අනුකාරක සංගීතයකි. ඒ සියලු සංගීතාංගයන් ප්‍රතික්ෂේප කළ පණ්ඩිත් අමරදේවයන් එතුමාට පෙර පරපුරේ ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්තයන්ගේ නිර්මාණ පිළිබඳව සුවිශේෂ අවධානයකින්
කටයුතු කරන්නට වී ය. ‘සීගිරියේ සිතුවම් රමණී’, ‘පීනමුකෝ කළු ගඟේ’, ‘ශාන්ත මේ රෑ යාමේ’ වැනි මධුර ගීත රැසක් එතුමාතින් බිහිවූයේ එහි ප්‍රතිඵලය වශයෙනි.

දේශීය සංගීත මාර්ගයක් සකස්කර ගැනීමට නම්, භාරතීය සංගීතය මහා සම්ප්‍රදාය ලෙස ගෙන, ජන සංගීතය චූල සම්ප්‍රදාය සේ සලකා මහා සම්ප්‍රදාය ඇසුරින් චූල සම්ප්‍රදාය පෝෂණය කළයුතු යැයිග අමරදේවයන් විශ්වාස කළේ ය. එතුමාගේ විශ්වාසයන් යථාර්තයක් බවට පත්කරන්නට කලාකරුවන්ගේ ‘සොඳුරු නිවහන’ වූ එවකට තිබූ ගුවන්විදුලිය ලබාදුන් සහයෝගය සුළුපටු එකක් නොවේ. නව සංගීත රටා බිහිකරන්නටත්, සංගීත පර්යේෂණවල නියැලෙන්නටත් ඒ අනුව පණ්ඩිත් අමරදේවයන්ට අවස්ථාව ලැබිණි. අද ද අප ඉතාමත් ආසාවෙන් රසවිඳින සිංහල සුභාවිත ගීත රැසක් බිහිවූයේ, පණ්ඩිත් අමරදේවයන් නිෂ්පාදනය කළ ‘ජනගායනා’, ‘මධුවන්ති’, ‘විජයගීත’, ‘ස්වර්ණ වර්ණ’, ‘රස මියුරු’ යන ගුවන්විදුලි වැඩසටහන් තුළිනි.

සුමධුර සංගීත භාවිතයෙන් දේශ දේශාන්තරවල කීර්තියට පත් අමරදේවයන් ගරු බුහුමනට පාත්‍රවන්නේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයේ සංගීත ශිල්පය හදාරන අවදියේ දී ම ය. ගැයුමෙන්, වැයුමෙන් පමණක් නොව, ශිල්ප සංදර්ශන පෑමෙහි ද සුවිශේෂ සමත්කමක් දැක්වූ අමරදේවයන් සමස්ත ඉන්දීය වයලීන වාද්‍ය ශිල්පී තරගයෙන් ප්‍රථමස්ථානයත්, සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථයත් දිනාගන්නේ 1956 වසරේ දී ය. ඉන් අනතුරුව 1986 දී ‘කලාකීර්ති’ ගෞරව නාමයෙන් පිදුම් ලබන අමරදේවයන් විසින් ලියා පළ කරන ලද ‘නාද සිත්තම්’ නමැති සංගීත කෘතිය වෙනුවෙන් 1989 දී එතුමාට රාජ්‍ය සම්මානය හිමිවෙයි.

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨය සිය දීප්තිමත් ශිෂ්‍යයාට පිරිනමන ‘පණ්ඩිත්’ යන ගෞරව නාමය අමරදේවයන්ට පිරිනමන්නේ 1991 වර්ෂයේ දී ය. 1998 දී ‘දේශමාන්‍ය’ ගෞරව නාමයෙන් ද පිදුම් ලබන එතුමා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලය, 1993 දී රුහුණු විශ්වවිද්‍යාලය සහ 1998 පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිරිනැමූ ආචාර්ය උපාධි තුනකින් ද බුහුමනට පාත්‍රවෙයි.
ඉන් අනතුරුව, 2001 වර්ෂයේ දී පිලිපීනයේ ‘රමෝන් මැග්සෙයිසේ’ සම්මානය, 2002 දී ඉන්දියාවේ ‘පද්ම ශ්‍රී’ සම්මානය, 2017 වර්ෂයේ ‘ශ්‍රී ලංකාභිමානය’ ඇතුළු ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන ආදී සම්මාන රැසකින් පිදුම් ලැබූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් කලක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් ද කටයුතු කළේ ය.

අනතිමානී ගුණය හා වියත් බව එසේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වුව ද, සරල සුන්දර දිවිපෙවෙතක් ගතකළ පණ්ඩිත් අමරදේවයන් නිහතමානීත්වයේ ප්‍රතිමුර්තියක් බව පැවසුවහොත්, එය අතිශයෝක්තියක් නොවේ.

තමන්ගේ ගීත වෙනත් අය විකෘති කොට ගායනා කරනු අසා කෝපයෙන් පරළවන ගායක-ගායිකාවන් සිටින රටක ‘පෙරදිනයක මා පෙම්කළ යුවතිය රටකජු විකුණනවා’ යනුවෙන් විකෘති කොට ගැයෙන තම ගීතය ඉතා සැහැල්ලුවෙන් ගායනා කරමින් නෙක සභා මැද රසිකයන් රස ගන්වන්නට තරම් පණ්ඩිත් අමරදේවයන් නිහතමානී වූ අයුරු අප කොතෙකුත් දැක ඇත්තෙමු. එසේම, ගීත රචනා තෝරාගැනීමේ දී සහ යුග ගායනා සඳහා ගායිකාවන් තෝරාගැනීමේ දී ද ප්‍රවීණ, නවක භේදයකින් තොරව කටයුතු කිරීමට තරම් අනතිමානී ගුණයෙන් එතුමා පිරිපුන්ව සිටියේ ය.

දෙදහස් දහසයේ නොවැම්බර් 03 වන දින දැයෙන් සමුගන්නා තෙක් ම, සංගීතයෙන් පිරි ජීවිතයක් ගත කර අමරණීයත්වයට පත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් නිශ්සරණාධ්‍යාශයෙන් අප වෙත පිරි නැමූ රස මිහිර ලොව පවතින තාක් කල් රසික හදවත් නිවා සනසාලනු ඇත.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

More From Author

“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවෙන් කියවෙන්නේ, යළි පදිංචි කිරීම යනුවෙන් හඳුන්වමින්, පීඩිත ජන කොටස් අලි වලසුන් වෙසෙන අන්ත දුෂ්කර කැලෑබද ප්‍රදේශවල ගාල් කිරීම පිළිබඳවයි…

සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (අවසාන කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348