එරික් ඉලයප්ආරච්චි:
[කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරුණු “නුතන සිංහල ප්‍රබන්ධ කලාව” යන මැයෙන් පැවැති සමිමන්ත්‍රනයේදී ප්‍රවීණ සාහිත්‍යවේදී එරික් ඉලයප්ආරච්චි විසින් පවත්වන ලද දේශනයේ සම්පුර්ණ පිටපත.]
සාහිත්‍යය යනු කුමක් ද? සාහිත්‍යකරුවා යනු කවරෙක් ද? සාහිත්‍ය පරිමණ්ඩලයට කඩා වැදී නව සාහිත්‍යය නම් බුද්ධිමය හා භාවමය වෙළඳ භාණ්ඩය මේ යැයි වෙස් ගන්වා දහස් ගණනින් අලෙවි කර ගන්නා වියමනකට සාහිත්‍යය කෘතියක් විය හැකි ද? සාහිත්‍ය ධනවාදය සහ සාහිත්‍යය වෙළෙඳපළේ දී සාහිත්‍යය වෙළෙඳ භාණ්ඩයක් වීම අනිවාර්යක් වෙතත් එහි තැබෙන සියල්ල සාහිත්‍යය ද? කෙනෙකු ධනවාදය විසින් විවෘත කර දෙනු ලබන තෙල්, රෙදි, ධාන්‍ය, මෝටර්රථ, කොටස්, මූල්‍ය වැනි වෙනත් වෙළෙඳපළවල් කරා අවතීර්ණ නො වී හුදෙක් සාහිත්‍යය වෙළෙඳපළ තෝරා ගැනීම කොයි තරම් මානුෂික ද?
අද සාහිත්‍ය මානුෂිකත්වයේ වලංගු ප්‍රස්තුතය හා නිර්වචනය හුදෙක් පාරිභෝගික අර්චනයේ (fete of commodity) නිර්වචනය ද? රෙදි, ධාන්‍ය ආදි වෙනත් වෙළෙඳ භාණ්ඩවලින් මානුෂිකත්වය ඉවත් කරනු ලබන අනුපාතයට සාහිත්‍ය වෙළෙඳ භාණ්ඩයේ මානුෂිකත්වය ද ඉවත් කළ හැකි ද? එසේ සාහිත්‍යයෙන් මානුෂිකත්වය ඉවත් කළ හැකි ප්‍රමාණයට එහි පාරිභෝගික අර්චනය හෙවත් පාරිභෝගික භාණ්ඩයක් ලෙස පවත්නා ආකර්ෂණීය දීප්තිය වර්ධනය වන්නා වූ න්‍යාය ධර්මයක් පාරිභෝගික මනෝවිශ්ලේෂණය තුළ අද සක්‍රීය වෙමින් තිබෙන්නේ ද? කොළඹ පොත් ප්‍රදර්ශනයේ ඇති වන සාහිත්‍ය පෝලිම්වල මනෝලිංගික යථාර්ථය ලෙස පවතින්නේ ඒ මානසික සක්‍රීයත්වය ද?
අර්චනාත්මක වින්දනය 2 සිංහල ශාස්ත්‍රපති පාඨමාලාව 2024/2025 හිස්ටරික පාඨකයා වෙත ලබා දීමේ දී සාහිත්‍යයක් තමා තුළ ඇති කර ගන්නා රූපවිපර්යාසය, සාරය බාල කිරීම හා දූෂණය කුමක් ද?
යථෝක්ත අවසාන ප්‍රශ්නයට විනා අනෙක් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සාහිත්‍යයේ හෝ සාහිත්‍ය විචාරයේ වගකීමක් නොවන්නේ අප ද ධනවාදය තුළත්, ධනවාදී වෙළෙඳපළ තුළත් සිටින්නා වූ පාරිභෝගිකයන් වන නිසා ය. ධනවාදය තුළ දී එහි ඇඩම් ස්මිතියානු කොඳුනාරටිය වූ විවෘත වෙළෙඳපළ හා මිල න්‍යාය නිදහසේ පැවතීම අවිවාදිත බව පිළිගැනේ. ඒ අනුව මෙහි දී අපගේ අවධානය යොමු වන්නේ සිංහල සාහිත්‍යය තමා පිරිහෙළා ගන්නේ කෙසේ ද යන කාරණය වෙතට ය.

කෙනකු විෂය ක්ෂේත්‍රය අතින් කුඩා දෙයෙහි සාහිත්‍යකරුවකු වූවත්, මහා දෙයෙහි සාහිත්‍යකරුවකු වූවත් තමා සාහිත්‍ය කරගැනීමෙහි ලා වගකීමෙහි බැඳී සිටින්නෙකි. කෙනකු කතුවරයකු වන්නේ තමා සාහිත්‍ය කරගැනීමෙන් වන අතර එය පාඨකයා සම්බන්ධයෙන් ද වලංගු ය. සාහිත්‍ය පාඨක මහාත්මය බිහි වන්නේ එනයිනි.
තමා සාහිත්‍ය කර ගැනීමෙහි ලා කෙනකුගේ වගකීම පැහැදිලි කිරීමට නොබෙල් ත්‍යාගලාභී වී. එස්. නයිපොල් 2001 දී පවත්වන ලද නොබෙල් සාහිත්‍ය දේශනය සහ නොබෙල් සංග්‍රහ දේශනය උපුටමු.මුලින් දෙවැන්න;

මා ස්ටොක්හෝම් නගරයට එන විට මට යමක් සිදු වුණා. මගේ අත්ඔරලෝසුවේ පටිය කැඩුණා.අධියථාර්ථවාදී තප්පර කිහිපයක් පුරා මගේ ඔරලෝසුව ගුවන්යානයේ බිම වැටී තිබෙනු මම දුටිමි. ඊට යොදන්නට උපමාරූපක නැත. මෙන්න පටිය නැති ඔරලෝසුවක්!
එහි අරුත වූයේ කුමක් ද? එහි තිබූ අතිශය බියකරු සංකේතවාදය කුමක් වී ද? තිත්ත ඇත්ත වන්නේ මුළු නොබෙල් සතිය පුරා මා මගේ ඔරලෝසුව නැතිව සිටීමයිි.
ශ්‍රේෂ්ඨ සීසර් ඊජිප්තුවට පා තැබූ අවස්ථාවේ තෙත වෙරළේ මුනින්තලා වී ලිස්සා වැටුණේ ය. ඒ ශ්‍රේෂ්ඨ උපායෙහි දක්ෂ නරපතියා මෙසේ පවසන තුරු ඔහුගේ නිලධාරීන් තුළ පැවති තිගැස්ම ඔබට මවා ගත හැකි ය. ‘එම්බා අප්‍රිකාව, මා තී ලබා ගතිමි!’ ඉන් ශතවර්ෂ කිහිපයකට පසු ජූලියන් අධිරාජයා එක් උදයක සිය සෙබළු සමඟ පුහුණුවේ යෙදී සිටිය දී ඔහුගේ පලිහේ කවාකාර කොටස ගැලවී වීසි වී ගියේ ය. අතේ ඉතිරි වී තිබුණේ එය අල්ලා ගෙන සිටි හැඬලය පමණි. අධිරාජයා මෙසේ බෙරිහන් දෙන තුරු සෙස්සෝ තූෂ්ණීම්භූතව බලා සිටියහ. ‘මා සතු දෙය සන්තකය නො හැර මම තබා ගන්නෙමි.’ I will
keep what I have.
පටිය කැඩී තිබුණේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවකුගේ
අත්ඔරලෝසුවෙනි. ඔහු මුදල් ප්‍රශ්න මැද ජීවත් වුණු කැරිබියානු ට්‍රිනිඩෑඩ් – ඉන්දීය ඔක්ස්ෆර්ඩ් ලේඛකයකු නිසා එහි වූ
අධියථාර්ථවාදය හා සංකේතවාදය වැඩිදියුණු වන්නට ඇත. නොබෙල් ත්‍යාග දේශනයේ දී නයිපෝල් දීර්ඝ වශයෙන් ප්‍රංශ ලේඛක මාර්සෙල් පෲස්ට් උපුටමින් උත්සුක වුණේ ලේඛකයා
ලේඛකයකු ලෙස හා ලේඛකයා සමාජ -සත්වයකු ලෙස වෙනස් වන අයුරු පැහැදිලි කරන්නට ය.

මෙසේ දේශන කිරීම මට කළ හැකි සාමාන්‍ය දෙයක් නො වේ. මා කරන්නේ ප්‍රසිද්ධ කියවීම් විනා දේශන නො වේ. මගෙන් දේශන ඉල්ලා සිටින මිනිසුන්ට මා කියන්නේ මට දෙන්නට දේශන නැති බව ය. අවුරුදු පනහකට වැඩි කාලයක් වචන, හැඟීම් සහ අදහස් සමඟ කටයුතු කළ මිනිසකුට බෙදා ගන්නට, කියන්නට දෙයක් නැති වීම සමහර විට අමුතු දෙයක් වන්නට පුළුවන. නමුත් මා තුළ ඇති වටිනා සියල්ල තිබෙන්නේ මගේ පොත්වල ය. කිසියම් නිශ්චිත මොහොතක අතිරේක දෙයක් මා තුළ තිබේ නම් ඒවා සම්පූර්ණයෙන් සකස් නොවුණු ඒවා ය. මා ඒවා ගැන දන්නේ ද නැත. ඒවා බලා සිටින්නේ ඊළඟ පොත එන තුරු ය. ඒවා එනු ඇත්තේ – වාසනාව තිබේ නම් – සැබෑ ලිවීම සිදු වන විට දී ය. එය මා පුදුමයට පත් කරන්නේ ය. ලිවීමේ දී මාබලාපොරොත්තු වන්නේ ඒ විමතියයි. මා කරන්නේ කුමක් දැයි මා විනිශ්චය කරන්නා වූ මඟ එයයි. එය කවර දා වත් පහසු දෙයක් නො වේ.ලේඛකයා ලේඛකයකු ලෙස හා ලේඛකයා සමාජ සත්වයකු ලෙස වෙනස් වන අයුරු පෲස්ට් මහත් විනිවිද
දක්නා නුවණකින් පැහැදිලි කරයි. ඔහු මුල් කාලීනව පිරවූ කඩදාසිවලින් නැවත සකසා ඇති Against Sainte-Beuve කෘතියේ සමහර රචනාවල ඔහුගේ එම චින්තා ඔබට සොයා ගන්නට පුළුවන.
”දහනව වෙනි සියවසේ ප්‍රංශ විචාරකයකු ව සිටි Sainte Beuve විශ්වාස කළේ ලේඛකයකු අවබෝධ කර ගන්නට නම් ලේඛකයාගේ බාහිර මනුෂ්‍යයා පිළිබඳ හැකි තරම් දේවල්, ඔහුගේ ජීවිතය පිළිබඳ විස්තර දැන ගැනීම අවශ්‍ය වන බවයි.
එසේ නම් ලේඛකයකු තමා සාහිත්‍ය කරගැනීම වූ කලී ඔහුගේ ‘බාහිර මනුෂ්‍යයා’ සොයා යාම නොවන බව පැහැදිලි ය. එය ඔහුගේ විඥානය හා සාහිත්‍යය සමඟ ඇති ඔහුගේ ඥාතීත්වය පිළිබඳ කාරණයකි.
ලේඛකයා සාහිත්‍ය වෙළෙඳපළ වෙනුවෙන් තමා දූෂණය කර ගැනීම, පිරිහෙළා ගැනීම හා බාල කර ගැනීම හුදෙක් ඔහුගේ ‘බාහිර මනුෂ්‍යයා’ පිළිබඳ කාරණයක් නො ව ලේඛකයා ලෙස ජීවත් වන්නා වූ ‘අභ්‍යන්තර මනුෂ්‍යයා’ හා සාහිත්‍යය හා ඔහු අතර පවත්නා ඥාතීත්වය පිළිබඳ කාරණාවක් වන අතර එය වසල – සමපේක්ෂණවාදී – හෙට්ටුකාර – අපත – කූටඋපායික
අලුකුත්තේරු – කුට්ටානි වැනි නාමවිශේෂණ ඉල්ලා සිටින කටයුත්තක් බව නිසැක ය. මේ විවේචක න්‍යායික කටුක නාමකරණය හුදෙක් ලේඛකයාට පමණක් නො ව විචාරකයාට
හා පාඨකයාට ද අදාළ වේ.
ඇත්ත වශයෙන් ඒ ගැටලුවේ දී වඩාත් දුර්දාන්ත වන්නේ එවැනි කර්තව්‍ය සාධාරණීකරන්නන් ය. මුහුණපොතේ හමු වන එවැන්නවුන්ගේ ප්‍රවාදය වන්නේ ‘කෘතිය වෙනුවට බාහිර මනුෂ්‍යයා හෙවත් කර්තෘට පහර ගැසීම’ යන ප්‍රස්තූතයයි. එහෙත් සැබෑ සාහිත්‍ය කෘතියක අර්ථය අවබෝධ කරගැනීමේ දී ‘බාහිර මනුෂ්‍යයා’ වැදගත් නො වේ ය යන පෲස්ටියානු හා නයිපෝලියානු ප්‍රවාදය එහි දී අදාළ නොවන්නේ සාහිත්‍ය කෘතියක් රචනා කිරීම වෙනුවට ඊනියා ලේඛකයා සාහිත්‍යයෙන් රිංගා යමින් හුදෙක් සාහිත්‍ය වෙළෙඳපළ පමණක් අමතා තිබෙන බැවිනි.
ඊළඟට අප අවධානය යොමු වන්නේ එවැන්නන් නොවන සාහිත්‍යකරුවන් තමාගේ සාහිත්‍යය පිරිහෙළා ගන්නා වූ සමකාලීන ප්‍රයෝග අවබෝධ කරගැනීමට ය. පළමු කොට ම සාහිත්‍යකරුවකුගේ ආසාව හා අභිප්‍රාය වූ විශාල සමාජ චිත්‍රයට අත තැබීමේ උත්සාහයේ දී ‘පුද්ගලයා’ නමැති නවකතා ආඛ්‍යානවිද්‍යාවේ (Narratology) මූලිකාංගය අමතක කිරීම සිදු විය හැකි ය. බෝරිස් පාස්ටර්නාක්ගේ ‘ඩොක්ටර් ෂිවාගෝ’ හෝ සොල්සිනෙට්සින්ගේ ‘ගුලාග්’ නවකතා හෝ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති වන්නේ රුසියානු විප්ලවය හා එහි පශ්චාත් වකවානුවේ වේදනාත්මක පුද්ගල ජීවියා ඉතා මැනවින් නිරූපණය කිරීමෙහි දක්නා ලැබෙන විස්මයජනක හැකියාව නිසා ය. රුසියානු සාහිත්‍ය පිළිබඳ ඇමරිකානු ඉතිහාසඥ හා විචාරක රූෆස් ඩබ්ලියු. මැතිව්සන් මේ කාරණය මෙසේ ගෙනහැරපායි.

ජීවිතයෙහි සුවිශාලත්වය හා පූර්ණතාව අත්දකින විට පුද්ගලයා, එහි හෘදයාංගම සර්වබද්ධ භාවමිතිය (communion) දක්නේ – වෝල්ට් විට්මන් කවියාගේ
‘අනන්‍යතාවේ ගෙත්මට’ (knit of identity) ඥාතිකම පෙන්වමින් – සැබෑ සහ අන්තරස්ථ (true immanent being ) පැවැත්මෙන්, සාමාන්‍ය ජීවිතයේ, ගෘහයේ හා පවුලේ, මහමඟ ජවනිකාවන්ගේ, කාලගුණයේ හා සෘතු භේද චක්‍රයේ විස්තර ඉතා බොහෝ විට ප්‍රදර්ශනය කරයි.
1 Rufus W. Mathewson, Jr.,T Jr.,The Positive Hero of Russian Literature, Stanford University Press, 1975, p. 262
මැතිව්සන් මෙහි ලා අපට පෙන්වා දෙන්නේ මිනිස් ජීවිතයේ මේ දැන් මෙතැන වූ අත්‍යාසන්න උද්දීප්තිය සහ සුන්දරත්වය කාව්‍යයෙහි මෙන්, එනම් ගද්‍යයෙහි කාව්‍යය මෙන් ඉදිරිපත් කිරීමයි. ෂිවාගෝ චරිතයේ සංවේදී ස්වභාවය සිහිපත් කිරීම එහි ලා ප්‍රමාණවත් යැයි සිතමු. සමහර විට කතුවරයා දොස්තර යූරී ෂිවාගෝ කවියකු බවට පත් කරන්නේ විප්ලවයේ හා සමාජ කැලඹීමේ සුවිශාලත්වය මෙන් ම තත්කාලීන ඉතිහාසයේ හා රුසියානු භූමියේ දැවැන්තභාවය තුළ යටකී පුද්ගල චරිත පර්යාය විශද කරන්නට විය හැකි යැයි කල්පනා කිරීම සාධාරණ බව මෙවේලේ කල්පනා කරමු. ඒ වෙනුවට ඓතිහාසික ආලේඛ මැවීම හා නූතන ඉතිහාස පොත් පෙරළාගෙන, ලිත් ක්‍රමයට ඒවාට චරිත හා අවස්ථා වාත්තු කිරීම සාහිත්‍ය දූෂණයේ හා අවමානයේ පැහැදිලි සාක්ෂ්‍යයකි. මේ කාරණාව හා සම්බන්ධ තවත් දූෂණ මාර්ගයක් වන්නේ සමාජය හා පුද්ගලයා අතර ගැටලුවට පහසු විසඳුමක් මැජිකල් යථාර්ථවාදය ලෙස දෝෂ සහගත ව හැඳිනගන්නා මාර්ගය ඔස්සේ මැජික් විකාර රූප හා විකාර සහගත අවස්ථා මඟින් ඉදිරිපත් කිරීමයි.
එහි අවසාන ප්‍රතිඵලය ලේඛකයා සම්බන්ධයෙන් මෙන්ම පාඨකයා සම්බන්ධයෙන් ද අතිශයින් හානිකර වී තිබේ. ඇත්ත වශයෙන් ම ඒ මැජිකල් නිරූපණවල ප්‍රතිවිපාකය බවට පත් වී තිබෙන්නේ තදබල ආඛ්‍යානවිද්‍යා දෝෂ (narratological errors) පමණි. කතාව කියවාගෙන යාමේ දී මුහුණ දෙන එම දෝෂ නිසා අසරණ වන පාඨකයාට වියමනෙන් පිටත ලේඛකයාගේ බාහිර සහාය සොයන්නට සිදු වේ. එවිට පිළිතුර ලෙස ලැබෙනු ඇත්තේ මුලින් මැජිකල් රියලිසම් උගෙන නවකතාව කියවීමේ කර්තෘ ආඥාව විනා අන් කවරක් ද?

එරික් ඉලයප්ආරචිචි – Eric Illayapparachchi





