විද්‍යාත්මක නවෝත්පාදයන් පදනම් කර ගනිමින් ලියූ විද්‍යා ප්‍රබන්ධයක් – ‘ඉNස්ටා Age’

කෘතිය : ‘ඉNස්ටා Age’
කර්තෘ : සුජීවා හේමමාලි
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

විද්‍යා ප්‍රබන්ධ යනු විද්‍යාත්මක හෝ තාක්ෂණික නවෝත්පාදනයන් කතා වස්තුවේ, නිර්මාණයේ පසුබිමේ හෝ එහි තේමාවේ මූලික අංගයක් ලෙස භාවිත කරන, සමාජයට හෝ පුද්ගලයන්ට ඒවායින් බලපෑමක් සිදුවන ප්‍රබන්ධ ප්‍රභේදයක් ලෙස නිර්වචනය කළ හැකි ය. එවන් විද්‍යා ප්‍රබන්ධවලට කාල චාරිකාව, අභ්‍යවකාශය, පිටසක්වල ජීවීන්, උසස් තාක්ෂණය යනාදියේ මනඃකල්පිත අංග ඇතුළත් විය හැකි වුව ද, ඒ සියල්ල බොහෝ විට විද්‍යාත්මක මූලධර්ම මත පදනම් විය යුතු ය.

විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් ඉහත දැක්වූ කරුණුවලට අනුගතව ලියූ අපූරු විද්‍යා ප්‍රබන්ධයක් පසුගිය දා අප අත පත් වී ය. ඒ, සුජීවා හේමමාලී නම් නවක ලේඛිකාවගේ ‘ඉNස්ටා Age’ නම් විද්‍යා ප්‍රබන්ධය යි. සුජීවා හේමමාලී නවක ලේඛිකාවක වුව ද, ඇගේ මෙම විද්‍යා ප්‍රබන්ධය තුළ ආධුනිකත්වය ඉක්මවා ගිය ලක්ෂණ බොහොමයක් අපට දක්නට ලැබේ. එවන් පරිචයක් ලබන්නට ඇයට කරුණු කිහිපයක් ම බලපා ඇත.

ඉන් එකක් නම්, ඇය සිය පෙරවදනේ ද සඳහන් කරන ආකාරයට කුඩා කල සිට ම පොතපත කියවීමෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව ඇය ලබාගත් පරිචය යි. ප්‍රබන්ධය සඳහා සුදුසු අපූර්වත්වයෙන් යුත් තේමාවක් සහ ප්‍රස්තුතයක් තෝරා ගැනීමේ දී ත්, එහි කතා ශරීරය ගොඩ නංවාලීම සඳහා එකී වස්තුබීජය පරිකල්පනයට ලක්කිරීමේ දී ත් ඇය උපයා සපයා ගත් එම පරිචය ඇයට බෙහෙවින් උපස්ථම්භක වී තිබේ. එසේ ම, විද්‍යා ප්‍රබන්ධයක් රචනා කිරීම සඳහා අවැසි විද්‍යාත්මක දැනුම පාසල් අධ්‍යාපනයේ සිට වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනයේ දක්වාත්, ඉන් අනතුරුව වසර ගණනාවක් වෛද්‍යවරියක ලෙස සේවය කිරීමෙන් ලබාගත් විවිධාකාර අත්දැකීම් හරහාත් ඇයට නොඅඩුව ලැබී තිබේ.

‘ඉNස්ටා Age’විද්‍යා ප්‍රබන්ධය සඳහා සුජීවා හේමමාලී ලේඛිකාව තෝරාගෙන තිබෙන්නේ අතිශය විශ්වාසනීය තේමාවන් කිහිපයකි. ඉන් එකක් ග්‍රහලෝක තරණය යි. ග්‍රහලෝක තරණය යන්න විද්‍යා ප්‍රබන්ධ කියවන පාඨකයාට පමණක් නොව, ලෝ වාසී අප සියලුදෙනාට ම අරුමයක් නොවේ. එහෙත්, මේ වනවිට අඟහරු ග්‍රහයා මත ජනපදකරණය කිරීම දක්වා සාමාන්‍යකරණයට ලක්ව ඇති මෙම සුලබ තේමාවට අපූර්වත්වයන් එක් කිරීමට ලේඛිකාව සමත්ව තිබේ.

සුජීවා හේමමාලී

වර්තමානයේ ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමෙරිකානු ජාතික එලොන් මස්ක් ආරම්භ කර ඇති SpaceX ලෙස නම්කර ඇති අඟහරු වැඩසටහනේ අරමුණ වන්නේ ද මෙම ග්‍රහලෝක තරණය යි. සම්පූර්ණයෙන් ම නැවත භාවිත කළ හැකි Starship පද්ධතියක් භාවිත කරමින් අඟහරු මත ස්වයංපෝෂිත මානව ශිෂ්ටාචාරයක් ස්ථාපිත කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. මෙම සැලැස්මට භාණ්ඩ හා රොබෝවරුන් සහිත මිනිස් කාර්ය මණ්ඩලයක් නොමැති Starship පද්ධතියක් අඟහරු වෙත යැවීම ඇතුළත් වන අතර, මෙහි කාර්ය මණ්ඩලයක් නොමැති පළමු මෙහෙයුම 2026 දී දියත් කරන්නටත්, ඉන්පසු 2029 හෝ 2031 මුල් භාගයේ දී මිනිසුන්ගෙන් සමන්විත මෙහෙයුම් සිදු කරන්නටත් සැලසුම් කර තිබේ. මෙහි ප්‍රධාන පියවර අතරට Starship පද්ධති අඟහරු ග්‍රහයා මත විශ්වාසදායක ලෙස ගොඩබෑමත්, අඟහරු මත ඉන්ධන සහ බලශක්ති නිෂ්පාදනය ස්ථාපිත කිරීමත්, පළමුව කඳවුරක් නිර්මාණය කර අවසානයේ නගරයක් ගොඩනැගීම සඳහා ටොන් මිලියන ගණනක ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමත් ඇතුළත් වේ.

‘ඉNස්ටා Age’ විද්‍යා ප්‍රබන්ධය නිර්මාණය කිරීමේ දී එවන් නවීන විද්‍යාත්මක සැලසුම්වලින් ඇය ලබා ඇති ආභාසය මෙහි දී කැපී පෙනේ.

ඇය තෝරාගත් තවත් විශ්වාසනීය තේමාවක් වෙන්නේ මිනිසාගේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ විද්‍යාඥයන් සිදුකරමින් සිටින ක්‍රියාවලිය යි. එය ඉතා විශ්වාසනීය කරුණක් බවට පත්ව ඇත්තේ, මිනිස් ඉතිහාසය දෙස බලද්දී නවීන විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාගේ ආයු කාලය වැඩිකර ගැනීමට පසුගිය දශකගණනාවක් පුරා ඔවුන් අනවරත අරගලයක නියැලී සිටීන හෙයිනි. එහි ප්‍රතිඵලය ලෙස මිනිස් ආයු කාලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර, 1900 දී පමණ වසර 32 ක් පමණ වූ මිනිසාගේ ආයු කාලය 2021 වන විට වසර 70 ක් පමණ දක්වා වැඩි වී තිබේ. මෙම වර්ධනයට හේතු වී ඇත්තේ එන්නත් සහ සනීපාරක්ෂාව වැනි මහජන සෞඛ්‍ය දියුණුව නිසා ළමා මරණ විශාල ලෙස අඩු වීමත්, බෝවන හා නිදන්ගත රෝග සඳහා වන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර දියුණු වීමත් ය.

සුජීවා හේමමාලී ලේඛිකාව තම කෘතියේ ආරම්භයේ දී ම මේ සම්බන්ධ ඓතිහාසික අත්දැකීම් පෘථිවි මානව ජනාවාස බිහිවූ ප්‍රාථමික අවදිය දක්වා ගෙන යයි. එම යුගයේ පැවැති බවට අදටත් විශ්වාස කරන උසස් විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද අපට බැහැර කළ නොහැකි ය. ඒ, විද්‍යා ප්‍රබන්ධවල ඉතිහාසය ද ක්‍රි.පූ. 2150-2000 පැවැති සුමේරියානු යුගයෙන් ආරම්භ වී විද්‍යාත්මක විප්ලවය සහ තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතයේ ප්‍රධාන සොයාගැනීම්වලින් පසුව 17 වන සහ 19 වන සියවස් අතර කාලය තුළ වර්ධනය වූවා යැයි සැලකෙන බැවිනි.

ඒ සම්බන්ධ පුරාවෘත්තය ඇය තම පොතේ ‘පිවිසුම’ සඳහා නිර්මාණාත්මකව කැඳවා ගෙන තිබෙන්නේ මෙසේ ය.

‘පෘථිවි මානව ජනාවාස බිහිවූ ප්‍රාථමික අවදියේ දී පවා මමීකරණ ක්‍රියාවලියක් මගින් මළ සිරුරක් පිරමිඩ ඇතුළේ කල් තබා ගන්නා අයුරු ඔවුහු දැන සිටිය හ. ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු කෙමෙන් ඉදිරියට විකසනය කරමින් මමීකරණ ක්‍රියාවලිය සඳහා ඔවුන් විසින් විශේෂිත කුටි නිපදවන ලදි. මිය යන මොහොතේ සිරුරේ පවතින ඌෂ්ණත්වය, සෛලවල ස්වභාවය හා රුධිර සංඝටක ආදිය පවා කිසි ම වෙනස් වීමකට ලක් නොවී ස්ථායීව පවත්වා ගැනීමට හැකි ලෙස ඔවුහු එම කුටිවල තත්ත්වය දියුණු කළ හ. පසුව අසාධ්‍ය වූ ලෙඩුන් එවැනි කුටියකට ඇතුළු කර අවුරුදු ගණනාවක් නිද්‍රා ගත කර තබා ගැනීමට එකල විද්‍යාඥයෝ සමත් වූ හ. එම කුටිය තුළ ජීවීන් වයස්ගත නොවන ලෙස තබා ගැනීමට ඔවුන්ට හැකි වී ය. වැඩි දියුණු කරන ලද එම තාක්ෂණය ‘ඉන්ස්ටා ඒජ්’ ලෙස නම් කරන ලදී. ජීවීන්ගේ වයසට යෑම පාලනය කිරීමට ‘ඉන්ස්ටා ඒජ්’ තාක්ෂණයට හැකි වී ය.’

තම විද්‍යා ප්‍රබන්ධයට එසේ ආරම්භය ලබාගන්නා ඇය පෘථිවියේ ඌෂ්ණත්වය ඉහළ යෑම නිසා ‘පියෝනිය’ නමැති මිනිස් වාසයට සුදුසුතම ග්‍රහලෝකයක් සොයා ගන්නා මිනිසා ‘ඉන්ස්ටා ඒජ්’ තාක්ෂණය මගින් වයසට යෑම පාලනය කරන ලද මිනිස් නියැදියකින් එම ග්‍රහලෝකය මත ජනාවාස පිහිටුවීම ආරම්භ කරයි.

මෙම විද්‍යා ප්‍රබන්ධයේ කතා නායිකාව වන ‘ක්ලින්ඩා’ නම් යුවතියත්, කතා නායකයා වන ‘ශෙන් ඩියොන්’ නම් තරුණයාත් ‘ඉන්ස්ටා ඒජ්’ කුටි තුළ නිද්‍රාවට ලක් වෙමින් ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානයක නැගී පියෝනියට පැමිණි පිරිසට අයත් දෙදෙනකු වන අතර, පසුව ඔවුහු එහි පාලකයන් බවට ද පත්වෙති.

කතාව ආරම්භ වී ගලා යන්නේ ඔවුන් දෙදෙනාගේ පෙම් පුවතත් සමග ය. පියෝනියේ පවත්නා යම් යම් සුවිශේෂිත තත්ත්වයන් පිළිබඳව ඇය විස්තර කරන්නී එම පෙම් පුවත තුළ එන ශෘංගාරාත්මක දෙබස්වලින් සහ සිතිවිලිවලිනි. දෙදෙනකු අතර සිදුවන සංසර්ගයට පෙර ලිංගික රෝග සම්බන්ධයෙන් කළ යුතු පරීක්ෂණ කටයුතු ඔවුනොවුනට ස්වයංක්‍රීයව සිදුකර ගත හැකි දියුණු තාක්ෂණය ඉන් එකකි. ලිංගික එක්වීම සම්බන්ධයෙන් එහි පවත්නා නීතිය තුළ සියලුදෙනා අනිවාර්යයෙන් ම අවුරුදු පහළොව වන විට ඒ පිළිබඳව ඉගෙන ගෙන තිබිය යුතු ය. ඕනෑ ම අයකුට අවුරුදු දාහතෙන් පසු බලහත්කාරකමක් නොකර එම වයසින් ඔබ්බේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයකු හා එක් විය හැකි වුව ද, ඔහුගේ ලිංගික සහකාරිය කිසිවකුගේ භාර්යාවක් නො විය යුතු ය. ඒ අනුව, අවුරුදු දහ අට වන විට බොහෝ පෙම්වතුන් නිදහසේ ලිංගිකත්වය විඳීමට පටන් ගෙන තිබීම පියෝනියට අරුමයක් නොවේ. එය සාමාන්‍ය ශාරීරික ක්‍රියාවලියක් වන අතර, පියෝනියේ වැසියන් ඉතා ප්‍රීතිමත් හා සරල ජීවිත ගත කරන්නන් බැවින්, ඔවුන් වඩා නැඹුරු වූයේ ප්‍රේමය පළමු තැන තබා ගනිමින් ලිංගිකත්වය විඳීමට ය. ලිංගික සේවාවන් ලබා දීම සහ ලබා ගැනීම නීත්‍යනුකූල වන අතර, ඒ ඉල්ලුම හෝ සැපයුම සම්බන්ධ දත්ත සටහන් සෑම පුද්ගලයකුට ම අදාළ තොරතුරු සටහන්වල සටහන් විය හැකි දත්ත පද්ධතියක යාවත්කාලීන වේ.

තව ද, කෙනකු හිතන දේ ඒ ආකාරයෙන් ම අනෙකාට දැනවිය හැකි ‘මයින්ඩ් ලින්ක්’ නම් මනස සම්බන්ධ කරන උපකරණයක් පියෝනියේ ඇති බවත්, සාමාන්‍ය අයෙකුට එය පරිහරණය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත්, එය පාවිච්චි කළ හැක්කේ අපරාධ විද්‍යාව සම්බන්ධ කාරණා සහ යුද කටයුතුවල දී පමණක් බවත් ශෙන් ඩියොන් මගින් ලේඛිකාව අපට පැහැදිලි කරයි.

මේ ආකාරයට මෙම විද්‍යා ප්‍රබන්ධය තුළ අනාගත ලෝකයේ දී නිපද වේ යැයි විශ්වාස කරන තාක්ෂණික උපකරණ සහ දියුණු අවි ආයුධ වර්ග රැසක් පිළිබඳ අනාවැකි පළව තිබේ. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ බොහෝ නිර්මාණවල විද්‍යාත්මක පදනමක් මත පිහිටා ඔවුන් පළකරන අනාවැකි බොහෝ විට යථාර්ථයන් බවට පත්ව තිබේ. ඒ සම්බන්ධ හොඳ ම උදාහරණය අපට ලබා දී තිබෙන්නේ ලොව විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා ලෙස සැලකෙන ආතර් සී. ක්ලාක් ය. ඔහු සිය විද්‍යා ප්‍රබන්ධ මගින් පුරෝකථනය කළ බොහෝ අනාවැකි ඔහු අපේක්ෂා කළ කාල වකවානුවලටත් පෙර යථාර්ථයන් බවට පත් වූ බව අප දන්නා කරුණකි.

දැඩි පරිශ්‍රමයකින් තෝරාගත් දියුණු මිනිස් ප්‍රජාවකගෙන් පියෝනිය නම් නව ග්‍රහලෝකය ජනාවාසකරණය කළ ද, ඔවුන් සමහරක් දෙනා තුළ ස්වභාවයෙන් ම පැලපදියම් වී තිබෙන වෛරය, ක්‍රෝධය, පළිගැනීමේ චේතනාව වැනි අයහපත් ගති ලක්ෂණවලින් ඔවුන්ට මිදෙන්නට නොහැකි වී ඇති බව මෙම කතා සන්දර්භය තුළ යථාර්ථවාදී ලෙස ලේඛිකාව නිරූපනය කර ඇති විවිධ ගැටුම් හා සතුරු ආක්‍රමණ මගින් අපට පැහැදිලි වේ.

එහෙත්, එහි සිටින අය ‘ඉන්ස්ටා ඒජ්’ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ දී එවැනි සතුරු ආකල්ප ඇති පුද්ගලයන්ගේ සහ අපරාධකරුවන්ගේ සිතිවිලි හඳුනාගෙන අති නවීන මනෝවිද්‍යා උපක්‍රම මගින් ඔවුන් පුනරුත්ථාපනය කරන සැටිත්, එවැනි උපක්‍රම මගින් සාමාන්‍ය මිනිසුන්ගේ මානසික ආතතිය දුරු කරන ආකාරයත්, පියෝනියේ මිනිසුන් අනුගමනය කරන ආහාර රටාවත් කුතුහලය උද්දීපනය වන අයුරින් අපූරුවට විස්තර කරන සුජීවා හේමමාලී ලේඛිකාව විශ්වයේ සතුටින් ම වෙසෙන්නේ පියෝනියේ වෙසෙන්නන් බව සවිස්තරාත්මකව පෙන්වා දී තිබේ. භාෂාත්මක අඩුලුහුඬුකම් කිහිපයක් පැවැතිය ද, හරවත්ව හා රසවත්ව ගොඩ නගා ඇති ‘ඉNස්ටා Age’ නම් මෙම විද්‍යා ප්‍රබන්ධය තුළ ගැබ්ව ඇති අපූර්ව පුරෝකථනයන් සියල්ල දැනගැනීමට නම්, එම කෘතිය ඉතාමත් සාවධානයෙන් කියවා ගත යුතු ය යන්න අපගේ අදහස යි.

More From Author

වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා

සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (පළමු කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348