සැල්වඩෝ ඩාලි ඉන්දියාවට, බැන්ක්සි හා බැස්කියා ලග ලග රටවලට, ශ්‍රී ලංකාවට අවතාර(පළමු කොටස)

අද දවසේ කලාව ලෙස, විශේෂයෙන් දෘෂ්‍ය කලාව ලෙස ඇමරිකා, යුරෝපා ආසියා ,අප්‍රිකා භේදයකින් තොරව හිස මුදුනින් පිළිගන්නා මහා ශිල්පීන් තිදෙනෙකුගේ ප්‍රදර්ශන ඉන්දියාව ඇතුළු ආසන්න රටවලට මේ දිනවල පැමිණ ඇති අතර ඉහළ ප්‍රවේශ පත්‍ර ගාස්තු මධ්‍යයේ ඒවාට ලැබෙමින් තිබෙන රසික මහජන ප්‍රතිචාර අතිමහත්ය. මෙය අලුත් දෙයක් නොවන අතර එවැනි ජාත්‍යන්තර කලා, විද්‍යා, සංස්කෘතික හා දාර්ශනික ප්‍රදර්ශන ආසියාවේ බොහෝ රටවල සංස්කෘතික හා කලා කැලැන්ඩරයේ වැදගත් සිද්ධීන්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ක්‍රියාධරයන් හා සංස්කෘතික රථාචාර්යවරුන් වැනි මතාචාර්යවරුන් අනුගමනය කරන්නේ වගේ වගක් නැති නිශ්ශබ්ද ශුන්‍යවාදී පිළිවෙතක් බව කිව මනා නොවේ.

එහෙයින් ඒවා මෙහි ගෙනෙන්නට වුවමනා භෞතික, සෞන්දර්ය, විදේශ සබඳතා හා මතවාදී යටිතලයක්ද බිහි නැත. මෙය ඉතාමත් කණගාටු දායක තත්ත්වයකි. මෙරට සරසවි ඇතුළු සංස්කෘතික ආයතනවල කිසිවෙකුත් මේ ගැන නොදන්නා සේ ය. මේ අතින් අප්‍රිකානු රටවල් පවා සිටින්නේ අපට ඉදිරියෙනි, සෙල්වඩෝ ඩාළි නූතන චිත්‍ර කලාවේ අධි යථාර්ථවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛයෙකි .මෙරට සිසුහු පාසලේ සිට සරසවිය දක්වා ඔහු ගැන උගනිති.

ඩාර්ලිගේ චිත්‍ර කලාව මගින් අප සැම දෙනා දෘෂ්‍ය ලෝකය ලෙස දකින්නට පුරුදු වී තිබෙන සියල්ලට අභියෝග කරනු ලැබේ. අප දැකිය යුතු බව සමාජය නියම කර තිබෙන සියල්ලට අභියෝග කරනු ලැබෙි .එමගින් අපේ අභිලාෂයන් මානසික වුවමනාවන්, ප්‍රාර්ථනාවන්, අපට ම නොදැනී අප විසින් යටි සිතේ සඟවාගෙන සිටින ආශා ආදිය ඔස්සේ අප දෙ ඇසින් දකින්නට හෝ මනසින් දකින්නට රිසි ලෝකයක් අපට පෙන්වීම මගින් අපගේ දෛනික දෘෂ්‍ය අත්දැකීමට අභියෝග කරයි .

සෙල්වඩෝ ඩාළි
Salvador Dalí

අප කාටත් අද බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ එක්කෝ දේශපාලන මුහුණුය .නැතිනම් ආගමික රූපය එසේ නැතිනම් නළු නිළි මුහුණු ය. කාලයාගේ ඇවෑම තත්පරයෙන් තත්පරයට මනිමින් අප කෙමෙන් මහළු කරවන, අනිත්‍යයේ මහා නියමනය පරිදි ජාති ,ජරා, මරණ කැඳවන ලෝහ ද ඇති රෝද සහිත ඔරලෝසුද ඒ පරිද්දෙන්ම වැහැරී යයි. ඩාලිගේ ඔලිරෝසු රෙදි වැලේ වැණූ තෙත තුවා මෙන් එල්ලා තිබේ. ඩාළිගේ දැවැන්ත හස්තීන්ට තිබෙන්නේ මැස්සන්ට , මදුරුවන්ට මෙන් ඉදිකටු පාදයන්ය.

විශාල මිනිස් මුහුණු මුඩු වැලි කතරෙහි සක්ක ගසා සිටුවා තිබේ. සැතපී සිටින නග්න ස්ත්‍රී දේහයක් මතට වියාග්‍රයෝ අහසින් කඩා පනිති. ඔහුගේ පරණ තාලේ මේස ටෙලි ෆෝනයේ රිසිවරය වෙනුවට සිටින්නේ ලොකු රතු පොකිරිස්සෙකි. අතැඟිලි වලින් අල්ලාගෙන සිටින බිත්තරවලින් මල් පිපේ. ඒ සියල්ලේ පසුතල භූමි දර්ශනය ඉතාමත් බියකරුය. ඒ ශිෂ්ඨාචාරයේ අන්ධකාර යුගයක මිනිසාට දකින්නට සිදුවූ පසුතලයයි ඔහු ලෝක යුද්ධ දෙක මැද ජීවත් වූ මහා කලාකරුවෙකි .

අද දවසේ ලන්ඩනයේ ජීවත්වන චිත්‍ර ශිල්පයකු වූ බැන්ඩ්ස් කී කලාකරුවා පිළිබඳ ප්‍රතිරූපයට අභියෝග කරමින් සමාජයෙන් සැඟවී සිට මහ රෑ ඩ්‍රැකියුලා සේ ඇවිත් ප්‍රසිද්ධ ස්ථානවල අනවසරයෙන් බිත්ති සිතුවම් ඇඳ අතුරුදහන් වී යයි .ජනකාන්ත වීමේ උමතු වුව ඔහුට නැත .මුදල් ගැරීමේ තණ්හාව ඔහුට නැත .කුර්තා වැනි කලාකාර වස්ත්‍ර ඇඳීමේ ගුරුදේව චාරිත්‍රය ඔහු නොදන්නා සේය. කයිවාරුවේ, ආත්ම ප්‍රශංසාවේ හා ආත්ම වංචාවේ භාෂාව ඔහු කතා නොකරයි.

ඔහු සතු මුහුණක් කටක් පවා නැත බැස්කියා ඇමරිකන් වීථි පාතාලයේ ග්‍රැෆිටි ආටිස්ට් හෙවත් වීථි කුරුට්ටු ශිල්පියෙකු ,කළු හිප්පොප් ගායකු ලෙස ඇන්ඩ් වෝල්ට් චිත්‍ර ශිල්පියා ඇසුරේ ජීවත්වී එ 1988 දී වයස 28 ක් ව සිටියදී අකාලයේ මිය ගියේය. ඔහු තමාගේ චිත්‍ර කලාවේ භාෂාව කර ගත්තේ බිත්තිවල ,ටකරන් මඩුවල ,කෝච්චි වල ,බස්වල, වැසිකිළිවල කොතෙකුත් දකින්නට ලැබෙන කුරුටු අකුරු හා චිත්‍ර කලාවේ ගොරහැනි දෘශ්‍ය භාෂාවයි.

සමහර ඒවා ඇඳ තිබෙන්නේ පින්සලෙන් නොව පාට කෑන් එකෙන් හෝ පාට තුවක්කු වෙනි. අද ඔහුගේ චිත්‍ර විශ්ව කලාවේ කඩඉමක බිහි වූ ප්‍රකාශනවාදී අග්‍ර කෘති ලෙස පිළිගන්නා අතරේ ඒවායේ මිල පැබ්ලො පිකා6# සෝගේ චිත්‍රවලට ලන්සු තැබෙන ඩොලර් මිලියන ගණන්වලට කලා භාණ්ඩ වෙන්දෙසීබවල විකිණේ .කොඩැක් කැමරා කොම්පැනිය සිය අලුත් කැමරා මෝස්තරයට බැස්කියාගේ උමතු වර්ණ ඇතිරැම යොදාගෙන ඇත.

මෙට්‍රොපොලිටන් ගොත්තික් හෙවත් අගනාගරික ගොතික් ප්‍රකාශනවාදය පළ කරන මයිකල් බැස්සියාගේ චිත්‍ර දහතුනක් ප්‍රථම වරට ලෝ ඇංජලීස් හි බ්‍රෝඩ් කෞතුකාගාරයේ පසුගිය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ ප්‍රදර්ශනය ආරම්භ කළ අතර එය ලොක්ඩවුන් කිරීම නිසා ප්‍රමාද වූ ප්‍රධාන චිත්‍ර ප්‍රදර්ශනයක් විය.

රැප්,පන්ක් හා හිපොප් සංගීත සංස්කෘතියේ කළු තරුණයකු ලෙස හැත්තෑව දශකයේදී ඇමරිකාවේ මෑන් හැටන් නාගරික වීදි වල තාප්ප මත ග්‍රැෆිටි හෙවත් කුරුටු කලාවේ යෙදුණු චිත්‍ර ශිල්පියෙකු වූ බැස් කියා, එම සංගීතයේ සහ වීථි කුරුටු කලාවේ අධි ප්‍රකාශනවාදී ගොතික් භාෂාව චිත්‍ර කලාව වෙනුවෙන් යොදාගත්තේය.නාගරික ධනය හා දුප්පත්කම කැපී පෙනෙන පන්තිභේදය, ජාතීන් හා දුප්පතුන් හැටියට බෙදා වෙන් කොට සැලකීම ස්ථාන නියම වුණු පදිංචිය, දුක් විඳින කලාකරුවාගේ ඇතුලාන්තය හා කටුක බාහිර ලෝකය යනාදී ප්‍රතිවිරෝධතා කර්කශ මට්ටමේ ග්‍රැෆික විවෘතභාවයකින් පිළිබිඹු කරන ඔහුගේ වර්ණවත් abstract කලාවට පන්ති අරගලය, අධිරාජ්‍යවාදය හා පරත්වාරෝපණය ආගන්තුක නැත.

බිත්තිවල ඇඳි කුරුටු ලිවීමි සේ පෙනෙන ලිඛිත වියමන් කැබලිති පවා ඔහුගේ චිත්‍ර කලාවේ අචෛෂයිකත්වය කැත අකුරු සහිත දුක්බර හා විඩාබර පාසල් අභ්‍යාස පොත් වල දක්නා ලැබෙන වචනය වර්ණයෙන් රූපාත්මක කරයි. එය ජනතාවාදය ලෙස විකෘති නොවූ, පරිහානියට පත් නොවූ, ප්‍රචාරාත්මක නොවූ, සමහරවිට දේශපාලනික ද නොවූ දුප්පතාගේ කලා හද බසයි. බැස්කියාගේ කලාත්මක අන්තරාව ලෝකනය හා කලාත්මක භාවනාව වන්නේ අනෙකක් නොව බොහෝ දෙනකු මෝස්තරකාරී උද්දච්ච භාවයෙන් යුතුව තම කලාවට වැද්ද නොගන්නා දරුණු සමාජ විවේචනයයි.

ඒ අනුව ඔහුගේ කලාත්මක භාවනාවේ කමටහන වන්නේ පන්ති පීඩනය, වර්ගවාදයේ ජරා මුහුණුවර, සංස්ථාපිතයේ අසික්කිත දුර්දාන්තභාවය හා වීදියට ඇද දැමූ සමාජ මිනිසාගේ වේදනාකාරී හා විරෝධාත්මක දුර්දශාවයි. එලෙස සමාජ මිනිසා පාරට ඇද දැමීම හුදෙක් දුප්පත්කම නිසා මෙන්ම විවිධ සමාජ සංස්ථාවල අකාරුණික දුර්දාන්ත භාවය නිසා ඇති වූවක් විය හැකිය .මහ පාර සමකාලීන සමාජ ජීවිතයේ මධ්‍යස්ථානය බවට පත්වීම මගින් පෙන්නුම් කරන්නේ නිවස, පවුල ,පාසල, දේශපාලන වේදිකාව යනාදියෙහි හැකිලීමයි .මහ පාරේ ලස්සනක් නැති මාධ්‍යයක් වූ කුරුටු කලාව චිත්‍ර කලාවේ සුජාතවත් මාධ්‍යයක් ලෙස ඉහළින් පිළිගැනීමට එය හේතුවක් වූ බවත්, බැස්කියාගේ හා බැංස්කිගේ ආගමනය සාදරයෙන් පිළිගැනීම එහි ප්‍රතිඵලයක් බවත් මෙහිලා නිගමනය කරනු කැමැත්තෙමු.

More From Author

හෙගල් රාත්‍රිය කියලා අදහස් කරන්නෙ කුමක්ද?

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක්

One thought on “සැල්වඩෝ ඩාලි ඉන්දියාවට, බැන්ක්සි හා බැස්කියා ලග ලග රටවලට, ශ්‍රී ලංකාවට අවතාර(පළමු කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348