මහේෂි බී. වීරකෝන්:
පළවෙනි වතාවට රොමෑන්ටික් රිලේශන්ශිප් එකක් ඇති වෙද්දි මට අවුරුදු දහතුනයි. පළවෙනි වතාවට මගෙ අතින් හදවතක් බිඳිලා යද්දිත් මට අවුරුදු දහතුනයි.
එයා, පොකුණු දෙකක් වගේ කළුම කළු පාට ඇස් දෙකකුයි, බටර් පාට ස්කින් එකකුයි තිබුන ලස්සනම ලස්සන පිරිමි ළමයෙක්. හරියට ඩිනෝ මොරෙයා වගේ. ඒ වගේමයි.කට කොණින් යාන්තමට හිනාවෙන, ළැජ්ජාශීලී, අහිංසක, ටිකක් විතර ආඩම්බර…

මට ඕනි උනා ඒ අහිංසකකම ගිලාලා දාන්න. ඒ ආඩම්බරකම බිඳලා දාන්න. මට එයාට ලං වෙන්න ඕනි උනේ ඒකමයි. ඉතින් මම තමයි පටන් ගත්තේ උකුළු මුකුළු කරන්න, ඇස් කොණින් බලන්න, ඒ බලලා එයා මා දිහා බලද්දි තොල් තද කරන් හිනාවෙලා ආයිම අහක බලා ගන්න…
ඉඟිබිඟි හුවමාරු උනා, කතාබහ ඇති උනා. එකිනෙකා දැකගන්න මඟ බලා ඉන්න කාලයක් ඉක්මනින් උදා උනා. දවසක් එයා මගෙ අත අරගෙන රතු පාට පෑනකින් මගේ අත්ල උඩ හාර්ට් එකක් ඇන්ඳා. ඒ මැද්දේ ලියුවා: “J loves …”
ඊට පස්සේ, ලැජ්ජාශීලී, අහිංසක එයා මට එවපු පුංචි පුංචි පණිවිඩ, පොත් අස්සේ දාපු ලව් නෝට්ස්, අපි දෙන්නම ආස උන ඉංග්‍රීසි සිංදුවල ලිරික්ස්, එන්‍රිකේගෙ, බ්‍රිට්නිගේ, 50cent ගේ පෝස්ටර්ස් මට අරගෙන ආව උපාය දූතයෙක් අපේ ආදරේ මැද්දට ආවා. දූතයා දඟයි, කටකාරයි, ඇට්ටරයි. දවසක්, වෙන්න තිබුණ විදියටම, පෙම්වතාගේ ලව් නෝට් එකක් වෙනුවට මට දූතයාගෙන් ලව් නෝට් එකක් ලැබුණා.

අපි තුන් දෙනාම ඉස්කෝලේ ගියේ එක ස්කූල් වෑන් එකේ.
අවුරුදු දහතුන කියන්නේ මගෙ ජිවීතේ ගෙවුන හොඳම අවුරුද්දක්. අරුමැසිම, හිතුවක්කාරම සුරංඟනා සිතිවිලි මගේ හිතේ මැවිලා තිබුන අවුරුද්දක්. ඒ කාලේ තමයි මම කෑම කන වෙලාවලත් රශියන් කතා පොත් කියවන්න පුරුදු වෙලා උන්නේ. ඒ කතා තුළින් ලෝකය දැක්කේ.
ඒ කාලේ මම කියවපු දාහක් රශියන් කතා අතරේ ලර්මොන්තොව්ගේ “A Hero of Our Time” කියන්නෙ මගෙ සන්තානයටම කා වැදුනු පොතක්. හැබැයි මම ඒක කියවලා තියෙන්නේ ඒ එකම එක වතාවෙදි විතරයි. ඒත් එකේ තිබුන සමහර සිදුවීම් මට අදටත් මැවිලා පේනවා මම ඒ දවස්වල ඉමෑජින් කරපු විදියටම. මට හොඳටම මතක, කතාවේ කතා නායකයා, බයිරොනික් (ඇන්ටි) හීරෝ, පෙචොරින්, කොකේසියානු ප්‍රදේශයක ද්වන්දව සටනකට යන දර්ශනය. මිදිකොළ උඩට වැටිලා තියෙන හිම දිය වෙනවා, ඒ වතුර බිංදු මතට උදා ඉර එළිය වැටිලා…
මම අතීතකාමියෙක් නෙමේ. මට හරිම ශෝක් අතීතයකුත්, ඊටත් වඩා ශෝක් වර්ථමානයකුත් තිබුනා හැමදෑකම. ඒත් අවුරුදු ගාණකට පස්සේ, “A Hero of Our Time” පොතේ කවර් එක අහම්බෙන් ෆීඩ් එකේ දැක්කම, ඒ කුළුඳුල් ආදරෙත්, කොකේසියානු වසන්තයත්, නව යොවුන් දැරියක් දැකපු, දවසක හැබෑ උනු හීන ගොන්නත් ගැන හිත හැඟීම්බර උනා මොහොතකට…
(පිංතූරය තිබුණේ Classic Literature ගැන තිබුණ පේජ් එකක.)

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon





