ඇය නික්ම ගිහින්….

මාලනී 1968  පුංචි බබා චිත්‍රපටියෙන් සිනමාවට එනවා.මාලනී සිනමාවට එන්න කලින් වේදිකා නාට්‍ය නිලියක් ලෙස ටික කාලක් වැඩ කලා සහ සම්මාන කීපයක්ම දිනා ගත්ත.

මතක විදියට 1965 වගෙ කාලෙක සුනන්ද මහේන්ද්‍ර කරපු “සයුරෙන් ආ ලද” කියන වේදිකා නාට්‍යයෙ මාලනී රගපෑව.මේ නාට්‍යයේ නම වැදගත් මාලනීගෙ ස්ත්‍රීත්වයේ ජාන ගැන අදහසක් ගන්න.මාලනී ඉපදෙන්නෙ කැලණියේ.එක පැත්තකින් පෑලියගොඩ සිට මීගමුව /හලාවත දක්වා වෙරල තීරය ලංකාවෙ එක උප සංස්කෘතික කලාපයක්, විශේෂයෙන් කිතු දහම ධීවර කර්මාන්තය සහ ඉතාලි සිහිනය එක්ක හැදුනු දිවයිනේ  අනෙක්  කලාප වලට වඩා වෙනස් එක්‍තරා සංස්කෘතික නිර්මිතයක් වශයෙන් හදුන්වන්න පුලුවන්.හොදම කාරණය ලංකාවේ ප්‍රථම සිනමා කාන්තා,නිරූපනය කියල හදුන්වන රුක්මනී දේවි එන්නෙ මීගමුවෙන්.

(ඇත්තටම මේ කාරණා අපි බලන්න ඕනෙ ලංකාවෙ 60 දශකය ගැන අදහසක් ඇතිවයි)ඊලගට කැලණිය සිට ගම්පහ දක්වා දිවෙන සිංහල බෞද්ධ සංස්කෘතික කලාපය.ලංකාවේ පුරෝගාමී සාහිත්‍ය කරුවන් වැඩි හරියක් එන්නෙ ඔය කලාපය හරහා..

මේ කලාපය  සිංහල බෞද්ධ කියල හැදින්වුවත් කියන්න ඕනෙ නච්ච ගීත වාදීත විසූක දස්සන මාලා ඇතුලත් නූතනත්වයේ සංස්කෘතික කලාපයක්..මේක සැළලිහිණි සංදේශයේ කැළණිපුර වැනුම ඉදල ගම්පහ ආශ්‍රිතව 1960 ගනන්වල  පැවති ඛයියාම් කව දක්වා සලකුණු කරන්න පුලුවන්.මේ තීරු දෙක ඒ කියන්නෙ පෑලියගොඩ -මීගමුව වෙරල තීරයත් කැලණිය -ගම්පහ තීරයත් අතර පැවති සංස්කෘතික නිර්මිතයන් අතර මුහුවීමක් ප්‍රති පෝෂණය වීමක් දැකගන්න පුලුවන්.ඉතින් කැලණියෙන් එන මාලනී 1963 කැළණි කල්‍යානි වෙලා 1968 සිනමාවට එනව.පාරාවලලු සිනමා පටයෙ මුහුරත් උලෙල දවසෙ රුක්මනී මාලනී ලගට ඇවිත් මාලනීගෙ ඔලුව උස්සල”ඔයාද අලුතෙන් ආවෙ.කෝ බලන්න” කියල “ලස්සනයි.ලස්සන ලිප්ස් දෙකක් නේද රෙජී” කියල ලග හිටිය රෙජී සිල්වාට (මේකප් ආටිස්ට්) කිව්වලු.ඒ වෙනකොට මාලනීගෙ තොල් මහත වැඩියි කියල සමහර වේශ නිරූපන ශිල්පීන් කැමරා ශිල්පීන් තොල් සිහින් කරන්නට සගවන්නට දරපු උත්සහයන් තිබුනත් මාලනීට තමගෙ රූපය සිනමා තිරයට ගැලපෙන රූපයක් කියල විශ්වාසය එන්නෙ මේ සිදුවීමෙන්.මේ සිදුවීම කිව්වෙ එක්තරා ස්ත්‍රිත්වයක් වෙනුවෙන් ලැබෙන කැඩෙපත මාලනීට රුක්මනීගෙන් ලැබුන කියන්නයි.

1973 තිරගත වුනු සිරිල් පී අබේරත්නගෙ ” සුසී”  චිත්‍රපටය මාලනීගෙ මේ ස්ත්‍රීත්වය නිදහසේ නිරූපණය වුනු චිත්‍රපටියකි.

සුසී චිත්‍රපටියේ මාලනීගෙ චරිතය උනේ වැල්ලේ ජීවත් වෙන විසිල් ගහන යකාටවත් බය නැති ඒත් අහින්සක චරිතයකි.(සිරිල් පී ගැන කියනවනං සිරිල් පී “ස” යන්නෙන් ආරම්භ වෙන සුසී,සැලී, සුජා වගේ චිත්‍රපට හරහා මේ ස්ත්‍රීත්වයේ -ඒ අර අපි දන්න සිංහල බෞද්ධ ගැමි ගැහැණිය නෙවෙයි…යම් නිරුපනයන් ඉදිරිපත් කලා).ඉතින් මාලනී සුසී චිත්‍රපටයේ තමංගෙ චරිතය ගැන ඒ කාලෙ සිනමා පුවත් පතකට මෙහෙම කියනව.

“සිරිල් පී අබේරත්නගෙ සුසි චිත්‍රපටයට වෙරළබඩ ජීවත් වෙන කොලු ගතිගුණ තියෙන කෙල්ලක හැටියට මා කල රගපෑම මට මගේ පෞද්ගලික ජීවතයට ඉතාමත් සමීපය.පුංචි කාලෙ ගෙදර දොර වැඩවලට වඩා මම ප්‍රියකලේ ගස් නගින්න,බයිසිකල්  පදින්න ,ගහගන්න..කොල්ලො එක්ක රන්ඩු වෙන්න ..කියන කාරණා වලට.මට එක එක නම් පටබැදලා තිබුනෙත් ඒකනෙ.”ලෙන්වස් පැට්ටර්”(ඉන්ස්පෙක්ටර්) සෝමදාස,ප්‍රේමදාස… ඕවගෙ නං ගොඩයි.මම සුසී චරිතය රගපානකොට ලමා කල විදගත් ඒ දගකාරකම් වල මතකය හොදට විදගත්තා”

1973 දි තිරගත වුනු සුසී චිත්‍රපටය ගැන කවුරුවත් කතාකලේ නැති වුනත් 1978 තිරගත වුනු ධර්මසේන පතිරාජගෙ බඹරු ඇවිත් ගැනනම් හැමෝම කතා කරනව.මගේ අදහස හැටියටනම් සුසීගෙ චරිතය නිසා තමයි බඹරු ඇවිත් එකේ හෙලන්ගෙ චරිතය ගොඩනැගෙන්නෙ.සුසී නැත්තං බඹරු ඇවිත් නැහැ.මේ අතර අන්තර් වියමනක් තියෙනව.

මාලනීගෙන් ලාංකිය සිනමාවට සිදුවුනු සුවිසේශීම කාරණය තමයි මාලනී හරහා ලාංකීය සිනමාව තුල සිනමා පෙම්වතියක් නිර්මාණය වීම.මාලනී සිනමාවට එනකොට සිනමා පෙම්වතියන් ලෙස රුක්මනී දේවි,  අනුලා කරුණාතිලක, සුවිනීතා කෝන්ගහගේ,ෆ්ලොරීඩා ජයලත්, නීටා ප්‍රනාන්දු , සන්ද්‍යා කුමාරි,ජීවරාණි කුරුකුලසූරිය, විජිත මල්ලිකා,ශෝබනී අමරසිංහ,පුණ්‍යා හීන්දෙනිය,ක්ලැරන්ස්ද සිල්වා,සෝනියා දිසා,ශ්‍රියානි අමරසේන,ස්වර්ණා කහවිට, සුවිනීතා වීරසිංහ හිටියත් මාලනී වටා ගාමිණී/මාලනී, විජය /මාලනී වශයෙන් සුවිසේශී ප්‍රේමයක් 70 සිනමාව තුල ගොඩනැගෙනවා.ආදරේ හිතෙනව දැක්කම,සහනය,එදත් සූරයා අදත් සූරයා, සදහටම ඔබ මගේ,හොදම වෙලාව,හොදයි නරකයි,හොදට හොදයි, කස්තුරි සුවද,සැණකෙලිය,ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි,කවුද රජා,හරහා ගාමිණී /මාලනී

වශයෙන්ද ආදරේ හිතෙනව දැක්කම,හතර දෙනාම සූරයෝ, සුසී, සංගීතා, තුෂාරා, නීලා,…විජය/මාලනී වශයෙන්ද නේ 70 ප්‍රේමය නිර්මාණය වෙනවා.

මාලනීවටා ගොඩනැගුණ  මේ සිනමා පෙම්වතිය නිර්මාණය වෙන්න අපි මුලින් කිව්ව ඇයගේ ස්ත්‍රීත්වයේ ජාන අතිශයින් තීරණාත්මක වුනා..ඇයට මේ සිනමා  පෙම්වතිය (මේක හුදු අහඹුවක් නෙවෙයි.සමාජ අවශ්‍යතාවක් මාලනී පිටින් යාමක්.මේ ගැන මීට කලින් කීප පාරක් ලියල තියෙනව) නඩත්තු කරන්න ඇගේ පුද්ගලික ජීවිතයෙත් මේ ස්ත්‍රීත්වය නිතර ඇගෙන් ගිලිහෙන්න නොදී රදවා තබා ගන්න අවශ්‍ය උනා.මාලනී 1976 තමංටම කාර් රථයක් මිලදී ගන්නවා..ඈ 1977 වගේ කාලෙ වෙනකොට කාර් රේස් පදින්න ගන්නව.මේක අතිශයින් තීරණාත්මක දෙයක්.ඈ වෙතින් සිනමාවෙන් ඉල්ලා සිටින “පෙම්වතිය” නඩත්තු කරන්න නම් ඇයගෙ ස්ත්‍රීත්වයේ වේගය (feminine speed ) ඒ මට්ටමින් රදවා තබා ගත යුතු වුනා.කොටින්ම ඇගේ සිනමා පෙම්වතිය භූමිකාව නිසා ඇයට ගෙවන්න සිද්ධ වුනු අනිවාර්‍ය මිල තමයි ඇය මිය යනතුරු ඇයට සැබෑ ජීවිතේ සහකරුවෙක් නොලැබී යාම.සැබෑ ජීවිතය පෙම්වතෙක් අහිමි පෙම්වතියක් ලෙස ජීවත් වෙන්න සිද්ධ වීම.ඒව සිද්ධ වෙන්නෙ එහෙමයි.

මාලනී චිත්‍රපටි 150ක් වගේ රගපෑව.
1972 වනවිට මාලනීට නිධානය(1972) වෙනුවෙන් හොදම නිලිය (විචාරක සම්මාන) සම්මානය ලැබෙනව.ඒ වර්ශයෙම ඇය ජනප්‍රියම නිලිය සම්මානයත් දිනා ගන්නවා. 1972 වන විට මාලනී රගපෑ චිත්‍රපට 18 ක් තිරගත වුනා.මින් චිත්‍රපට 6ක් හැරුනු කොට ඇය ඉතිරි චිත්‍රපට 12කම ප්‍රධාන නිලිය වුනා.මේ චිත්‍රපට වලින් නිධානය අක්කරපහ, හැරුනු කොට ඉතිරි චිත්‍රපටි සියල්ලම පාහේ (1970) ජනප්‍රිය ධාරාවේ (විචාරකයො පීචං කියල හංවඩු ගහපු) චිත්‍රපටි.මේ අතරින්
1972 තිරගතවූ දැන් මතකද, හතරදෙනාම සූරයෝ, අභිරහස, සමනල කුමරියෝ , සහනය,එදත් සූරයා අදත් සූරයා, මේ දෑස කුමටද , ආදරේ හිතෙනව දැක්කම අතිශයින් ජනප්‍රිය වුනා.

1972 සිට 1986 දක්වා ඇය පිට පිට 11 වතාවක් ජනප්‍රිය නිලිය සම්මානය දිනාගෙන තියෙනව (1972,1974 – දීපශිකා සම්මාන,1976,78,79,80,81, 82,83,84,85 -සරසවි සම්මාන).මේ අතරින් එයා දැන් ලොකු ලමයෙක්(1979), සිරිපාල සහ රන් මැණිකා,(1979) සදහා ජාත්‍යන්තර  කුසලතා සම්මාන , බඹරු ඇවිත් (1978) හිගන කොල්ලා (1979), වසන්‍තයේ දවසක් (1980), ආරාධනා (1982), යස ඉසුරු (1983) සරසවි සම්මාන හොදම නිලිය වෙලා තියෙනව.6#

1972 සිට 1976 දක්වා තිරගත වූ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටි (විචාරකයො පීචං කියල හංවඩු ගහපු) බහුතරයකම ප්‍රධාන නිලිය වුනේ මාලනී.ඒ කාලයේ මාලනියගේ ජනප්‍රියත්වය හිනි පෙත්තටම ලගා වුනා. මේ කාලය මාලනියගේ ජනප්‍රියත්වයේ ස්වර්ණමය අවධිය කියල හැදින්නුවාට වරදක් නැහැ.

1973 තිරගතවූ මාතර ආච්චි, සුහද පැතුම, තුෂාරා,සදහටම ඔබ මගේ, හොදම වෙලාව, හොදයි නරකයි,හොදට හොදයි…
1974 තිරගතවූ අහස් ගව්ව, කස්තුරි සුවද, සුසී, සැනකෙළිය, ..
1975 තිරගත වූ සූරයා සූරයාමයි , ආවා සොයා ආදරේ, සදානා,සංගීතා…
1976 තිරගත වූ නයනා,කවුද රජා,වාසනා, ගංගා, දමයන්ති, ඔන්න මාමෙ කෙල්ල පැනපි, සරදියෙල්ගෙ පුතා , …මේ අතරින් අතිශයින් ජනප්‍රිය වුන චිත්‍රපටි.

1977-81 දක්වා මාලනි රගපෑ ජනප්‍රිය ධාරාවේ
නීලා, සකුන්තලා,දෙවියනි ඔබ කොහිද,සැලී,අපේක්ෂා,සදවට රන්තරු, අනූපමා,  … වැනි චිත්‍රපටඅතරට මැදමාවතේ සිනමාව යැයි විචාරකයන් හදුන්වන චිත්‍රපට ධාරාවකුත් එකතු වුනා මේ චිත්‍රපටත් අතිශයින් ජනප්‍රිය වුනා.
පෙම්බර මදූ (1979),  සිරිපාල සහ රන් මැණිකා (1979), වසන්තයේ දවසක් (1979),  එක්ටැම් ගේ (1980), ඉන්දුට මල් මිටක් (1981), ආරාධනා (1981) මේ අතරින් සුවිසේශයි.

1981-86 දක්වා මාලනීගේ චිත්‍රපටි 22  විතර තිරගත වුනත් මිහිදුම් සිහින (1982), සසර චේතනා (1982), පූජා (1986) ඇරෙන්න අනික්වා ඒ තරම් මතක හිටින රසික ආදරය දිනාගත් චිත්‍රපටි නෙමෙයි.මේ කාලෙත් මාලනී ජනප්‍රියම නිලිය වෙන්න බොහෝවිට 70 දශකයේ ඇගේ ජනප්‍රියත්වය බොහෝ සෙයින් බලපෑව වෙන්න පුලුවන්.

ඉතින් මාලනී අප අතරින් වෙන් වීමත් එක්ක බොහො අය මාලනියගේ රගපෑම මාලනිගේ සිංහල සිනමාවට කල සුවිසේශී දායකත්වය එහෙම නැත්තං මාලනී සළකුණ නිධානය, බඹරු ඇවිත් , එයා දැන් ලොකු ලමයෙක්, වගේ චිත්‍රපට දෙක තුනකට ලඝු කරන්න හදනවා. නමුත් මාලනී නිලි රැජින උනේත් මාලනි සිංහල සිනමාවේ සුවිසේශීම සලකුණ බවට පත් වුනේත් 1972 සිට 1986 දක්වා 11 වතාවක් ජනප්‍රියම නිලිය වුනේත් මේ චිත්‍රපට දෙක තුන විතරක් නිසා නෙමෙයි.මාලනී රගපෑ නිධානය, අහස් ගව්ව,සිරිපාල සහ රන්මැනිකා, බඹරු ඇවිත්, ස්ත්‍රී,ආකාස කුසුම්, වගේ ගොඩාක් හොදයි කියන චිත්‍රපටත්, ඉන්දුට මල් මිටක්, ආරාධනා, වසන්තේ දවසක්, දඩු මොණර,පෙම්බර මධූ වගේ හොදයි කියන චිත්‍රපටත් නිසා පමණක් නෙමෙයි මාලනීව නිලි රැජින බවට පත් වුනේ.70, 80 චිත්‍රපට රසිකයා තුල නොමැකෙන සටහනක් තැබුවෙ.චිත්‍රපට රසික/රසිකාවිය ට නැතිවම බැරි සිනමා ප්‍රතිරූපයක් බවට පත් වුනේ…

විශේෂයෙන් 70දශකයේ ජනප්‍රිය සිනමාව යනු  කුමක්ද එය සිංහල ජන සමාජයට මොකක්ද කලේ ජනප්‍රිය සිනමාවේ මාලනියගේ කාර්‍යභාරය මොකක්ද කියන එක ගැඹුරින් සිතා බැලිය යුතු කලාපයක්.නමුත් බොහෝවිට ලංකාවෙ උනේ ඒ කලාපය මර්ධනය වුන එක.ඒ නිසයි ජනප්‍රිය සිනමාව පීචං කියල හැදින්වුයේ.70 දශකය කියන්නෙ ජනප්‍රිය සිනමාවෙ ස්වර්ණමය අවදිය නම් 80 දශකය කියන්නෙ එහි මර්ධනයේ අවදිය.මේ නිසා තමයි සරත් අමුණුගම ජෝති මැරුනම බිද වැටුනු සංස්කෘතික බලකණුව කියල ලිව්වාම සරච්චන්ද්‍ර , චාල්ස් අබේසේකර, සුචරිත ගම්ලත්  ඇතුලු බොහෝ විදග්ධ පණ්ඩිතමානී විචාරකයො ඊට එරෙහිව අවි අමෝරා ගත්තෙ.මේ නිසා 90 දශකයේ සිනමාව කියල අපට ඉතිරි වුනේ මුඩු බිමක්.

ඉතින් මාලනීව සිනමාව තුල සොයා යනවනම් නිධානය,බඹරු ඇවිත් පාරෙ විතරක් ගිහින් බැහැ.මේ පාරෙනුත් එන්න….

ඇයට සුභ නින්දක්….  

More From Author

ආචාර්ය ඉරෝමි ආරියරත්න විසින් රචිත “පැතුම් ඉදිකඩ” කෙටි කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම (ජුලි 04)

වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-5 කොටස

Leave a Reply

Categories

LDM Columns