අපි අපේම ද …(දිගු කෙටිකතාව අවසන් කොටස)

සංජුට  පටිගත කරන ලද  ගීත  අසන්නට සහ නරඹන්නට පහසුව  සඳහා   ළහිරු ඔහුගේ  භාවිතයෙන් ඉවත්  කරන ලද නමුත් හොඳ තත්වයක තිබූ  පරිගණකය මට ගෙනවිත් දුන්නේය. කිසිදා මා එකී මෙවලම  පරිහරණය කර නොතිබුන  නමුත් ,  ළහිරුගේ උදව්වෙන් මා එය භාවිතා කරන අයුරු  යම් තරමකට  ගත් අතර , ඉක්මනින් යමක් වටහා  ගත හැකි  මා පිළිබඳව ඔහු සිටියේ සතුටිනි.

එනමුදු මා සිටියේ  සංජුගේ මුවින් අම්මා යනුවෙන් ඇසීමේ ආශාවෙන්  ඔත්පලවය .  සංජු වෙනුවෙන් මුළු කාලයම කැප කරන්නට මට උවමනා විය. ළහිරුට බරක් නොවී ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් තිබේ නම් කොපමණ හොඳ දැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ.  අමිල අයියාගේ මහ ගෙදර තිබුනේ මඳක් ඈතිනි.

ඔහු කාර්යාලය පවත්වා ගෙන ගියේ එහි ඉස්තෝප්පු කාමරයේය. මවත් පියාත් මිය යාම නිසා නිවසේ ඉතිරි කාමර දෙකක් ඇතුළුව අනෙක් කොටස වසා දමා තිබුණි. මා ළහිරුට පැවසුවේ  අපට එම නිවස පාවිච්චියට ඉල්ලා ගැනීමට හැකිදැයි අමිල අයියාගෙන් අසා දැන ගන්නා ලෙසයි.

” අපට කිව්වෙ..?” ළහිරු පෙරලා මගෙන් ඇසුවේය.
” පුතාටයි ..මටයි..”
” ඇයි ..මම නැද්ද ඒ අපේ කියන ගොඩේ  ..”

ළහිරු ඇසුවේ කනගාටුවෙන් යුතුව යැයි මට සිතුණි. ඔහුට දිය හැකි පිළිතුරක් මා සතුව නොතිබුණු බැවින් මම නිහඬව සිටියෙමි. 
” ඔයා ඉතින් මෙහෙ නැහැනෙ “
අවසානයේ වචන සොයා ගත් මම ඔහුගේ සිත නොරිදෙන ලෙස පැවසීමි.

” අපි යමු කොළඹ ..” ආරාධනාව ළහිරු ගෙනි  බැරි බව කීමට මම හිස සැලුවෙමි . ඔහුත් සමග දරුවෙකුත් රැගෙන කොළඹ යාමට මා ඔහුගේ කව්දැයි මගේ සිත ඇසුවේය.
” අපි කසාද බඳිමු ..”
ඊළඟ මොහොතේ ඔහු මගේ සිත මගෙන් ඇසූ දෙයට පිළිතුරු මෙන් කිවේය.
මම නිරුත්තරව බලා සිටියෙමි. තාත්තා හැරුණු විට මෙලොව මා විශ්වාස කල පිරිමියෙකු සිටියා නම් ඒ ඔහු බව මට කියන්නට උවමනා විය. තාත්තාට හැරුණු විට  මා ගෞරව කල , එමෙන්ම ආදරය කල එකම තැනැත්තා ඔහු බව  කියන්නට උවමනා විය. එහෙත් මා ඒ කිසිවක් කීවේ නැත. මම   හිස දෙපසට වනා ඔහුගේ යෝජනාවට  එකඟ නැති බව  පමණක්  ඇඟවූයෙමි . ළහිරු මා දෙස බලා සිටියේ ශෝකයෙනි. මට ඔහු මහාර්ඝ වස්තුවකි.  මුල් ඉදිරී  ගොස් ගසාගෙන ආ  තණ පරඬලාවන්  වැනි වූ  මාත් , සංජුත් නිසා ,ඔහුගේ ජීවිතය වල්  වැදෙන්නට ඉඩ දිය නොහැක.  මා ඔහුට කොපමණ ආදරේ දැයි දන්නේ නම් ඔහු කිසිදිනෙක මා අත්  නොහරිනු ඇත. එනිසා  මම  ඔහුගේ යෝජනාවට අකමැති වීමට හේතු දක්වන්නට නොගියෙමි.

ළහිරු  ඒ දින දෙක අවසාන වී ආපසු  ගියේ කනගාටුවෙනි. මා සුපුරුදු පරිදි ඔහුගේ දෙපා වැඳ ඔහුට සමු දුන් අතර , ඔහු මා නැගිටුවා මගේ නළල සිප ගත්තේ සෙනෙහසිනි. ඔහුගේ දෑසේ කඳුළු පිරී තිබෙන්නට ඇතැයි මට සිතුනි. මට පරිස්සමින් ඉන්නා ලෙස පැවසූ ඔහු  යන්නම් කීවා මිස ගිහින් එන්නම් කීවේ නැත. ළහිරු  ඉන් පසු  සති කිහිපයක්ම  නොපැමිණි අතර , අමිල අයියාගේ  මහගෙදර  අපට පරිහරණය කරන්නට ඉඩ දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බව කියූ අමිල අයියාත් අක්කාත්  සංජුටත් මටත් උවමනා විදියට සියල්ල සකස් කර දුන්හ. ගෙවල් දෙක තිබුනේ පෙනෙන දුරකින් බැවින් දරුවන්ට එකතු වී සෙල්ලම් කරන්නට බාධාවක් තිබුනේ නැත.

මට ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමට උදව් කරන්නැයි මා කල ඉල්ලීමට, ළහිරු ඔහු දන්නා හඳුනන අයෙකුට කියා  පරිගණකය උපකාර කරගෙන කල හැකි ලිය කියවිලි වරින් වර එව්වේය. ඇතැම් ඒවායේ මට කරන්නට තිබුනේ හරි වැරදි බලා ලකුණු කර ආපසු යැවීමටය. ලොකු වෙහෙස මහන්සියක් නොවී අතට මුදලක් ගන්නට හැකි වීමත් ,සංජු ළඟ තබා ගෙනම රැකියාව කල හැකි වීමත් මගේ සිතට මහත් අස්වැසිල්ලක් විය. සතියකට වරක් මා කරනා මෙහෙය වෙනුවෙන් මට නියමිත වැටුප අමිල අයියාගේ ගිණුමට බැර වී මගේ අතට ආවේය.  එම මුදල මගෙත් සංජුගෙත් වියදම් වලට උවමනාවටත් වඩා සෑහුනේය . ගමක ජිවත් වූ බැවින්  අපට කරන්නට ලොකු වියදමක් තිබුනේ නැත.ඇතැම් දිනවල මට ආවේ කතා පොත් වල පිටපත්ය. ඒවායේ බොහෝ විට කරන්නට දෙයක් තිබුනේ  නැති තරම්ය.  හරි වැරදි බැලිය යුතු බැවින් මම ඒවා  අකුරක් නෑර කියවා බැලීමි. පොත් කියවන්නටත් ඉඩ ලැබෙන  රැකියාව නිසා මගේ ජීවිතය දිනෙන් දින පොහොසත් වන බව මම ළහිරුට පැවසුවෙමි. ඔහු නිහඬව මා කියන්නක් අසා සිටියේය..

සංජුගේ දැනුම ඉහල මට්ටමක තිබුනද ඔහු කතා නොකිරීම මා දුර්මුඛ කරවන්නට විය. මම ලොකු අකුරු ඇඳ  ඔහුට පෙනෙන ලෙස බිත්තියෙහි අලවා කියවීමි. ඔහුව ළඟ තබාගෙන දන්නා තරම් කවි , කතන්දර ,කියුවෙමි. මගේ ජීවිතය පුරාවට මා වැඩිම වචන ගණනක් කතා කලේ සංජු වෙනුවෙනි. ඔහුව රැගෙන පන්සල් ගියෙමි. ඔහු වෙනුවෙන් තුන්රුවනේ ආශිර්වාදයද , දෙවියන්ගෙන් රැකවරණයද ඉල්ලුවෙමි. ඔහුගේ මුවින් ” අම්මා ”  යනුවෙන් ඇසීමේ මගේ අප්‍රමාන ආශාව  දිනෙන් දිනම කල් ගියේ මගේ සිත කඩා බිඳ දමමිනි. 

කුණාටුව හමා  ආවේ කිසිදු දැනුම් දීමකින් තොරවය. එය  සන්සුන්ව ගලා ගිය මගේ  ජිවිතය  දෙදරවන්නට සමත් විය. අවුරුදු කිහිපයක් ගත වන තෙක්  සංජුගේ සියලු හිමිකම් දැරූ මා , සංජුගෙන් ඉවත් කල හැකි එකම බලවේගය සංජුත් මාත් අතරට පැමිණ තිබිණි. ඒ ඔහුගේ මවයි. ඇය අප  ඉන්නා තැන සොයා ගත්තේ කෙසේදැයි මා දන්නේ නැත. ඇතැම් විට ඇය මේ ගෙවුණු කාලය පුරාවට ඇගේ පුතු සොයන්නට ඇත. පොලිසිය ගැටළුවට මැදිහත් නොවන්නට, මගේ ප්‍රාණ සම  සංජුව ඇයට  දන් දී , යලිත් වරක් ගංගා ගේ අයිතිය වූ  මුහුද සොයා යන්නට මා තීරණය කරනු ඇත. මම ළහිරුට සියල්ල දන්වා යැවීමි.

සාවධානව  මගේ කතාව  අසා සිටි ඔහු මට කලබල නොවන්නැයි කීවා පමණක් නොව , මගේ තනියට මා සමග පොලිසියට යාමට ආවේ ඔහුගේ මිතුරු නීතිඥ මහත්මයෙක්ද සමගය. පොලිසියේදී අපේ නෙත් හමුවිය. ගැබිණි මවක් වූ  ඇය මා හඳුනා ගත්  බව කියූ නමුත් , මට ඇගේ මුහුණ මතක තිබුනේ නැත. සංජු දුටු වනම ඇය

” මගෙ පුතේ..”

කියමින් ඔහු තුරුළු කර ගැනීමට තැත් කලද සංජු වහා මා පිටුපසට වී සැඟ වුනේය. ඇය ඒ අවාසනාවන්ත දවසේ දරුවා මා  අතට දී ඇගේ සැමියාත් වැඩිමහල් දරු දෙදෙනාත් සොයන්නට ගිය නමුත්  ඒ කිසිවෙක් ඇයට හමු වී නැත. අවසානයේ හඬා වැලපෙමින් අත උන් දරුවා සොයා ආ විට ඔහුද සොරා ගෙන  ගොසිනි.  වසර ගණනක් ගෙවී , ඇය නැවත විවාපත් වුවද ඇගෙන් සොරා ගෙන ගිය දරුවා සෙවීම ඇය අත්  හැර නැත. එහි ප්‍රතිඵලයක් ලෙස  අවසානයේ අද දවස උදා වී ඇත.  සොර නාමය ඇසෙද්දී මා  වෙව්ලා ගියද ,ළහිරු මගේ අත තද කර අල්ලා ගත්තේ කලබල නොවන්නැයි කීමට  මෙනි . මට යන්තමින් හෝ සැනසීමක් දැනුනේ ඇය මට දරුවා අල්ලා ගැනීමට  දුන්නා මිස මා ඇගෙන් දරුවා උදුරා නොගත් බව පිළිගැනීමෙනි.

අමිල අයියාත් අක්කාත් මට මුහුණ පාන්නට  සිදුව ඇති තත්වය දැක කම්පා වූහ . නීතිය ගැන දත් නමුත් ,  වගකිව යුතු නිලධාරියෙකු ලෙස කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අමිල අයියාට  අවවාද  ලබන්නට සිදුවීම ගැන ළහිරු සිටියේ  කම්පාවෙනි.  මා සෙරක නොවන බව හැර ,සංජු මගේ යයි කියන්නට ඔප්පු කල හැකි කිසිවක් මා සතු වූයේ නැත. මා තවමත් අවිවාහක තරුණියක්මි . දරුවකු පිළිබඳව අප්‍රමාණ සෙනෙහසක් සිත තුල තිබීමෙන් හෝ  ඇසිපිය නොහෙලා  දරුවකු රැක බලා ගැනීමෙන් හෝ  කෙනෙකුට   මවක වීමට හැකි යැයි සිතන්නේ නම් එය විහිළුවකි. මා  මුහුණ පා  ඇත්තේ එම විහිළුවටය. අවාසනාව නම් විහිළුවෙන් මිදෙන්නට මට ගෙවන්නට වු කාලයයි. ගෙවුණු කාලය පුරාවට මගේ නහර  ඇට මිදුළු පුරා ඔඩු දුවා ඇත්තේ සංජු වෙනුවෙන් උපන් සෙනෙහසයි. එය සිඳලන්නට මට ගෙවන්නට සිදු වන කාලය කොතෙක්දැයි මට සිත ගත නොහැක. ඇතැම් විට මා ජිවත් වන අවසාන තත්පරය දක්වා එය නොසිඳී පවතිනු ඇත.

උසාවිය දක්වා ගැටළුව ඇදී යද්දී මට ආපසු හැරෙන්නට උවමනා විය. සංජු එතනට කැඳවා ගෙන යාමේ උවමනාවක් මට කොහෙත්ම තිබුනේ නැත. එහෙත් මගේ උවමනාවට නොවන නමුදු මා පා තබා තිබුනේ , මට උවමනා වූ තැනදී  ආපසු හැරෙන්නට හැකි මාවතකට නොවේ. මා  උසාවි කුඩුවේ සිටියදී , සංජු කඳුළු පුරවා ගත් දෑසින් යුතුව  මා දෙස  බලා සිටින බව මට කීවේ ඒ මොහොතේ ඔහු ළඟ සිටින අමිල අයියා හෝ ළහිරුය . මා සංජු දෙස ඒ කිසිවිටෙකත් බැලුවේ නැත. සංජු මට හිමි වේදැයි අසන්නට මට අයිතියක් තිබුනේ නැත. එහෙත් සංජු මා ළඟ සිටිනා අවසාන මොහොත දක්වා ඔහු සමග සතුටින් සිටින්නට මම සිතා ගතිමි. ඒ සතුට මගෙන් උදුරා ගන්නට කිසිවෙකුට නොහැක. 
උසාවියට යන සෑම දවසක්ම මට තීරණාත්මක දවසකි.

ළහිරු ද බොහෝ විට උසාවියට ආවේය  නඩුව  වෙනුවෙන් සියලු  වියදම් දැරුවේ ළහිරුය . ඔහුට තවමත් කරදරයක් වීමට සිදු වීම ගැන මම ඔහුගෙන් සමාව අයදුවෙමි . අමිල අයියාටද   සෑම දිනකම උසාවියට ඒමට සිදුවීම වැළකිය නොහැකි වුවද  අක්කා උසාවියට එනවාට අකමැති වූයේ මාය. ඇගේ දෑසේ මා වෙනුවෙන් කඳුළු පිරෙනවාට මා කැමති වූයේ නැත. සංජුගේ මව දරු ගැබද උසුලාගෙන සෑම දිනකම උසාවියට ආවේ ඇගේ වත්මන් සැමියා සමගය . මා ඇය දෙස  බැලුවේ කරුණාවෙනි. අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දුන්නද ඇය  වාසනාවන්ත මවකි.  සංජු තම දරුවා බව ඔප්පු කිරීමට ඇයට තව වැඩි දවසක් ගත නොවනු ඇත. පොලිසියේදී  තමා වැළඳ ගැනීමට තැත් කිරීමෙන් පසු , සංජු ඇය දකින සෑම විටකම තමා ළඟ සිටිනා කවුරුන් පිටුපස හෝ සැඟ වුනේය. ඒ සෑම මොහොතකම අඳුරු වන ඇගේ මුහුණ දකින මට ඇති වන්නේ කනගාටුවකි.

ඒ මොහොතේ මා සිටියේ උසාවියේ කූඩුවෙන් එලියට එමිනි . ශාලාව තිබුනේ නිහඬවය . හදිසියේ  මා පය පැකිලී වැටෙන්නට යාමත්
” අම්මා “
යනුවෙන් හඬ නගමින්  සංජු මා වෙතට දිව ඒමත් සිදු වූයේ එකවරමය. නිහඬ බව බිඳිමින් ශාලාව පුරා සිහින් මුනු මුණුවක් පැතිර යද්දී උසාවිය නිහඬ වන ලෙස හඬ නගනු මට ඇසුනේ සිහිනයෙන් මෙනි.  ඉන්නේ කොහිදැයි මට මතක තිබුනේ නැත.  ඒ මා ජිවිතයේ අසන්නට කැමැත්තෙන් සිටි එකම වචනයයි. වසර කිහිපයක් පුරා  කුමන මොහොතක හෝ ඇසේ යැයි  සිතමින්  මග බලා සිටි වචනයයි. මම දෑත් විදා ඔහු තුරුළු කර ගතිමි. තව තවත් තදින් මේ දැන් ඔහු කවරෙක් හෝ මගෙන් උදුරාගෙන යතැයි බියෙන් මෙන් ඔහු  ළයට තෙරපා ගතිමි . ඔහු මට හමු වූ මුල් දිනයේ පැය ගණනක් .පුරාවට මෙලෙසින් මා  ළයට  තුරුළු කරගෙන සිටි අයුරු මට සිහිපත් විය.
” අම්මා..මගෙ අම්මා ..” සංජු නොනවත්වාම ඔහුගේ කුඩා සිඟිති දෑත් වලින්  මගේ ගෙල බදාගෙන කොඳුරයි. මම ඔහු අතොරක් නැතිව සිප ගතිමි. කවුදෝ කෙනෙකු මා කැඳවා ගෙන ගොස් අසුනක මා ඉන්දවීය. සංජු මගේ උකුළේ ඉඳ ගෙන සිඟිති අත් වලින් මගේ මුහුණ පිස දැම්මේ

“අඬන්න එපා  අම්මා .. “. කියමිනි.
සංජුගේ කමිසයේ පිට පැත්ත තෙත් වී ඇත්තේ මගේ කඳුළින් බව මට වැටහුනේ එවිටය. මතක ඇති කලක මගේ ඇසින් නොවැටුණු කඳුළු උල්පතකින් මෙන්  ගලන්නට   තරම් සංජුගේ වචන වලට ශක්තියක් තිබී ඇත. සංජු මට හිමි වේද ,නොවේද නොදන්නා නමුත් මේ මොහොත මගේය.  ඊළඟ මොහොතේ කුමක් වුවද මේ මොහොතේ මා සතුටින් සිටිය යුතුය. සිනාසිය යුතුය.  සංජු සිප ගන්නා අතරේ මම සතුටින් සිනාසුනෙමි.

”  අද සුබ දවසක් ..අපි අදම  බඳිමු ..

ළහිරු මගේ කණට කොඳුරා කියද්දී , මම සෙනෙහස පිරුණු දෑසින් ඔහු දෙස බැලීමි. සංජු මගේ තුරුලෙන් මිදී ළහිරු  අතට පැන්නේය.

අවසානයි..

පෙර කොටස් :

More From Author

කාල් ෂ්මිට්ගේ (Carl Schmitt) දර්ශනයෙන් වර්තමාන දේශපාලන තත්වයන් තේරුම් ගැනීම

ඉතාලියේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබීමෙි ඵෙතිහාසික අවස්ථාවක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348