” මම දැන ගත්ත පැන පැන වැඩ කරන කොට කටුව ගහන්න තමයි හදන්නෙ කියල. මට මෙහෙම වෙලා මදි.. අම්ම අප්ප නැති අසරණයෙක්නෙ කියල අනුකම්පා කරල වැඩ ඉගැන්නුවට…”
විමලක්කා තමාටම මෙන් කියා ගත්තද , ඇගේ රවා බැලීම් මෙන්ම ඒ සියලු වචන ද එල්ල වුනේ මා වෙත බව තේරුම් ගන්නට මට අමුතු නුවණක් උවමනා වුනේ නැත. සිදුව ඇත්තේ කුමක්දැයි ඇසු නමුත් මා දෙස රවා බැලුවා මිස ඇය කිසිවක් නොකීවාය . නින්දට යන තෙක්ම මා සමග අමනාපයෙන් සිටි ඇය පසුදා උදයේ මා අවදි වනවිට යන්නට ගොසිනි. අයියා ඇයව ඇරලවන්නට යන්නට ඇතැයි මට සිතුනේ අයියාගේ වාහනයද නිවසේ නොතිබුණු බැවිනි. විමලක්කාට මා නිසා රැකියාව අහිමි විය. මට මේ නිවසේ වචනයක් හෝ කතා බහ කිරීමට සිටි එකම ප්‍රාණියා අහිමි විය.

එතැන් පටන් මට දවස උදාවූයේ කීයට වුවද අයියාගේ පව්ලේ අයට දවස උදා වූ මොහොතේ සිට , නින්දට යන තෙක්ම නිවසේ වැඩියෙන්ම ඇසුණු වචනය වූයේ ” ගංගා” ය. විවිධ ස්වරයෙන් ගංගා යනුවෙන් හඬ නැගෙද්දී ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා එහා මෙහා දුව යාම නිසා රෑ බෝ වනවිට මා සිටියේ හෙම්බත්වය. මා කෑවාද , බිව්වාද , මහන්සිද කියා අසන්නට කිසිවෙක් ඒ නිවසේ සිටියේ නැත. ඕනෑම දෙයක් කෑමට බීමට තහනමක් තිබුනේ නැති නමුත් මට ඒ නිවසේ සිටියදී කුස ගිනි දැනුනේ ද නැත.
දිනක් අයියාත් අක්කාත් මා කැඳවූයේ වැදගත් යමක් කතා බහ කරගන්නට ඇතැයි කියමිනි. වැදගත් කතා බහකට සහභාගී වීමට තරම් මා වැදගත් පුද්ගලයෙක් බව දැන ගැනීමත් මට සතුටක් විය. මට කාරණාව පැහැදිලි කලේ අක්කාය . අපේ ගමේ ඉඩම තිබුනේ මුහුද පෙනෙන මානයේය. අයියාගේත් අක්කාගේත් අදහසට අනුව ඒ තැන නිවසකට වඩා සුදුසු වන්නේ හෝටලයකටය. හෝටලයක් හදන්නට විශාල මුදලක් වැය කල යුතුය. ඒ සඳහා ණය මුදලක් ගැනීමට අයියාත් මමත් අධ්‍යක්ෂකවරුන් ලෙසින් අරඹන ව්‍යාපාරයේ නමින් බැංකුව සමග ගිවිසුමක් ඇති කර ගත යුතුය. ව්‍යාපාරය ආරම්භ වූ පසුව අයියාටත් මටත් එහි කොටස් කරුවන් ලෙස ලාභාංශ බෙදෙනු ඇත. මේ අක්කාගේ කතාවේ සාරාංශයයි .
අයියා පුවත්පතකට යොමා ගත් හිසින් යුතුව මඳක් ඈතින් සිටියද , අංශක අනූවට හැරවිය හැකි ඔහුගේ දෙනෙත් තිබුනේ අප දෙසට යොමුවී බව , අංශක අනූවට හැරවිය හැකි මගේ දෙනෙත් වලට හසුවිය. වැඩිපුර යමක් විමසන්නට හෝ අදහස් දක්වන්නට උනන්දුවක් මට තිබුනේ නැත. මා මොනවා කීවත් ඒ කිසිවක් වැදගත් නොවන බව දන්නා හෙයින්ම ඔවුන් කැමති දෙයක් කර ගත්තාට මගේ අකමැත්තක් නැති බව පමණක් මම පැවසුවෙමි.අක්කා ජයග්‍රාහී සිනහවකින් යුතුව අයියා දෙස බැලුවාය. මම තවදුරටත් එතන නොරැඳී ආපසු හැරුනෙමි.
පසු දිනයක අයියා සමග පැමිණි අයෙක් ඉදිරියේ ලියකියවිලි කිහිපයකට මට අත්සන් තැබීමට සිදු වුනු අතර , මා ඒ මොනවාදැයි විමසුවේ නැත. මගේ ජිවිතයේ කිසිදු වෙනසක් සිදු නොවී කාලය ගතව ගියේය. අක්කා වැඩිමහල් දරුවා පාසලට යැවීමෙන් පසු මිතුරියන් සමග ඇවිදින්නට යන්නේ කුඩා දැරිය මගේ රැකවරණයේ තබමිනි. මා දරුවාද බලාගෙන නිවසේ සියලු මෙහෙයන් ඉටු කල යුතු විය. දවස අවසානයේ නින්දට යද්දී මගේ අත පය රිදුම් දුන්නේය. මට තාත්තා සිහි විය. අම්මා සිහි විය. අම්මා අයියාට කොපමණ ආදරය කලද , මේ නිවසේ මට අත්ව ඇති ඉරණම කිසිසේත් අනුමත නොකරනු ඇත. තාත්තා කවදත් මට බොහෝ ආදරය කළේය. ඔහුගේ ආදරණීය දියණිය අතරමං වී ගිලෙන්නට ආසන්නව ඉන්නා බව දන්නේ නම් ඔහු කම්පා වනු ඇත. ජීවතුන් අතර සිටියදී පවා දරුවන් නිසා හිත් රිදවා ගත් මගේ දෙමව්පියන්ට කිසිදු ලෙසකින් වත් මගේ අසරණ කම නොදැනේවායි මම මුළු හිතින්ම පැතුවෙමි. මා නිසා ඔවුන්ගේ පරලොව සැනසීම අහිමි විය යුතු නැත.
බොහෝ හිත් රිදීම් ,හිත් තැවුල් මැද කාලය ගෙවුනු නමුදු , මහා කුණාටු මැද වුව නිරුපද්‍රිතව ඉන්නා බට ගහක් මෙන් මමද ජීවිතය ගෙවමින් සිටියෙමි. අවුරුද්දේ අවසන් නිවාඩුව හම්බන්තොට හෝටලයක ගත කරන්නට යාමේ යෝජනාව කාගෙන් ඉදිරිපත් වූවාදැයි මා දැන සිටියේ නැත. නිවසේ පරිස්සමට මා නවතා යා යුතු බව අයියා කී බැවින් ගමනට මා අදාළ වේද නොවේද යන්න පිළිබඳව අදහසක් නොතිබුණු නමුත් , විනෝද ගමන් ගොස් ළමයින් බලා ගන්නට වීම නිසා ලැබෙන විනෝදය කුමක්දැයි අක්කා ඇසීම නිසා අවසානයේ ගමනට මගේ නමද ඇතුලත් විය. ගමන් යාමට කිසිදු ආශාවක් හෝ ප්‍රීතියක් නොතිබුණු නමුත් ,හම්බන්තොට යන ගමනේදී , මට මා උපන් බිමට පය තබා යන්නට හැකි වේය යන අහිංසක බලාපොරොත්තුවක් සිතෙහි මතු වූ බැවින් ගමෙන් පිටව ගතවූ කාලය තුල පළමු වරට කුඩා දැරියක් මෙන් මම ගමනක් යාමේ නොඉවසිල්ලෙන් පසු වීමි.
ගමන පිටත් වන්නට පෙර දරුවන් දෙදෙනාම පසු පස අසුනේ තබා ගන්නැයි අයියා කිවේය. පිටත් වූ තැන පටන්ම අයියාගේ පුතු මට නොයෙක් විදියෙන් කරදර කළේය. පාසල් යාමටත් , ඉන් පසුව නොයෙක් අමතර පන්ති සඳහා යාමටත් කාලය ගත කරන ඔහු නිවසේදී මා හා ගැටෙන්නේ අඩුවෙනි. නැගණිය මගේ උකුලේ හිඳීම ඔහු රිස්සුවේ නැත. මගේ කොණ්ඩයෙන් අදින්නටත් , අසුනේ කෙලවරට වී දොරට පිට දී මට කකුලෙන් අනින්නටත් පටන් ගත් ඔහුට , අයියා දඟ නොකරන්නැයි කීවද , හිරිහැර නතර නොවූ බැවින්
” ඇයි ලොකු බබා මට රිද්දන්නෙ . මම ඔයාට වරදක් කලේ නැහැනෙ “යනුවෙන් අසන්නට මට සිදුවිය.
” ඔයා අපේ සර්වන්ට් ..සර්වන්ට්ලා මාත් එක්ක ඉඳගෙන යනවට මම කැමති නෑ ..අම්මා..මට ඔයා ලඟට එන්න ඕන..”
සුරතල් හඬින් වුවද ඊතල මෙන් පිට වූ ඒ වචන මගේ හදවත පසාරු කරගෙන යද්දී මට දැනුනේ උගුර මුල යකඩ ගුලියක් හිරවූ කලක මෙනි . මට අයියා දෙස බැලුනේ ඉබේටමය. මට ඔවුන් හිමි කර දී ඇති තැන එතැන බව දන්නා නමුදු එය එළිපිටම ඇසෙද්දී , මට දැනුනු අසරණ කම අයියා කෙදිනක වත් වටහා ගන්නට නැත. ඔහු කිසිවක් නෑසුනා මෙන් ඉදිරිය බලා රිය පැදවූ අතර අක්කා වහා ඇගේ පුතු තමා ලඟට ගෙන කවුළුවෙන් ඉවත බලා ගත්තාය. එතරම් අසරණ වීමට මා කවර පවක් කර තිබුණාදැයි නොදැන සිටි අතර , මගේ ජීවිතය එපමණ පහලට ඇද දැමීමට නැගණිය ලෙසින් මා අයියාට කිසිදා වරදක් කර තිබුනේ නැත.
ප්‍රධාන පාරෙන් මුහුද දෙසට දිවෙන අතුරු පාරට හැරුණු පසු මට හුරු පුරුදු ගහ කොළ දකිද්දී මගේ සිතෙහි වේදනාව යම් තරමකට තුනී වෙමින් තිබිණි. මා දන්නා හඳුනන කවුරුන් හෝ දකින්නට මම මග දෙපස බලමින් ගියෙමි. අවසානයේ රිය නතර වුනේ වැඩ බිමක් ඉදිරියේය. අන් සියල්ලන්ම වාහනයෙන් බැස වැඩ බිම දෙසට ඇවිද ගිය අතර , මගේ උකුලේ අයියාගේ කුඩා දියණිය නිදා සිටි බැවින් මම ඇයත් සමග වාහනයටම වී සිටියෙමි. අප සිටි නිවස සෙවූ මුත් මා එය දුටුවේ නැත. හොඳින් වැඩුනු ගහ කොළ වලින් පිරුණු පරිසරයත් , මා ජිවත් වූ නිවසත් , අතුරු දහන් වී තිබිණි. . හාත්පස පිරික්සා බැලූ නමුත් මගේ මතක කිසිවක් එහි ඉතිරිව තිබුනේ නැත. මට මා අහිමිව සිටින කල අතීත මතකයන්ගෙන් පලක් තිබේදැයි මම මගෙන්ම අසා ගතිමි. පෙදරේරුවන්ද ,කම්කරුවන්ද එක්ව ගඩොලින් ගඩොල තබා බඳිමින් උන් ගොඩනැගිල්ලේ පසෙකින් මහ මුහුද පමණක් නිහඬව මා දෙස බලා සිටියේය.
එතැන් සිට ගමනාන්තය දක්වා මා සිටියේ දෑස් වසා ගෙනය. මට කිසිදු දසුනකින් දෑස් පිනවා ගන්නට උවමනා වූයේ නැත. හම්බන්තොට අප නවාතැන්ගත් හෝටලය මායිම් වූයේ ද වෙරළ තීරයටය. දැඩි වෙහෙසකින් මගේ ගත මෙන්ම සිතද වෙලාගෙන තිබුනේ මා ඔත්පල කරවමිනි.

අයියාගේ පව්ල එක් කාමරයකත් , යාබද කාමරය මටත් වෙන් කර තිබිණි. මට කිසිවක් කෑමට පිරියක් තිබුනේ නැත.සියල්ලන්ම රෑ කෑමට යද්දී මම කාමරයට වී සිටියෙමි. අක්කා පැමිණ එතෙක් වේලා මගේ රැකවරණයේ සිටි දියණිය වඩාගෙන ගියේ කරන්නට වෙනත් දෙයක් නොවූ බැවිනි.
” ඇයි ..මොකද කන්න බැරි..” අයියා කාමරයේ දොරකඩ ඉඳ අක්කාගෙන් අසනු මට ඇසිනි.
” ආයෙ රෑ වෙලා බඩගිනියි කියනව හෙම නෙවෙයි..මේක ගෙදර නෙවෙයි හිතෙන හිතෙන වෙලාවට කන්න..” අයියා තවත් මොනවාදෝ කියනවා ඇසුනද මට ඒ කිසිවක් අසන්නට හෝ හිස ඔසවා බලන්නට ශක්තියක් තිබුනේ නැත. ඒ වන විට දරුණු හිසරදයකින් මම පීඩා විඳිමින් සිටියෙමි.. හිස ඔසවා ගත නොහැකි වුනු මට නින්ද ගිය වෙලාවක් හෝ අයියලා ආපසු පැමිණි වෙලාවක් පිලිබඳ හැඟීමක් නොවිණි.
මා යලිත් කුඩා සුරතල් ගැහැනු ළමයෙකු ව සිටියෙමි. තාත්තා මා අතින් අල්ලා ගෙන ගෙය වටේ කැඳවා ගෙන ගියේය. මම අශ්වයෙකු පැන යන ආකාරය නිරුපනය කරමින් තාත්තාගේ අතෙහි එල්ලී ගියෙමි. අම්මා ඉස්තෝප්පුවේ ඉඳ සිනහ සෙමින් අප දෙස බලා සිටියාය. වත්ත පුරා ඇවිද යාමෙන් පසු තාත්තා මා කැඳවාගෙන මුහුද දෙසට ගියේය. එතෙක් වේලා තරමක් ඈතින් තිබූ මුහුද අප පිළිගන්නට මෙන් ඉදිරියට එන්නට විය. මම තාත්තාගේ අත තදින් අල්ලා ආපස්සට ඇද්දෙමි .
” ගංගා…බයවෙන්න එපා .. එන්න අපි යමු ..ගංගා අයිති මුහුදට ..”
තාත්තා මට වෙනදා මෙන් දුවේ නොකියා ගංගා යැයි කියනු ඇසූ මා ඔහු දෙස බැලුවේ පුදුමයෙන් වුවද , තාත්තා සිටියේ සිනාසෙමිනි. මම ආපසු හැරී අම්මා දෙස බැලීමි. ඇයද මා දෙස බලා උන්නේ තාත්තා අනුමත කරන්නාක් මෙන් සිනාසෙමිනි. මම ද සිනාසී තාත්තාගේ අත අල්ලා සොලවමින්
” ගංගා අයිති මුහුදට..ගංගා අයිති මුහුදට..”
යයි කියමින් තාත්තා සමග මුහුද දෙසට ගියෙමි. මුහුද අප වැළඳ ගත්තේ දෑත් දිගු කරමිනි. තාත්තාත් මමත් දිය මතින් පාව ගියෙමු. ඊළඟ මොහොතේ මගේ අත ඔහුගෙන් ගිලිහී යද්දී . මම හැකි වෙර යොදා
” තාත්තේ… ” කියා කෑ ගැසීමි.
මා අවදි වූයේ දැඩි පිපාසයකින් පෙළෙමිනි. තාත්තා හෝ අම්මා මා අසල නොවිය. තවත් දවසකට ඉර පායා තිබිණි. වීදුරු කවුළුවෙන් පිටත බැලූ මට ඈතින් පෙනුනේ නිසොල්මනේ ඉන්නා මුහුදය. සියුම් කුසගින්නක් ද දැනෙන්නට වූයෙන් මට සිහි වූයේ පෙරදා දහවලට අතර මගදී ගත් ආහාරයෙන් පසු කිසිවක් නොකෑ බවය . අයියලා තවම නිදා සිටිනවා විය යුතුය. සාමාන්‍යයෙන් නිවාඩු දිනවල දී අයියලාට බොහෝ විට උදේ ආහාර වේල මග හැරෙයි.
මම මුහුණ සෝදා අලුත් ඇඳුමක් ඇඳ ගතිමි. කාමරයේ වූ වතුර බෝතලය කඩා බිවූ පසු මගේ කුසගින්න නැති විය. පෙරදින සෑදුනු හිසරදය බොහෝ දුරට සුවපත් වීම නිසා මට සැහැල්ලුවක් දැනුනු අතර , මගේ සිත තුල කුමක්දෝ පෙරලියක් වෙමින් තිබුණි. මම හෙමින් සීරුවේ දොර වසා පහත මාලයට බැස්සෙමි. හෝටලයෙහි එවෙලේ එතරම් පිරිසක් සිටියේ නැත. මගේ දෙපා නිරායාසයෙන් ඇදුනේ තරමක් ඈතින් පෙනුණු වෙරළ තීරය වෙතටය.
මට නුහුරු බවක් හෝ තනි කමක් දැනුනේ නැත. මට දැනුනේ සිහිනයේ දුටු පරිදි තාත්තා මා පසෙකින් යන බවකි. වෙරළෙහි බොහෝ දෙනෙක් විනෝදවෙමින් සිටිනවා විය හැකි යයි මට සිතුනේ අවට තවත් හෝටල් රැසක් පෙනුණු බැවිනි. මගේ සිත නොනැවතීම
ගංගා අයිති මුහුදට..ගංගා අයිති මුහුදට ..
යනුවෙන් කොඳුරමින් සිටියේය. මට ආදරයක් , කරුණාවක් දැක්විය හැකි කිසිවෙක් මා වෙනුවෙන් මෙලොව ඉතිරිව නැතැයි මගේ සිත මට හඬ නගා කිවේය. ගංගා අයිති මුහුදට නම් ගංගා සැඟවිය යුත්තේ මුහුද තුලය. ගංගා වැළඳ ගත යුත්තේ මුහුද පමණය. මට ඊට තවත් අවස්ථාවක් නොලැබෙනු ඇත. තාත්තා ඊයේ රැයේ මට සිහිපත් කරන්නට ඇත්තේ ද එය විය යුතුය.
තමන්ගේ අය අතරේ පිටස්තරයෙකු වීම තරම් රිදුමක් , බැඳීම් වලට ආදරය කරනා කෙනෙකුට තවත් තිබිය නොහැකිය. අයියා කෙදිනක වත් මට ආදරයක් හෝ කරුණාවක් නොදක්වනු ඇත. ඔහුගේ පව්ලේ කිසිවෙකුත් ඊට වෙනස් සැලකීමක් මා වෙනුවෙන් නොකරනු ඇත. මා අහිමි වූවා කියා මා වෙනුවෙන් දුක් වන්නට සිටි දෙදෙනාම කලින්ම මා තනිකර නික්ම ගොසිනි. වහා මා මුහුදේ සැඟවිය යුතුය. මේ මොහොත මගේය. මම මුහුද වැළඳ ගන්නට පය ඉක්මන් කලෙමි.
මා මුහුදට ලං වන්නට පෙර වෙරළේ සිටියා යැයි සිතිය හැකි පිරිසක් විලාප තබමින් මා පසු කරමින් මා පැමිණි දෙසට දිවූහ. වෙරළ දෙසින් ඇසුනේද මහා ඝෝෂාවකි.
” මුහුද එනවා …මුහුද එනවා…”
යි විලාප තබමින් සියල්ලෝම හිස හැරුණු අත දුවති. මුහුද එන්නේ කෙසේදැයි සිතමින් මම ගමන අතරමග නවතා උන් තැනම නැවතී සිටියෙමි.
විලාප තබමින් මුහුද දෙසට , දිව ආ ගැහැනියක් පොරවනයක එතූ , ඇය අත උන් සිඟිති දරුවා මා අත තබමින්
” අනේ..නංගී …මේ දරුව ටිකක් තියා ගන්න.. මගෙ මහත්තයයි දරුවො දෙන්නයි උදේ වැල්ලට ගියා..අයියෝ.. එයාලට මොනවා වුනාද දන්නෙ නෑ.. “
කියමින් විලාප තැබුවාය. මම ඇය අත නිදා උන් දරුවා ගෙන ළයට තුරුළු කර ගත් සැනින් ඇය පිස්සියක මෙන් මුහුද දෙසට දිව ගියාය. මා සිටියේ කුමක් කරන්නද කියා සිහි එළවා ගත නොහැකිවය. තවත් සුළු මොහොතකින් යලිත් මුහුද දෙසින් විශාල ශබ්දයක් සමගම මුහුදු රළ ඇදී එන්නට විය. මට කරගත හැකි වූයේ දරුවා සමග ගල් ගැසී සිටීම පමණය. මිනිසුන් හිස් ලූ ලූ අත දිව යද්දී , කොහේදෝ සිට පැමිණි නාඳුනන පිරිමි අතක් මා වැරෙන් අල්ලා ගත්තේය.
” දරුවත් එක්ක මැරෙන්නද හදන්නෙ ..මෙහෙ එනවා..”
නාඳුනන මිනිසා කෑ ගැසුවේය. මගේ මුව ගොළු වී තිබිණි. දරුවාගේ මව නැවත ආවේ ද නැත. නාඳුනන මිනිසා මා ඇදගෙන මෙන් දිව්වේය. මමද ආපසු හැරී බලමින් ඔහු පසුපස දිව ගියෙමි. ඔහු කාගේ කවුද , මේ යන්නේ කොහේද කියා මා දැන සිටියේ නැත. දෛවය යනු පුදුමාකාර එකකි. ජීවිතය වෙනස් වීමට ගත වන්නේ සුළු මොහොතකි. ටික වේලාවකට පෙර මුහුදේ ජීවිතය සැඟවීමට ගිය මම, මේ මොහොතේ තවත් ප්‍රාණියෙකුගේත් , මගේත් ජිවිත රැක ගනු පිණිස නාඳුනන මිනිසෙකු පසුපස යමින් සිටියෙමි.
” ඔයා විතරද මෙතනට ආවෙ..”
දෙපා රිදෙන්නට වූ බැවින් මොහොතක් නතර වූ මොහොතේ නාඳුනන මිනිසා මගෙන් ඇසුවේය. මම ඉහළටත් පහළටත් හිස වැනුවෙමි.. සැබවින්ම මට වචන අමතකව තිබිණි. හිස වනා මා ඇඟවූයේ මුසාවක් නොවේ. එතනට ගියේ මා පමණය. ඔහු දරුවා කාගේදැයි ඇසුවේ නැත.
සුන් බුන් ගොඩවල් හා හඬා වැළපීම්ද , තැන් තැන් වල වැටී තිබූ නාඳුනන මලකඳන් අතරින් ද දිව ගිය ගමන, අවසන් වූයේ බාගයක් බසයකින්ද , ඉතිරි බාගය ලොරි බාගයකින්ද ගොස් අවසානයේ ගුරු පාරක ඇවිද යන්නට වීමෙනි. මට පුරුදුව තිබුනේ රූකඩයක් මෙන් වැඩ කරන්නටය. මේ යන්නේ කොහේදැයි මා ඇසුවේ නැත. ඔහුගේ නිවසේ තව කවුරුන් ඉන්නවාදැයි මා දන්නේ නැත. මේ නාඳුනන මිනිසා විවාහකයෙක්ද .., සල්ලාලයෙක්ද ..මේ හුදකලා පෙදෙසේදී ඔහු මා මරා දමාවිද..?
දුෂණය කර මරා දැමීමක්!!
මගේ දෙපා වෙව්ලන්නට විය. මේ සිතිවිලි මගේ සිතට නැගෙන්නට මෙපමණ වේලා ගත වීම ගැන මම මටම දොස් නගා ගතිමි. එක් වරම මගේ තුරුලෙහි නිහඬව ඉන්නා දරුවා ගැන මට දැනුනේ බියකි..
දරුවා මිය ගිහින්ද..
ඒ හැඟීම මගේ මොලය හිරි වට්ටන්නට සමත් විය. මම දරුවා ගේ මුහුණට , මගේ මුහුණ ලං කර දරුවාගේ හුස්ම මගේ මුහුණේ වැදෙනු දැනීමෙන් පසු සැනසුම් සුසුමක් හෙලීමි . කැළඹුණු සිතිවිලි සමග මගේ ගමනේ වේගය ඉබේටම අඩු වන්නට විය. මට ඉදිරියෙන් යමින් සිටි නාඳුනන මිනිසා වහා නැවතුනේය.
මතු සම්බන්ධයි ..
යසිකා විජේසිංහ-Yasika wijesinghe






One thought on “අපි අපේම ද..(දිගු කෙටි කතාව 3 කොටස )”