” මහන්සිද…?”
ඔහුගේ ස්වරය කාරුණිකය. මොහුගෙන් මට වරදක් නොවේයැයි මගේ සිත මට කෙඳුරුවේය. මම යලිත් හිස වැනුවෙමි. ඔහුට සිනහ පහල විය. ඒ සිනහව සුන්දරය. මට වහා අයියා සිහි විය. මගේ අයියාගේ පෙනුම, මෙන්ම ඔහුගේ සිනහව ද කෙතරම් සුන්දරද..එහෙත් ඔහු තුල ඇති නපුරු ගති ගුණ වලින් ඒ සුන්දරත්වය මකා දමා තිබිණි. මේ මිනිසා කුමන අන්දමේ ගති ගුණ ඇති අයෙක් විය හැකිද ..මගේ ජීවිතය මේ ගමන් කරන්නේ මා කිසිදා බලාපොරොත්තු වූ මාවතක නොවේ. මුහුදේ සැඟවෙන්නට ගිය එය මොහොතකින් වෙනස් වී දැන් වෙනස්ම මාවතක ගමන් කරයි. කුමන ආකාරයක කලබැගෑනියකට මුහුණ දෙන්නට සිදු වුවද , ඊට නොබියව මුහුණ දෙන්නෙමැයි අවසානයේ මම තීරණය කලෙමි.
තවත් කෙටි දුරක් ගිය පසු ඔහු අලුත සාදා නිම කළා යයි සිතිය හැකි කුඩා හුරුබුහුටි නිවහනක් ඉදිරිපිට නතර වුනේය.
” මගේ නම ළහිරු සංජය ..”
උණ බම්බු කිහිපයක් හරස් කර තිබූ කඩුල්ල පනින්නට පෙර ඔහු මට පැවසීය. මම හිස වනා එය පිලි ගතිමි. ඔහු මගේ නම ඇසුවේ නැත. “ගංගා සුභාෂිණි සෝමරත්න” යයි කියමින් යම් මොහොතක මට මා හඳුන්වා දීමට සිදු වන නමුත් ඔවුන් මා විශ්වාස කරනු ඇතිදැයි මා නොදන්නා නමුත් මට මා කවුද කියා තහවුරු කරන්නට මගේ වචන හැර වෙනත් කිසිවක් ඇත්තේද නැත. හෝටලය හදන්නට යැයි කියමින් අත්සන් කල ලියවිලි සකස් කිරීම සඳහා අයියා ඉල්ලා ගත් මගේ හැඳුනුම් පත මට ආපසු ලැබුනේ නැත. හැඳුනුම් පත ළඟ තිබුනද මුහුදේ සැඟ වෙන්නට යද්දී ,මා හැඳුනුම් පත රැගෙන නොයනු ඇත.

” අමිල..”
ළහිරු උස් හඬින් යමෙකු ඇමතුවේ එලි පහලියේ කිසිවෙක් පෙනෙන්නට නොසිටි බැවිනි. නිවස පිටුපස සිටි බල්ලෙක් බුරමින් දිව ආවේය. මම දරුවා තදින් ළැමට තුරුළු කර ගතිමි. ළහිරු මට ඉදිරියෙන් සිට ගත්තේ අප දෙදෙනා ආරක්ෂා කිරීමට මෙනි. බල්ලාගේ පසු පසින් ආ පිරිමියෙක් ළහිරු දුටු සැනින්
” අඩෝ ..සංජුවා ..” යි කෑ ගැසුවේ ප්‍රීතියෙන් මෙන්ම විමතියෙනි. එසේ නම් මේ ඔහුගේ නිවස නොවේ.
“එන්න අවසරද..” තවමත් කඩුල්ල ආසන්නයේ හිඳිමින් ළහිරු ඇසුවේ සිනාසෙමිනි.
” අවසරයි..අවසරයි..වරෙන් වරෙන් ..ගෙදරට..” කියමින් ගෙහිමියා ළහිරුව වැළඳ ගත්තේ මා දෙස ද විමසුම් බැලුම් හෙළමිනි.

” ඇත්ත කියපන් ..උඹ මට නොකියම කසාද බැන්ද වෙන්න බෑ ..එතකොට මෙයා කවුද ..”
” පොඩ්ඩක් හිටපන් ටිකක් හුස්ම ගන්න කල් ..මමත් ලොකු අවුලක ඉන්නෙ…කෝ..දීපිකා නැද්ද ගෙදර..”
” ඉන්නව.. ඉන්නව .. දරුව නිදි කරවනවා..හරි ගෙට ගිහින් ඉඳගෙන කතා කරමු. එන්න නංගි ..අපි යමු ගෙට..”
ළහිරුගේ මිතුරා මටද ආරාධනා කළේය. මම ඔහු පෙන්වූ කාමරයට ගොස් දරුවා ඇඳ මත තබා මෙතෙක් වේලා වකුටු කරගෙන සිටි දෑතේ හිරි ඇර ගතිමි. දරුවා මගේ උණුහුමින් මිදුණු නිසා ඒ මේ අත ඇඹරෙන්නට විය. ඔහුගේ මවට කුමක් විද. ඇය රළ පහරට හසුවී මිය ගියාද.. එසේ නැතිනම් ඇය ආපසු ඇගේ දරුවා සොයා එන්නට ඇතිද . ඇයට ඇගේ පව්ලේ අනෙක් අය සොයා ගැනීමට නොහැකිව , මේ දරුවා සොයා ආවා නම් ඔහුද අතුරුදහන් වී ඇති නිසා ඇයටද වූයේ පටාචාරාවට වූ දේ නොවේද..
මගේ සිතිවිලි නොයෙක් අතට විසිරෙන්නට විය. මගේ ඉරණම කුමන අතකට පෙරලේවිදැයි සිතන්නට පෙර ඊළඟ මොහොතේ දරුවා හඬන්නට විය. මම වහා ඔහු අතට ගෙන නළවන්නට උත්සාහ ගනිද්දී , ළහිරුගේ මිතුරාගේ බිරිඳ යයි සිතිය හැකි අයෙක් මට තේ කෝප්පයක් සමග තසිමක තැබූ කේක් කැබලි දෙකක් ගෙනවිත් දුන්නේ
” දරුවා බඩගින්නෙ වෙන්න ඇති. තේ බිල දරුවට කිරි ටිකක් දෙන්න ..” යැයි කියමිනි.
දරුවාට කිරි..??
ඒ මා නොසිතූ කරුණකි. දරුවාට මාස තුනක පමණ වයසක් ඇතැයි මා අනුමාන කලේ අයියාගේ දියණිය ඒ වන විට අවුරුද්දක වයසැති දැරියක බව මා දැන සිටි බැවිනි. මේ දරුවා මගේ නොවේ. මා අතට දරුවා දුන් ගැහැනිය සහ මා පමණක් දන්නා ඒ ඇත්ත අන් කවරෙක් නම් විශ්වාස කරාවිදැයි මට සිතා ගත නොහැකි විය. දරුවා හඬන්නට වීමත් ,මගේ නිහඬ බවත් වටහා ගනු නොහැකි වුනු බැවින්දෝ ළහිරු කාමරයට එබුනේය.
” ඇයි දරුව අඬන්නෙ ..කිරි බොන්නෙ නැද්ද ..” ඔහු අසද්දී මම නැතැයි කීමට හිස දෙපසට වැනුවෙමි.
” ඇයි ඒ.. එයාට මහන්සි වැඩි කමටද..”
මම නිහඬව සිටියෙමි.
” ඇයි ..මොකද වෙලා තියෙන්නෙ ..”
ඔහු යලිත් ඇසුවේ මගේ නිහඬබව පිලිතුර නොවුන බැවිනි.
” මේ දරුව මගෙ නෙවෙයි..මට කිරි නෑ ..”
තව දුරටත් නිහඬව සිටිය නොහැකි වූ මම හඬ අවදි කලෙමි.
“මොකක්..??”
ළහිරු බියපත්ව ඇති බව ඔහුගේ මුහුනින්ද , වෙව්ලන කටහඬින් ද මට දැනුණි. මාද සිටියේ බියපත්වය.
” මට කලින් කිව්වෙ නැත්තෙ ඇයි ..අයියෝ..ෂිහ් ..මමත් කරගන්න දේවල්..තමුසෙ මේ දරුව හොරකම් කලාද… එතකොට කාගෙද මේ දරුව..තියෙන කරදර මදිවට පොලිසි ගානෙ යන්න නොවුනොත් ඇති..”
ළහිරු එක දිගට කියෙව්වේය. මම දරුවා හොරකම් නොකළ බව කීමට හිස දෙපසට වැනුවෙමි.
” ඔලුව වනන්න එපා මනුස්සයෝ හැම එකටම…කට ඇරල කතා කරනවා..”
ළහිරු කෑ ගැසුවේය. ඔහු තවත් කෝපයට පත් වෙතැයි බිය වූ මම සියල්ල කෙටියෙන් විස්තර කලෙමි. මා සිටි ඇඳෙහිම පසෙකින් ඉඳ ගත් ළහිරු දෙදණ මත වැලමිට රඳවා, දෙඅතේ නළල හොවා ගෙන මා කියනා සියල්ල අසා සිටියේය. ළහිරුගේ මිතුරාද කාමරයට එබුනේ සිදුවන්නේ කුමක්දැයි බලන්නට විය යුතුය. මම බිම බලාගෙන දරුවා නළවන්නට වෑයම් කලෙමි. ඔහු ළහිරුව එලියට කැඳවා ගෙන ගිය අතර , මොහොතකින් ඔහුගේ බිරිඳ පැමිණ මා අත උන් දරුවා රැගෙන ගියාය. මම අසරණව බලා සිටියෙමි. දරුවාගේ හැඬුම සුළු වෙලාවකට පසු නෑසී ගියේය. ඉන් පසු නිවස ගිලුනේ නිහැඬියාවකය. දරුවා කුමක් කරන්නේදැයි බලන්නට යාමට සිතුන නමුත් මගේ දෙපා හිරි වැටි තිබිණ. සාලය දෙසින් රුපවාහිනිය ක්‍රියාත්මක වන හඬ යාන්තමට ඇසෙන්නට විය.
ළහිරු යලිත් කාමරයට හිස පොවතැයි සිතූ නමුත් ඔහු ආවේ නැත. ටික වේලාවකින් මිතුරාගේ බිරිඳ දරුවා නැවත රැගෙන ආවාය. ඇය ඔහුට අලුත් නැපියක් අන්දවා, ඇඳුමද මාරු කර තිබිණි. දරුවා සුවසේ නිදා උන්නේය. ඇය තවත් රෙදි කිහිපයක්ද රැගෙන ආවාය. මම වහා ඇඳ මත රෙදි අතුරා දරුවා තබන්නට සකස් කලෙමි.
” මම කිරි දුන්නා ..දැන් බඩ පිරිලා ඉන්නෙ.. ” ඇය කීවාය.
මම ඇය දෙස ස්තුති පූර්වක දෑසින් බැලුවෙමි. දරුවාගේ කුසගිනි නිවුණු බැවින් දැනට තත්වය යහපත්ය. ඊළඟ මොහොතේ මට මුහුණ දෙන්නට සිදු වන්නේ කුමන කලබැගෑනියකට දැයි මා දන්නේ නැත. මා දරුවා රැගෙන ආපසු හෝටලයට දිව්වා නම් අඩු තරමේ ඔහුට සම්බන්ධ කවුරුන් හෝ සොයා ගත හැකි වන්නටත් ඉඩ තිබෙන්නට ඇත. නමුත් මා කලේ අයිතියක් නැති දරුවෙකුත් රැගෙන , නාඳුනන මිනිසෙකු සමග සැතපුම් ගණන කීයක්දැයි නොදන්නා දුරක් ගෙවා , නොදන්නා ගෙදරකට ඒමය. අයියලාට කුමක් සිදු වූවාද කියා වත් මා දන්නේ නැත. ඔවුන් නිරුපද්‍රිතව ඉන්නවා නම් මට සිදු වූයේ කුමක්දැයි සොයනු ඇත. හෝටලයේ සිටි අයෙකු මා එලියට බැස ගිය බව දැක ඒ බව අයියලාට කීවේ නම් , මා රළ පහරට හසුව මිය යන්නට ඇතැයි ඔවුන් නිගමනය කරනු ඇත.
ළහිරු කාමරයේ දොර රෙද්ද මෑත් කර මට පිටතට එන ලෙස හිසින් සන් කලේය. දරුවාගේ පසෙකින් කොට්ටයක් තබා මම ඔහු පසු පස ඇදුනෙමි .

” එන්න.. මොනව හරි කාල ඉමු..මට ඔයා එක්ක තව කතා කරන්න ඕන..”
යලිත් ඔහුගේ ස්වරය කාරුණික වී ඇත.
මිතුරාගේ බිරිඳ මේසයට කෑම සූදානම් කර තිබිණි. ආහාර ගන්නා අතරේ මම මෙතෙක් ඔහු නොදැන සිටි මා ගැන සියලු තොරතුරුද , අද උදෑසන මුහුණ දුන් සිදුවීම පිළිබඳව යලිත් වරක්ද , පැවසුවෙමි. කල්පනාකාරීව ඔහු සියල්ල අසා සිටියේ බාධා කිරීමකින් තොරවය. මගේ පැහැදිලි කිරීම් ගැන ඔහු සෑහීමකට පත් වූයේදැයි මට සිතා ගැනීමට නොහැකි වුනද , ඔහුගේ මිතුරා මගේ කතාව අවසන් වූ පසු ඔහුට ටිකකට එන්නැයි පැවසීම නිසා මිතුරාද මගේ කතාවට සවන් දෙන්නට ඇතැයි මට සිතුනි. මම ද කෑම ගෙන අවසන් කර ඔවුන් සිටි තැනට ගියෙමි .
අප අතර වූ දීර්ඝ සාකච්චා කිරීමකින් පසු ඊළඟට කල යුත්තේ කුමක්දැයි තීරණය කෙරිණි. අප යැයි කීවත් මා කලේ නිහඬව අසා සිටීමය. අමිල නම් වූ ළහිරුගේ මිතුරා ග්‍රාම නිලධාරි වරයෙකි. දැනට ඔහුගේ නිවසේ, අතරමංව ඉන්නා මටත් දරුවාටත් නවාතැන් ගත හැකිය. ළහිරු කොළඹ රැකියාවක නිරත වූ අයෙකු වන අතර , ජීවිතයේ වූ යම් කිසි බිඳ වැටීමක් නිසා තාවකාලික මානසික සුවයක් සොයා මිතුරා සොයා එන අතරමගදී කිසිදා නොදුටු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවී ඇත.
සයුර ගොඩබිමට දිව ආ ඒ මොහොතේ තවත් මොහොතකින් ජීවිතය අහිමි වේ යයි සිතුනු හුදකලාව සිටි දරුවකු තුරුළු කර ගත් තරුණ මවකගේ අතින් ඇදගෙන දිව ගොස් ඔවුන් බේරා ගන්නා විට, ඊළඟට කල යුත්තේ හෝ සිදුවන්නේ කුමක්දැයි සිතා නැත. මුහුණ දීමට සිදුව ඇති තත්වය ඔහු සිහිනෙන් වත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ.
ඇඳිවත පමණක් හිමි වූ මට තමන්ගේ ඇඳුම් ද , මාස පහක් වයසැති ඇගේ දියණියගේ ඇඳුම් සහ රෙදි පිළි දරුවාට ද දීමට තරම් අමිලගේ බිරිඳ කාරුණික තැනැත්තියක වූවාය . දීපිකා නම් වූ ඇයට , මම අක්කා යැයි ද , අමිලට අයියා යැයි ද කීවෙමි. මට සුභා යැයි කීමට යෝජනා කලේ ළහිරුය . මතක ඇති දා පටන් දන්නා ” ගංගා ” ට වඩා, මම සුභාට ආදරය කලෙමි. අහම්බයකින් හෝ දරුවාගේ මව යම් දවසක හමු වන්නේ නම් , එදවස තෙක් , ගැහැනියක වන්නටත් පෙර මම නාඳුනන දරුවෙකුට මවක වන්නට සුදානම් වීමි. දරුවාගේ වයස මාස දෙකක් පමණ වන්නට ඇතැයි තීරණය කලේ දීපිකා අක්කාය. දරුවාට නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් දිය යුතු විය. . ඒ වෙනුවෙන් ඔහුට කාඩ් පතක් සාදවා දීම අමිල අයියා බාර ගත්තේය. දරුවාගේ නම සංජු විය යුතු යැයි තීරණය කලේ මා ය. එය ඇසුනු විගස ළහිරු මදෙස බලනු මම දුටිමි. අමිල අයියා ළහිරු දෙස බලා සිනාසුනේ මා කිවූ නම අනුමත කරමිනි. මා ඔහුගේ බිරිඳගේ සොහොයුරියක බව විමසන කෙනෙකුට පිළිතුරු ලෙසින් කිව යුතු යයි තීරණය කලේද අමිල අයියාය. ඒ අලුත් මෙහෙයුමකි. අලුත් අරමුණකි. කාට නැතත් මට ඇති වූයේ නැවුම් බලාපොරොත්තුවකි .
ඕනෑම තත්වයක් යටතේ ඕනෑම තැනකට , ඕනෑම කාර්යයකට ඉක්මනින් හුරු වීමේ මා සතු හැකියාව , අක්කාගේ සතුටට හේතු විය. පහුවදා වන විට මම අලුත් නිවසට හුරු පුරුදු වී සිටියෙමි. දරුවාට කිරි දීම හැරුණු විට ඔහුගේ අන් සියලු වැඩ කටයුතු කලේ මා ය. දරුවන් දෙදෙනාගේම රෙදි මම සෝදා දැමුවෙමි. ඔහුට කිරි පෙවීම කල නොහැකි වීම ගැන මට ඇති වූයේ කණගාටුවකි.
දින දෙකකට පසු ළහිරු නැවත යායුතු බව කීවේය. ඔහු යා යුතු බව මට සිහිපත් වූයේ එවිටය. ඔහුට යාමට තැනක් ඇති නමුත් මට යාමට තැනක් නැත. අමිල අයියාත් අක්කාත් කැමති වන කාලයක් මටත් දරුවාටත් ඔවුන්ගේ සෙවනේ රැඳෙන්නට හැක.දැනට මා දන්නේ එපමණය.
ළහිරු ,අමිල අයියාත් සමග යතුරුපැදියෙන් ටවුමට ගොස් දරුවාටත් මටත් අවශ්‍ය විය හැකියැයි සිතිය හැකි බඩු මෙන්ම නිවසට උවමනා දෑ සෑහෙන ප්‍රමාණයක් ද රැගෙන ආවේය. මට ඇඳුම් දෙකක්ද , දරුවාට අලුත් නැපි සහ රෙදි කිහිපයක්ද , රෙදි සේදීමට සබන් , දත් බෙහෙත් ,මෙන්ම එළවලු මාළුද , අමිල අයියාටත් අක්කාටත් අඳින්නට ඇඳුම් ද ඒ අතරේ විය. අමිල අයියා මෙන්ම අක්කාද පැවසුවේ මේ කිසිවක් ඔවුන්ට අවශ්‍ය නැති බවත් , අපව රැක බලා ගන්නේ ඔවුන්ගේම සොහොයුරන් සේ සිතමින් බවත්ය. ළහිරු හිනැහුණේ යුතුකමක් ඉටු කල කලෙක මෙන් සතුටිනි.
එදින රැයේ අක්කාට විවේක ගන්නැයි කියූ මම තනියම ඉව්වෙමි. වරින් වර කුස්සියට හිස පොවා බැලුවද , ළහිරු කිසිවක් ඇසුවේ නැත.
” අද රෑට කන්න පුළුවන් වෙයිද මන්දා “
කියමින් අමිල අයියා මට සරදම් කළේය. මා උන්නේ සතුටිනි. මගේ අයියාගේ සෙවනේ නොලද සතුට සැනසීම , රැකවරණය මෙහිදී මට ලැබිණි. මේ අය මගේ යයි මට සිතිනි. මා ඉව්වේද එම සතුට හිත පුරා පතුරමිනි. මා ඉවූ කෑම වලට සියලු දෙනාගෙන්ම ලැබුනේ ස්තුති පූර්වක ප්‍රශංසාවකි .ළහිරු ප්‍රබෝධමත් දෑසින් මාදෙස බැලුවේය.
පසුදා ළහිරු යාමට සූදානම් වූ මොහොතේ මම ඔහුගේ දෙපා වැන්දෙමි. ඒ ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූවක් බව , ඔහු කලබල වූ ආකාරයෙන් මට වැටහින . වහා මා අල්ලා නැගිටවූ ඔහු මගේ හිස අතගා පරිස්සමින් දරුවා බලා ගන්නා ලෙසද , සතුටින් ඉන්නා ලෙසද කිවේය. මම හිස වනා ඔහුගේ උපදෙස් පිලිගතිමි. ඔහු යලි එන්නේදැයි මා ඇසුවේ නැත. එලෙස අසන්නට මට අයිතියක් තිබුනේද නැත. මා කෙසේ හෝ ජීවිතය අලුතින් පටන් ගත යුතුය. හැමදාමත් කාටවත් බරක් වී ජිවත් විය නොහැක. එහෙත් ළහිරු ළඟ පාතක ඉන්නා විට මට දැනුනේ ආරක්‍ෂිත හැඟීමකි.
ඔහු පිටත්ව ගොස් සති දෙකක් ගත වූ තැන අක්කා මාත් සංජුත් කැටුව එන්නත් ලබා දෙන සායනයට ගියාය. මට කිසිවක් කතා නොකර සිටින්නැයි පැවැසූ ඇය මා වෙනුවෙන් කතා කිරීමේ වගකීම බාර ගත්තාය. ඇය එතැන සිටි හෙද නිලධාරිනිය සමග පහත් හඬින් යමක් පවසනවා දුටු නමුත් මට ඇය කීවේ මොනවාදැයි ඇසුනේ නැත. හෙදිය මා දෙස බැලුවේ අනුකම්පාවෙනි. අක්කා දන්නා හඳුනන අම්මලා ඇය සමග සිනාසුනහ. එතැන සිටි වෛද්‍යවරිය සංජුව හොඳින් පරික්ෂා කලාය. සංජු නිරෝගී දරුවෙක් බව දැනගත් මොහොතේ මට දැනුනේ සතුටකි. මා ඇගේ නිවසේ නතර වීම ගැන අක්කා ද සිටියේ සතුටිනි. ගෙදර සියලු වැඩ කටයුතු වලදී ඇයට මගේ සහය හිමි විය. දරුවන් බලා ගැනීම මා කලේ සතුටිනි. මගේම අය මැද පිටස්තරයෙක් වූ මම , පිටස්තරයන් මැද සතුටින් සිටියෙමි.
සංජු මා හඳුනා ගෙන සිනා සෙයි.ඔහු පියකරු දරුවෙකි. මම ඔහුගේ මව සිහියට නගා ගන්නට උත්සාහ කලමුත් මගේ මතකයේ තිබුනේ බොඳ වූ සිතුවමකි. සංජුට ඇත්තේ කාගේ පෙනුම විය හැකිදැයි මම කල්පනා කලෙමි. පැහැපත් රුවක් හිමි මා මෙන්ම සංජුද පැහැපත්ය. අවසානයේ ඔහුට ඇත්තේ මගේ පෙනුම යැයි සිතමින් මම සතුටු වුනෙමි.
ඔහුට තිබුනේ සුරතල් කිරි සිනාවකි. අමිල අයියාගේ දියණිය තාත්තා දකින විට සතුටින් ඉපිලෙයි. මට සංජු ගැන දැනුනේ කනගාටුවකි. ඔහුට කෙදිනකවත් තාත්තා කෙනෙකු නොලැබෙනු ඇත. එහෙත් ඔහුට අම්මා කෙනෙකු සිටියි. ඔහු වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නට තරම් ශක්තිමත් සෙනෙහසක් ඒ අම්මාගේ හිතේ ඉපදී ඇත.
ළහිරු පැමිණියේ තවත් මසකට පසුවය. ඒ මාසය පුරාවටම මට ඔහු සිහිපත් නොවූ දවසක් තිබුනේ නැති නමුත් මම කිසි විටෙකත් අක්කා සමග හෝ අයියා සමග ඔහු පිළිබඳව සිහිපත් නොකලෙමි. අක්කාද අනුන්ගේ ඕපා දූප කතා කරන්නියක් නොවීම මට සැනසීමක් විය. එවර ළහිරු ආවේ මෝටර්රථයකිනි. එය ඔහුගේ විය යුතුය. ඔහු පැමිණි විගසම සංජු ලඟට ගොස් ඔහුව වඩාගෙන සුරතල් කළේය. සංජු ඔහු අතේ සිට මා අතට පැන්නේය. නොදන්නා අයෙකු දුටුවා නම් අප වාසනාවන්ත දරු පව්ලක් යයි කියනු ඇත. ළහිරු කොළඹ ගිය පසු මෙන්ම ඔහු නැවත අප බලන්නට එන ගමනේදී ද , මා කියූ හෝඩුවාවන් ඔස්සේ ගොස් සංජු ගේ හෝ මගේ යයි කිව හැකි අයෙක් පිළිබඳව සෝදිසී කර ඇති නමුත් , විසල් පිදුරු ගොඩක නැති වුනු ඉදිකටුවක් සෙවීම ඊට වඩා පහසු වනු ඇතැයි කීවේය . .
ඔහුට මගේ ගමේ ගෙදර තිබූ තැන ඉදිවෙමින් තිබූ ගොඩනැගිල්ල සොයා ගත හැකිවී ඇති අතර එදා මුහුදු රළ ඒ සියලු තැන් ආක්‍රමණය කර ඇති බවත් , ගොඩනැගිල්ලට විශාල හානියක් නැති බවත් , දැනට එහි ඉදිකිරීම් නතරව ඇති බවත් අවට සිටි අයෙකු පවසා ඇත. ළහිරුට මා සහ දරුවා හමු වූ තැන කොතනදැයි සොයා ගත නොහැකි තරමට පරිසරය වෙනස් වී ඇති බව කියද්දී අමිල අයියාත් අක්කාත් අසා සිටියේ අයා ගත් මුවින් යුතුවය.
ළහිරු නිවසේ රැඳී සිටින දින දෙක හෝ තුන අප සියලු දෙනාගේම සිත් වල සතුට දෝරෙ ගලයි . ඔහු එද්දී අපට අවශ්‍ය වෙතැයි සිතිය හැකි බොහෝ දේ ගෙනවිත් තිබිණි. සංජුට මෙන්ම , අමිල අයියාගේ දියණියටද , සෙල්ලම් බඩු ඒ අතර විය. මා උන්නේ කිසිවක් වටහා ගත නොහැකිවය. ඔහු මේ ඉටු කරන්නේ කවර නම් වූ යුතුකමක්දැයි මා දන්නේ නැත. ඔහු කාගේ කවුද කියා මා සොයා බලා නැත. ඔහු මා සහ දරුවා කාගේ කවුදැයි සොයා ගන්නට උත්සාහ ගෙන ඇති නමුත් , තවමත් එය ව්‍යර්ථ වූ වෑයමකි . එසේ නම් අප අතර ඇත්තේ කුමන බැඳීමක් ද ..එයට නමක් , පාටක් හෝ හැඩයක් නැත. එහෙත් එකිනෙකා අතරේ සියුම් ලෙස වෙලෙමින් මේ ඇති වන්නේ ශක්තිමත් බැඳීමක් නොවේදැයි මම මගෙන්ම ඇසුවෙමි. අප අතර වූ මේ රැහැන් බිඳින්නට කවරෙකුට හෝ ඇවැසි වන දිනය තෙක් එය රකින්නට මම තීරණය කලෙමි. කවදා හෝ එවැනි අවශ්‍යතාවයක් ඇති විය හැක්කේ ද ළහිරුට හෝ සංජුට මිසක , මට නොවන බව පමණක් මම පැහැදිලිවම දැන සිටියෙමි. දිවුරා පැවසිය හැකි එකම සත්‍යය නම් මේ පාටක් හෝ හැඩයක් නැති බැඳීමට මා බොහෝ ආදරය කළ බවය.
ළහිරු වරින් වර පැමිණ ටික දවසක් අප හා ගත කර ආපසු යන්නේය. කිසිවෙකු ඔහුගෙන් මේ ගමනේ තේරුම කුමක්දැයි අසන්නේ නැත. අන් අය කෙසේ වෙතත් මා ඔහුගෙන් අපේ ඊළඟ පියවර කුමන ආකාරයේ විය හැකිදැයි කිසිදා ඇසුවේ නැත. අනවශ්‍ය ඕනෑම කතා බහකින් මා ලබනා මේ අහිංසක සතුට මොහොතින් දියව යා හැකිය යන බියක් නිරන්තරයෙන් මගේ සිත අරක් ගෙන තිබිණි. එසේ එන යන අවස්ථාවලදී ඔහු මා වෙනුවෙන් ජංගම දුරකථනයක් ගෙනවිත් දුන්නේ සංජු ගේ ඕනෑම අවශ්‍යතාවයකදී අමිල අයියාට කරදර නොකර, ඔහුට පවසන ලෙස කියමිනි. ඒ මා කිසිදා අත පත ගාන්නට බලාපොරොත්තු වූ මෙවලමක් නොවේ. ඔහුට ස්තුති කරන්නට සුදුසු වචන මා දැන සිටියේ නැත. ඒ මෙවලම අප අතර වූ බැඳීම තවත් ශක්තිමත් කරන්නට දායක වූයේ අප අතර හුවමාරු වන වචන ගණනින් මෙතෙකැයි කිව නොහැකි තරමට වැඩි කරවමිනි.
මේ අතර සංජු දිනෙන් දින පිබිදෙන මලක් සේ ගුණෙන් රුවින් වැඩෙමින් සිටියේය. ඔහු සම්බන්ධයෙන් මගේ සිතට වදදෙන එකම කරුණක් පැන නැගී තිබිණි. අමිල අයියා ගේ දියණිය හොඳින් බහ තෝරන්නට පටන් ගෙන තිබියදීත් සංජු කිසිවක් කීවේ නැත. ඔහුගේ මුවින් අම්මා යනුවෙන් කියනු අසන්නට මම පෙරුම් පිරුවෙමි. ළහිරු සංජු ගෙත් මගෙත් සියලු අවශ්‍යතාවයන් සපිරුවද , ඔහුව තාත්තා යනුවෙන් සංජුට හඳුන්වා දීමට මගේ දිව සූදානම් නොවුනි. එහෙත් අම්මා යනුවෙන් මා ඇමතීමට ඔහුට කිසිදු බාධාවක් තිබුනේ නැත. සංජුගේ ඇසීමේ හෝ අවධානය යොමු කිරීමේ කිසිදු අඩුවක් දක්නට නොලැබුණු අතර ,සායනයට රැගෙන ගිය සෑම වරකම ඔහු නිරෝගී දරුවෙකු බව පැවසිණ .
ළහිරු මා සමග සංජු රැගෙන තවත් වෛද්‍යවරුන් හමු වීමට ගියද අපට උපදෙස් ලැබුනේ කාලයට ඉඩ දී දී බලා බලා සිටින ලෙසත් , ඔහුට කථන පුහුණුව සඳහා හැකි තරම් අභ්‍යාස කරවන ලෙසත් පමණය. දරුවාගේ මව්පියන් කලබලව ඇති නමුත් දරුවා නිරෝගී දරුවෙක් බව නොයෙක් පරීක්ෂණ අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය විය. කැමති නම් දරුවාගේ තනියට තවත් දරුවෙක් සාදා ගන්නැයි ඔවුන් සිනාසෙමින් කී විට මා බිම බලා ගත් අතර , ළහිරු සිනාසුනේය. අප දෙදෙනා සංජුගේ නිල නොලත් දෙමව්පියන් වූයේ එලෙසිනි.
යසිකා විජේසිංහ-Yasika wijesinghe
පෙර කොටස් මෙතනින් 👇
- අපි අපේම ද…1 කොටස
- අපි අපේම ද ..2කොටස
- අපි අපේම ද.. 3 කොටස





