අපි අපේම ද ..( දිගු කෙටිකතාව 2 කොටස)

අම්මා රැගෙන ගියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකටය. මා මීට පෙර කොළඹ දැක තිබුනේ නැත. නොයෙක් අතට විහිදුනු මං මාවත් ද , නා නා හැඩයේ ගොඩනැගිලිද, ඉස්පාසුවක් නැතිව ඔබ මොබ දිවයන නොයෙක් මාදිලියේ වාහනද , මී මැසි පොදියක් විසිරුණු කලක මෙන් ඒ මේ අත යනෙන මිනිසුන් ගෙන් ද පිරුණු මේ සුවිසල් නගරයේ කිසිදු වගක් නැතිව වාහනය පදවන අයියා දෙස මා පිටුපස අසුනේ සිට බලා සිටියේ පුදුමයෙනි. මට අම්මා ළඟ නතර වන්නට උවමනාව තිබුනද සියලු සාත්තු සප්පායම් කටයුතු රෝහලෙන් ඉටුවන නිසා මා එහි නැවතීම අවශ්‍ය නැතැයි කී අයියා මා වාහනයේ සිටියදීම අම්මා රෝහලට ඇතුලත් කිරීම සඳහා ගියේය.
ගිලන් රියෙන් අම්මා එලියට ගනු මා දුටුවේ වාහනයේ වැසුණු විදුරු කවුළු අතරිනි. අම්මා මා කොහිදැයි බැලුවාද කියා හෝ අයියා හඳුනා ගත්තේදැයි මා දන්නේද නැත. හෙට උදෑසන අයියා සමග ඇය බලන්නට එන තෙක් මේ නාඳුනන නගරේ ඇයට තනිකමක් හෝ අපහසුවක් නොදැනේවායි දෑස් පියාගත් මම ප්‍රාර්ථනා කලෙමි. එතැන් සිට මට මඳ වේලාවක් නින්ද යන්නට ඇත. අයියා අම්මා ඇතුලත් කිරීමේ වැඩ කටයුතු අවසන් කර ඒමට ගත වූ වේලාව කොපමණදැයි මට නොදැනුනු අතර පහ කරගන්නට උවමනා මුත්‍රා බරකින් මා පෙලුනද අයියාට ඒ බව කීමට තරම් ශක්තියක් මට තිබුනේ නැත. නොයෙක් අතුරු මාවත් වල ගත කල තවත් අඩ පැයක පමණ ගමනකින් පසු එක් ගෙමිදුලක නතර කල මෝටර් රියෙන් අයියා බැස්සේ
” ගංගා ..මේ තමයි මගේ ගෙදර” යැයි පවසමිනි.
ජීවිතයේ පළමු වතාවට මම තාත්තා හෝ අම්මා නැතිව පිටස්තර ගෙදරකට පැමිණ ඇත. “පිටස්තර ගෙදරක් “… මට පළමුව හිතට ආවේ ඒ හැඟීමය. ඇත්තටම ඒ මගේ අයියාගේ නිවසය . එහෙත් එවන් හැඟීමක් මගේ හිතට දැනුනේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. මේ නිවසේ ඉන්නා අය කවුරුන්ද .. අම්මා ඉන්නා තැනක ඉන්න ලැබුනා නම් මීට වඩා මට සැනසීමක් ලැබෙනවා නොවේද.. මෙවන් දහසක් සිතිවිලි සිතට ආවද ඒවා ගැන සිතමින් ඉන්නට මට වෙලාවක් නොලැබුන බැවින් ගෙනා බෑගය තුරුල් කර ගනිමින් මම අයියා පසු පසින් ගෙට ගොඩ වුනෙමි. කුස්සිය පැත්තෙන් නිවසට ඇතුල් වූ අයියා
” විමලා..”
යනුවෙන් හඬ ගෑවේය.
ඒ කතා කලේ ඔහුගේ බිරිඳට විය යුතුය. මම කිසිදා නොදුටු නෑනා සමගින් සිනා විය යුත්තේ කෙසේදැයි සිතන්නට වීමි. තරමක් තරබාරු ගැහැනියක් අප ඉදිරියට ආවාය. මම ඇය සමග මුව පුරා සිනහ වීමි. එහෙත් ඇගෙන් එතරම් සුහදශීලි ප්‍රතිචාරයක් මට ලැබුනේ නැත.
” මේ ඉන්නෙ ගංගා..එයාට ස්ටෝරු කාමරේ තියෙන පොඩි ඇඳ හදල දෙන්න නිදා ගන්න. ඊට කලින් රෑ කෑම දෙන්න. ටොයිලට් එක පෙන්නන්න . එයා අද ඉඳන් මෙහෙ ඉන්නවා. ” අයියා එක දිගට කීවේය.
” හොඳමයි මහත්තයා..”
ගැහැණිය කීවේ යටහත් පහත් ස්වරයෙන් වුවද , ඇගේ මුහුණේ ප්‍රසන්න බවක් තිබුනේ නැත. අයියා මඳක් ඈතින් තිබූ පියගැට පෙළ නැග නොපෙනී ගිය අතර කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකි වුනු මම බෑගය තුරුල් කරගෙන හුන් තැනම සිටියෙමි. මොහොතකින් උඩු මහලින් ප්‍රීතිමත් ගැහැනු කටහඬක්ද , දරුවන්ගේ කටහඬ ද ඇසෙන්නට විය. විමලා අයියාගේ බිරිඳ නොව නිවසේ මෙහෙකාරිය බව මම වටහා ගතිමි. අයියා මා බාර දුන්නේ ඇයටය .විමලා මට හිමි වූ කාමරයට මා කැඳවා ගෙන ගියාය. හුරුබුහුටි කුඩා කාමරයක් වූ එය මගේ සිත් ගත්තේය. එතෙක් වේලා යටපත්ව තිබූ මුත්‍රා බර යලිත් උත්සන්න වූයෙන් පළමුව මම ඇගේ උදව්වෙන් වැසිකිලිය සොයා ගොස් සැහැල්ලු වීමි. මම ඇයට අක්කා කියා ඇමතීමි. ඇය එවර මා හා සිනාසුනාය.
” විමලා ..” යනුවෙන් උඩු මහලින් ලැබුණු ගැහැනු ඇමතුමකට
” එනව නෝනා .” .යි පිළිතුරු දෙමින් විමලක්කා පඩි පෙළ නැග්ගාය.
මඳ වේලාවකට පසු පැමිණි ඇය මුළුතැන්ගෙයට මා කැඳවා ගෙන ගොස් මට බත් බෙදා දුන්නාය. අයියලා කන්නට පෙර මට කන්නට උවමනා නැතැයි කීමට සිතුන නමුත් අලුත් වටාපිටාවත් , මෙහි වැඩ කටයුතු කෙරෙන අන්දමත් හරියාකාරව වටහා ගන්නා තෙක් නිහඬව සිටිය යුතු බව මගේ සිත මට දැනුම් දුන්නේය. එදින රැයේ අම්මාගේ කෙඳිරි ගෑම් ඇසුනේ නැතත් මට සුවසේ නින්ද ගියේද නැත. ගෙදර සිටියදී වටින් ගොඩින් එලිය වැටෙද්දී ජනෙල් වලට ඉහලින් ඇති කවුළු වලින් ඒ බව දුටුවද , ඝන තිර රෙදි වලින් ජනෙල් පොරවා ඇති මේ නිවසේ මට වෙලාව ගැන අනුමාන කරන්නට නොහැකි විය . නින්දත් නොනින්දත් අතර ගත වූ රැයේ වරෙක මම අම්මා දුටුවෙමි. අයියාගේ නිවසට කවදාවත් නොපැමිණි ඇය , මා ලඟට විත් හොඳින් නිදා ගත්තාදැයි ඇසුවාය. ඇය සුවපත්ව සිටීම මට ගෙන දුන්නේ අප්‍රමාන ප්‍රීතියකි. අප දෙදෙනාට යලිත් වරක් ගමට යාමට හැකිය. අම්මා රෝහලට රැගෙන ආවේ හදිසියෙන් බැවින්, මගේ තනි නොතනියට පිහිට වූ අසල්වැසියන් කිසිවෙකුටත් දන්වා ඒමට නොහැකි වීම පිළිබඳවද මට තිබුනේ කණගාටුවකි.
පසුදා උදයේ අයියා සමග අම්මා බැලීමට යා යුතු යැයි මම සිතා ගතිමි. පිටස්තර අයගෙන් සැලකුම් විඳීමේ පුරුද්දක් ඇයට තිබුනේ නැත. රෝහල් ගත කල සෑම අවස්ථාවකම ඇගේ මුහුණ අත පය සේදුවේත්, මළපහ කල පසු සුද්ද පවිත්‍ර කලේත් , අනිකුත් සියලු උවැටන් කලේත් මා විසිනි. ගෙවුණු රැයේ අම්මා මා ළඟ නැතිව අසරණ වන්නට ඇතැයි මට සිතුනි. පසුදා මා අවදි වන විට තරමක් ප්‍රමාද වී තිබිණි. මහත්තයා තම පව්ලේ අයත් සමග ඔහුගේ අම්මා බලන්නට රෝහලට ගිය බව මට දැනුම් දුන්නේ විමලක්කාය . ඒ මහත්තයාගේ පමණක් නොව මගෙත් අම්මා යැයි කීමට කටට ආවද මම ඒ වචන ආපසු ගිල ගත්තෙමි. හැමදාමත් ඉවසීම පුරුදු පුහුණු කල මට මින් ඉදිරියට එය තවත් ප්‍රගුණ කරන්නට සිදුවන බව මගේ සිතට දැනෙන්නට විය. අයියා වෙස් බඳින්නේ කුමන නැටුමක් නටන්නටදැයි තවමත් වටහා ගත නොහැකි වුවත්, නැටිය යුත්තේ එළිපිට බැවින් මම ඉවසීමෙන් ප්‍රේක්ෂකාගාරයට වී බලා සිටින්නට තීරණය කලෙමි. විමලක්කා දහවලට උයන්නට ඇයට උදව් වන්නැයි මට කීවාය. උදෑසන කෑම ඇය පිළියෙළ කර තිබූ අතර , ගෙදර අය එළියෙන් කෑම ගන්නා බව දැනුම් දුන් බවද කිවේ ඇයය. මම නිහඬව ඇය කියන්නක් අසා සිටියෙමි.
ඒ නවීන ආම්පන්න පිරුණු කුස්සියේ මට ඉගෙන ගන්නට බොහෝ දේ තිබිණි. එහෙත් මා සතුවූ යමක් එක වරක් කියා දුන් පමණින් හෝ බලා සිටි පමණින් වටහා ගැනීමට ඇති හැකියාව නිසා මා නොදත් පරිසරයක වැඩ කටයුතු කිරීමට මෙන්ම ජිවත් වීමට හැඩ ගැසෙන්නට මට ලොකු කාලයක් ගත කරන්නට උවමනා වූයේ නැත. මගේ හැකියාව ගැන විමලක්කා බොහෝ සතුටට පත් වූවාය. මට වැඩ පවරා මා ඒවා හරියාකාරව ඉටු කරනවාදැයි නිරීක්ෂණය කරමින් ඇය කුස්සියේ තිබු කුඩා පුටුවක වාඩි වී තොර තෝංචියක් නැතිව කතා කලාය. මා කලේ ඇගේ කතා වලට හූ මිටි තබමින් මට පවරන ලද කාර්යයන් සම්පූර්ණ කිරීමය. මගේ සතුටට මෙන්ම සැනසීමට හේතු වූ කරුණක් වූයේ ඇය මා පිළිබඳව කිසිවක් නොවිමසීමය.
එදා හවස් වරුවේද අම්මා බලන්නට යාමට මට නොහැකි වුනේ අයියලා ගෙදර එන විට රෑ වුනු බැවිනි. විමලක්කා සිටි බැවින් මට තනි කමක් නොදැනුනද , මා සිටියේ මහ මුහුද මැද අතරමං වුනු කොල්ලෑව ගිලිහුණු ඔරුවක් පරිද්දෙනි. මා ඉන්නා ඉසව්ව කොහිද කියා මා දන්නේ නැත. උස්වූ තාප්ප වලින් වටවූ මේ නිවසට පෙනෙනුයේ තවත් එවැනිම නිවසක දෙවන හෝ තෙවන මහලය. ඇතැම් විට නිවසේ උඩු මහලට මිට වඩා වැඩි වපසරියක දසුනක් දැක ගත හැකි වනු ඇත. උඩු මහලට පිවිසීමේ වරම තවම මා හට හිමි නොවූයේ මා ඉන්නේ මගේ අයියාගේ නිවසේ යැයි මා දැන සිටි නමුදු, අයියා හැරුන විට අයියාගේ නිවසේ කිසිවෙක් ඔහුගේ සොහොයුරිය මේ නිවසේ ඉන්නා බව දැන නොසිටි නිසා වන්නට ඇත. වාහනයෙන් බැස එද්දී මම අයියාගේ රූමත් බිරිය දැක ගතිමි. අවුරුදු පහක පමණ සුරතල් දරුවකු අයියාගේ අතේ එල්ලී පැමිණි අතර, අක්කාගේ උරහිසෙහි ළදැරියක නිදා සිටියාය. මා ඔවුන් දුටුවද , ඔවුන් මා නොදකින්නට ඇත. අක්කා දරුවන් රැගෙන උඩු මහලට ගිය අතර , අයියා හිණි පෙළ පාමුල නතරව
” ගංගා ..” යි හඬ නැගීය. මම වහා එදෙසට දිව ගියෙමි.
” අම්මගෙ තත්වෙ හොඳ නෑ .. මට ඒකට කරන්න දෙයක් නෑ . .එයා වෙනුවෙන් කරන්න තියෙන හැම දේම මම කරල ඉවරයි..” අයියා පහත් හඬින් එක හුස්මට කියා ගෙන ගියේය.
” මට අම්මව බලන්න ඕන..” වචන එකතු කර ගත හැකි වූ ඇසිල්ලෙහි මම බිම බලාගෙන කෙඳුරුවෙමි . කවදත් මට අයියා දෙස කෙලින් බලා කතා කිරීමේ ශක්තියක් තිබුනේ නැත.
” එහෙම එක එක්කෙනාට ඕන ඕන විදියට ලෙඩ්ඩු බලන්න බෑ.. අනික අමාරු ලෙඩ්ඩු ඉන්නෙ අයි සී යූ එකේ.. මොකද තමුන් ගියා කියල බෙහෙත් කරන්නද..?”
තවත් වරක් ඉල්ලීමක් නැගෙන්නට පෙර, මගේ වචන එකතු කිරීමේ ශක්තිය කඩා බිඳ දැමීමට අයියාගේ අවසන් වචන කීපයට හැකියාව තිබිණි. මා එක එක්කෙනා විදියට ගණන් තැබිය යුතු කෙනෙකු නොවන බවත්, අවසන් මොහොතට පැමිණ ඇත්තේ මෙතෙක් දවස් මා හා දුක සැප බෙදා හදා ගත් මගේ අම්මා බවත්, අයියාට පිළිතුරු ලෙසින් කියන්නට මට උවමනා වුවද ඒ කිසිදු සිතිවිල්ලක් වචන බවට නොහැරුනා මෙන්ම අයියා තවදුරටත් මට සවන් දෙන්නට එතැන රැඳී සිටියේ ද නැත.
එදින රැයේ මට බඩගිනි නැතැයි විමලක්කාට කියා , රෑ කෑම වර්ජනය කලද , අයියලා රාත්‍රී ආහාරය ගත් පසු භාජන සෝදා පිරිසිදු කිරීමට මා විමලක්කාට උදව් කල යුතු විය. මා කඩිසරව වැඩ කිරීම විමලක්කාගේ විවේකය වැඩි කරවන්නට හේතුවක් විය. සියලු වැඩ නිම කර මට හිමි පුංචි කාමරයට ගිය පසු , මට අම්මා ගැන හිතන්නට කාගෙන්වත් තහනමක් නොවීය. අම්මා කවදත් වඩාත් ආදරය කලේ අයියාටය. අයියා එපමණටම අම්මාට ආදරය කලාදැයි දන්නේද අයියා පමණය. කෙසේ වෙතත් අම්මා මගේ ආදර සැලකුම් විඳින්නට ප්‍රිය කලාය. අම්මා කුමන තත්වයකින් මේ මොහොත ගෙවනවාදයි සිතමින් මම දුක් වුනෙමි.
අම්මා වෙනුවෙන් හෙලන්නට මට කඳුළු තිබුනේ නැත. තාත්තා මිය ගිය දවසේ පවා මා හැඬුවේ නැති බව සිහිපත් කරන අම්මා විටෙක මට බැන වැදුනේ
” උඹට ඉතින් කවද හරි අඬන්න වෙන්නෙ මම මැරුණු දාකට තමයි ..” කියමිනි.
ඇය එසේ කීවේ මා සංවේදී ගැහැනියක නොවෙතැයි හඟවන්නටය . එවන් මොහොතක සංවේදී බව හෝ කාරුණික බව ඇත්තේ කඳුළු වල විතරදැයි අම්මාගෙන් අසන්නට සිතුනද ඒ සඳහා මගේ මුවට වචන පැමිණියේ නැත. අම්මාගේත් මගෙත් අතීතය සිහි කරමින් උන් බැවින් බොහෝ වේලා යනතෙක් නින්ද මා කරා නොආවේය. අම්මාත් මමත් ජිවත් වූ ඒ සන්සුන් පරිසරය යලි කවදා දකින්න ලැබේදැයි වැටහීමක් නැතිවම අවසානයේ විමලක්කාගේ ගෙරවීම ඇගේ කාමරය දෙසින් ඇසෙද්දී මම දෑස පියා ගතිමි. පසුදා අයියා අම්මා බලන්නට යනු ඇතැයි මා සිතූ නමුදු , එදින අයියා පහලට බැස්සේද නැත. දරුවන් දෙදෙනා රැගෙන පහලට ආ අක්කා මා දරුවන්ට හඳුන්වා දුන්නේ
” මේ ගංගා ..” කියමිනි. කුඩා දැරිය මා හඳුනා ගත්තාක් මෙන් සිනාසී මගේ අතට පැන්නාය. කවදත් කුඩා දරුවන් හා මා අතර ගනුදෙනුවක් තිබුනේ නැත. නෑදෑයෙකුගේ හෝ අසල්වැසියෙකුගේ දරුවෙකු මා වඩාගෙන තිබුනේද නැත. මම වඩාත් පරිස්සමින් දැරිය අල්ලා ගතිමි. වැඩිමහල් දරුවා මා දෙස බැලුවේ අම්මාගේ පිටුපසට වෙමිනි. ඔහුට තිබුනේ අයියාගේ පෙනුමය. අක්කා පහලට පැමිණ තිබුනේ විමලක්කා මට කියාදුන් පාඩම් වලට අමතරව තවත් මා ඉගෙන ගත යුතු කරුණු කාරනා පැහැදිලි කරන්නටය. ලොකු බබා සමග සෙල්ලම් කල යුතු අන්දමත්, පොඩි බබාගේ කෑම සකස් කල යුතු ආකාරය මෙන්ම ඇයව බලා ගත යුතු ආකාරයත් අක්කාගේ පාඩමට ඇතුලත් විය. මම ඒ සියල්ල සාවධානව අසා , සිහියේ රඳවා ගතිමි.
දවස ගෙවී ගියේ අලසවය. මට අම්මා සෑම මොහොතකම සිහි විය. ඇගේ තොරතුරක් මට දැන ගත හැක්කේ අයියාගෙන් පමණය. අක්කාගෙන් අයියා පෙනෙන්නට නැත්තේ ඇයිදැයි අසන්නට සිතුනද ඊට මගේ සිත මට ඉඩ දුන්නේ නැත. මගේ මුවින් වචන එලියට ආවේ අවශ්‍යම වූ මොහොතක පමණය. නැතත් මා දන්නා තරමින් මගේ වචන අසා සිටීමේ උවමනාවක් ඇති කිසිවෙක් මේ නිවසේ හෝ වෙනත් තැනක හෝ සිටියේද නැත.
හැන්දෑවේ අම්මා හුදකලාවම යන්නට ගොසිනි. ඒ බව අයියාට රෝහලෙන් දැනුම් දුන් බව අයියා පැවසුවේය. අම්මා පිටත් වන මොහොතේ ඇය බිහිකළ ඇගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඇගේ ඇඳ පසෙකින් සිටියේ නැත. අයියා හිතා මතා මගෙන් ඒ අවස්ථාව උදුරා ගත් අතර, ඔහු ඒ අවස්ථාව මග හැර ගත්තේ ඇයිදැයි මා දන්නේ නැත. දියණිය ලෙසින් මට කල හැකි යමක් මගේ සීමාවේ නොවූ බැවින් අම්මා විඳි දුක් අවසාන වන්නට ඇතැයි සිතා මම හිත හදා ගතිමි.
අම්මාගේ දේහය අයියාගේ නිවසට රැගෙන ආවේ නැත. දේහය රෝහලෙන් මල් ශාලාවට ගෙන යාමට පෙර අයියා මා රෝහලට කැඳවා ගෙන ගියේ “ගියාට අඬන්න එහෙම ලෑස්ති වෙන්න එපා ” යැයි අවවාදයක ස්වරූපයෙන් තරවටුවක් කරමිනි. ශාන්ත ලෙසින් නිදා උන් අම්මාගේ සීතල දෑත් අල්ලා ගත් මම අවසන් මොහොතේ ඇය ළඟ ඉන්නට නොහැකි වීම ගැන සමාව යැද්දෙමි. අම්මා මල් ශාලාවට පිටත් කර යැවූ පසු අයියා මා වාහනයට නංවා ගත්තේ මගේ අත් සබන් යොදා සෝදා ගත් බව සහතික කර ගැනීමෙන් පසුවය.
අම්මා මිය ගිය බව ගමට ආරංචි වූවා නම් කොතරම් අපහසුතා තිබුනද, අපේ අසල්වැසියන් අම්මා වෙනුවෙන් ඇගේ අවසන් මොහොතට සහභාගී වීම මග නොහරිනු ඇත. එකල අම්මාත් තාත්තාත් අප ජිවත් වූ ගමෙහි මරණයක් වූ කල වෙනසක් නොබලා ඊට සහභාගී වූහ. අම්මාගේ දේහය තැබූ මල් ශාලාව වන මලින් සරසා තිබුනේ අපේ ගමේ මගුල් ගෙදරක වත් නොතිබෙන තරමේ මංගල අසිරියක් මවා පාමිනි. දුක් මුසු මුහුණු අලවා ගත් අම්මා හෝ මා කිසි දිනෙක නොදුටු මෙන්ම නොදන්නා, නෑයෝද , නොනෑයෝද අම්මාට අවසන් බුහුමන් දැක්වීමට වැල නොකැඩී ආහ. අම්මා මිය ගොස් නොසිටියේ නම් , තමා වෙනුවෙන් පැමිණි පිරිවර දැක අමන්දානන්දයට පත් වනු ඇත. ගමේ මළගෙදරක මෙන් දේහය ළඟ කිසිවෙක් තනි රැක්කේ නැත. මිය ගිය අයගේ ගුණ කියමින් හැඬුවේ ද නැත. පැමිණි අය අයියා සමගත් , අක්කා සමගත් කතා බහ කළහ. වැළඳ ගත්හ. අයියාගේ පිටට තට්ටු කරමින් සන්සුන් වන්නැයි ඉඟි කළහ.
අයියාගේ දරුවන් දෙන්නා බලා ගැනීමේ වගකීම තිබුනේ විමලක්කාටත්, මටත්ය. නිවසේ වැඩ පල නොතිබුණු බැවින් විමලක්කාත් මමත් දරුවන් පසු පස වැටී සිටියෙමු. ආදාහනය තිබුනේ පසු දින බැවින් රැයෙහි අපට එතන ඉන්නට අවසර තිබුනේ නැත. සීත කල කාමරය තුල අම්මා තනිකර දමා අප නිවස බලා එද්දී මට දැනුනේ හදවතෙහි කොටසක් ගැලවී යන්නාක් පරිද්දෙනි. ඒ වනවිට මා කුමන හැඟීමක් දැනුනද ඒ සියල්ල නිහඬව දරා ගත හැකි අයියාගේ නූලට නැටවෙන රූකඩයක් මිස සිත කය ඇති ප්‍රාණියෙක් නොවීය. බැඳීම් මෙපමණ සැහැල්ලුවෙන් අත් හල හැකිදැයි මා ඇසුවේ මගෙන්මය.
පසුදා අවමංගල උත්සවයට ඇඳගෙන යාමට අක්කා ඇගේ පැරණි සුදු ඇඳුමක් මට දුන්නාය. මට වඩා උස මහත තැනැත්තියක වූ ඇගේ ඇඳුම මට තරමක් විශාල වුවද මා ගෙදරින් ගෙනා ඇඳුම් කිහිපය අතරේ සුදු ඇඳුමක් තිබුනේ නැත. මා එනම් ගංගා සෝමරත්න කියා කෙනෙක් ඒ වන විට නැති බව මම වටහා ගනිමින් සිටියෙමි. එනිසා මගේ ඇඳුම පැළඳුම පිලිබඳව හෝ මගේ වටිනාකම් මතුවන වෙනත් කරුණක් පිළිබඳව වද වෙන සිතක් මට තිබුනේ නැත.
පාන්සකූලය දෙන්නට වැඩම කර තිබුනේ අවට පන්සලක ස්වාමීන්වහන්සේලා කිහිප නමකි. අම්මා ගැන කිසිවක් නොදන්නා ස්වාමින් වහන්සේලා කොලයක ලියා දී තිබූ තොරතුරු කියවූහ. සුමති සෝමරත්න මහත්මයා ආදරණිය මෑණියන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කල දයාබර පුත්‍ර රත්නයක් බව කියමින් ස්වාමීන්වහන්සේලා අම්මාගේත්, ඊටත් වඩා අයියාගේත් ගුණ වර්ණනා කරද්දී අයියා ඉකිබිඳිමින් හැඬුවේය. අයියා හැඬුවේ කවුරුන් වෙනුවෙන්දැයි අදහා ගත නොහැකිව මම ඔහු දෙස බලා සිටියෙමි. අයියාත් අක්කාත් තවත් මා නොදන්නා කිහිප දෙනෙකුත් මියගිය ඥාතියා වෙනුවෙන් පැන් වඩන්නට වට වෙද්දී මම අයියාගේ කුඩා දැරිය වඩාගෙන ඈතින් හිඳ එදෙස බලා සිටියෙමි. මට ද ඊට සහභාගී වන්නැයි කිසිවෙක් කතා කලේ නැත. මම නිහඬවම මා කල සියලු පින් අම්මාට අනුමෝදන් වේවායි පැතුවෙමි. අක්කා පැන් වැඩීමෙන් පසු හිස ඔසවා බලද්දී මගේ දෑස් හමුවූ නමුදු ඇය වහා බිම බලා ගත්තාය. අයියාද හිස ඔසවා බලන තෙක් මා බලා සිටියද ඔහු ගේ දෑස් මට හමු වූයේ නැත.
අම්මා ගේ හත් දවසේ දානය පිරි නැමුවේ අයියාගේ නිවස ආසන්නයේ වූ පන්සලකටය. විමලක්කාත් මමත් එකතු වී දානය පිළියෙළ කළෙමු. අම්මාගේ අත් ගුණය හොඳින් පිහිටා ඇති බැවින් මට ඕනෑම තැනක උයන්නට බියක් දැනුනේ නැත. මගේ හැකියාවන් වලින් වඩාත් සතුටු වුනේත් ප්‍රයෝජන ගත්තේත් විමලක්කාය. දානය පිළියෙළ කල නමුත් මට පන්සල් යන්නට උවමනාවක් තිබුනේ නැත. විමලක්කා ගමන් බිමන් යාමට දැක්වූයේ මැළි කමකි. අයියාගේ වැඩිමහල් දරුවා පාසල් ගොස් සිටි අතර , කුඩා දැරිය මව නොමැතිව නිවසේ රැඳෙන්නට අකමැති වූ බැවින් මට ඇයව බලා ගන්නට අයියලා සමග යන්නට සිදු විය. අයියාත් අක්කාත් සැදැහැ සිතින් දන් පිළිගැන්වූ අතර මම ඔවුන්ට සිත්සේ එම කටයුතු කරගන්නට ඉඩ හැර දැරිය රැගෙන ඉවතට ගියෙමි. මා කාගේ කවුදැයි පන්සලේ සිටි කිසිවෙක් අසන්නට නැත. අම්මා මා පත්ව ඇති තත්වය කොහේ හෝ සිට බලා උන්නා නම් මා කටයුතු කරනා ආකාරය ගැන සතුටු වනු ඇතැයි මම සිතුවෙමි.
ඉන් පසුව ගෙවුන කාලයේ සිදුවුණ වැදගත් සිදුවීම් දෙකක් මගේ මතකයේ ඇත. අම්මාගේ මරණයෙන් සති තුනක පමණ කාලයක් ගෙවුන පසු එක් දිනක විමලක්කා අක්කාගේ කැඳවීමෙන් උඩු මහලට ගියාය. ඒ වන විට මම අයියාගේ නිවසේ සිදුවන සියලු කටයුතු පිළිබඳව මනා අවබෝධයකින් පසු වුනෙමි. මැදි වියේ පසුවූ විමලක්කාගේ අත් පා රිදීම් කෙඳිරි ගෑම් වලට මට කල හැකි වූ එකම පිළියම වූයේ ඇය විසින් කල යුතු සියලු වැඩ වලට හැකි පමණින් උදව් වීමය. විමලක්කා මගේ උදව් සතුටු සිතින් දරා ගත්තාය. විමලක්කාට ද මා සැලකුවේ මගේ වැඩිහිටි නෑයෙකුට මෙනි. උඩුමහලට ගිය විමලක්කා ආපසු පැමිණියේ පුළුටු කරගත් මුහුණින් යුතුවය. මා සිටියේ පසුවදා උයන්නට මුකුණුවැන්න කොළ මිටියක් ඇහිඳිමිනි. විමලක්කා පැමිණි වේගයෙන්ම මා අත තිබූ කොළ මිටිය උදුරා ගත්තාය. සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගත නොහැකි වුනු මා තුෂ්නිම්භූත වී බලා සිටියෙමි.
(මතු සම්බන්ධයි.)

More From Author

යුද්ධයෙන් දිනුවෙක් නැත…

2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ වසර 30 ක් පුරා පැවති සන්නද්ධ ගැටුම අවසන් වූ තැන් පටන්

2 thoughts on “අපි අපේම ද ..( දිගු කෙටිකතාව 2 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348