අපි අපේම ද…(දිගු කෙටිකතාව 1 කොටස )

සංජු පාරට ගොස් මා එන තෙක් බලා සිටියි. මම දොර වසා යතුර අත්‍ බෑගයේ දමා ගතිමි. අප දෙදෙනා එක්ව කිහිප වාරයක් ගොස් ඇති මේ ගමන කුමන මොහොතක හෝ නතර වනු ඇත. ඉන් පසු කෙදිනකවත් මා මේ පාරේ නොයනු ඇත. උසාවියට යා යුත්තේ බස් රියෙනි. සංජු වරෙක මට ඉදිරියෙන් යයි. වරෙක මට පසු පසින් එයි. අප දෙදෙනා එක පෙලට යාම ඉතා අඩුවෙන් සිදු වන්නකි. බොහෝ විට සිදු වන්නේ මට ඔහු එනතෙක් නැවතී මඳක් වේලා බලා සිටින්නටය. මග දෙපස ඇති කැලෑ මල් පඳුරක්, එසේ නැතහොත් දිය කඩිත්තක් ඔහුගෙන් මග හැරෙන්නේ කලාතුරකිනි. මාස කිහිපයකට වරක් ගෙදරින් එලියට බැස යන මේ ගමනේ අරමුණ කුමක් වුවත් , ඔහු ඉන් මහත් ආශ්වාදයක් ලබයි.

සංජුත් මාත් අතර ඇත්තේ නිත්‍යානුකුල නොවන බැඳීමකි. එය සංසාරය පුරාවට පතා ආ බැඳීමක් දැයි මා නොදන්නා අතර අප දෙදෙනා අතර ඇති බැඳීමට නමක් හෝ හැඩයක් දෙන්නට ඔහුටද උවමනාවක් තිබුණාදැයි මා දන්නේ නැත. වසර පහකට ආසන්න කාලයක් තිස්සේ මා ඊට උත්සාහ කල නමුදු මගේ උත්සාහයේ කිසිදු ප්‍රතිපලයක් දක්නට නොලැබුණු අතර, අවසානයේ එක් ගැහැනියක් සංජුගේ නිත්‍යානුකුල අයිතිකාරිය ලෙසින් අප දෙදෙනා අතරට ආවාය. ඇය හා මට තරඟයක් නැත. එහෙත් උසාවිය මා තරම් ලෙහෙසියෙන් ඇයට දිනුම දෙන්නට සූදානම් නොවූ හෙයින් සංජුටත් මටත් ඇතැම් විට තවත් වාර කිහිපයක් මෙසේ එක මග යාමට ඉඩ ලැබෙනු ඇත.
සංජුගේත් මගෙත් කතාව කියන්නට පෙර මට ඔබට කිව යුතු කතාවක් ඇත. මේ මහ පොළොවේ මනුස්ස ප්‍රාණියෙක් ලෙස උපත ලද මා අද දවසේ මුහුණ පා ඇති ඉරණම තෙක් ගමන් ගත් මග කෙබඳු දැයි මා කිව යුතුව ඇත. ඔබට මා හඳුනා ගත හැක්කේ එවිටය. මේ ඒ මගේ කතාවයි.
තාත්තා මිය ගිය දවසේ සිට නිවසේ ජිවත් වූයේ අම්මාත් මාත් පමණි. අයියා නිවසින් පැන යාමට පෙර සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත වූ අපේ පවුල තුනකට අඩු වී තාත්තාගේ වියෝවෙන් පසු දෙක දක්වා පහල බැස්සේය. මුහුදේ හා හෝ හඬ ඇසෙන පෙනෙන මානයේ අම්මාත් මමත් තාත්තා අප වෙනුවෙන් ඉතිරි කර තැබූ උළු සෙවිලි කල නිවසේ පාඩුවේ ජීවත් වුනෙමු. ජීවිතය හමුවේ මුහුණ දෙන්නට සිදු වන අනේක විධ බාධාවන්ට මුහුණ දෙමින් දවස පසු පසට දමමින් උන් අප දෙදෙනාගෙන් අම්මා වඩාත් ඉක්මනින් දුර්වල වන්නට පටන් ගත්තේ තාත්තාගේ වියෝවට වඩා අයියා ගැන තොරතුරක් නැති වීමෙන් ඇති වූ ශෝකය නිසා බව මට රහසක් වූයේ නැත.
අයියා නිවසින් පැන යාමට ආසන්නතම හේතුව වූයේ ගමේ රස්තියාදු නඩයේ පුර්ණ සාමාජිකයෙකු තව දුරටත් නඩත්තු කිරීම තමාට කල නොහැකි බව මෙන්ම, ගෑනු ළමිස්සියක් ඉන්නා ගෙදරට රස්තියාදු නඩයේ අනිකුත් සාමාජිකයන් කැඳවා ගෙන ඒම තහනම් යැයි කියමින් තාත්තා තම විරෝධය පෑමය. තාත්තා මෙන් අම්මා අයියාට දොස් නොපැවරුව නමුදු තාත්තාගේ වාග් ප්‍රහාරය හමුවේ කිසිදු විරෝධයක් නොදක්වා මුනිවත රැක්කේ තමාට හික්මවා ගත නොහැකි වුනු ලොකු කොල්ලා සැමියාගේ අණට හෝ කීකරු වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු තබමිනි. අම්මාත් තාත්තාත් අයියා යහ මගට ගැනීම සඳහා ගත් සියලු උත්සාහයන් බිඳ දමමින් එක් උදෑසනක ඔහු නිවසින් අතුරුදන්ව සිටියේය. රට තුල කිසිදු අන්දමක ආපදාවක් නොවූ එකල අයියාගේ අතුරුදන් වීමට ඇඟිල්ල දිගු කල හැකි වූයේ ඔහුගේ රස්තියාදු නඩයට පමණි. ඔහුත් සමග ඔහුගේ තවත් සගයෙක් අතුරුදන්ව සිටි අතර අම්මා ඉතිරිව සිටි සියලු දෙනාට බැන වැදුනාය. බැනුමේ කොටසක් තාත්තා අයියාට කල තරවටුව වෙතද එල්ල වුවද තාත්තා ඒ කිසිවකින් නොසැලී උන්නේ තමා ගත් පියවර නිවැරදිය යන මතයේ හිඳිමිනි.
කවදත් අයියා ගැන මගේ සිතේ ඇඳී තිබුනේ පැහැබර සිතුවමක් නොවේ. ඔහුත් මාත් අතර වයසින් මෙන්ම ගති පැවතුම් වලින්ද තිබුනේ දුරස් බවකි. ඔහු කිසිදා මට නංගී කියා කතා නොකළේය. තාත්තාත් අම්මාත් දුවේ කියා මා අමතද්දී අයියා පාසලේදී නම අඬ ගසන්නාක් මෙන් දවසට මතක නොසිටින තරමේ වාර ගණනක් ” ගංගා ” කියමින් හඬ නගයි. මා කොතන කුමන කාර්යයක නිරතව සිටියද අයියාගේ හඬ ඇසෙන මානයක සිටියේ නම් දෙවන වර නම කියවෙන්නට පෙර ඔහු ඉදිරියේ පෙනී සිටින්නට පුරුදු වූයේ මගේ ප්‍රමාද වීම වෙනුවෙන් මට හිමි වන දඬුවම දරා ගන්නට තරම් කුඩා දැරියක වූ මගේ කන් දෙක ඔරොත්තු නොදුන් බැවිනි. එලෙස ඔහු ඉදිරියට යන සෑම වරකම ඔහුට මා ලවා කරවා ගන්නට වැඩක් තිබිණි. වරෙක ඔහු තම කාමරයේ ඇඳෙහි සැතපී සිටියදී මා කැඳවා ඔහුගේ කාමරයේ ජනේලය වසා දමන ලෙස අණ කරයි . වරෙක මා ඔහුට බීමට වතුර ජෝගුවක් පුරවා ගෙන ආ යුතුය. වරෙක ඔහුට නින්ද යන තෙක් ඔහුගේ පිට පුරා මගේ සිඟිති ඇඟිලි තුඩු වලින් සිතුවම් ඇඳිය යුතුය. තාත්තාට නොතිබුණු බියක් අයියා කෙරෙහි මගේ සිත තුල ඇති කිරීමට ඔහුගේ මෙම නපුරු ගති පැවතුම් සමත් වුවද අම්මා ඒවායින් මා බේරා ගන්නට අසමත් වූවාය. තාත්තා නිවසේ රැඳෙන අවස්ථා වල අයියා නිවසින් බැහැරව ඉන්නට වග බලා ගන්නා බැවින් මම ඒ අවස්ථාවල තාත්තාගේ ආදරයද , ආරක්ෂාවද උපරිමයෙන් විඳින්නට වාසනාව ලදිමි.
මා වසරින් වසර ඉගෙනුම ලබමින් වැඩෙද්දී අයියා පාසල අත හැරියේය. තාත්තා අයියා ගේ ක්‍රියා කලාපයට මුළුමනින්ම විරුද්ධත්වය දැක් වූයේ අයියාට ගෙදරින් කන්න වතුර දීම නතර කරන්නැයි කියමිනි. අම්මා තාත්තා සමග එකඟ වෙමින්ම , අයියා වෙනුවෙන් උයන පිහන දෙයින් කොටසක් සඟවා තැබුවාය. වයසින් වැඩෙත්ම මම හැකි තරම් අයියා මග හරින්නට වග බලා ගතිමි. ඔහු නිතරම බලා උන්නේ මගේ වරදක් සොයා ගන්නටය. ඇතැම්විට තාත්තා මට ආදරය කල තරමටම ඔහු මට නපුරු වන්නට ඇත. කාලය ගෙවුනේ වේගයෙන් විය යුතුය.
අයියාගේ පලා යාම අම්මාට වේදනාවක් වූ බව එළිපිටම පෙනෙන්නට වූ කරුණක් නමුදු, තාත්තාට එය දැනුනේ කෙලෙසක දැයි අප කිසිවෙක් දැන සිටියේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරු රැකියාවක නිරතව සිටි තාත්තා විශ්‍රාම ගැනීමෙන් පසු තම එකම පුත්‍රයා පවුලේ වගකීම් කර මතට ගනු දකින්නට බලාපොරොත්තු වන්නට ඇත. එකම නැගණියගේ ආරක්ෂාව වැඩිමහල් සොහොයුරා විසින් සපයනු ලබන දිනය කවදාදැයි තාත්තා මග බලන්නට ඇත. එහෙත් ඒ සියලු අපේක්ෂාවන් බිඳ වැටෙද්දී , කවදත් නිහඬ පුද්ගලයෙක් වූ තාත්තා වඩාත් නිහඬ විය. අයියා නොගැවසෙන නිවස මට සැනසීමක් ගෙන දුන්නද , මා ඒ බව කිසිවෙකුටත් කිවේ නැත. හැඟීම් සඟවා ජිවත් වීමේ කලාව මා ඉගෙන ගන්නට ඇත්තේ ඇතැම් විට තාත්තාගෙන් විය යුතුය. මගේ යටි සිත හඳුනා ගැනීමේ ඉවක් අම්මා සතු වූවා දැයි මා නොදන්නා මුත් සහෝදර කැක්කුමක් නැති එකියකැයි කියා විටෙක ඇය මට බැන වැදුනේ කොල්ලා කනවා බොනවා දැයි නොදන්නා බව කියමින් හඬා වැටෙමිනි.
මා උසස් පෙළ විභාගය ලියන්නට ටික කාලයකට පෙර තාත්තා මෙලොව අත හැර ගියේ ජිවත් වූ පරිද්දෙන්ම නිහඬවය. තාත්තාට අසනීපයක් තිබුනාද කියාවත් කල් තබා අපට දැන ගන්නට ඉඩක් නොතබාම ඔහු යන්නට ගියේය. තාත්තාගේ අවසන් කටයුතු වෙනුවෙන් වත් අයියා ගමට එනු ඇතැයි අම්මා බලාපොරොත්තු වුවද අයියා ආවේ නැත. තාත්තාගේ දේහය මිහිදන් කරන මොහොතේ පවා ඇගේ දෑස් හෙව්වේ අයියා බව මට රහසක් වුයේ නැත. තාත්තා වෙනුවෙන් අම්මා හැපෙමින් වැළපුන නමුදු මා උන්නේ වැළපෙන්නට පවා සිහි එලවා ගත නොහැකිවය. අම්මාත් මමත් පමණක් ජිවත් විය යුතු අන්දම කියා නොදීම තාත්තා පිටව යාම මට දරා ගත හැකි වූයේ නැත. ඇතැම් විට අම්මා පවුලේ ඉදිරි වගකීම් බාර දෙන්නට අයියාගේ පැමිණීම අපේක්ෂා කරන්නට ඇත.
තාත්තාගෙන් අපට ඉහට සෙවනක්ද, ජීවිතය ගැට ගසා ගන්නට හැකි තරමට විශ්‍රාම වැටුපක්ද හිමිව තිබුණි. අධ්‍යාපනයේ ඉහල කඩඉම් තරණය කිරීමේ සිහිනය තව දුරටත් දැකීම අත් හල යුතු බව, තාත්තා මිය ගොස් මාස කිහිපයකට පසුව පැවතී උසස් පෙළ විභාගය ලියා අවසන් කල මම තීරණය කලෙමි. අමතර පන්ති යාමට අවශ්‍ය වියදම් සපයා ගැනීම මෙන්ම, පන්ති අවසාන වී අඳුර වැටුණු පසු මහමග තනිවම ඒම මට ගැටළුවක් විය. අම්මා සතුව මෙකී කාරනා දෙකම සම්බන්ධයෙන් විසඳුම් තිබුනේ නැත. විවාහක ගැහැනියක් සමග සම්බන්ධකමක් පවත්වා ගෙන යතැයි ගමෙහි ප්‍රසිද්ධියක් උසුලන අයියාගේ රස්තියාදු නඩයේ අයෙක් පා පැදියකින් පැමිණ මා ගෙදරට ඇරලවන්නට ඉදිරිපත් වූ දවසේ සිට මම අමතර පන්ති යාම නතර කලෙමි. පාපැදියට නැගීම මා ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වූ ඔහු යන්නට ගියේ කෝපයෙනි.
අම්මා මට තව දුරටත් ඉගෙන ගන්නැයි කියමින් කරදර කලේ නැත. කිසිවක් කෙරෙහි ආශාවක් හෝ බලාපොරොත්තුවක් නැති ලෙසින් උන් අම්මා දවසින් දවස දුර්වල වූවාය. අපට මෙගමේ අසල්වැසියන් මිසක නෑදෑයන් සිටියේ නැත . අම්මාත් තාත්තාත් ගමට පිටස්තරයන් වූ අතර ඉඳහිටක මගතොටදී හමුව සිනහවක්, කතා බහක් එහා මෙහා හුවමාරු කර ගත් අයෙක් මිස , අප ගැඹුරු සම්බන්ධයක් පැවැත්වූ කිසිවෙකු සිටියේ නැත. නිරන්තරයෙන් අපේ තනි නොතනියට සිටියේ නොනැවතී හඬා වැලපෙන සයුර පමණය.
සැමියාගේ වියෝවත් , තම එකම පුතුගේ පලා යාමත් නිසා ඇතිවූ සාංකාව අම්මා දුර්වල කරන්නට ඇතැයි මා කල නිගමනය නිවැරදි නොවන බව මා වටහා ගන්නා විට , මට අම්මා වෙනුවෙන් කල හැකි කිසිවක් ඉතිරිව තිබුනේ නැත. වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හමු වී පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමෙන් පසු අම්මාගේ කුඩා සිරුර පිළිකාවක් විසින් ආක්‍රමණය කර ඇති බව දැනගත් මොහොතේ මගේ අසරණකම බෙදා ගන්නට කිසිවෙක් සිටියේ නැත. අයියා පිළිබඳව මගේ හැඟීම කුමක් වුවත් , ඔහු මේ වන විට කුමන තත්වයක සිටියත් අම්මා වෙනුවෙන් ඔහු කැඳවිය යුතු යැයි තීරණය කල මම පෙර දිනයක මට පා පැදියට නගින්නැයි කී අයියාගේ මිතුරා සොයා ගියෙමි.
අම්මාගේ තත්වය පැහැදිලි කර ,අයියා ඉන්නා තැනක් දන්නේ නම් ඔහුට ගෙදර එන ලෙස පවසන්නැයි මා කල ඉල්ලීමට ඔහු කන් දුන් බවක් නොපෙන්නුවද, දින දෙකක් අවසාන වීමට පෙර අයියා දොරකඩ පෙනී සිටියේ ආරාධනාව ලැබෙන තෙක් බලා සිටියෙකු පරිද්දෙනි. පෙර වැරදි සියල්ල අමතක කල මා අයියා පිළිගත්තේ සතුටිනි. පිළිවෙලට හැඳ පැළඳ සිටි ඔහු කෙරෙන් දිස්වූයේ වැදගත් බවකි. ඔහු පැමිණ සිටියේද මෝටර් රියකිනි. ආරුඪ කරගත් රස්තියාදු පෙනුම නිසා තුරුණු වියේදී සැඟව තිබූ ඔහුගේ කඩවසම් රුව වඩාත් ඔපවත්ව තිබූ අතර අම්මා දුටු ඔහු හඬමින් අම්මා වැළඳ ගත්තේය. වැටෙන්නට ඔන්න මෙන්න තිබූ වැහි වලාවක් කඩා හැලෙන්නාක් මෙන් අම්මාද කඳුළු හෙළුවාය.
දෙදෙනාට හිතේ හැටියට හඬන්නට දොඩන්නට ඉඩ දී මම දහවලට ඉව්වෙමි.
ගෙවුණු අවුරුදු ගණනාවක කාලය ඇතුලත අයියාගේ ජීවිතය බොහෝ සේ වෙනස් වී ඇත. ගෙදරින් පැන යාමෙන් පසු මැණික් ගරන්නටත් , තවත් රැකියාවල් කිහිපයකටත් හවුල් වූ පසුව කොළඹට සේන්දු වූ අයියා මේ වන විට ව්‍යාපාරිකයෙක් මෙන්ම විවාහකයේ , දෙදරු පියෙක්ද වී ඇත. ඔහු අම්මා සමග මහත් තෘප්තියකින් තමාගේ ජීවිතය විස්තර කරද්දී අම්මා අසා සිටින්නට ඇත්තේ සුරංගනා කතාවක් අසනා පරිද්දෙන් විය යුතු යැයි මට සිතුනද අම්මාගේ හෝ අයියාගේ ඉරියව් මා සිටිනා තැනට පෙනුනේ නැත. අයියා ගෙනා ඇපල්, මිදී ආදිය අම්මා කෑවේ කුඩා දැරියක මෙන් සතුටු වෙමිනි. මම අයියාට මේසයට කෑම වතුර පිලියෙල කර තැබුවෙමි. එකල තාත්තාට නොපෙනෙන ලෙස අම්මා අයියාගේ බත් පත හැලි වලං අතරේ සඟවා තැබුවද , මේ ඉන්නේ එදා උන් අයියා නොවේ. මම ඔහුට කල හැකි උපරිමයෙන් සත්කාර කලෙමි. අයියා මා සමග වැඩියමක් කතා නොකලද මා ඉවූ බත් මාළු පිණි කෑවේ මහත් රුචියකිනි. මම අයියාට ගෙන යනු පිණිස ලෙලි ගැසූ පොල්ද ,පොලොස් ,දෙහි ආදිය පමණක් නොව වත්තෙන් කඩා ගත් රම්පෙ කරපිංචා ද ඇතුලත් මල්ලක් සාදා වාහනයට දැමුවෙමි. මා ඒ සියල්ල කරනා අතරේ අයියා ගහ කොළ දෙස බලමින් වත්ත පුරා ඇවිද්දේය. අයියා අම්මාගේ අසනීපය ගැන කිසිවක් ඇසුවේ නැත. අම්මාද නොදන්නා අම්මාගේ අසනීපය ගැන මමද කතා නොකරන්නට වග බලා ගතිමි. දිය සිඳී වියලී ඉරිතැලෙමින් තිබූ අපේ ජීවිත වලට අයියාගේ ආගමනය පොද වැස්සක් වී වසන්තය යලි පැමිණෙතැයි සිතුවද , අයියා යලිත් ආවේ නැත.
දුරකථනයක් මා සතුව නොතිබුණු බැවින් අයියාගේ දුරකථන අංකයද, ලියුමකින් තොරතුරු දන්වන්නට තරම් බැඳීමක් නො තිබුණෙන් ලිපිනයද මා ඉල්ලුවේ නැති බැවින් අයියා ගැන තොරතුරු දැන ගැනීමට නොහැකි වුවද , නැවත වරක් ඔහුගේ මිතුරාගේ පිහිට පතන්නට ද මට සිතුනේ නැත.
දින සති මාස ලෙසින් කාලය ගතව යද්දී අම්මා ඇගේ ගමන යාමට ඉක්මන් වෙමින් සිටියාය. වරින් වර රෝහල් ගත කරමින්ද , නැවත ගෙදර රැගෙන එමින්ද , රැක බලාගත් අම්මා අවසානයේ නිවසේ තබා ගෙනම රැක බලා ගන්නට සිදු වූයේ ඇය වෙනුවෙන් කල හැකි දෙය එපමණක් වූ බැවිනි. නෑදෑයන් නොවූවද අසල්වැසි සියලු දෙනාම පාහේ මට පිහිට වූයේ ” ඔය ළමයට පුළුවන්යැ තනියම නහින්න.. නරකද සුමතිට එන්න කිව්වොත්..” යැයි කියමිනි.
සුමති යනු මගේ අයියාය. අම්මාගේ වැඩ කටයුතු මට තනිවම කර ගත හැකි බව කියමින් ඒ සෑම විටකම මම පිළිතුරු දුනිමි. හිටි හැටියේම එක් දවසක අයියා ගමට ආවේ ගිලන් රථයක්ද සමගිනි. ඒ වන විට අම්මා සිටියේ බොහෝ දුර්වල තත්වයකය. මට හැකි උපරිමයෙන් ඇයට සාත්තු කිරීමෙන්ද , බේත් හේත් සපයා දීමෙන්ද මා ද සිටියේ හෙම්බත්වය. ඇඳුම් පැළඳුම් හා මට උවමනා යමක් ඇත්නම් බෑගයකට දමා ගන්නැයි කී අයියා , ගිලන් රියේ සේවකයෙක් හා එක්ව අම්මා එයට නංවා ගත්තේය. අම්මාගේ තත්වය අයියා දැන ගත්තේ කෙසේ දැයි මා ඇසුවේ නැත. මටද උවමනා වී තිබුනේ මේ පරිසරයෙන් මිදී කොහේ හෝ යාමටය. මා සතුව තිබූ හොඳ ඇඳුම් කිහිපයක්ද , තාත්තා මට වැඩිවිය පැමිණි මොහොතේ රැගෙන දුන් රන් දම්වැල ද, අම්මා ගේ කර මාලය හා වළල්ලද, අවශ්‍යතාවයක් නැතත් අම්මා ගේත් මගෙත් හැඳුනුම් පත් දෙකද මම බෑගයකට දමා ගතිමි. තවත් රැක ගත යුතු යමක් අප නිවසේ ඇති බව මට වැටහුනේ අයියා ඉඩමේ ඔප්පු කොහිදැයි ඇසූ විටදීය. ඒ නිශ්චල කඩදාසි වල මට වටිනාකමක් දැනුනේ නැත. මම ඇවැසි දෙයක් ගන්නට අල්මාරියේ යතුර අයියාට දුනිමි . මගේ බෑගයට මා අමතරව දමා ගත්තේ කිහිප වරක් කියවා අවසන් කල මා සතුව තිබූ නවකතා පොත් දෙක තුන පමණය. අම්මා රැගත් ගිලන් රථය පිටත් කර හැරිය පසු අයියා මා ඔහුගේ රියට නංවා නිවසේ දොර අගුළු දමා වාහනයට ගොඩ විය. ගමන පිටත් වීමට පෙර ඔහු මගෙන් ඇසුවේ වාහනයක යන විට වමනය යනවාදැයි කියා පමණය.

(මතු සම්බන්ධයි .)

More From Author

අහස් ගඟෙහි  සුමට වදන් වියමන

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – V

2 thoughts on “අපි අපේම ද…(දිගු කෙටිකතාව 1 කොටස )

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348