අහස් ගඟෙහි  සුමට වදන් වියමන

අහස් ගඟ තීරු ලිපි එකතුවකි.රචකයා සුපුන් අතුකෝරල කවියාය. විවිධ වර්ගයේ තීරු ලිපි ගණනාවකට ඉඩ වෙන් කර දුන් රැස පුවත්පතෙහි “අහස් ගඟ” තීරු ලිපි මාලාව පළ විය.මේ ලිපි අතිශයින් ජනප්‍රිය විය.

අහස් ගඟ තීරු ලිපිවල විශේෂත්වයක් දකිමි.
ඉන් පළමු වැන්න තීරු ලිපි සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයකින් යුක්තව ඒවා රචනාකර තිබීමය.අනවශ්‍ය වැල්වටාරම්වලින් තොරව කෙළින්ම ප්‍රස්තුත තේමාවට පිවිසෙයි.කෙටි වැකිවලින්  රසවත්ව ලියයි.හුදු විස්තර කිරීම්වලින් සෑහීමකට පත් නොවී පෙර නොවිඳි චින්තන ධාරාවක් ස්පර්ශ කරයි.

මේ තීරු ලිපියෙහි අනන්‍යතාව සලකුණු වන්නේ එහි සන්දර්භය ගොඩනගා ඇති නව්‍ය මාදිලිය අනුවය.
ඉතිහාසයෙහි  සටහන්ව ඇති විශේෂ සිදුවීම් හා විශේෂ ඡායාරූපවල පසුබිම් කතාව අනාවරණය කරමින් පාඨකයන් අතර සුලබ නොවූ සැඟවුණු පැතිකඩක් මෙයින් විදාරණය කෙරෙයි.එනිසා මේ ලිපි නවතාවකින් යුතුව කියවිය හැකිය.

සුපුන් මෙහිදී භාවිත කරන්නේ වියරණ මියර නොමැරූ සරල සුගම බස් වහරකි.
හිට්ලර්ගේ කුඩා මිතුරිය” ලිපියෙහි අවසන් ඡේදය දක්වමි.

“කලක් ඔහුගේ සිහිනය වූයේ චිත්‍ර ශිල්පියෙකු වීම ය.එහෙත් 1907 වියානා සෞන්දර්ය ඇකඩමියට ඔහු යොමු කළ අයදුම් පත ප්‍රතික්ෂේප කර තිබුණේ දක්ෂතා ප්‍රමාණවත් නොවන බව පවසමිනි.එහෙත් හිට්ලර් අවසාන කාලය  වන තෙක් චිත්‍ර ඇඳීම නැවැත්වූයේ නැත.
එමෙන්ම 1923දී ඔහු විසින් රචිත මගේ සටන නම් කෘතියෙන් ලැබූ සම්පූර්ණ ආදායම බැර වූයේද සමාජ සේවා කාර්යයන්ට ය.
ඒ හිට්ලර්ගේ අප නොදුටු පැතිකඩය;අඳුරු පදාස වැඩි ජීවිතයක වර්ණවත් පැතිකඩ ය.බොහෝ දුරට රෝසා නිනව් කෙරෙහි ඔහු තුළ තිබූ දාරක සෙනෙහස අයත් වනු ඇත්තේද හිට්ලර්ගේ ඒ නොදුටු පැතිකඩට විය හැකි ය.”(69පිටුව).

මේ කෘතියෙහි ඇතුළත් “ස්ටාලින්ගේ දියණිය,චොර්සෝහි යුදෙව් දරුවා,කපු කම්හලේ දැරිය” ඇතුළු තීරු ලිපි කිහිපයක ම ඇති මානව බන්ධුතාවල ගම්භිරත්වය විදාරණය කිරීමේ ගුණය මෙන්ම රචනා  විචිත්‍රත්වය ගද්‍ය ලේඛකයෙකු හැටියට සුපුන්ට දුර ගමනක් යා හැකි බවට ඉඟි කරයි.ඒ මග යන්නැයි උණුසුම්,දයාබර හැඟීමෙන් යුතුව  සුපුන්ට ආරාධනා කරමි.

More From Author

මාක්ස්වාදය සහ මනෝ විශ්ලේෂණය – විල්හෙල්ම් රීච්ගේ ජීවිතය සහ කෘති පිළිබඳ කරන සාමුහික හැදැරීමක සරල සටහනක්- 2

අපි අපේම ද…(දිගු කෙටිකතාව 1 කොටස )

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348