“යුක්තිය” පිළිබඳව විවරණයක් (2 කොටස)

” යුක්තිය පිළිබඳ විවරණයක් : OOO අදහස් යටතේ සිතා බැලීමක් ” සටහන තේරුම් ගැනීමට අත්වැලක්

ඉහත ” යුක්තිය ” පිළිබඳ සටහන්, බොහෝදුරට ග්‍රැහැම් හාර්මන්ගේ Object Oriented Ontology දර්ශනය මත පදනම්ව ලියවී ඇත්තකි. මේ සඳහා නිශ්චිත සිංහල නමක් තවමත් භාවිතයට ගැනෙන්නේ නොමැති වුවත්, ඔබට අවශ්‍ය නම් “Object Oriented Ontology” යන්න සඳහා “වස්තුමය සත්භාවවේදය” හෝ “වස්තුවාදී සත්භාවවේදය” යන නම් යෝජනා වශයෙන් ලබා දිය හැක.

ග්‍රැහැම් හාර්මන් -Graham Harman

Object Oriented Ontology යනු නව ආකාරයකින් ලෝකය ගැන සිතන දාර්ශනික න්‍යායකි. ඉතාමත් සරලව පැවසුව හොත් මෙහිදී කියන්නේ ලෝකයේ සිටින මිනිසුන් හා ද්‍රව්‍ය පමණක් නොව, සෑම දෙයක්ම “වස්තූන්” බවයි. ( මේක ටිකක් තේරුම් ගන්න පහසු වෙන්න කරපු අති සරල කිරීමක් ) මේ වස්තූන්ට අයත්වන්නේ පැහැදිලි නොවන, සැඟවුණු යථාර්ථයකි. අපට ඒ වස්තූන් සම්පූර්ණයෙන්ම තේරුම් ගත නොහැක.
උදාහරණයක් ලෙස, ගසක් ගැන හිතන්න. අපට පේන්නෙ, එය කඳක් සහ කොළ ඇති උස පැලයක් ලෙසයි. නමුත් ඒ ගස තුල ඇත්තේ ගැඹුරු බවකි. එය අපට සම්පූර්ණයෙන් දැනගත නොහැකිය. මේ ආකාරයටම, “යුක්තිය” යන දෙයත් වස්තුවකි. එසේනම් “යුක්තිය” කියන්නේ කුමක්ද ? අපි සාමාන්‍යයෙන් යුක්තිය කියන්නේ වැරැද්දට දඩුවමක් දීම, අසාධාරණයක් පරීක්ෂා කර එය නිවැරදි කිරීම, නීතිය හෝ ආගම අනුගමනය කිරීම වැනි දේයි. නමුත්, හැම අවස්ථාවකම මෙවැනි දෙයින් යුක්තියක් ලැබෙන්නේ නැත. උදාහරණයක් ලෙස ගුවන් යානා අනතුර ගනිමු. එහිදී අහිංසක පවුලක් මියයයි. ඒ පිළිබඳව කිසිවෙකුට වගකීමක් නැත. නීතියෙන් හෝ ආගමෙන් ඒ අසාධාරණය සම්පූර්ණයෙන් විසඳා ගැනීමට නොහැක. මේ නිසා අපිට හැඟෙන්නෙ “යුක්තියක් නැත !” යනුවෙනි. එසේ නම් , යුක්තිය කියන දෙය ඇත්තටම තියෙන්නේ කොහිද ? OOO ප්‍රකාශ කරන්නේ “යුක්තිය” කියන දෙයත් වස්තුවක් ! බවයි.
යුක්තිය කියන්නේ, අප හිතන අදහසක් පමණක් නොවෙයි කියන දෙය එහි අදහසයි. එය ලෝකයේ ඇති තවත් “වස්තුවක්” වැනිය. නමුත් එය සැඟවුණු, ගැඹුරු, තේරුම් ගන්න අමාරු වස්තුවකි. අපට යුක්තිය හැඟෙයි.අප එයට කණගාටු වන්නෙමු, කම්පා වන්නෙමු.
නමුත් සම්පූර්ණයෙන්ම අපට එය අල්ලාගත නොහැක.

ඒ කියන්නේ “යුක්තිය” කියන දෙය අපි නිර්මාණය කරන එකක් නොවේ යන්නයි. එය ලෝකයේම තිබෙන දෙයක්, අපට වඩා විශාල දෙයක්. කලා කෘතියක උදාහරණය ඇසුරින් මෙය වඩා හොඳින් තේරුම් ගැනීමට පුළුවන. දාර්ශනිකයෙකුවූ ඇඩ්රියානා ඔස්පිනා කියා සිටින්නේ කලා කෘතියක් යනු කිසිදා සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම⁣ට බැරි දෙයක් යනුවෙනි. එයට බොහෝ දෙනා අතින් විවිධ අර්ථයන් ලැබේ. එය නිතර විවෘතය, සැඟවී තිබේ. “යුක්තිය” යන්නත් මෙවැනි දෙයකි. එය තීරණාත්මක නැත. නීතියක් නැත, පිළිවෙත් නැත. නමුත් අපට එය හැඟෙයි, අප එය සොයන්නෙමු. අපට කරන්න පුළුවන් දේ මොකක්ද ?

ඇඩ්රියානා ඔස්පිනා-Adriana Ospina

“යුක්තියක් වුනා නේද ? නීතියෙන් දඩුවම දුන්නා.” “අපේ ආගමෙන් මේක නිවැරදි වුණා.” නමුත්
දැන් ඒ වෙනුවට, අපට කියන්න පුළුවන් වන්නේ, ” යුක්තිය යනු සෙවිය යුතු දෙයක් ” බවයි.
“අපි හැමදාම ඒ වටාම සිටියත්, ඇතුළට යන්නට හැකි නොවේ, එය සැඟවී තිබේ, එයයි ඇත්තයි “. මෙයින් එලඹිය හැකි අවසාන අදහස Object Oriented Justice ලෙස සරලව ප්‍රකාශ හැක. ඒ මගින් ප්‍රකාශ කරන්නේ, “යුක්තිය” කියනා දෙයත් ලෝකයේ පවතින අන් වස්තූන් මෙන්ම යන්නයි. එය සැඟවී තිබේ, එය සරල නොවේ, නමුත් එය ඇත්තක්. අපේ වගකීම නම්, එය සෙවීමයි ! ඒ පිළිබඳව විමසීමයි.

( මෙය මා කළින් පලකල ” යුක්තිය ” පිළිබඳ සටහන් තේරුම් ගැනීමට පහසුවීම සහ අවධාරණය කිරීම සඳහා ලියන ලද එහිම කොපි සටහනකි. සංගීතමය භාෂාවකින් කියන්නේ නම්, පලමු ලිපිවල “කවර් වර්ෂන්” එකකි. )

පෙර කොටස:

More From Author

‘උතුරෙන් දකුණට’

ආණ්ඩුව දැනට ඉන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමවක් ඇතුළේ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348