‘උතුරෙන් දකුණට’

(උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයන්ගෙන් පීඩක ජාතියේ පීඩිතයන් වෙත) – ‘කඳුළු මිටියාවත’ කෘතියෙන්

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ලමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු
පැරනි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින

More From Author

ගුරුවරයා තෘප්තිමත් නොකොට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක වේවිද?

“යුක්තිය” පිළිබඳව විවරණයක් (2 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348